අමෙරිකාවේ වොෂිංටන්හි දී මේ මස 12 වැනි දා පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී ශ්‍රී ලංකාව විසින් ණය ලබා ගැනීමට එකඟවෙන ලද කොන්දේසි ක්‍රියාත්මක කර ඇති ආකාරය පිළිබඳව සමාලෝචනයක යෙදීමට නියමිතව තිබිණි. පළමුවැනි සමාලෝචනය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී පැවැත්වුණු අතර මෙය ඒ සම්බන්ධ දෙවැනි සමාලෝචනය විය. ණය මුදලේ වාරික දෙකක් දැනට ශ්‍රී ලංකාවට ලබා දී ඇති අතර තුන්වන වාරිකය ලබාදීම පිළිබඳව තීරණය කිරීමට නියමිතව තිබුණේ ද එම රැස්වීමේදී ය.
කෙසේ වුවද එම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබූ දිනයට, දින කිහිපයකට පෙර ජුනි 10 වැනිදා වෙරිටේ රිසර්ච් (Verité Research) ආයතනය සුපුරුදු පරිදිම වාර්තාවක් ප්‍රකාශයට පත් කළේය. මැයි මස අවසන් වනවිට ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉටුකරන බවට පොරොන්දු වූ කරුණුවලින් සියයට 25ක්ම ඉටුකර නැතැයි එම වාර්තාවෙන් ප්‍රකාශ විය. ශ්‍රී ලංකාව විසින් එම කාලය තුළ කරුණු 63ක් ඉටු කළ යුතුව තිබුණ ද එයින් සම්පූර්ණ කර ඇත්තේ කරුණු 32ක් පමණක් බව ද එහි සඳහන් විය. කරුණු 16ක් ඉටු කර නැත. කරුණු 15ක් පිළිබඳව තොරතුරු දැන ගැනීමට නොමැතිය. ඒ අනුව මුළු එකඟතාවලින් සියයට 25ක් පමණක් ශ්‍රී ලංකාව විසින් ඉටුකර ඇති බව එම වාර්තා වේ සඳහන් විය.
මෙම වාර්තාව බොහෝ මාධ්‍යවල පළවිය. එකඟතාවලින් 16ක් ඉටුකර නැති අතර 15ක් පිළිබඳව තොරතුරු නොදනී. ඒ අනුව එම ආයතනය ශ්‍රී ලංකාව ඉටුකර ඇති එකඟතා 32ක් බව ප්‍රකාශ කරද්දී තොරතුරු නොදන්නා හා ඉටු කර නැති එකඟතා ගණන ද 31ක් බව ප්‍රකාශ කර ඇත. දෙවැනි සමාලෝචනය අත ළඟ තිබිය දී මෙවැනි ප්‍රකාශයක් ලැබෙන විට මාධ්‍යය ද එයට ප්‍රමුඛතාවක් දී පළ කළ අතර, එය කිය වූ බොහෝ දෙනකුට කම්පනයක් ඇති වූ බවද, මෙවැනි තොරතුරු පතුරුවා හැරIMF ගිවිසුම බිඳ වැටෙනු දැකීමට සතුටුව සිටින පිරිසට ප්‍රීතියක් ද ඇති වූ බවද සිතිය හැක.
කෙසේ වුවද නියමිත පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචන රැස්වීම පැවැත්විණ. එහිදී ශ්‍රී ලංකාව විසින් ගිවිසුම ක්‍රියාත්මක කර ඇති ආකාරය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලැබුණු අතර තුන්වැනි ණය වාරිකය ලබාදීම ද අනුමත කළේය. වෙරිටේ රිසර්ච් ආයතනයේ වාර්තාවේ සඳහන් ආකාරයට ශ්‍රී ලංකාව විසින් ඉටුකර නැති කරුණු තුන් වර්ගයක් වේ. මූල්‍ය කළමනාකරණය පිළිබඳ එකඟතා 07ක් ඉටුකර නැත. මූල්‍ය විනිවිදභාවය පිළිබඳ කරුණු 06ක් ද, දූෂණ විරෝධය පිළිබඳ කරුණු 03ක් ද, ඉටුකර නැත. කෙසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ප්‍රගතිය අනුමත කරමින් නිකුත් කළ වාර්තාවේ මේ කිසිවක් සඳහන් නොවේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිත පීටර් බෲවර්, එහි නියෝජ්‍ය ප්‍රධානී Katsiaryna Svirydzenka, නේවාසික නියෝජිත සර්වත් ජහාන් යන අයගේ සහභාගීත්වයෙන් පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ද ශ්‍රී ලංකාව සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථාවරය පැහැදිලි කරන ලදී. බෲවර් එහිදී ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාව ශ්‍රී ලංකාවේ දෙවැනි ප්‍රගති සමාලෝචනය නිම කළ අතර වහාම ඩොලර් මිලියන 336ක ණය වාරිකය ලබා දීමට ද තීරණය කර ඇති බවයි. “IMF විධායක මණ්ඩලයේ අනුමැතිය ලබාදීමෙන් මෙම වැඩසටහනේ ඉහළ ප්‍රගතිය IMF විසින් පිළිගෙන ඇත. සමාජ වියදම් පිළිබඳ ඉලක්ක සම්බන්ධයෙන් දක්නට ලැබෙන අඩුපාඩුව හැරුණු විට සියලුම පාලකයන් ඉලක්ක ප්‍රමාණාත්මකව සම්පූර්ණ කර තිබේ.’’
බෲවර් තවදුරටත් ප්‍රකාශ කළේ “ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්තිමය වෙනස්කම් ඵල දරමින් තිබේ. ආර්ථිකය යථාතත්වයට පත්වෙමින් පවතී. උද්ධමනය පහළ මට්ටමට පැමිණ ඇත. ආදායම් එකතු කිරීම වර්ධනය වෙමින් පවතී. සංචිත එක්රැස් කිරීම අඛණ්ඩව සිදුවේ. 2023 දෙවැනි කාර්තුවේ දී දළ දේශීය නිෂ්පාදිතය සියයට 3කින් ඉහළ ගියේය. 2024 මැයි මාසය උද්ධමනය සියයට 0.9ක් විය. දළ ජාත්‍යන්තර සංචිතය ඩොලර් බිලියන 5.5 දක්වා මේ වසරේ අප්‍රේල් මාසයේ අවසානයේ දී ඉහළ ගියේය. ප්‍රාථමික ශේෂය අතිරික්තයක් බවට පත්විය. 2023 දී බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9.8 දක්වා ඉහළ ගියේය.” මේ ශ්‍රී ලංකාව විසින් පසුගිය කාලයේ දී අත්කර ගෙන ඇති ආර්ථික ප්‍රගතිය පිළිබඳව බෲවර්ගේම වචනවලින් මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ වූ ආකාරයයි.
ශ්‍රී ලංකාව මෙම කෙටි කාලය තුළ දී අත්කර ගෙන ඇති ආර්ථික ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එසේ අගය කරනු ලබද්දී මේ වසරේ රටේ ආර්ථිකයේ සිදුව ඇති වෙනස්කම් පිළිබඳ තවත් වාර්තාවක් ද එළි දක්වා තිබුණි. ජන හා සංඛ්‍ය ලේඛන දෙපාර්තමේන්තුව විසින් පළකරන ලද 2024 වසරේ පළමු කාර්තුවට අදාළ ජාතික නිෂ්පාදිතය සම්බන්ධ තොරතුරු වාර්තාවයි. ඒ ඒ අනුව රටේ ආර්ථික වර්ධනය 2024 වසරේ පළමු කාර්තුවේ දී සියයට 5.3ක් විය. එම වාර්තාවට අනුව කෘෂිකර්මාන්තය, කර්මාන්ත හා සේවා යන අංශ තුනේම වර්ධනයක් පෙන්නුම් කරන අතර පසුගිය කාර්තුවල දී මෙන් හැකිලීමක් පෙන්නුම් නොකරයි. ප්‍රථම කාර්තුවේ වර්ධනය සියයට 5කට වඩා ඉහළ මට්ටමක පැවැතීම ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ තත්වයක් ලෙස හැඳින්විය හැකිය. 2023 වසරේ ආර්ථික වර්ධන වේගය ඍණ 2.3 ක් විය. එවැනි තත්වයක් තුළ මේ වසරේ පළමු කාර්තුවේ දී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කිරීම ආර්ථිකය සම්බන්ධයෙන් ඉතා හොඳ තත්වයකි. ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කරනු ලැබ ඇත්තේ මේ වසරේ ආර්ථිකයේ සියයට 2.2ක වර්ධනයක් ඇතිවිය හැකි බවයි.
2022 වසරේ දී රට මුහුණ දුන් ආර්ථික අර්බුදය හා සසදන විට අද සිදුව තිබෙන ආර්ථික පෙරළිය විශ්මය ජනක එකක් ලෙස සැලකිය හැකිය. පසුගිය සතියේ හලාවත කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසලේ උත්සවයකට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ බංකොළොත්භාවය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කළේය. එනම්, ලබන සතියේ පැවැත්වෙන ණය දෙන රටවල කමිටු රැස්වීමෙන් පසුව රට බංකොළොත්භාවයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වීමට හැකියාව ලැබෙන්නේය යන්නයි. වසර දෙකක් යෑමට පෙර මෙම තත්වය උදාකර ගැනීමට හැකිවීම පිළිබඳව ආඩම්බර වන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
බංකොළොත්භාවයට පත් වූ රටවල් අතරින් ශ්‍රී ලංකාව තරම් ඉතා කඩිනමින් යථා තත්වයට පත් වූ රටක් ලොව නැති තරම්ය. බොහෝ රටවලට සිදුව තිබුණේ ආර්ථික අර්බුදවලින් ගොඩ ඒමට ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසංස්කරණ අඩපණ වන තත්වයක් ඇති වී අර්බුදය බොහෝ කලක් පැවැතීමය. ශ්‍රී ලංකාවේ මහජනතාවට 2022 පැවැති ආර්ථික අර්බුදයකට නැවත මුහුණ දීමට අවශ්‍යතාවක් දැන් නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිත බෲවර් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇති නමුත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් අවදානමකට ලක්විය හැකි මට්ටමක පවතින බවයි. මැතිවරණ කාලය තුළ ආර්ථික අර්බුදයේ තත්වය පිළිබඳ විමසූ ප්‍රශ්නයකට ඔහු පිළිතුරු දුන්නේ මැතිවරණය හේතුවෙන් ණය වැඩසටහනේ ප්‍රමාදවීම් ඇතිවීමට ඉඩ තිබෙන බවය. පසුගිය සතියේ මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේ ආර්ථිය කළමනාකරණය කිරීමේ දුෂ්කර කාර්යය සාර්ථක වී ඇති බවත්, මීට වඩා එය කළමනාකරණය කිරීමේ වෙනත් මාර්ගයක් නොමැති බවත්ය. මේ අවස්ථාවේ දී සියලු දෙනාම එකතු වී රට යළිත් වරක් අවදානමකට ලක් නොකර ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාව පිළිගත යුතුව ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.
මේ දිනවල දේශපාලන උණුසුම ඉහළ යනවිට තම පාක්ෂිකයන් සතුටු කිරීම සඳහා ඕනෑම ප්‍රකාශයක් කිරීමට දේශපාලන නායකයන්ට හැකියාවක් ඇත. මේ රජය විසින් අත්සන් කරන ලද කිසිම ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමට තමන් බැඳී නැති බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබේ. අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතා වැල් පාලමේ මගක් ගොස් ඇති බැවින් ඉදිරියේදීත් එම ගමන සම්පූර්ණ කිරීම හැර වෙනත් විකල්පයක් නැති බවයි.
බදු වැඩි කිරීම, භාණ්ඩ හා සේවා මිල ඉහළයාම ආදී තත්වය තුළ බොහෝ දෙනකු ඒ ඒ අවස්ථාවල දී රජය විවේචනය කළ බවද විරෝධතා දැක් වූ බවද සත්‍යයකි. එසේ වුවද අද සෑම නායකයකුම කරන ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ රටේ ආර්ථික අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අනුගමනය කරන ලද පිළිවෙත හැර වෙනත් විකල්පයක් නැතිය යන්නයි. ඉදිරියේදී සිදුවන සුළු හෝ වෙනසක් තුළ සියල්ල කණපිට පෙරළී යා හැකි බව අප මතක තබාගත යුතුව ඇත. කිසිවකුටත් නැවත වරක් ඉන්ධන හෝ ගෑස් පෝලිම්වල සිටීමටවත්, විදුලිය නැතිව ජීවත් වීමටවත් අවශ්‍ය නැතිය යන්න සියලු දේශපාලන නායකයන් සිහිතබා ගත යුතුව ඇත.
(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර