වස් විසීමේ පුණ්‍යවන්ත සිරිතේ වගතුග


සිද්ධාර්ථ ගෞතම තථාගතයන් වහන්සේ තරම් මහජන මතයට ගරු කළ, තත්කාලීන යහපත් සමාජ පිළිගැනීම් සඳහා නම්‍යශීලීවූ  වෙනත්  ශාස්තෘවරයකු පිළිබඳව ඉතිහාසයෙන් අනාවරණය නොවේ. එමෙන්ම තම ශ්‍රාවක ශ්‍රාවිකාවන් පිළිබඳ සානුකම්පිතව ක්‍රියා කළ වෙනත් ආගමික කර්තෘවරයකු පිළිබඳවද සිතිය නොහැකි තරම්ය.

උන් වහන්සේ තරම් ප්‍රජාතාන්ත්‍රියව සිතාමතා ක්‍රියා කළ වෙනත් ආගමික නායකයන් වහන්සේ නමක පිළිබඳව ද ආගමික නායකයන් පිළිබඳව වූ ඉතිහාසයෙන් අනාවරණය නොවේ. මේ අනුව බුද්ධශ්‍රාවකයන් ආගමික වශයෙන් අත්විඳින ආගමික නිදහස අසාමාන්‍ය වූවකි. එනිසාම වෙනත් ආගමික බලපෑම්වලට ද ඇතැම් විට ලක්විණි.  බෞද්ධයන් අවිචාරශීලිව ක්‍රියාකරන අවස්ථාද සුලභය. අදට යෙදී ඇති ඇසළ පුර පොහොය දිනයෙහි සිදු කෙරෙන ඉතා වැදගත් ආගමික චාරිත්‍ර ධර්මයක්, මහා පින්කමක්ද වන වස්විසීමට අදාළ වූ වස්සූපනායික ශික්‍ෂා පදය පැනවීමද තථාගතයන් වහන්සේගේ එම මහජන මතයට ගරු කිරීමේ උතුම් ගුණය ප්‍රකට වන අවස්ථාවකි. බුදුරජාණන් වහන්සේගේ පහළවීම සිදු වූ භාරතයෙහි තත්කාලීනව ආගමික ඉගැන්වීම් දෙසැටක් පමණ වූ බව ශාසන ඉතිහාසය මගින් අනාවරණය කරනු ලැබේ. මෙම ආගම් හා ඉගැන්වීම් අතර සුවිශේෂී ඉගැන්වීමක් වූ බුදු දහම මූලික වශයෙන්ම තරුණ පිරිසක් ඒකරාශි කොට ගෙන ව්‍යාප්ත වූවකි. සාම්ප්‍රදායික වෙනත් ඉගැන්වීම් අතර බුද්ධ ධර්මය නව මගක් ගත් දහමක් විය.

ඒ අනුව තම ශ්‍රාවකයන්ගේ අවබෝධය, හික්මීම, ශාන්තභාවය, කෙලෙස් මල දුරු කිරීම පිණිස තම ධර්මය දේශනා කරන බව පමණක් නොව “පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බාය ධම්මං දේසේති” යනුවෙන් සියලු‍ කෙලෙස් මලින් පිරිනිවුන පරම සංසිඳීමේ සුවය ළඟා කරගැනීම සඳහා තථාගතයන් වහන්සේ තම ධර්මය දේශනා කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ  මෙම අනුශාසනාවට අනුව ක්‍රියාකළ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ තම පැවිද්දෙහි උපරිම පරමාර්ථ සාධනය සඳහා ඉතා දිරිමත්ව ක්‍රියා කළහ. එහිදී උන්වහන්සේ අව් වැසි ශීතෝෂ්ණ නොසලකමින් ක්‍රියා කළහ. කිසිදු දේශගුණික බලපෑමක්ද මායිම් නොකොට චාරිකාවෙහි හැසිරුණහ. බුදු දහම පහළවීමෙන් එළැඹි මුල් කාලපරිච්ඡේදය වන මෙම වකවානුවෙහි පැවති විවිධ ආගමික මතවාද පිළිබඳව අපි මුලින් සඳහන් කළෙමු. මෙම ඉගැන්වීම් බහුල වශයෙන්ම  නිර්මාණවාදී ඉගැන්වීම් වූ අතර ඇතැම් ඉගැන්වීම් කර්මවාදී මෙන්ම පරම අවිහිංසාවාදී ඉගැන්වීම් විය. තත්කාලීන භාරතීය ජනතාව මෙම විවිධ ආගමික මතවාද නිසා ද දැඩි පීඩනයකට ලක්ව සිටියහ. ගිම්හාන සෘතුවේ ඇතිවන දැඩි නියඟය ආදී විවිධ පාරිසරික පීඩාවන්ගෙන් ද මහත් සේ පීඩාවට ලක්වූහ. වර්තමාන ඉන්දීය සමාජයේ ද මේ තත්වය අඩුවැඩි වශයෙන් පවත්නා බව බොහෝ දෙනා දන්නා කරුණකි.

වස්සාන සමය එළැඹෙත්ම දැඩි නියඟය ආදී පීඩාවන්ගෙන් මිදී ගස් වැල් තෘණලතාදිය මතු නොව සතාසීපාවන් ද කිසියම් ප්‍රබෝධයකට පත් වීම ආරම්භ කෙරෙයි. කෙසේ නමුත් භාරතයෙහි මෙම වර්ෂා සමය ද එක්තරා ප්‍රමාණයකට පීඩාකාරී කාලයක් විය. තම වාසස්ථාන තුළ ම රැඳී සිටීම හැර මෙම කාලවකවානුවෙහි වෙනත් කළ හැක්කක් නොමැත. එහෙත් බුද්ධශ්‍රාවකයන් වහන්සේ තථාගතයන් වහන්සේගේ අනුශාසනය අනුව වර්ෂා සමයෙහි ද ක්‍රියාත්මක සංචරණ සීමාවන් ද නොතකා චාරිකාවේ හැසිරෙමින් තම පරමාර්ථ සාධනයෙහි නියැළුණහ. තත්කාලීනව මහත් පිළිගැනීමකට ලක්ව තිබූ නිගන්ඨනාථපුත්ත හෙවත් ජෛන මහාවීරතුමාගේ ඉගැන්වීම් බුදු දහමට ද කිසියම් ප්‍රමාණයකින් බලපා ඇති බවද  ප්‍රකට ය. මේ අනුව එතුමාගේ පරම අවිහිංසාවාදී  ඉගැන්වීම් අනුව තෘණලතාදියෙහි පවා ඒකීන්ද්‍රිය ප්‍රාණයක් ඇති බව පිළිගැනිණි. ඒ අනුව ඒවා කැඩීම, කැපීම, පෑගීම, විනාශ කිරීම් ආදියෙන් ප්‍රාණඝාත අකුසලය සිදුවන බව ප්‍රකාශිතව තිබුණි. ජෛන ශ්‍රාවකයන්ගේ මෙම ආගමික පිළිගැනීම බුද්ධ ශ්‍රාවකයන්ගේ වස්සාන චාරිකාවන් සඳහා බලවත් බාධාවක් විය. එසේම උන්වහන්සේ මහජනතාවගේ දැඩි දෝෂදර්ශනයට ද ලක්වූහ. බුද්ධ ශ්‍රාවකයන් වහන්සේට දොස් පවරමින් විවේචනය කරමින් විරෝධය පළ කරමින් ඔවුන් ප්‍රකාශ කරන ලද්දේ වැසි කාලයෙහි කුරුල්ලන් පවා කූඩු තනා ඒවායේ  වාසය කරන අතර සාක්‍යපුත්‍රීය aචාරිකාවේ හැසිරීම විනය විරෝධී ක්‍රියාවක් බවයි. පරිසරයට හානිකර වූ සමාජ විරෝධී ක්‍රියාවක නිරතවන බවට තම ශ්‍රාවකයන් වහන්සේට එරෙහිව සමාජය මතින් පැනනැගුණ තත්කාලීන ජනමතය පිළිබඳව බුදුරජාණන් වහන්සේ තම දැඩි අවධානය යොමු කළහ. භික්‍ෂුන් වහන්සේ වහා කැඳවා ලූහ. එසේ කැඳවන ලද භික්‍ෂුන් ඇමතූ තථාගතයන් වහන්සේ “අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං” “මහණෙනි වස්සාන සෘතුවෙහි වස් එළැඹ එක් තැනක රැඳී සිටීම අනුදනිමි” යි වස්සූපනායික ශික්‍ෂාපදය නම් වූ විනය නීතිය පැනවූ බව මහාවග්ග පාලියෙහි වස්සූප නායික ඛන්ධකයෙහි සඳහන් වේ.

මෙම විනය ප්‍රඥප්තියට අනුව උපසම්පදා භික්‍ෂුන් වහන්සේ අනිවාර්යයෙන්ම වස් ශික්‍ෂා පදය සමාදන් විය යුතුය. මෙය ඉක්මවීම කිසියම් ආපත්තියක් සඳහාද හේතුවේ. දායක දායිකාවන්ගේ ආරාධනයක් ඇතත් නැතත් භික්ෂුවක විසින් කිසියම් ස්ථානයක වස්විසීමේ උතුම් චාරිත්‍රය ආරම්භ වී වසර 2600ද  ඉක්මවා ගොස් ඇත. තත්කාලීන භාරතයෙහි කාලගුණික සහ සමාජමය අවශ්‍යතා මත ආරම්භවන මෙම උතුම් චාරිත්‍ර ධර්මය භික්‍ෂුන් වහන්සේ තම අධිගමයන් සඳහා වඩාත් උත්සුක වූ කාල සීමාවක් ලෙසද සඳහන් කළ හැකිය. වස්විසීම් පිළිබඳ අවස්ථා දෙකක් අපේ ත්‍රිපිටක ධර්මයෙහි සඳහන්ව ඇත. පෙර වස් විසීම, පසු වස් විසීම යනුවෙන් එය නම් කර තිබේ. ඇසළ පොහෝ දිනයට පසු දින වස් එළැඹීම පෙරවස් සමාදන් වීම ලෙසත් නිකිණි පුර පොහෝ දිනයට පසු දින වස් විසීම පසු වස් විසීම ලෙසත් සඳහන් වේ. මේ සඳහා අවස්ථා දෙකක් ලබා දී තිබීම තුළින්ම මෙම උතුම් කාර්යයෙහි අනිවාර්ය බව මෙන්ම අවශ්‍යතාව ද මැනවින් වටහාගත හැකිව ඇත. මේ අනුව උපසපන් භික්ෂුන් වහන්සේගේ වස් විසීමේ චාරිත්‍රය බුද්ධ නියමයක් ඉටු කිරීමක්  වන අතරම  විනය ශික්‍ෂා පදයක් ආරක්ෂා කිරීමක් ද වන්නේය. නියමිත දිනයෙහි පොහෝ පවුරුණු කටයුතු සම්පූර්ණ කරන භික්‍ෂුන් වහන්සේ තමන් වහන්සේ තීරණය කරගත් ස්ථානයෙහි අදාළ දිනයේදී “ඉමස්මිං ආරාමේ ඉමං තේමාසං වස්සං උපේමි ඉධවස්සං උපේමි ” යනුවෙන් තෙවරක් වාචිකව ප්‍රකාශ කොට වස් අධිෂ්ඨාන කිරීම සිදු කරනු ලැබේ. වස් විසූ භික්ෂුව එම ස්ථානයෙන් බැහැරව යාමේදී සතිකරණගෙන් යුතුව බැහැර විය යුතු අතර ඉන් අදහස් කරනුයේ අනිවාර්යයෙන්ම නැවත එම ස්ථානයට පැමිණෙන්නෙමියි යන අදහසය. එදින පැමිණීමේ නොහැකියාවක් වේ නම් සතියක් ඇතුළත පැමිණෙමියි අධිෂ්ඨානශීලීව පිටත්වීම සත්තාහකරණය යනුවෙන් දක්වා ඇත.

මිහින්තලයෙහි අටසැටලෙන්හි භික්‍ෂුන් වහන්සේ වස්වසා වැඩසිටි බව අපේ වංශකතා මගින් අනාවරණය කරනු ලැබේ. එදා නවමු දහමක් ලෙස බුදුසමය පිළිගෙන වැළඳගත් අපේ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව ප්‍රබෝධවත් මනසකින් යුතුව අද දක්වාම ඇසළ පුන් පොහෝ දිනයෙහි දැහැත් ගොටු සහ වැසි සළු පිළිගන්වා වස් ආරාධනා කිරීම සිදු කරනු ලැබේ. ලක්දිව නාගරික ප්‍රදේශවල පමණක් නොව ඈත ගම්දනව් දක්වා සෑම විහාරස්ථානයකම අපේ භික්ෂු මහා සංඝරත්නය මහත් කැප වීමෙන් සිදු කරනු ලබන මෙම උතුම් චාරිත්‍ර ධර්මය මුළු මහත් ථෙරවාදී බෞද්ධ ලෝකය පුරාම අනුගමනය කරනු ලබන්නකි. අප රටෙහි භික්‍ෂුන් වහන්සේ අතර අරිට්ඨ මහරහතන් වහන්සේගෙන් ඇරැඹෙන මෙම උතුම් පින්කම සඳහා නතු වූවෝ සාමාන්‍ය ජනතාව පමණක්ම නොවේ. රාජ රාජ මහාමාත්‍යාදීන්ද මහත් ගෞරවයෙන් යුතුව මෙම පින්කමෙහි නියැළුණු අයුරු අපේ ශාසන ඉතිහාසය මගින් මනාව වාර්තා කොට ඇත. ඇතැම්විට  විහාරස්ථානවලින් පරිබාහිරව තම පෞද්ගලික නිවාසවල ද භික්‍ෂුන් වහන්සේ වස් වස්වා ගැනීම සඳහා අපේ බෞද්ධ ජනතාව ඉතා කැමැත්තෙන් ක්‍රියා කොට ඇති බවද ප්‍රකට කරුණකි.

ඇසළ පුරපොහෝ  දිනය වූ අද දිනය වස් ආරාධනා කිරීමේ උතුම් පොහෝ දිනය වන්නේ මතු නොව බුද්ධ චරිතයෙහි සහ ශාසන ඉතිහාසයෙහි ඉතා වැදගත් සිදුවීම් රාශියක්ද සිදු වූ දිනයකි. විශේෂයෙන්ම අද දිනය තථාගත ධර්මය ලොවට දායාද වූ දිනය ද වන්නේය. එනම් බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය සිදුකෙරුණු උතුම් දිනයයි. එමෙන්ම සිදුහත් කුමරු මවු කුස පිළිසිඳ ගැනීම, මහාභිනිෂ්ක්‍රමණය, මාතෘ දිව්‍ය රාජයාට විජම්බණ දෙසීම, රාහුල කුමරුගේ උපත සහ යමාමහ පෙළහර පෑම ආදී සිදුවීම් ද, ඇසළ පුන් පොහෝ දිනයෙහි සිදු වී ඇති බුද්ධ චරිතය හා සම්බන්ධ සිදුවීම් කිහිපයකි. ප්‍රථම ධර්ම සංගායනාවේ ආරම්භය, ප්‍රථම ශ්‍රී ලාංකික සිංහල භික්ෂුවගේ පැවිදි උපසම්පදාව, දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලි මහ සෑරදුන් තැනවීම සඳහා වැඩ ඇරැඹීම, සියම් දේශයෙන් වැඩමවන ලද පවර උපාලි මහ තෙරුන් ප්‍රධාන භික්‍ෂුන් වහන්සේ විසින් ලක්දිව නැවත උපසම්පදාව පිහිටුවීම ආදී ශාසන ඉතිහාසයෙහි වැදගත් සිදුවීම් රාශියක් සිදුව ඇති අද දිනයෙහි පහන් සිතින් යුතුව පුණ්‍ය ධර්මයේ යෙදී චතුරාර්ය සත්‍යාවබෝධය සඳහා උත්සුක විය යුතුව ඇත.

(***)