කොරෝනා-19 මර්දන සටනට උරදී සිටින ජනපති ගෝඨාභය මහතා බහුතරයක් ශ්‍රී ලංකා ජනතාවගේ පමණක් නොව කොළඹ සිටින රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවගේද ප්‍රසාදය දිනාගෙන සිටී. එවන් තත්ත්වයක් තිබියදී මැතිවරණ කොමිසම අනතුරු අඟවා තිබෙන ව්‍යවස්ථා අර්බුදය සම්බන්ධයෙන් කරදරයට පත්ව ඇති සෙයක් ජනාධිපතිවරයාගෙන් දැකගත නොහැක.
ව්‍යවස්ථාව අනුව තමා කටයුතු කර තිබෙන බව අවධාරණය කළ ඔහු එය මැතිවරණ කොමිසමට අදාළ කාරණයක් බව ද පැවසුවේය.
ව්‍යවස්ථාමය කාරණා සම්බන්ධයෙන් ජේ්‍යෂ්ඨ නීතිඥවරුන්ගේ කණ්ඩායමක් ඔහුට උපදෙස් දෙමින් සිටී. ජනපති නීතිඥ රොමේෂ් ද සිල්වා, ජනපති නීතිඥ ගාමිණී මාරපන, ජනපති නීතිඥ මනෝහර ද සිල්වා, සහ මහාචාර්ය ජී.එල්.පීරිස් යන මහත්වරු එම කණ්ඩායමේ සිටින කිහිප දෙනෙකි.
සිය විශේෂ දූතයා වන බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදීද ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රසාදයට ලක්විය. ප්‍රංශය, නෝර්වේ, ජර්මනිය, ඉතාලිය සහ ස්විට්සර්ලන්තය යන රටවල නියෝජිතයෝ මෙම රැස්වීමට සහභාගීව සිටියහ. කෝවිඞ්-19 මර්දනය කිරීමට ශ්‍රී ලංකාව ගෙන තිබෙන පියවර ඉතාම ප්‍රශස්ථ බව සදහන් කළ ඔවුහු තමන්ටද ඒවායින් උගත හැකි දේ තිබෙන බව පැවසූහ.
මැතිවරණ කොමසාරිස්වරයාගේ ලිපියට සිය ලේකම්වරයා හරහා ජනපති රාජපක්ෂ මහතා පිළිතුරු දුන්නේය. අප්‍රේල් 6 දාතමින් එසේ යැවුණු ලිපිය මෙසේය.
මහින්ද දේශප්‍රිය මහතා,
සභාපති,
ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම,
සරණ මාවත,
රාජගිරිය.
2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැදවන දිනය
2020-03-31 සහ 2020-04-01 දිනැති ඔබේ ලිපි මා වෙත ලැබී තිබේ.
ජනරජයේ ජනපතිතුමාගේ නිල කාර්යයන් අරභයා මැතිවරණ කොමිසම විසින් අතිගරු ජනපතිතුමාගේ අවධානයට පිණිස එවනු ලැබූ ලිපි මගේ කාර්යාලයට පැමිණීමට පෙර ජනමාධ්‍යයට නිකුත් කර තිබීමත්, එකී ලිපි තවත් අයට පිටපත් කොට තිබීමත් ගැන මම මවිතයට පත්වීමි.
පහත දැක්වෙන තතු ලුහුඬින් සදහන් කිරීම සුදුසුය.
1. 2020.03.02 දිනැති අංක 2165/8 දරණ ගැසට් ප්‍රකාශනයෙන් 2020.03.02 දින මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාර්ලිමේන්තුව 2020.05.14 දිනට කැඳවනු ලැබීය.
2. එකී ප්‍රකාශනයෙන් නව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ ඡන්ද විමසීම සඳහා දිනය 2020.04.25 ලෙස නියම කෙරිණ.
3. ඉන් අනතුරුව,
(අ) දේශපාලන පක්ෂ ගණනාවක ලේකම්වරු මැතිවරණයට තරග කිරීමේ සිය අභිලාෂය පළ කළහ.,
(ආ) පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ගණනාවක් පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 15 වැනි ඡේදය ප්‍රකාර පාර්ලිමේන්තුවට තේරා පත්වීමට අදහස් කරන අපේක්ෂකයන්ගේ නම් ඇතුළත් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළහ,
(ඇ) එකී අපේක්ෂකයන්ගේ ලිඛිත අනුමැතිය ද දෙන ලදී.,
(ඈ) පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 16 සහ 17 ඡේද ප්‍රකාර නියමිත පරිදි ඇප මුදල් තැන්පත් කරන ලදී.
අදාළ තත්ත්වයන් යටතේ ස්වාධීන අපේක්ෂකයෝ ගණනාවක් සහ පිළිගත් දේශපාලන පක්ෂ ගණනාවක්
(අ) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය .,
(ආ) මැතිවරණ දිනය නියම කිරීමේ නියෝගය.,
(ඇ) නාම යෝජනා පත්‍ර භාර ගැනිමේ දිනය සහ
(ඈ) අදාළ තේරීම්භාර නිලධාරීන් වෙත නාම යෝජනා පත්‍ර භාරදීම
පිළිගෙන යථා පරිදි ක්‍රියා කළහ.
පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 ඡේදය ප්‍රකාර 24(1) ඡේදයේ ඒ සිට ඩී දක්වා අනු ඡේදවල ඇතුළත් කරුණු සුවිශේෂ කොට දක්වමින් මැතිවරණ කොමිසම විසින් ගැසට් ලේඛනය මගින් නිවේදනයක් පළ කළයුතුව තිබිණ.
2020.03.20 දිනැති අංක 2167/12 ගැසට් ලේඛනයෙන් 24(1) ඡේදයේ ඒ සහ සී අනු ඡේදවල ඇතුළත් කරුණු පමණක්, එනම් සෑම මැතිවරණ දිස්ත්‍රික්කයකම 2020 අප්‍රේල් 25 දින උදේ 7.00 සිට සවස 4.00 දක්වා ඡන්ද විමසීම සිදුකෙරෙන බව සහ ඡන්ද විමසීම පැවැත්වෙන මැතිවරණ දිස්ත්‍රික්ක සඳහන් කරමින් නිවේදනයක් ප්‍රසිද්ධ කළ බව දක්නට ඇත.
ඉන් අනතුරුව මැතිවරණ කොමිසම නිකුත් කළ 2020.03.21 දිනැති අංක 2167/19 ගැසට් ලේඛනයෙන් 2020.04.25 දින ඡන්ද විමසීම සිදු කළ නොහැකි බවත්, 2020.04.30 දින සිට දවස් 14කට පසු එළැඹෙන දිනයක් ඡන්ද විමසන දිනය ලෙස නම් කරන බවත් ප්‍රකාශ කරන ලදී.
2020.04.25 දින ඡන්ද විමසීම කළ නොහැකිනම් 24(03) ඡේදය යටතේ නිකුත් කළ ගැසට් ප්‍රකාශනයේ ඡන්ද විමසීම කළ හැකි වෙනත් දිනයක් විශේෂයෙන් සඳහන් කිරීමට 24(3) ඡේදයේ විධිවිධාන යටතේ කොමිසම බැඳී සිටින බව කණගාටුවෙන් වුවද පෙන්වා දිය යුතුව තිබේ.
එකී ඡන්ද විමසීම සිදු කරන දිනය පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) ඡේදය යටතේ ප්‍රසිද්ධ කරන ලද ගැසට් ලේඛනය නිකුත් කළ දිනට දවස් 14 කට පසුව විය යුතු බව ද සඳහන් කළ යුතුය.
අතිගරු ජනාධිපතිතුමාට ලැබී ඇති උපදෙස් අනුව 2020.05.28 දින හෝ ඊට පෙර මැතිවරණය පැවැත්වීමට නොහැකි බව ප්‍රකාශ කිරීම මේ අවස්ථාවේ කළ නොහැකිය.
ඡන්ද විමසීමේ දිනය නියම කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක් වන අතර, මැතිවරණ කොමිසමේ කාර්යයන්ට සහ වගකීම්වලට මැදිහත්වීමට අතිගරු ජනාධිපතිතුමා අදහස් නොකරයි.
කල්දැමුණු ඡන්ද විමසීම පිළිබඳ නිවේදනය කිරීමේ කාල සීමාව පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) ඡේදයේ විධිවිධාන ප්‍රකාර දවස් 14කට නොඅඩු කාලයක් බව එනම්, කල්තැබූ ඡන්ද විමසීම 15 වන දවසේ වුවද පැවැත්විය හැකි බව පෙන්වා දෙනු කැමැත්තෙමි.
ඡන්දය ප්‍රකාශ කිරීමට මේ රටේ ජනතාවට අයිතිය ඇති බවත්, එය ඔවුන්ගේ ස්වෛරි අයිතියක් බවත් මා අවධාරණය කළ යුතු නැත.
ඉහත සඳහන් කරුණු සියල්ල සම්පිණ්ඩනය කළ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු වීමේ ප්‍රශ්නය පැන නොනගින බව මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙන ලෙස මට උපදෙස් ලැබී ඇත.
පී.බී.ජයසුන්දර
ජනපති ලේකම්
ජනපති රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසමේ සභාපති දේශප්‍රිය මහතා සමග දුරකතන සංවාදයක නියැළි තිබෙන බව සන්ඬේ ටයිම්ස් පුවත්පතට දැනගත හැකිවිය. දෙදෙන පාර්ලිමේන්තු මැතිවරණය හා බැඳී තිබෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව එම තතු දැන්වූ ආරංචි මාර්ගයන් වැඩිදුරටත් දැනගන්නට ලැබිණ.
පාර්ලිමේන්තුව විසිරුවා හැරෙන බවට නිකුත් කළ ප්‍රකාශයෙන් පසුව නාමයෝජනා කැදවීමේ කටයුතු ද අවසානයක් කර තිබෙන බව ජනපතිවරයා පැහැදිලි කර ඇත. කෙසේවෙතත් මැතිවරණය කල්දමා තිබෙන්නේ මැතිවරණ කොමිසමය. පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ කිසිදු අදහසක් නොමැති බවද ජනපතිවරයා සඳහන් කර ඇත. එම බලය ඇත්තේද ඔහුටමය.
ජනපති කාර්යාලයේ අවසරය ලබාගැනීමකින් තොරව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එවූ ලිපි මාධ්‍ය වෙත නිදහස් කර තිබීම සම්බන්ධයෙන් රජයේ නායකයෝ සිටියේ කෝපයට පත්වය. ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා මැතිවරණ කොමිසමේ සභාපති දේශප්‍රිය මහතාට චෝදනා කළේ දේශපාලන කටයුතුවල නිරතවනවාය කියමිනි.
“මැතිවරණ කොමිසම නින්දෙන් අවදිවෙලා වගේ මෙන්න කියනවා, කෝවිඞ්-19 අර්බුදයත් එක්ක රටේ දුප්පත් ජනතාවට සහනාධාර බෙදාදීමේ කටයුතුවලට දේශපාලඥයින්ට හවුල්වන්නට එපාය කියා. අපි කරමින් ඉන්නේ දේශපාලනය නොවෙයි. කොරෝනා වෛරස රෝගීන් අල්ලාගෙන දේශපාලනයක් කරන්න අපිට වුවමනාවක් නැහැ. පාලක පක්ෂයේ හෝ විපක්ෂයේ හෝ සාමාජිකයන් වේවා ඒ හැමකෙනාටම මේ කටයුතු කරන්න නායකත්වයක් වුවමනායි.”
“මේක නිලධාරීන්ට විතරක් තනිවම කරන්න පුලුවන් කාරියක් නොවෙයි. මේක දේශපාලමය හවුල්වීමක් කියා මැතිවරණ කොමිසම සිතනවා නම් මැතිවරණම කොමිසමම තමයි එහෙනම් ඖෂධ බෙදා හැරිය යුත්තේ.”
“අපි මේ කරමින් සිටින්නේ සමාජ වගකීමක් ඉෂ්ට කිරීමක්. පක්ෂ භේදයක් අපේ නැහැ. මැතිවරණ කොමිසම දේශපාලනය කරන එක නැවැත්තුවොත් හොඳයි. මැතිවරණ කොමිසමේ දේශපාලනය අපට තේරෙනවා. අපි ළමයි නොවෙයි. අපි දැක්කා පහුගිය රජය කාලයේ මැතිවරණ කොමිසම කටයුතු කළ හැටි සහ රජය වෙනස් වුනායින් පසුව ඔවුන් කටයුතු කළ හැටි. දේශපාලනය කරන එක නවත්වන්නය කියා ඒ නිසා අපි මැතිවරණ කොමිසමට කියන්න කැමතියි”
වීරවංශගේ මෙම චෝදනාවට දේශප්‍රිය මහතා ඔහුගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රතිචාර දක්වා තිබිණ. වීරවංශ මහතා සෘජුව සදහන් කිරීමකින් තොරව එසේ ප්‍රතිචාර දක්වා තිබුණු ඔහු විශේෂයෙන් සදහන් කර තිබුණේ ඒ හා සමාන ස්වරයකින් සහ වාග් මාලාවකින් මැතිවරණ කොමිසමට එරෙහිව දක්වා තිබෙන අදහස්වලට පිළිතුරු දෙන්නට තමාට නොහැකි බවය. කෙසේවෙතත්, අගතියට පත්වූවන් වෙනුවෙන් සහන බෙදා දීමට දේශපාලඥයින් මැදිහත් විය නොයුතුය යැයි මැතිවරණ කොමිසම කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකළ බව දේශප්‍රිය මහතා අවධාරණය කර තිබිණ.
එය බරපතල චෝදනාවකි. එපමණක් නොව අසත්‍යයකි. කෙසේවෙතත් කොමිසම, සහන බෙදාහැරීමේ කටයුතු හරහා දේශපාලනමය වාසි සළසා ගැනීමට උත්සාහ නොකළ යුතුව ඇතැයි ප්‍රකාශ කළේ යැයි ඔහු කියා තිබිණ. එය මෙම ව්‍යසන සමයට පමණක් නොව අනෙක් සියලුම අවස්ථාවලට අදාළ වන්නකි.
කෝවිඞ්-19 මර්දන ව්‍යාපාරයට, ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවීම වළක්වාගැනීම, යන කාරණාවලට අමතරව ඉහළම අවධානයක් යොමුව තිබෙන්නේ ආර්ථිකයටය. ඇස්තමේන්තුගත අගයන් අනුව, විදේශයන්හි සේවය කරමින් සිට දැන් රැකියා අහිමිව තිබෙන ශ්‍රී ලංකා පුරවැසියන් 100,000 ක පමණ පිරිසක් සම්බන්ධයෙන් වහාම අවධානය යොමුකරන ලෙස ජනපතිවරයා උපදෙස් දී තිබේ.
විදෙස් රටවලින් පැමිණ සේවය කරන සේවකයින්ට නැවත සියරට බලා යන ලෙස කුවෙට් රාජ්‍යය දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා රජය දැනුම්වත් කර තිබේ. විදේශයන්හි සිට පැමිණ සේවය කරන සේවකයින් සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සේවා යෝජකයින්ටම භාර කිරීමට වෙනත් බටහිර ආසියානු රටවල රජයන් පියවර ගෙන ඇත. මෙම තත්ත්වය යටතේ ජනපති ගෝඨාභය මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ඉතා වැදගත් උපදෙසක් නිකුත් කර තිබෙන අතර ඒ අනුව විධිමත් මාර්ගවලින් පමණක් නොව වෙනත් අවිධිමත් මාර්ගවලින් විදෙස්ගතව එම රටවල සේවය කරමින් සිටින ශ්‍රී ලංකා ජාතිකයන්ගේ ද සුභසාධනය සම්බන්ධයෙන් එම කාර්යාංශය මින් ඉදිරියට අවධානය යොමුකරනු ඇත.
අතරමංව සිටින තවත් කොටසක් වන්නේ විදේශයන්හි අධ්‍යාපනය ලැබීමට ගොස් සිටින, විශේෂයෙන් ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල, ශ්‍රී ලංකා ශිෂ්‍ය ප්‍රජාවය. බණ්ඩාරනායක ගුවන්තොටුපල වසාදැමීම හමුවේ ලොව විවිධ ගුවන්තොටුපලවල අතරමංව සිටින ශ්‍රී ලංකා පුරවැසියන් සම්බන්ධයෙන් පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයේ දී, සාකච්ඡා විය. ඒ හා සමගම, සිය පවුල් සමග එක්ව එම සියලුදෙනා සමග නැවත මෙරටට පැමිණෙනු වස් වෙනත් රටවලට සංක්‍රමණයව ඇති ශ්‍රී ලංකා පුරවැසියන් විශාල පිරිසක් සිටීමද කැබිනට් මණ්ඩලයේ අවධානයට ලක්විය. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පෞද්ගලික අංශයේ කර්මාන්තවල සේවකයින්ට මුල්‍ය සහන ලබාදීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණ.
විදේශයන්හි සේවය කරමින් සිට නැවත මෙරටට පැමිණීම හේතුවෙන් එවැනි පුද්ගලයින්ගේ පවුල් අපේක්ෂා දල්වාගෙන සිටි ආදායම තවදුරටත් ඔවුනට හිමි නොවන බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. එපමණක් නොව ඔවුන් මෙරටට එවන විදේශ විනිමයද එතැනින් නතර වේ.
නැවත මෙරටට පැමිණීමේ වුවමනාවෙන් සිටින්නවුන්ට මුහුණදෙන්නට සිදුවන තවත් ගැටලුවක් වන්නේ ඔවුන් නිරෝධායනයට ලක්විය යුතුවීමේ අනිවාර්යය අවශ්‍යතාවයයි. දැනට පවතින නිරෝධායන මධ්‍යස්ථාන 47, නිරෝධායනයට යොමුකළ යුතුව තිබෙන පුද්ගලයින් ගණන සැළකීමේදී, ඒ සදහා ප්‍රමාණවත් නොවන බව පැවසෙන අතර නව මධ්‍යස්ථාන ඉදිකිරීම එයට විසඳුම ලෙස ගතහොත් එම මධ්‍යස්ථාන සදහා අනුයුක්ත කිරීමට තරම් වෛද්‍යවරුන් සහ වෙනත් වෛද්‍ය කාර්යමණ්ඩල පිරිස් නොමැති වීමේ ගැටලුවට මුහුණදීමටද රජයට සිදුවනු ඇත.
දැනට තිබෙන මධ්‍යස්ථානවලින් පුද්ගලයින් 4000 කට පමණ පහසුකම් සැළසිය හැකි බව සදහන් වේ. දරුවන්ට පණිවුඩ යැවීමට වුවමනා වේ නම් ඒ සදහා විදේශ කටයුතු අමාත්‍යංශය හා සම්බන්ධ වන ලෙස විදේශගත සිසුන්ගේ දෙමාපියන්ට උපදෙස් දී ඇත.
මෙම තත්ත්වයන් යටතේ දිවයින පුරා පනවා තිබෙන ඇදිරි නීතිය අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුවද පැවතීමට ඉඩ ඇත. ජනපතිවරයාගේ විශේෂ දූත සාමාජිකයන් 40 දෙනෙකුගෙන් සමන්විත කාර්යසාධන බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සන්ඬේ ටයිම්ස් හා මෙසේ අදහස් දැක්වූයේය.
“තම තමන්ගේම ආරක්ෂාව තකා මේ අලුත් අවුරුදු සමයේ දී, එකිනෙකා සමග නොගැවසෙන ලෙස අපි රටේ ජනතාවගෙන් ඉතාම බැගෑපත්ව ඉල්ලා සිටිනවා. කෝවිඞ්-19 ඉක්මනින්ම තුරන් කරගන්නට වුවමනා නම් (පවුලේ සාමාජිකයන් රැස්වන අවස්ථාවල පවා) එම ප්‍රමාණය හැකිතාක් අවම මට්ටමක පවත්වාගැනීමට වගබලා ගත යුතුයි. මේ අලුත් අවුරුදු සමයේ සියලුම අත්‍යාවශ්‍ය සේවා ඒ අයුරින්ම ක්‍රියාකාරීව පවතින බව සහතික කරන්නට අපි පියවර ගනිමින් සිටිනවා. හැකිතාක් ඉක්මනින් සියල්ල නැවත සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට තමයි අපි පළමුවත්, දෙවනුවත්, තෙවනුවත්, ප්‍රමුඛත්වය දෙන්නේ. අප කටයුතු කළ යුතුව තිබෙන්නේ පවත්නා තත්ත්වය තවදුරටත් වර්ධනයවීමට ඉඩ නොදී රටේ නැවත සාමාන්‍ය තත්ත්වය තහවුරු කරන්නටයි”
අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය අගහරුවාදා ජනතාව ඇමතුවේය. එම අවස්ථාව දිවයිනේ සියලුම රූපවාහිනී නාළිකා ඔස්සේ සජීවීව විකාශනය කැරිණ.
“අප ජීවත්වනවාද නැතහොත් මරණයට පත්වනවාද යන්න තීරණය වන්නේ කෝවිඞ්-19 වසංගතය පාලනය කිරීමට ගන්න පියවර මත” යැයි අගමැතිවරයා පැවසුවේය. පැවති රජයට ඇඟට පතට නොදැනෙන අයුරින් ප්‍රහාරයක් එල්ල කළ ඔහු වත්මන් රජයට අයවැයක් සම්මත කරගැනීමට අවස්ථාවක් නොතිබුණු බව පැවසුවේය.
“මෙය ආගමේ හෝ ජාතියේ හෝ පරිදි සම්ප්‍රදායන් පිළිපදින්නට අවස්ථාවක් නොවෙයි. මෙය රට ගැන සිතිය යුතු වේලාවක්. මේ මිනීවළ මතින් පැනයන්නට හැකිවන්නේ, මනුෂ්‍ය වර්ගයා ලෙස සාමූහිකව සිතීමෙන් පමණක් බව අප මතක තබාගත යුතුයි”
වෛද්‍ය වෘත්තිකයන්ගෙන් පසු කෝවිඞ්-19 මර්දනය කිරීමේ කටයුතුවලට ආරක්ෂක අංශ සහ පොලිසිය ලබාදෙමින් සිටින්නේ මහඟු සහයෝගයකි. හමුදා බුද්ධි අධ්‍යක්ෂ ඒකකය ආසාදිතයින් හඳුනාගැනීම, ඔවුන්ගේ සංචරනය සහ ඔවුන් හා ගැවසී ඇති පුද්ගලයින් හදුනාගැනීමේ කටයුතුවල නිතරව සිටී. මේ අරබයා පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එක්ව කටයුතු කරති.
වර්තමානයේ පවත්නා තත්ත්වය දිගටම පැවතුනතොත් සහ කෝවිඞ්-19 ආසාදිතයින් වාර්තාවීමේ ක්ෂණික ඉහළයෑමක් සිදුනොවුනහොත්, මැතිවරණය පැවැත්වීම සහ ඉන් ඔබ්බට යන කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට හැකිවන පරිදි රටේ නැවත සාමාන්‍ය වාතාවරණයක් ඇතිවේයැයි සිතිය හැකිය. ගැටලුව වන්නේ එම වාතාවරණය කොපමණ නම් කාලයක් පවතිනු ඇති ද? යන්නය.
කෙසේ වෙතත් මේ අසීරු කාලය ගෙවාදැමීමට හැකි සෑම අයුරකින් වෙහෙස වන, කෝවිඞ්-19 වසංගතය මහා පරිමානයෙන් පැතිරීමට ඉඩ නොදී මේ දක්වාම එම ඉඩකඩ අවුරාගෙන සිටින, සියලුදෙනාට ජාතියේ කෘතවේදීත්වය හිමිය. ඔව්හු ජාතික වීරයෝම වෙති.
ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය : කෝවිද ගුණසේකර