වාහන කෑලි ගෙනත් කෝටි දසදහසක බදු පොලු


මෙරටට වාහන ගෙන්වීම තහනම් කළ කාලයේ වාහන 44,430ක් වෙළෙද පොළට පැමිණි ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පසුගියදා ප්‍රකාශ කළේය. ඒ දේශිය වශයෙන් රථ වාහන එකලස් කරන සමාගම් රැසක නියෝජිතයන් සමඟ පැවැත් වූ සාකච්ජාවකින් පසුවය. ඒ යටතේ පසුගිය කාලයේ යතුරු පැදි 38,144ක් සහ මෝටර් රථ 6,286 ක් අලු‍තින් වෙළෙඳපොළට පැමිණ තිබුණි. වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් මෙරට මුලින්ම ආරම්භ කරන්නේ 1980 දශකයේදීය. ඒ උපාලි විජේවර්ධන මහතා ඇති කළ උපාලි ෆියට් මෝටර් රථය වෙළෙඳපොළට හදුන්වා දෙමිනි. ඉන්පසු වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් මෙරට ආරම්භ කරන්නේ 2002 වසරේදීය. වසර තුනක් පැරැණි වාහන ලංකාවට ගෙන්වීම තහනම් කළ පසුබිමක පැරැණි වාහන ගෙන්වීමට පිඹුරුපත් සකසන්නේ ද 2002න් පසුවය. එලෙස ගෙන්වන වාහන සම්පූර්ණ වාහනයක් ලෙස ලංකාවට එන්නේ නැත. සම්පූර්ණ වාහනය කෑලි ගලවා ගෙන්වීම සිදු කළේය. මේ ආකාරයට ගෙන්වන වාහන වසර තුනකට වඩා පැරැණි ඒවා විය. සමහර වාහන වසර 5-6 පැරැණි වාහන විය.

මේ පසුබිමෙන් වෙනස්ව 2004 සිට නැවතත් ලංකාවේ වාහන නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ වෙන්නේ ඒ අනුවය. එලෙස පැමිණි සමාගම වෑන් රථයක් සහ මෝටර් රථයක් නිෂ්පාදනයට සැලැසුම් සකස් කළේය. වාහන කොටස් එකලස් කොට අලු‍ත් වාහන නිෂ්පාදනයේදි එම වාහනය හදුනා ගැනීමේ අංකය හෙවත් චැසි අංකය ලබා දෙන්නේ ලංකාවේ චැසි අංක ලබා දෙන ක්‍රමවේදයටය.

2006 දී පමණ ලංකාවේ පළමු එකලස් කිරිමේ වාහනය වෙළෙද පොළට නිකුත් විය. එම වාහන නිෂ්පාදනයේදී ද බදු අය කෙරුණි. 1989 අංක 13 දරණ නිෂ්පාදන බදු විශේෂ විධි විධාන පනත යටතේ එම බදු අය කර ගැනීම සිදු විය. එම පනතට අනුව බදු අය කර ගන්නවා සේම බදු නිදහස් කිරීමක්ද සිදු කෙරුණි. එලෙස බඳු අය කර ගැනීමට මෙන්ම බදු සඳහා නිදහස් කරන ආකාරය ගැන එම පනතේම පැහැදිලිවම සඳහන් කොට ඇත. ඒ පහත පරිදිය. 1989 අංක 13 දරණ නිෂ්පාදන බදු විශේෂ විධි විධාන පනත යටතේ “නිෂ්පාදන බදු දෙවන කොටසේ”‍ 3 වැනි වගන්තියේ i යටතේ එම බදු ගැසීම සහ බදු සහන ලැබෙන ආකාරය පැහැදිලිව විග්‍රහ කොට ඇත. බදු නියම කිරිමේදී ඇමැතිවරයාට බදු අය කර ගැනීමේ හැකියාව ඇත. ඒ සඳහා ගැසට් පත්‍රයක් ද නිකුත් වී ඇත. එම ගැසට් පත්‍රය වරින් වර සංශෝධන වී ඇති අතර එලෙස සංශෝධන සහිතව නිකුත් වී ඇති නවතම ගැසට් පත්‍රය වන්නේ අංක 2364/36- 2023 දෙසැම්බර් මස 31 වැනිදා නිකුත් වූ ගැසට් නිවේදනයයි.

බදු පනතට අනුව වාහන හෝ වෙනත් ඕනෑම නිෂ්පාදනයක් සඳහා බදු ඉවත් කර ගැනීමේ ක්‍රම පහක් ගැන ද විග්‍රහ කොට ඇත. ඉන් එක් ක්‍රමයක් වන්නේ විදේශීය තානාපතිවරුන්ට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අයටය. ඒ අයගේ බදු ඉවත් කිරීම සඳහා යොදාගත හැකි නිර්නායක පනතේ පැහැදිලිව දක්වා ඇත. බදු ඉවත් කිරීමේ දෙවන ක්‍රමය වන්නේ රටේ ජනාධිපතිවරයාට ආනයනික භාණ්ඩ සඳහා බදු සහන ලබාදීමට ඇති හැකියාවයි. එසේම බදු නිදහස් කරන තුන්වැනි ක්‍රමය වන්නේ රේගු බදු රහිත සාප්පුවකින් මිලදී ගනු ලබන ඕනෑම දෙයක් සඳහා බදු සහන ලබාදීමට හැකියාව තිබීමය. බදු සහන ලබා දෙන හතර වැනි ක්‍රමය වන්නේ රටේ ආර්ථිකය සැලකිල්ලට ගෙන ඇමතිවරයාට ගැසට් නිවේදනයක් මගින් බදු සහන ලබා දිය හැකි බව පනතේ සදහන් වෙයි.

පනතේ බදු ii කොටසේ 3 ඇ (i) සඳහන් වන්නේ එම බදු සහන ලබා ගෙන බදු සහන නියමයන් කඩ කළ හොත් එම බදු සහන ලබා දුන් මුදල් නැවත අය කර ගත යුතු බවටය. සාමාන්‍යයෙන් විදේශයෙන් භාණ්ඩ ගෙන්වීමේදි ගෙන්වන අවස්ථාවේදී බදු ගෙවිය යුතුය. ලංකාව තුළ නිෂ්පාදනය කරන භාණ්ඩ වලට ඒවා විකිණීමෙන් පසු කාර්තු හතරක් යටතේ එම නිෂ්පාදකයා බදු ගෙවිය යුතුය. දේශීය නිෂ්පාදකයා දිරි ගැන්වීමේ අරමුණ ඇතිව එලෙස බදු සහන හිටපු කර්මාන්ත විෂය භාර ඇමැතිවරු ලබා දී ඇත්තාහ.

මෙලෙස ගෙවන බදු නිදහස් කරන පස්වැනි ක්‍රමය කොටස් දෙකක් යටතේ ක්‍රියාත්මක වෙයි. ලංකාවේ නිපදවන භාණ්ඩයක් අපනයනය කිරීමේදි ඒ සඳහා වැය කරන මුදල් ලංකාවේ බැංකුවක තැන්පත් කළ යුතුය. ඒ බව නිෂ්පාදන බදු නීති පනතේ සඳහන් නැති අතර එය 659/4 ගැසට් පත්‍රයේ බදු සහන ගැන සඳහන් වෙයි. යම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරිමට අමුද්‍රව්‍ය විදේශයෙන් ගෙනැවිත් ඉන් භාණ්ඩයක් නිෂ්පාදනය කොට නිමි භාණ්ඩයක් ලෙස නැවත අපනයනය කරන විට බදු නිදහස් වෙයි. 2004 - 2015 කාලයේ සියයට සියයක බදු නිදහස් වීමක් ද පසුව ඒ සඳහා සියයට 70ක බදු නිදහස් වීමක්ද ලැබුණි.

මේ නිදහස් බදු ක්‍රම උපයෝගි කරගෙන ලංකාවේ නිෂ්පාදන කරන එකලස් කරන වාහන සඳහ බදු නිදහස ලබා දීමට 2364/36 අංකය යටතේ 2023 දෙසැම්බර් මස 31 වැනි ඉරිදා නිකුත් කොට ඇති නවතම ගැසට් පත්‍රයේ සඳහන් වෙයි. එම බදු සහන විෂය භාර ඇමැතිවරයාගේ නිර්දේශ කළ හැකි බවද එම ගැසට් පත්‍රයේ සඳහන් වෙයි. විෂය භාර ඇමැතිවරයාගේ නිර්දේශය අනුව ක්‍රියාත්මක කළ යුත්තේ ගැසට් නිවේදනයේ වගන්ති උපලේබන ii හි 56 A පිටුවේ අංක 3 යටතේය. එහි සඳහන් ආකාරයට සියයට 20ට වැඩියෙන් දේශීයව නිෂ්පාදනය කොට අගය ගණනය කරන වාහන සහ යතුරු පැදි (ඉන්ධන, විදුලි සහ හයිබ්‍රිඩ් වාහන) සඳහා බදු සහන දීම ගැන එම ගැසට් පත්‍රයේ සඳහන් වෙයි. මෙය වසර දෙකෙන් දෙකට වසර 20ක් යනතුරු ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර ඇත.

එහෙත් වාහන එකලස් කිරීමේදී දේශීයව උපාංග නිපදවා එම අගය ගණනය කිරීමට අනුව සියයට 20කවත් දායකත්වයක් නැති වාහන සඳහා සියයට සියයක් බදු ගැසිය යුතු බව එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි. සියයට 20-24 පරාසයේ සිට ඉහළට දේශීය දායකත්වයක් ඇති වාහන සඳහා ගෙවිය යුත්තේ බදු මුදලින් සියයට 30කි. උදාහරණයක් ලෙස ඉන්ධන බලයෙන් ධාවනය වන වාහනයක සිලින්ඩර් ධාරිතාව 1000ට වඩා වැඩි 1500ට අඩු වාහන සඳහා සිලින්ඩර් ධාරිතාව 1300ට වඩා අඩු නම් ඝන සෙන්ටි මීටර එකකට රුපියල් 3650 ක් ලෙස සලකා බදු ගසනු ලබයි. ගැසට් පත්‍රයේ සඳහන් ආකාරයට 1300ට වැඩි 1500ට අඩු නම් ඝන සෙන්ටි මීටර එකකට රුපියල් 4200 ක් යටතේ ගණනය කොට බදු අයකරනු ලබයි.

සාමාන්‍යයෙන් සිලින්ඩර ධාරිතාව එන්නේ 1500ට නොව 1498ක ප්‍රමාණයකටය. එවිට 1498 - 4200 න් වැඩි කළ විට රුපියල් ලක්ෂ 62,90,000ක බදු මුදලක් සම්පූර්ණයෙන්ම අය කළ යුතුය. එහෙත් දේශීයව උපාංග නිෂ්පාදන දායකත්වය සියයට 20ට වැඩි නම් ගණනය කිරීමට අනුව වාහනයක් එකලස් කිරීමේදි සියයට 20 - 24ක උපාංග යොදා එම වාහනය නිෂ්පාදනය කර ඇත්නම් එම වාහනය සඳහා ගෙවිය යුත්තේ සියයට 30ක බදු මුදලකි. එසේ නම් රුපියල් 62,90,000ට සියයට 70ක බදු සහනයක් ලැබෙයි. එවිට සියයට 30 ක බදු මුදල ලෙස ගෙවිය යුත්තේ රුපියල් 18,87,000ක මුදලකි.

ඉතිරි මුදල සඳහා බදු සහනයක් ලැබෙයි.එවිට රජයට අය විය යුතු මුළු මුදල වූ රුපියල් 62,90,000න් වාහන එකලස් කරන සමාගමක් ගෙවිය යුත්තේ රුපියල් 18,87,000ක බදු මුදලක් පමණි. එවිට සමාගම්වලට රුපියල් ලක්ෂ 44,030,000ක බදු සහනයක් ලැබෙයි. මේ සිලින්ඩර ධාරිතාව 1000-1500 ත අතර වාහනයකට පමණි. අනෙක් වාහන සඳහාද මේ හා සමාන බදු සහනයක් ලැබෙන්නේ වාහන එකලස් කිරිමේදී සියයට 20ට වඩා දේශීය නිෂ්පාදන ඇගයක් යොදා ගන්නා විටය.

එහෙත් වාහන එකලස් කිරිමේ සිටින ඇතැම් සමාගම් මේ බදු සහනය ලබා ගැනීමේ අරමුණු ඇතිව දැන් අලු‍ත් වංචාවක නිරත වන බව ශ්‍රි ලංකා රේගු දත්ත පෙන්වා දෙයි. එකලස් වාහන නිෂ්පාදනයේ දී බදු සහන ලබා ගැනීමට නම් දේශීයව නිෂ්පාදනය කළ කොටස් සියයට 20කට වඩා භාවිත කළ යුතුය. එහෙත් මේ වෙන විට වාහන එකලස් කරන අතැම් සමාගම් දේශිය නිෂ්පාදන ලෙස යොදන්නේ වාහනයේ බැටරියක්, රබර් බුෂ්,සීට් කවරයක්, සයිලන්සරයක් සහ ටයර් වැනි දේ පමණි. මීට අමතරව දේශීයව නිපදවිය හැකි අනෙක් සියලු‍ කොටස් විදේශයෙන් ගෙන්වීමට ඇතැම් අය කටයුතු කරති. ඒ සියයට 70 බදු සහනය ලබා ගැනිමටය. මේ අය දේශීයව සියයට 20කට වඩා දේශීය කොටස් භාවිත කළා යැයි කියමින් කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශ ලබා ගෙන බදු සහන ලබා ගන්නා බව ශ්‍රි ලංකා රේගු දත්ත පෙන්වා දෙයි.

ලංකාවේ එකලස් කළ වාහනයක් සඳහා යන වියදම සහ ලබා දෙන බදු සහනය ගැන විගණකාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇත්තේ මෙවන් පසුබිමකය. එහිදි ජාතික විගණන කාර්යාලය මගින් විගණන විමසීමක් කොට ඇත. ඒ වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තුමේන්තුවේදී දේශීය එකලස් කරන මෝටර් රථ වාහන සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමක් සඳහාය. එම විගණන විමසීම අංක PUR/A/CUS/2023/AQ/13 යටතේ 2024 පෙබරවාරි 9 යටතේ නිකුත් කර ඇත. එම විගණන විමසීමට අනුව පෙන්වා දෙන්නේ දේශීය වහාන නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයන් දිරිගැන්වීම අරමුණු කරගෙන ජනාධිපතිවරයා නිකුත් කළ අංක 1448/1 හා ජූනි 5 දිනැති අති විගේෂ ගැසට් නිවේදනයෙන් කර්මාන්ත විෂය භාර අමාත්‍යවරයාගේ නිර්දේශය මත දේශීයව සියයට 30ට නොඅඩු අගයක් එකතු කර වාහන නිෂ්පාදනය කරන්නන් සියයට 70ක නිෂ්පාදන බදු සහනයක් ලබා දී ඇති බවය. ඒ විදේශයෙන් ගෙන්වන වාහන අධෛර්යවත් කිරිමට ගත් ප්‍රතිපත්තිමය තීන්දුවකට අනුවය.

කෙසේ වෙතත් දීර්ඝ කාලයක සිට වාහනයකට අවශ්‍ය උපාංග සියල්ලම පාහේ විදේශයෙන් ආනයනය කර ආනයනික අවස්ථාවේ දී රේගු බදු නොගෙවා ගුදම්ගත කර ගුදමේ උපාංග එකලස් කර ගුදමෙන් පිට කිරීමේදි තීරූ ගාස්තු ගෙවිය යුතු සමාගම්ද එකී ප්‍රතිපත්තිමය තීරණ වැරදි ලෙස අර්ථ කථනය කර ගනිමින් සියයට 70ක නිෂ්පාදන බදු සහන ලබා ගෙන ඇති බව විගණන විමසුමෙන් පෙන්වා දී ඇත. විදේශයෙන් ඉහළ මිල ගණන් යටතේ වාහන උපාංග ගෙන්වීමට හැකියාව ඇති සමාගම් එකලස් කළ වාහන ගුදමෙන් පිට කිරීමේදී පමණක් තීරු බදු ගෙවීමේ අභිප්‍රායෙන් බන්ධිත ගුදම් පහසුකම ලබාගත් නමුත් එම පහසුකමෙන් ඉවත් නොවී අංක 1448/1 හා 2006 ජූනි 5 ගැසට් නිවේදනය පාදක කර ගනිමින් ලිපි ලබාගෙන සියයට 70 බදු සහනයක් ඉල්ලා සිටීමට කටයුතු කර ඇති බව විගණන විමසුමෙන් පෙන්වා දී ඇත.

ඒ අනුව අති විශාල නිෂ්පාදන බද්දක් රජයට අහිමි කර එකලස් කළ වාහන දේශීය වෙළෙඳපොළට සැපයීමෙන් විශාල ලාබයක් වාහන එකලස් කොට නිපදවෙන දේශීය සමාගම් ලබා ගෙන ඇති බව එම විගණන විමසුමෙන් පෙන්වා දී ඇත.

2023 වසරේදී එක්තරා සමාගමක් එකලස් වාහන දෙවර්ගයක් සඳහා රේගුව දක්වා පිරිවැය, ගෙවන ලද බදු වටිනාකම සහ 2024 පෙබරවාරි 26 දිනට එකී වාහන වෙළෙද පොළට අලෙවි කොට විශාල ලාබයක් ලැබීමට එකලස් සමාගම් කටයුතු කර තිබුණි. එහිදි එක් වාහනයක් සඳහා රේගුව දක්වා පිරිවැය රුපියල් 39,89,353 කි.එම වාහනය සඳහා ගෙවා තිබූ නිෂ්පාදන බද්ද රුපියල් 16,62,780 කි. සමාජ ආරක්ෂණ බද්ද රුපියල් 151,277 කි.වාහන හිමිකම් බද්ද රුපියල් 15,000 කි. සුබෝපබෝගි බද්ද රුපියල් 489,353 කි. ඒ අනුව මෙම වාහනය ගුදමෙන් පිට වෙන විට පිරිවැය රුපියල් 6,307,763 කි. 2024-2-26 දින වෙන විට දේශීය වෙළෙදපොළට වාහනය අලෙවි කළ මිල (වැට් රහිතව) රුපියල් 11,525,423 කි.

ඒ අනුව එම වාහනයේ විකුණුම් මිල සහ ගුදමෙන් පිට වෙන විට වූ පිරිවැය අතර වෙනස රුපියල් 52,217,665කි. එනම් එම වාහනය එකලස් කළ සමාගම එම වාහනයෙන් පමණක් රුපියල් 52,217,665 ක විශාල ලාබයක් ලබා ඇත. තවත් වාහනයක් සඳහා රුපියල් 57,03,235ක් රේගුව දක්වා පිරිවැය ලෙස දරා තිබුණි. ඒ සදහා නිෂ්පාදන බද්ද රුපියල් 16,62,780 කි. සමාජ ආරක්ෂණ බද්ද රුපියල් 198,409 කි. වාහන හිමිකම් බද්ද රුපියල් 15,000 කි. සුබෝපබෝගී බද්ද රුපියල් 22,03,235 කි. ගුදමෙන් පිටවෙන විට පිරිවැය 97,82,658 කි. 2024-2-26 වෙන විට වැට් රහිතව වාහනය අලෙවි කළ මුදල රුපියල් 13,555,084 කි.වාහනය විකුණූ මිල සහ ගුදමෙන් පිට වෙන විට දක්වා වූ පිරිවැයේ වෙනස රුපියල් 37,72,425කි.

වාහන උපාංග එකලස් කොට වාහන නිෂ්පාදනය කරන දේශීය සමාගම් බන්ධිත ගුදම් පහසුකමෙන් ඉවත් නොවෙන්නේ තීරු බදු ගෙවීමට සිදුවෙන හෙයිනි. එම සමාගම් 2023 වසරේදී පමණක් වාහන 326ක් එකලස් කොට දේශීය වෙළෙදපොළට නිකුත් කර තිබුණි. ඒ හරහා ඔවුන් බදු සහනය ගෙන විශාල ආදායමක් ඉපයීමට කටයුතු කර තිබු බව විගණන විමසුම මගින් පෙන්වා දී ඇත.

එසේ නම් මෙම වාහන විකිණීමේන් එකලස් සමාගම් පමණක් ලාබ උපයාගෙන ඇත. එම සමාගම් වාහනය මිලදි ගන්න පුද්ගලයාට හෝ රජයට බදු සහනයේ වාසිය ලබා දී නැති බව ශ්‍රිලංකා රේගුවේ රේගු හා නිෂ්පාදන බදු අධ්‍යක්ෂ ජනරාල් පී. බී. එස්. සී. නෝනිස් මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ වෙළෙද හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ට මෙන්ම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිපියකින් දැනුම් දී ඇත. ඒ 2024-5-02 දින මාගේ අංක CUS/ESPD/MV-2023 ලිපිය මඟිනි. එම ලිපියෙන් අවධාරණය කරනුයේ දේශීය වාහන එකලස් කිරීමේ ප්‍රතිපත්තිය පිළිබඳ කළ සාකච්ඡාවක් ගැන ශ්‍රී ලංකා රේගුවේ යෝජනා ඉදිරිපත් කරමිනි. එම ලිපියට අනුව මෙරට වාහන එකලස් කරන සමාගම් බදු සහන අස්සේ බදු ගෙවීම් පැහැර හැරීම වළක්වා ගත යුතු ක්‍රියාමාර්ගද පෙන්වා දී ඇත. තවද එක් එක් සමාගම් මෙතෙක් ලබාගෙන ඇති බදු සහන ගැනද එම ලිපියෙන් පෙන්වා දී ඇත.

සමාන්‍යයෙන් වාහන සඳහා සුබෝපබෝගි බද්ද ගෙවන්නේ රුපියල් ලක්ෂ 35ට වැඩි වාහන සඳහා පමණි. එම වාහනයක් ලංකාවට ගේන විට සියයට සියයක බද්දක් ගෙවීමට සිදුවෙයි. එහෙත් විගණන විමසුම අනුව පෙනෙන්නේ එකලස් සමාගම් ගෙවා ඇත්තේ රුපියල් 489,353ක් සහ රුපියල් 22,03,235ක මුදලක් පමණි. මේ පිළිබඳව සොයා බැලීමේදී භාණ්ඩ වර්ගීකරණය සඳහා සම්මත මූලික රෙගුලාසි අංක 2(අ) නොසලකා කටයුතු කර ඇති බව රේගු ආරංචි මාර්ග අනුව පෙනේ. වාහන අමතර කොටස් ගෙන්වීමේදි සියයට 30 ක් පමණක් ගෙවන බදු සහනයට මුවා වී ඇතැම් අය රජයට විශාල බදු ආදායමක් අහිමි කර ඇති බව රේගු දත්ත පෙන්වා දෙයි. එහෙත් එම සමාගම් ඇත්තටම සිදු කරන්නේ ටයර්, බැටරි සයිලනර් වැනි දේ පමණක් ලංකාවේදී දමා දේශීයව නිෂ්පාදනය කළ අමතර කොටස් සියයට 20කට වඩා දැමුවා සේ අගයක් පෙන්නා බදු සහනයට මුවා වී විශාල ආදායමක් ලැබීම බව ශ්‍රීලංකා රේගුව විසින් කර්මාන්ත අමාත්‍යාංශය වෙත යවන ලද ඉහත ලිපියෙන් ද පෙන්වා දී ඇත. වාහන සමාගමක් උපයන විට ගෙවන බදු ආදායම ලබන ආදායමෙන් සියයට 10ක් ගෙවිය යුතුය. එහෙත් ඉහත පෙන්වා දුන් ගණනය වූ ආදායම ඇත්තේ සැගවිලාය. එවිට එම ආදායමට එම සමාගම් උපයන විට ගෙවිය යුතු බදු ආදායම් ද ගෙවන්නේ දැයි බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු කරුණක් බව ද රේගු දත්ත පෙන්වා දෙයි.

එකලස් කරන වාහන සඳහා බොඩිෂෙල් එක ලංකාවේ හදන්නේ නැත.බොඩිෂෙල් එක විදේශයෙන් ගෙන්වයි. අංක 8706/10/90 ගැසට් පත්‍රයට අනුව පෙන්වා දෙන්නේ වාහන වල බොඩිෂෙල් එක සඳහා රුපියල් 11,40,000ක බද්දක් ගෙවීමට නියම කර ඇති බවය. එසේ නම් එම බද්ද ඉහත කී වහාන දෙක සඳහාම ගෙවා නැත. වාහනයේ සෙසු කොටස් සඳහා වෙන වෙනම ගෙවිය යුතු බදු වර්ග ඇත. නමුත් එම බදු ගෙවීම් ද කර අවශ්‍ය උපාංග ගෙනැවිත් ලංකාවේ වාහනය හදනු ලබයි. එසේ හදන වාහනය නිෂ්පාදන වියදම ගණනය කරයි. ඒ විදේශයෙන් ගෙන්වන උපාංග සඳහා ද ගිය සියලු‍ වියදම් එකතු කරමිනි.

ලංකාවේදී වාහනයක් එකලස් කර නිෂ්පාදනය කරන විට ඊට අදාළ උපාංග විදේශයෙන් ගෙන්වීමේදි බදු ගෙවිය යුතුය. වාහනයට අදාළ චැසිය සහ වාහනයේ බොඩිය ලංකාවේ හදනවා නම් ඊට බදු ගෙවීමක් කළ යුතු නැත.2004 සිට වාහනය නිෂ්පාදනයට ගත් පසු එකලස් කිරීම 2006 සිට ආරම්භ විය. 2004 වාහනයක් හදන විට වාහනයේ එන්ජින් එක සහ ගියර් පෙට්ටිය පමණක් විදේශයෙන් ගෙන්වන ලදි. වාහනයේ අනෙක් සියලු‍ උපාංග ලංකාවේ හැදුවේය. ඊට බදු සහන දීමට කර්මාන්ත ඇමති නිර්දේශ කරන විට බදු ගැසුවේම නැත.

වාහනයක් හදන විට ඊට බදු සහන දීමට 3 ඇ (1) ආර්ථික සංවර්ධන සැලකිල්ලට ගෙන ඇතැම් භාණ්ඩ බදු ගෙවීමෙන් නිදහස් යන කාරණයට මුවා වී වාහන එකලස් සමාගම් බදු සහන ලබාගෙන බදු ගෙවීම පැහැර හැර ඇති බව ශ්‍රි ලංකා රේගු දත්ත පෙන්වා දෙයි. එහෙත් බදු පනතේ ඇත්තේ බදු සහන සඳහා කොන්දේසි දමන ලෙසටය. එම කොන්දේසි කඩ කළෙත් නැවත අය කර ගන්නා ලෙසය. බදු නොගෙවා වාහන එකලස් සමාගම් මේ වෙන විට රුපියල් බිලියන 100කට බදු පැහැර හැරීම් කර ඇති බව ශ්‍රිලංකා රේගු දත්ත පෙන්වා දෙයි. පනත අනුව නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේන් පමණක් එම මුදල් අය කර ගැනීමට ශ්‍රි ලංකා රේගුවට නොහැකි වී ඇත. ඒ මේ සඳහා දැනට ක්‍රියාත්මක ගැසට් නිවේදනය නිසාවෙන් බව රේගු දත්ත පෙන්වා දෙයි. එහෙත් පනතේ ඇති නීතී රීති ගැසට් පත්‍රයේ නැත්නම් ගැසට් එක වලංගු නැත. පනතට අනුකුලව ගැසට් එක ගසා නැත. මේ හේතුවෙන් 2006 සිට මේ බදු වංචාව සිදු වෙන බව ශ්‍රිලංකා රේගු දත්ත පෙන්වා දෙයි.

මීට පෙර තිබුණේ දේශීයව වැඩි පුර හදන උපාංග ක්‍රමයෙන් වැඩි කරගෙන බදු සහන වැඩි පුර ලබා දෙන ක්‍රමයකි. එහෙත් දැන් එකම වාහන මොඩලයට නොගොස් වසර දෙකෙන් දෙකට මොඩලය වෙනස් කරමින් බැටරි සහ ටයර් ටික පමණක් ලංකාවේ දැමීම පමණක් සිදු කරයි. වසර දෙකෙන් දෙකට වාහන මොඩලය වෙනස් කරන නිසා ඊට මුවා වී සම්පූර්ණ වාහනයම කෑලි ගලවා ගෙන්වීමට ඇතැම් සමාගම් සිදු කරයි. පිටරට වාහන උපාංග මෙරටින් දැම්මා කියා පෙන්වමින් සියයට 70 බදු සහනය සමහර ආයතන ලබා ගෙන ඇත.

මේ වෙන විට වසර 20ක් තිස්සේ මේ බදු ගෙවීම් පැහැර හැරීම සිදුවෙයි. එම කාල සීමාවට වාහනවල බොඩිෂෙල් ගෙන්වා ඇත. එහෙත් ඊට වෙනම බදු ගෙවා ද නැත. එහෙත් බොඩි ෂෙල් එක ලංකාවට ගෙන ආවේ ඊට මුදල් ඇපයක් තබමිනි. එම මුදල් ඇපය සියයට 70 බදු සහනයට මුවා වී එය පෙන්නා ගෙව් ඇපය ආපසු ලබා ගැනීමට වාහන එකලස් කරන ඇතැම් සමාගම් කටයුතු කොට ඇත. 2006 - 2020 වෙන විට මේ ආකාරයට බොඩිෂෙල් 47,000ක් ලංකාවට ගෙනැවිත් ඇති අතර ඒ වෙනුවෙන් නොගෙවු බදු මුදල කෝටි 1800කට වැඩි වෙයි. ඒ බව ගිණුම් පරීක්ෂාවෙදී තහවුරු වී ඇති බව ශ්‍රීලංකා රේගු දත්ත මගින් පෙන්වා දෙයි.

මෙලෙස ගෙන ආ බොඩිෂෙල් භාවිත කරල සියයට සියයේ බදු නිදහස් වීම් 2006 - 2015 දක්වා කර ඇත. එම මුදල පසුව සියයට 70 දක්වා නිදහස් කර ඇත.මේ වෙන විට වාහන එකලස් කරන සමාගම් තුනකට 2006 සිට 2022 රුපියල් කෝටි 3900 ක බදු සහන ලබා දී ඇත. ලංකාවට ගෙන් වූ වාහන උපාංග සඳහා නොගෙවු සියලු‍ බදු ගත් විට එහි වටිනාකම රුපියල් කෝටි 10,000කට වඩා වැඩිබව 2022 ජාතික විගණන වාර්තාව පෙන්වා දෙයි.

එනිසා මේ ගැන අදාළ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය. එසේම දේශීය එකලස් වාහන නිෂ්පාදන සමාගම් නියෝජිතයින්ගේ අදහස්ද ගෙන ඉදිරියේදී රට අහිමිවූ බදු මුදල් සම්බන්ධව විශේෂ ලිපියක් කිරීමට බලාපොරොත්තු වෙමු.

ප්‍රගීත් සම්පත් කරුණාතිලක