පසුගිය මාසයේ බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය විකාශනය කළ වාර්තා වැඩසටහනක් සම්බන්ධයෙන් ජර්මනියේ ඩෞෂ් වෙල රූපවාහිනිය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක දී මතු කරන ලද ප්‍රශ්නයකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු දුන්නේ ප්‍රබල තර්ක කිහිපයක් ඉදිරිපත් කරමිනි.
2019 අප්‍රේල් 21 වැනිදාට යෙදී තිබුණු පාස්කු ඉරිදා දිනයේදී මුස්ලිම් ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් කිතුනු බැතිමතුන් ඉලක්ක කරගෙන එල්ල කරන ලද ප්‍රහාරය පිටුපස ශ්‍රී ලංකාවේ රාජ්‍ය ඔත්තු සේවයක් එමඟින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් සිටි බව කියවෙන අයුරින් චැනල් 4 වාර්තා වැඩසටහන නිෂ්පාදනය කරනු ලැබ තිබිණි.
ඒ සඳහා ඔවුන් යොදාගෙන තිබුණේ රාජ්‍ය ඇමැති සිවනේසතුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගේ හිටපු පෞද්ගලික ලේකම් හන්සීර් අසාද් මව්ලානා සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවකි. මෙම වාර්තා වැඩසටහනෙන් කියවුණු කාරණා සම්බන්ධයෙන් ඇතැමුන් ඉල්ලා සිටින පරිදි ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්නේ දැයි ඩෞෂ් වෙල රූපවාහිනියේ ජනමාධ්‍යවේදියා වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කළේය.
‘‘ජර්මනිය එවැනි ජාත්‍යන්තර පරීක්ෂණ කරන්නේ නැහැ. එක්සත් රාජධානිය එවැනි පරීක්ෂණ කරන්නේ නැහැ. ඔවුන් මොන ජාත්‍යන්තර පරීක්ෂණයකට ද ගියේ.?’’ ජනාධිපතිවරයා ජනමාධ්‍යවේදීයාගෙන් පෙරළා ප්‍රශ්න කළේය.
ඒ සමගම ඔහු ලෝකයේ මෙම ජනමාධ්‍යවේදියා අයත් කලාපය වන බටහිරට ද දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.‘‘මේවා ශ්‍රී ලාංකිකයන්ට හා ආසියාතිකයන්ට විතරක් ඇයි? අපි දෙවැනි පන්තියේ යැයි ඔබ සිතනවාද? මේ බටහිර ආකල්ප අයින් කර ගන්න. ඔබ කතා කරන්නේ විකාර’’ යනුවෙන් ජනාධිපතිවරයා කෝපයෙන් පිළිතුරු දෙනු පෙනිණි.
මෙම සම්මුඛ සාකච්ඡාව පැවැත්වුණේ ජර්මන් අගනුවර වන බර්ලින් නුවර දී ඉකුත් 2වැනිදාය. පසුගිය මස 28, 29 යන දෙදින එනුවර පැවැති බර්ලින් ග්ලෝබල් ඩයලොග් නම් වූ රාජ්‍ය නායකයන්ගේ සම්මේලනයකට සහභාගිවීම සඳහා වික්‍රමසිංහ මහතා ගොස් සිටියදී මෙම සම්මුඛ සාකච්ඡාව පැවැත්විණි.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තව දුරටත් ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍ය නැති බව අවධාරණය කිරීම සඳහා ජනාධිපතිවරයා එහිදී තවත් ප්‍රබල තර්කයක් ඉදිරිපත් කළේය. ‘‘ඇමෙරිකාවේ එෆ්.බී.අයි. ආයතනයේත්, බ්‍රිතාන්‍ය පොලීසියේත්, ඕස්ට්‍රේලියාවේ පෙඩරල් පොලිසියේත්, ඉන්දියාවේත්, චීනයේත්, පාකිස්තානයේත් පරීක්ෂකයන් මේ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් වාර්තා ඉදිරිපත් කරලා තියනවා. ඒ හැම එකකින්ම චැනල් 4 ඉදිරිපත් කරන චෝදනා අවලංගු වෙනවා.’’ යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
එම විදේශ පරීක්ෂකයන් එවැනි වාර්තා ඉදිරිපත් කළද චැනල් 4 රූපවාහිනියේ වාර්තා වැඩසටහන සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණ පැවැත්වීමේ අවශ්‍යතාව ආණ්ඩුව ප්‍රතික්ෂේප නොකරන බව පෙනේ. මෙම වැඩ සටහනෙන් කියවුණු කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා සැප්තැම්බර් 15 වැනිදා විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය.
කෙසේ වෙතත් චැනල් 4 වැඩසටහන පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් ඩෞෂ් වෙල රූපවාහිනියේ ජනමාධ්‍යවේදීයා මෙම ප්‍රශ්නය මතු කිරීම සම්බන්ධයෙන් කුමක් හෝ හේතුවක් නිසා ජනාධිපතිවරයා කෝපයට පත්විය. බටහිර බලවත් රටවලට නොපැවරෙන වගකීමක් (ජාත්‍යන්තර පරීක්ෂණ) ශ්‍රී ලංකාව ඉටුකළ යුතුය යන හැඟීමෙන් ජනමාධ්‍යවේදීයා එම ප්‍රශ්නය ඇසීම මඟින් ඔහු බටහිර කේන්ද්‍රීය දෘෂ්ටියකින් ලෝකයේ අනෙක් රටවල් දෙස බලන බවට ඔහු එම ජනමාධ්‍යවේදියාට චෝදනා කළේය. ‘‘ඔබට ඒ ප්‍රශ්නය අහන්නට අයිතියක් නැහැයි’’ වික්‍රමසිංහ මහතා පැවසීය.
බටහිර බලවත් රටවල සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වැනි සිදුවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ කළ යුතු යැයි එම රටවල් හෝ අඩු තරමින් බටහිර නොවන රටවල් හෝ කියා නොසිටින බව සත්‍යයකි. ඇමෙරිකාවේ කළු ජාතිකයන්ට වන හිරිහැර සම්බන්ධයෙන් සියලු රටවල් දක්වන ආකල්පය උදාහරණයකි.
එහෙත් මෙම සම්මුඛ සාකච්ඡාවේ දී ඩෟෂ්වෙල ජනමාධ්‍යවේදියා මතු කළේ ඔහුගේ අවශ්‍යතාවක් නොව මේ වනවිටත් ශ්‍රී ලංකාව ඇතුළතින්ම පවා මතුවී ඇති හඬකි. දැනටමත් කතෝලික සභාවේ ප්‍රධානියා වන මැල්කම් රංජිත් කාදිනල්තුමා මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද චැනල් 4 නාලිකාවෙන් එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා ඇත. එම ඉල්ලීම හරිද වැරැදිද යන්න වෙනම ප්‍රශ්නයකි.
එවැනි ඉල්ලීමක් දැනටමත් ඉදිරිපත් වී ඇති තත්ත්වයක් තුළ හා චැනල් 4 වැඩ සටහන තවමත් අලුත් මාතෘකාවක් වීම තුළ බටහිර නොවන ජපන් හෝ ඉන්දීය ජනමාධ්‍යවේදියකු වුවද මේ දිනවල මෙවැනි සම්මුඛ සාකච්ඡාවකදී එම කාරණය මතු කරන්නට ඉඩ තිබේ. එය දැන් කොහෙත්ම බටහිර පෙරදිග ප්‍රශ්නයක් නොවේ. ජාත්‍යන්තර පරීක්ෂණවලට විරුද්ධ ජනමාධ්‍යවේදීයකු වුවද මෙවැනි සම්මුඛ සාකච්ඡාවකදී ආණ්ඩුවේ ස්ථාවරය දැන ගැනීම සඳහා එය මතු කළ හැකිය. එය එතරම් අලුත් මාතෘකාවකි.
අනෙක් අතට මෙය ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයක ගිලී ඉන් මිදෙන්නට පෙරදිග රටවල පමණක් නොව ප්‍රධාන වශයෙන්ම බටහිර රටවල් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන අවස්ථාවකි.
ජනමාධ්‍ය සඳහා කරන සම්මුඛ සාකච්ඡාවකදී එම සාකච්ඡාවට සහභාගි වන ජනමාධ්‍යවේදියා තමන් සමග සාකච්ඡා කරන්නා අසීරුවට පත් කරන්නට උත්සාහ කළ හැකිය. කාලීන ප්‍රශ්න මතු කළ හැකිය. පාඨකයා දැනුවත් කිරීම සඳහා ප්‍රශ්න මතු කළ හැකිය. අරමුණ කුමක් වුවද ප්‍රශ්න තෝරා ගැනීම ජනමාධ්‍යවේදියාගේ අයිතියකි. සාකච්ඡාවට සහභාගි වන අනෙක් පුද්ගලයාට අවශ්‍ය නම් පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළ හැකිය.
ජනාධිපතිවරයා ඩෞෂ්වෙල සමඟ කළ මෙම සම්මුඛ සාකච්ඡාව බී.බී.සී. ගුවන් විදුලිය 1962 දී මලාවි ජනාධිපති ආචාර්ය හැස්ටිංස් කමුසු බැන්ඩා සමඟ කරන ලද සුප්‍රකට සම්මුඛ සාකච්ඡාව මෙන් ජනමාධ්‍යවේදියකු මුහුණ දුන් විශේෂ අවස්ථාවක් විය හැකිය. එහෙත් ‘‘ඒක මම කියන්නේ නෑ’’ ‘‘ ඒ ගැන මගෙන් අහන්න එපා.’’ ‘‘ ඒක මං බලා ගන්නම්’’, ‘‘ඒක මගේ වැඩක්’’ වැනි ආචාර්ය බැන්ඩාගේ කෙටි පිළිතුරු පමණක් එදා ලබාගත් බී.බී.සී ගුවන්විදුලියේ ජනමාධ්‍යවේදී ඩග්ලස් බ්‍රවුන් තරම් ඩෞෂ් වෙලා ජනමාධ්‍යවේදී මාටින් ගැක් අවාසනාවන්ත වූයේ නැත. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ ගැක් කළ සම්මුඛ සාකච්ඡාවේ බොහෝ වැදගත් කරුණු තිබිණි.
කුමන තත්ත්වයක් විසින් ජනාධිපතිවරයා ප්‍රකෝප කරනු ලැබුවත් ප්‍රකෝප නොවුවද වෙනත් අරමුණකින් ජනාධිපතිවරයා මෙසේ කෝපයෙන් මෙන් පිළිතුරු දුන්නත් එය රට තුළදී විශේෂයෙන් රටේ දකුණු ප්‍රදේශවල දී ඔහුට වාසිදායක ලෙස බලපාන්නට ඉඩ තිබේ. මන්දයත් ඔහු එහිදී මානව හිමිකම් ප්‍රශ්නය ඇතුළු කිසිම කරුණක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ පැවැත්වීමට එකඟ නොවීම නිසාය. රාජ්‍ය ඔත්තු සේවයේ ප්‍රධානියාට එරෙහිවත් එමඟින් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිවත් එල්ල වන චෝදනාවක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රසාදයට හේතු වනවාට සැකයක් නැත. මෙය සිදුවන්නේ පළාත් පාලන, පළාත් සභා මැතිවරණ පසුපසට දමා ජනාධිපතිවරණයකට යන්නට වික්‍රමසිංහ මහතා කටයුතු කරන බවටත් එහිදී පොදුජන පෙරමුණේ සහාය ලබා ගැනීමට උත්සාහ කරන බවටත් ආරංචි පැතිර යමින් තිබියදීය.
ජනාධිපතිවරයා පමණක් නොව විදේශ ඇමැති අලි සබ්‍රි මහතා ද පසුගිය දිනෙක බටහිර රටකට ඇති වාග් ප්‍රහාරයක් එල්ල කොට තිබිණි. ඒ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පමණක් නොව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්නය සම්බන්ධයෙන් එ.ජා. මානව හිමිකම් කවුන්සිලයට මුහුණදීමට ද බටහිර සහය ලබා ගැනීමට උත්සාහ කරන අතරතුරය.
අලි සබ්‍රි මහතා පහර දුන්නේ කැනඩාවටය. ඒ සික් ආගමිකයකු වන කැනඩාවේ පුරවැසියකු කැනඩාවේ දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් කැනඩාව හා ඉන්දියාව අතර ඇතිවී තිබෙන මතභේදය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
හර්දීප් සිං නජ්ජාර් නම්වූ මෙම සික් ජාතිකයා ඉකුත් 18 වැනිදා කැනඩාවේ සරේ ප්‍රාන්තයේ සික් දෙවොලක් අසල දී ඝාතනය කරනු ලැබීය. ඔහු කාලිස්ථාන්ටයිගර් ෆෝස් නම් සික් බෙදුම්වාදී කණ්ඩායමේ නායකයා වශයෙන් හඳුන්වමින් ඉන්දියාව ඔහු ත්‍රස්තවාදීයකු ලෙස ප්‍රකාශයට පත් කොට තිබිණි. මේ තත්ත්වය යටතේ මෙම කැනේඩියානු පුරවැසියා ඝාතනය කිරීම පිටුපස ඉන්දියාව සිටින බව කැනඩාවේ අගමැති ජස්ටින් ටෲඩෝ ප්‍රකාශ කොට තිබිණි.
මේ නිසා ඉන්දියාව හා කැනඩාව අතර මත ගැටුමක් ඇති වී තිබේ. මේ ගැන ඉකුත් සැප්තැම්බර් 25 වැනිදා ඇමෙරිකාවේ දී ප්‍රකාශයක් කළ ශ්‍රී ලංකා විදේශ ඇමැතිවරයා කැනඩාවේ අගමැතිවරයාට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. කැනඩාව ත්‍රස්තවාදීන්ට රැකවරණ සපයන බවත් ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදු වූ බවට ද කැනඩාවේ අගමැතිවරයා වගකීමෙන් තොර ප්‍රකාශයක් කර ඇති බවත් ඔහු පවසා තිබිණි. ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයක් ගැන නොව වෙනත් රටක ප්‍රශ්නයක් නිසා ඔහු කැනඩාව වැනි රටක අගමැතිවරයා විවේචනය කිරීම ගැන මෙහිදී ඇතැමුන් අප්‍රසාදය පළ කොට තිබිණි. එහෙත් දෙමළ ජන සංහාරය පිළිබඳ කැනඩාවේ අගමැතිවරයාගේ මතය නිසා එම ප්‍රකාශය මෙහි තවත් පිරිසකගේ ප්‍රසාදයට ලක් විය.
රටවල් බලවත් වීම නිසා අප එම රටවල් විවේචනය නොකළ යුතු යැයි කිව නොහැකිය. එහෙත් අප මුහුණ දී සිටින තත්ත්වය අනුව එය ඉතා පරෙස්සමෙන් කළ යුත්තකි.
(*** එම්.එස්.එම්. අයුබ්)