පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ගැටුම්වල දී අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුල්වලට ඉදිරි හය මාසය තුළ සාධාරණය ඉටුකරන බව අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයේ සභාපති නීතිඥ මහේෂ් කටුලන්ද මහතා මේ සතියේ පැවසීය.
ඔහු මෙම කරුණ පවසා තිබුණේ ඉකුත් බදාදා (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කටයුතු වේගවත් කොට ඇති බවත් එම ක්‍රියාවලිය ඉතා විවෘතව සිදුවන බවත් මූලික පරීක්ෂණ කටයුතුවල පළමු අදියර දෙසැම්බර් මාසයට පෙර අවසන් වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් එහිදී ප්‍රකාශ කළේය.
අතුරුදන් වූ පවුල්වල සාමාජිකයන් හට විශේෂ පහසුකම් සැලසීමට කටයුතු යොදා ඇති බවත් ඒ අනුව අතුරදන් වූවන්ගේ වියපත් මව්පියන් වකුගඩු හා හෘද ශල්‍යකර්ම සඳහා පොරොත්තු ලැයිස්තුවල සිටින්නේ නම් එම ශල්‍යකර්ම කඩිනම් කිරීම සඳහා අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කරන බව ද එම පවුල්වල ඉගෙන ගන්නට කැමති ළමයින් ස්වයං රැකියාවලට යොමුවන අයුරින් අවශ්‍ය අධ්‍යාපනික ආයතන වෙත යොමු කරන්නට අදහස් කරන බවද කටුලන් ද මහතා පවසා තිබිණි.
දැනට අතුරුදන් වූවන්ට සාධාරණය ඉල්ලා විවිධ සටන්වල නිරත වන්නේ උතුරු නැගෙනහිර යුද්ධයේ දී අතුරුදන් වූ දෙමළ පුද්ගලයන්ගේ ඥාතීන් හා දෙමළ දේශපාලනඥයන් පමණි. එම යුද්ධය පැවැති කාලය පමණක් සලකා බැලුව ද එම යුද්ධයේ දී මෙන්ම 1988/89 රටේ දකුණු ප්‍රදේශවල පැවැති කැරලිවල දී සිංහල හා මුස්ලිම් පුද්ගලයෝ ද හමුදා හා පොලිස් නිලධාරීහු ද අතුරුදන් වූහ. එහෙත් ඔවුන් පිළිබඳව කිසිවෙක් අරගල කරන්නේ නැත.
අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පිහිටුවන ලද්දේද ප්‍රධාන වශයෙන්ම උතුරු නැගෙනහිර යුද්ධයේදී අතුරුදන් වූ දෙමළ පුද්ගලයන්ට හා ඔවුන්ගේ ඥාතීන්ට සාධාරණය ඉටු කිරීම සඳහාය. එම පුද්ගලයන් ජීවත්ව සිටීනම් ඔවුන් ද ඔවුන්ගේ ඥාතීන්ද කටුලන්ද මහතා දැක්වූ මෙම අදහස් සම්බන්ධයෙන් සතුටු වනු ඇත. එහෙත් ඔවුන්ගේ විශේෂයෙන්ම දෙමළ දේශපාලනඥයන්ගේ ප්‍රධාන ඉල්ලීම වී ඇත්තේ අතුරුදන් වූවන්ට ඇත්ත වශයෙන්ම සිදුවුයේ කුමක්ද යන්න හා ඔවුන් ජීවත්ව සිටින්නේ නම් එසේ සිටින්නේ කොහිද යන්න දැනගත යුතුය යන්නයි.
එහෙත් එම ප්‍රශ්නවලට අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය සතුව පිළිතුර ඇති බවත් පෙනෙන්නේ නැත. එම ප්‍රශ්නවලට එම කාර්යාලයට පිළිතුරු සෙවිය හැකිද යන්න ප්‍රශ්නයකි. එම කාර්යාලය උත්සාහ කරන්නේ අතුරුදන් වූවන් සම්බන්ධයෙන් අතුරුදන් වූ බවට සහතික හෝ මරණ සහතික නිකුත් කිරීමටය. දැනට අතුරුදන් වූවන් සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවල පළමු අදියර අවසන් වූ පසු ඔවුන්ගේ ඥාතීන්ගේ කැමැත්ත මත එවැනි සහතික නිකුත් කරන බවද කටුලන්ද මහතා ඉහත කී ජනමාධ්‍ය හමුවේදී ප්‍රකාශ කොට තිබිණි.
මෙය මෙම ප්‍රශ්නය තවදුරටත් ඇදි ඇදී යනු ඇති බවට පෙර නිමිත්තකි. මන්දයත් මීට පෙරද මෙවැනි සහතික නිකුත් කිරීමට බලධාරීන් උත්සාහ කළද අතුරුදන් වූවන්ගේ ඥාතීන් එය ප්‍රතික්ෂේප කොට තිබිණි. ඔවුන් එම අවස්ථාවලදීද අවධාරණය කළේ තමන්ට අවශ්‍ය මරණ සහතික නොව අතුරුදන් තම ඥාතීන්ට සිදුවූයේ කුමක්ද යන්න දැන ගැනීමට බවය.
කෙසේ වෙතත් අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය හදිසියේ මෙම තොරතුරු ජනමාධ්‍යයට ප්‍රකාශ කරන්නට උත්සුක වුයේ මන්ද යන ප්‍රශ්නය මතුවේ. සය මාසයක් තුළ අතුරුදන් වූවන්ගේ ඥාතීන්ට සාධාරණය ඉටුකරන බවට එම කාර්යාලයේ සභාපතිවරයා කළ ප්‍රකාශය වැදගත් වුවද ඒ සාධාරණය කුමක්දැයි පැහැදිලි නැති තත්ත්වය යටතේ මෙම ප්‍රශ්නය මතුවීම නොවැළැක්විය හැකිය.
අපේක්ෂිත සාධාරණත්වය කුමක්දැයි පැහැදිලි නැති තත්ත්වය යටතේ මෙම ජනමාධ්‍ය හමුව පැවැත්වීමෙන් අපේක්ෂා කරන දේ පිළිබඳව විවිධ සැක මතුවීම ද නොවැළැක්විය හැකිය. ඇතැමුන් විශේෂයෙන් විපක්ෂයේ දේශපාලනඥයන් ඉදිරි ජනාධිපතිවරණයේ දී දෙමළ ජනතාවගේ ඡන්ද ඉලක්ක කොට ගෙන ආණ්ඩුව මෙම ජනමාධ්‍ය හමුවට අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපතිවරයා කැඳවූ බව උපකල්පනය කරන බව සිතිය හැකිය.
අනෙක් අතට, ලබන මස 11 වැනිදා සිට ඔක්තෝබර් මස 13 වැනිදා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවානුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරය පැවැත්වීමට නියමිතය. එහිදී අනිවාර්‌යයෙන්ම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ප්‍රධාන මාතෘකාවක් වනු ඇත. එහෙයින් තමන් මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බව මානව හිමිකම් කවුන්සිලයට පෙන්වීම සඳහා ආණ්ඩුව මෙම කරුණුවලට ප්‍රසිද්ධියක් දෙන්නට කටයුතු කළ බව විශේෂයෙන්ම දෙමළ දේශපාලන පක්ෂ සිතන බව පෙනේ.
පසුගිය ආණ්ඩුව අතුරුදන් වූවන් පිළිබඳව සොයා බලන්නට කියා මීට පෙර කොමිෂන් සභා ගණනාවක් පත් කළේය. දැන් අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් තිබේ. එහෙත් අතුරුදන් වූවන් සොයා ගැනීමට හෝ ඔවුනට සිදුවූයේ කුමක්දැයි දැන ගැනීමට හෝ හැකිවේද යන්න සැක සහිතය. ඔවුන් ජීවතුන් අතර නැතැයි සිතිය හැකිමුත් එය පිළිගන්නට ඔවුන්ගේ ඥාතීන් සූදානම් නැත. එසේම සාක්ෂි ඉදිරිපත් නොකොට ඔවුන් මියගොස් ඇතැයි කියන්නට ආණ්ඩුවට ද නොහැකිය.
මෙරට නායකයන්ගෙන් අතුරුදන් වූවන් තවදුරටත් ජීවතුන් අතර නැතැයි පවසන්නට ඉදිරිපත් වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පමණි. 2020 ජනවාරි 17 වැනිදා එ.ජා. සංවිධානයේ මෙරට සිටින නේවාසික සම්බන්ධීකාරිණි හැනා සිංගර් සමග පැවැති සාකච්ඡාවකදී රාජපක්ෂ මහතා පැවසුවේ අතුරුදන් වූවන් ඇත්ත වශයෙන් මියගොස් ඇති බවත් ඔවුන්ගේ පවුල්වලට ආධාර උපකාර කරන්නට තම රජය සැලසුම් කරන බවත්ය.
එහෙත් එමඟින් අතුරුදන්වූවන්ගේ ඥාතීන් අසන අතුරුදන් වූවන්ට සැබවින්ම වූයේ කුමක්ද යන ප්‍රශ්නයට පිළිතුරක් නැත. ඔවුන් මිය ගියා නම් මිය ගියේ කෙසේද යන්න රාජපක්ෂ මහතා ප්‍රකාශ නොකළ හෙයිනි. අනෙක් අතට ඔහු එවැනි ආන්දෝලනාත්මක ප්‍රකාශ්‍යක් කරන්නට ඇත්තේ දේශපාලනඥයකු නොවන ඔහු දේශපාලන කපටිකම් නොදන්නා නිසා විය යුතුය.
බලය බෙදීම සම්බන්ධයෙන් ද ඔහු දැරුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ තර්ටීන් පලස් (13+) වැනි කවුරුත් නොදන්නා කිසිදා නොතෙරෙන මතයක් නොවේ. ඔහු ඉන්දියාවට ගොස් ඉන්දීය ජනමාධ්‍යයටම සෘජුවම පැවසුවේ අවශ්‍ය වන්නේ බලය බෙදීමක් නොව යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල ආර්ථිකය සංවර්ධනය කිරීම බවය.
දකුණේ කැරැලි කෝලාහල හා උතුරු නැගෙනහිර යුද්ධය යනු අනෙකක් නොව මිනී මරා ගැනීමකි. එක් පාර්ශවයක් අනෙක් පාර්ශවයේ සාමාජිකයන්ට මෙන්ම අනෙක් පාර්ශ්වයට මතවාදීමය සහාය දෙන්නන්ට පවා පිළිතුරු දුන්නේ මරණයෙනි. සෘජු ගැටුම්වලදී මෙන්ම පැහැරගෙන යාම්වලින් මෙසේ ප්‍රතිවාදීන් ඝාතනය කෙරිණි. මෙය හමුදාව, පොලීසිය, කොටි සංවිධානය ඇතුළු විවිධ දෙමළ සංවිධාන හා දකුණේ ජනතා විමුක්ති පෙරමුණ හෝ දේශප්‍රෙමි ජනතා ව්‍යාපාරය යන සියල්ලන් යුද්ධමය තත්ත්වයක් යටතේ අනුගමනය කරන ලද පිළිවෙතකි. ඒ අනුව මේ වනවිට අතුරුදන් වී සිටින්නන් ජීවත්ව සිටින බව සිතිය නොහැකිය.
කෙසේ වෙතත් මේ වනවිට මේ සම්බන්ධයෙන් ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද චෝදනා එල්ල වන්නේ රජයේ හමුදා ඔවුනට සහාය දුන් නිල නොවන හමුදා හා පොලීසියට එරෙහිවය. 1980 ගණන්වල සිට විවිධ ආණ්ඩුවලට මෙම චෝදනාව එල්ල වුවද එම ආණ්ඩුවල දක්ෂතාව නම් කොමිසමක් පත් කිරීම වැනි කුමක් හෝ කර ජාත්‍යන්තර වශයෙන් එල්ල වන පීඩනය මඟ හැරීමය.
ඇත්ත වශයෙන්ම වැඩිම පිරිසක් අතුරුදන් වී ඇත්තේ තිස් වසරකට වැඩි කාලයක් පුරා කෙරුණු උතුරු නැගෙනහිර යුද්ධයේ දී නොව වසර දෙකක් (1988/89) වැනි කෙටි කාලයක් තුළ උත්සන්න වූ දකුණේ දෙවැනි ජවිපෙ කැරැල්ලේදීය. උතුරේ යුද්ධය සම්බන්ධයෙන් ලැබී ඇති නිල පැමිණිලි අනුව එහි අතුරුදන් වූ පුද්ගලයන් සංඛ්‍යාව විසි දහසක් පමණය. (19,000කට මදක් වැඩිය) එහෙත් 1988/89 කාලයේ අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව මහින්ද රාජපක්ෂ වැනි එවකට සිටි විපක්ෂ දේශපාලනඥයන්ගේ මතය අනුව 60,000කට වැඩිය.
ඒ සම්බන්ධයෙන් චෝදනා ලැබූ එවකට සිටි ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා පළමුවරට අතුරුදන් වූවන් පිළිබඳ පළමු කොමිෂන් සභාව 1992දී පත් කළේය. ඔහුගේ මරණයෙන් පසු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග එම කරුණ සම්බන්ධයෙන් ජාතික මට්ටමේ කොමිෂන් සභාවක් මෙන්ම කලාපීය මට්ටමේ කොමිෂන් සභා තුනක් පත් කළාය. මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් පරණගම කොමිසම පත් කළ අතර ඔහු 2010 දී පත් කළ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමද මෙම කරුණ ගැන විමසා බැලීය. එහෙත් අතුරුදන්වූවන් පිළිබඳ මේ සියලු කොමිෂන් සභා ද කාලයත් සමග අතුරුදන් වූවා විනා ඒ කිසිදු කොමිෂන් සභාවකින් අතුරුදන් වූ කිසිවකු සායා ගත නොහැකි විය.
මින් ඉදිරියට ද කිසිදු ආයතනයකින් එවැන්නක් අපේක්ෂා කළ නොහැකිය. මේ ප්‍රයෝගිකත්වය දෙමළ දේශපාලනඥයන්ට වැටහෙන නමුත් ඔවුන්ට ද තම ඉල්ලීම් වෙනස් කරගෙන දේශපාලනය කළ නොහැකිය.
(*** එම්.එස්.එම්. අයුබ්)