ජනවාරි මස 1 වැනි දින සිට දැනට බලපවත්වන වැට් බද්ද ඉහළ දමන බව රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. 2024 අයවැය කතාව මගින්ද මේ බව අවධාරණය කෙරුණි. මේ වනවිට ක්‍රියාත්මක වන වැට් බදු අනුපාතය සියයට 15 කි. එය තවත් සියයට 3කින් ඉහළ දමා සියයට 18 ක් දක්වා වැඩිකරන බව අයවැය යෝජනාවෙහි සඳහන්ය. මේ ආකාරයට වැට් බද්ද ඇතුළු බදු ඉහළ දමන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කරන ලද නිර්දේශ අනුව බව ප්‍රසිද්ධ රහසකි.
මෙලෙස බදු අනුපාත ඉහළ දමා රාජ්‍ය ආදායම මූල්‍ය අරමුදල කියන ඉලක්කය දක්වා වර්ධනය නොකළහොත් ශ්‍රී ලංකාව සමඟ එළඹගත් විස්තීර්ණ ණය ගිවිසුමේ ඊළඟ වාරික අනුමත කිරීම ගැටලු සහගත බවට මූල්‍ය අරමුදල නිල නොවන වශයෙන් අනතුරු අඟවා ඇත.
2023 වසර වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය ලේඛනය මගින් රජයේ යෝජිත බදු ආදායම රුපියල් බිලයන 3415කි. එහෙත් නවතම වාර්තා අනුව මේ වසරේ එකතු කරගත හැකි බදු ආදායම රුපියල් බිලියන 2410ක් පමණය. යෝජිත ආදායම් ඇස්තමේන්තුව සහ සැබෑ ආදායම අතර පරතරය රුපියල් බිලියන 1005කි. එසේ තිබියදීත් මූල්‍ය අරමුදලේ නිර්දේශ පරිදි 2024 වසරේදී රුපියල් බිලියන 3820ක ආදායම් ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත.
ආදායම් වර්ධනය උදෙසා දැනට රජයට කළ හැක්කේ ජනතාව පිට තව තවත් බදු බර පටවා ජාතික ආර්ථිකය හැකිතාක් හකුලා දැමීමය. ඒ අනුව වැට් බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා ඉහළ දැමීම දැන් සමාජ අවධානය දිනූ පුවතකි. එයිනුත් මෙතෙක් වැට් බදු බල නොපවත්වන ලද ඇතැම් ඉන්ධන සඳහා වැට් බදු පැනවීම බරපතළ සමාජ ආර්ථික ප්‍රශ්නයක් බව නොකියා සිටිය නොහැක.
ඛනිජ තෙල් සම්පත් අමාත්‍යවරයා ප්‍රකාශ කරන ආකාරයට 2023 වැට් බදු ඉහළ දැමීම ඩීසල් හා භූමිතෙල්වලට අදාළ නොවේ. එහෙත් ඔහු ඍජුව ප්‍රකාශ කර නැතත් පෙට්‍රල්, සුපිරි පෙට්‍රල්, ගුවන් යානා ඉන්ධන, දැවි තෙල් ඇතුළු අනෙකුත් ඉන්ධන වර්ග සඳහා වැට් බදු පැනවීමේ සූදානමක් ඇති බව ව්‍යංගයෙන් සඳහන් කර තිබේ. ඩීසල් පොදු ප්‍රවාහනයටත් භූමිතෙල් දුප්පත් ගොවි, ධීවර ප්‍රජාවටත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වන බැවින් ඊට බදු සහනයක් සැලසීම වරදක් නොවේ. එහෙත් පෙට්‍රල් සඳහා වැට් බදු පැනවීමෙන් පහළොස් ලක්ෂයකට ආසන්න ත්‍රිරෝද රථ හිමියන් මෙන්ම තවත් මිලියන ගණනක් වන, යතුරුපැදිකරුවන්ටද, පෞද්ගලික වාහන හිමියන්ටද, තණකොළ කපන්නන් ඇතුළු කුඩා යන්ත්‍ර භාවිතයෙන් ජීවන වෘත්තිය සලසාගන්නා අයටද සිදුවන්නේ බරපතළ අසාධාරණයකි.
සියයට 18 ක වැට් බද්ද අනුව දැනට රුපියල් 356කට අලෙවි කරන 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකට අදාළ කළහොත් ආසන්න වශයෙන් රුපියල් 50කින් පමණ එක් පෙට්‍රල් ලීටරයක මිල ඉහළ යා යුතුය.
මේ ආකාරයට ජනතාව පිට බදු පැටවීම ගැන සමාජයේ ඇත්තේ බරපතළ විරෝධයකි. 2024 ජනවාරියේ සිට අලුතෙන් පනවා තිබෙන ඍජු බදු හා වක්‍ර බදු නිසා රුපියල් බිලියන 900ක පමණ අලුත් බදු බරක් ජනතාව පිට වැටෙන බව දැනටමත් ආර්ථික විද්‍යා විශේෂඥයන් විසින් ප්‍රකාශ කර ඇත. මෙම බදු වැඩි කිරීම පෙට්‍රල් ආදියට පමණක් අදාළ නොවේ. සෙසු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලටද යටත්වය.
එබැවින් පෙට්‍රල්වලට අමතරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන කිරි පිටි, සීනි, පරිප්පු, කරවල වැනි ආනයනික ද්‍රව්‍යවල මිල ගණන්ද සෑහෙන පමණ ඉහළ යා හැකි බව සඳහන්ය. වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතාගේ ගණන් බැලීම් අනුව ජනවාරියේ සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් සියයට 72 කින් ඉහළ නගිනු ඇතැයි දැනටමත් පුරෝකථනය කර ඇත.
එහෙත් වියදමට සාපේක්ෂව ජනතාවගේ ආදායම වර්ධනය නොවීම නිසා දැනට දෙවේලක් කන ජනතාවට එක වේලක් කා දවස පිරිමසා ගන්නට සිදුවනු ඇතැයි සඳහන් කිරීම යථාර්ථයයි. එබැවින් බදු බරින් ජනතාව පීඩාවට පත් කිරීමෙන් ජනතාව බිත්තියටම හේත්තු නොකළ යුතුය.
(***)