වස විස අඩු වගාවට නැනෝ පොහොර


නැනෝ තාක්ෂණය අනාගත පරම්පරාවේ භාවිතය වනු ඇත. අලු‍ත් පැති සමාජ ආර්ථික පරිවර්තනයකට හේතු වී තිබේ. නැනෝ තාක්ෂණයෙන් නිපදවන ලද යූරියා පළමු වරට ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ භාවිත කර ඇත. භවනගර් ප්‍රදේශයේ ගොවිපොළකට නැනෝ නයිට්‍රජන් පොහොර ඩ්‍රෝන යාත්‍රා මගින් විසුරුවාහැරීම සිදුකෙරිණි. එරට ප්‍රාන්තවලින් තෝරාගත් ගොවීහු තිස් හතර දෙනෙක් මෙම අවස්ථාවට සහභාගී කරගනු ලැබූහ. පද්ම ශ්‍රී ඉන්දීය ජාතික සම්මාන දිනාගත් ගොවියෝ ද ඒ අතර සිටියහ. නැනෝ තාක්ෂණික පොහොර භාවිතය ගැන මතය ඉන්දියාව පුරා පැතිරවීමට මෙම මොහොත උපයෝගී කරගත හැකිවනු ඇතැයි සැලකේ.

නැනෝ අංශු ස්වාභාවිකව හා කෘත්‍රිමව පවතී. එය අනාවරණය කරගන්නේ 1950 ගණන්වල දී ය.

නැනෝ අංශුවක විශාලත්වය මීටරයකින් බිලියනයකින් එක් කොටසකි. එහෙත් එය ශක්තිමත් හා සැහැල්ලු‍ය. ද්‍රව්‍ය පිලිස්සීමේ දී හා මුහුදු ඛාදනය වැනි අවස්ථාවල නැනෝ අංශු ස්වභාවිකව නිරීක්ෂණය කර ඇත. විද්‍යාගාරවල නිපදවන නැනෝ අංශු ඉංජිනේරු ශිල්පීය නැනෝ අංශු ලෙස හඳුන්වන වන අතර ඒවා නොයෙක් රසායනික මෙවලම් සමග මිශ්‍ර කිරීමෙන් උසස් ප්‍රතිඵල අත්පත් කරගන්නට හැකියාව ලැබී ඇත. යූරියා සමග මිශ්‍ර කරන නැනෝ අංශු නයිට්‍රජන් අවශ්‍යතාව සඳහා ඉතාම ප්‍රයෝජනවත් බව සොයා ගෙන තිබේ. දැනට ඉන්දියාව කරන පර් යේෂණ අනුව නැනෝ යූරියා පමණක් නොව නැනෝ සින්ක් හා නැනෝ කොපර් යන අංශු මාත්‍ර දියර පොහොර ද නිපදවා ඇති බව දැක්වෙයි. මෙම පොහොර ක්ෂේත්‍රයට යෙදූ පසු ශාකයට අවශ්‍ය පරිදි සෙමෙන්, ක්‍රමයෙන් නිදහස් කරන අතර එය පොහොර වැඩි වශයෙන් පසට එකතු වී අපතේ යෑම අවම කරන බව ක්ෂේත්‍ර පර් යේෂණ තහවුරු කර තිබේ.

ඉන්දියන් වාර්තා දක්වන පරිදි නැනෝ පොහොර යෙදීමෙන් පිරිවැය සියයට පනහකින් අඩුවන අතර අස්වැන්න සියයට 15-30 අතර ප්‍රමාණයකින් වර්ධනය වෙයි. යූරියා පමණක් නොව අනෙක් පොහොර ද අවශ්‍ය පමණට ගොවියන්ට ලබාදීම කෙරෙහි අවධානය යොමු කිරීම කෘෂිකර්ම බලධාරීන්ගේ වගකීමකි. සාමාන්‍ය යූරියා පොහොරවලට සාපේක්ෂව නැනෝ පොහොර පරිසරයට හිතකර බව අවධානයට ගත යුතු කාරණයකි. සාමාන්‍යයෙන් මිලි ලීටර් 500 ක බෝතලයක් පොහොර කිලෝ ග්‍රෑම් පන්සියයක ප්‍රමාණයක් සඳහා සෑහෙන අතර ධාරිතාව, මිල, හැසිරවීමේ පහසුව, පසට උරාගන්නා ක්‍රමවේදය සහ පරිසර ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහළම ප්‍රතිඵල දක්වන බව සඳහන් කළ යුතු වැදගත් කාරණා වශයෙන් පර් යේෂකයෝ දක්වති.

නැනෝ තාක්ෂණ යූරියා පොහොර අත්හදා බැලීමේ ආදර්ශනයක් සඳහා අවස්ථාව ශ්‍රී ලංකාවට ද ලැබී තිබේ. ඉන්දියන් රජයේ ඉහළ නිලධාරීන් දක්වන පරිදි මෙම සාම්පල් පොහොර ශ්‍රී ලංකාවේ දී සාර්ථකව අත්හදා බලා ඇත. ලෝකයේ පළමුවරට කරන ලද සොයා ගැනීමක් බව ද පෙන්වා දිය යුතුය. ඉන්දියාව අත්පත් කරගෙන ඇති ප්‍රතිඵල සලකා ඉන්දීය ගොවි ජනතාව වෙත මෙම නැනෝ පොහොර සැපයීමේ යාන්ත්‍රණයක් දැන් අරඹා තිබේ. ශ්‍රී ලංකාව ට ද එහි වාසි අත්පත් කරගැනීමට අවස්ථාවක් ඇත.

රසායනික පොහොර සම්බන්ධ මතවාදයක් දීර්ඝ කාලයක් තිස්සේ රට තුළ පවතී. වස විස නැති ගොවිතැන ගැන ඉහළම අවධානයක් තිබේ. රසායනික පොහොර භාවිතය නතර කිරීම සම්බන්ධ ආන්දෝලනය ද එහි ප්‍රතිඵලයකි. අනාගත පරපුර නිදුක් නිරෝගී පිරිසක් බවට පත් කරන අධ්‍යාශයක් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට ඇත. එහි ලා ගන්නා ක්‍රියාමාර්ග කෙරෙහි සැකයක්, අවිශ්වාසයක් පවතින බව පෙනෙන අතර සම්ප්‍රදායෙන් පිටට පැන අලු‍ත් ව්‍යුහයකට ඇතුළුවීම පහසු නැති බව දැක්විය යුතුය. දැනට භාවිතා කරන රසායනික පොහොර හා ඒවායේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව පැන නැගී ඇති ගැටලු සලකා බලනවිට නැනෝ තාක්ෂණයෙන් නිපදවන පොහොර අඟනා අවස්ථාවක් විය හැකිය.

කෘෂිකර්මයෙහි ප්‍රබෝධයක් අරමුණු කරගෙන අලු‍ත් අත්දැකීම් සොයා යා යුතුය. පද්ම ශ්‍රී සම්මානය ලැබූ ඉන්දීය ගොවියෝ නැනෝ පොහොර ගැන දක්වන අදහස් නවීන සන්නිවේදන ක්‍රමවලින් රටට ලබා ගැනීමට වැඩ පිළිවෙළක් සැකසිය යුතුය. අලු‍ත් ක්‍රම ගැන ගොවියන් අතර තොරතුරු සන්නිවේදනයට අවස්ථාව ඇතිකිරීම ඉතාම වැදගත්ය.

(***)


මිලින්ද මොරගොඩ
www.milindaprahna.wordpress.com