එළඹෙන ජනවාරි 01 වැනිදා සිට දැනට සියයට 15 ක් වන වැට් බද්ද සියයට 18ක් වෙයි. එසේම මෙතෙක් වැට් බද්දට යටත් නොවූ භාණ්ඩ හා සේවා 250 ක් පමණ වැට් බද්දට යටත් වෙයි. ඊට අමතරව වැට් බදු අය කරන සැපයුම් සීමාව අවුරුද්දකට රුපියල් මිලියන 80 සිට 60 දක්වා පහත හෙළයි. එමගින් මෙතෙක් වැට් බදු නොගෙ වූ පිරිසක්ද වැට් බදු ගෙවීමට අලුතින් එකතු වෙයි. ඒ නිසා ජනතාවගේ ජීවන වියදම ඉතා ඉහළ මට්ටමකින් ඉහළ යයි. මේ ඒ පිළිබඳව බදු විශේෂඥයකු වන සුරේෂ් පෙරේරා මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූ ලිපියකි.
බදුවලට යටත් වන සහ නොවන භාණ්ඩ හා සේවා ගණනය කිරීම විවිධ අයුරින් සිදුවෙයි. මගේ ගණනය කිරීමට අනුව දැනට වැට් බදු අය නොකරන භාණ්ඩ හා සේවා ගණන 300 ක් පමණ වෙයි. 2024 ජනවාරි 01 වැනිදා සිට ඒ භාණ්ඩ හා සේවා 300 අතරින් 250 කින් පමණ වැට් බදු අය කරයි. තව දුරටත් වැට් බද්ද අය නොකරන්නේ භාණ්ඩ හා සේවා 40 සිට 50 අතර ගණනකිනි. එළඹෙන නව වසරේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමට බලපාන්නේ ඒ කාරණය පමණක් නොවේ. එය එක කාරණයක් පමණකි. වැට් බදු අනුපාතය සියයට 15 සිට 18 දක්වා ඉහළ නැංවීම තවත් කාරණයකි. තුන්වැනි කාරණය වන්නේ වැට් බද්ද අය කරන සැපයුම් සීමාව අවුරුද්දකට මිලියන 80 සිට 60 දක්වා අඩු කිරීමයි. ඒ නිසා දැනට මිලියන 60 සිට 80 අතර ප්‍රමාණයක භාණ්ඩ හා සේවා සපයන්නන්ට අලුතින් බදු ගෙවීමට සිදුවෙයි. ඒ කරුණු තුන නිසා ජනවාරි 01 වැනිදා සිට භාණ්ඩ හා සේවා මිල තව තවත් ඉහළ යයි. එමගින් ජීවන වියදම ද ඉහළ නඟියි.
2024 ජනවාරි 01 වැනිදා සිට ජීවන වියදම ඉහළ යාමට බලපාන්නේ වැට් බද්දේ සිදුවන ඒ සංශෝධන තුන පමණක් නොවේ. සමාජ ආරක්ෂණ බද්ද දැනට අය කරන්නේ අවුරුද්දකට රුපියල් මිලියන 120 කට වැඩි පිරිවැටුමක් සහිත පුද්ගලයන්ගෙන් සහ සමාගම්වලින් පමණකි. ඒ මිලියන 120 සීමාව රුපියල් මිලියන 60 දක්වා අඩු කරන කතාවක් ද පවතී. සමාජ ආරක්ෂණ බද්ද ලෙස දැනට අය කරන්නේ පිරිවැටුමෙන් සියයට 2.5 කි. වැට් බද්දට යටත් වන සැපයුම් සීමාව මිලියන 80 සිට 60 දක්වා අඩුකරන නීති සංශෝධනයත් සමාජ ආරක්ෂණ බද්ද අය කරන පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 120 සිට 60 දක්වා අඩු කරන නීති සංශෝධනයත් තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත. ඒ සංශෝධන දෙකම අතීතයට බලපාන පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා ජනවාරි මැදදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි අපේක්ෂිතය.
දැනට සමාජ ආරක්ෂණ බද්ද අය කරන්නේ ආනයනකරුවන්, නිෂ්පාදකයන්, සේවා සපයන්නන් සහ සිල්ලර හා තොග වෙළෙන්දන් යන පිරිසගෙනි. ඔවුන් පුද්ගලයන්, සමාගම් හෝ හවුල් ව්‍යාපාර විය හැකිය. අවුරුද්දකට රුපියල් මිලියන 120ක පිරිවැටුමක් තියෙන කාගෙනුත් සියයට 2.5 ක බද්දක් අය කිරීම දැනට පවතින නීතියයි. ඒ බද්ද අය කරන පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 120 සිට මිලියන 60 දක්වා අඩු කරන නිසා මෙතෙක් ඒ බද්ද නොගෙ වූ ව්‍යාපාරිකයන් පිරිසකට ද ඒ බද්ද ගෙවීමට සිදුවෙයි. ඒ සිව් පිරිස වන්නේ ආනයනකරුවන්, නිෂ්පාදකයන්, සේවා සපයන්නන් සහ සිල්ලර හා තොග වෙළෙන්දන්ය. එසේ වීමෙන් ද භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් ජීවන වියදම තව තවත් ඉහළ යයි.
අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා, බදුවලින් නිදහස් කළයුතු බව මගේ මතයයි. අධ්‍යාපන, සෞඛ්‍ය, අඩු මිල නවාතැන් පහසුකම් හා අඩු මිල නිවාස පහසුකම් සැපයීම සඳහා බදු අය නොකළ යුතු බව මගේ අදහසයි. අත්‍යවශ්‍ය ආහාර ඇතුළු පාරිභෝගික භාණ්ඩවලින් සේම ඉහත සඳහන් කළ සේවා වලින් වැට් හා සමාජ ආරක්ෂණ සහ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අය නොකළ යුතු බව මගේ ස්ථාවරයයි. විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත අහෝසි කළ යුතුය. ඒ පනතට යටත් අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ල වැට් බද්දට යටත් කර ඉතා අඩු ප්‍රතිශතයකින් බද්දක් පැනවිය යුතුය. සෑම දෙයකටම සියයට 18 ක බද්දක් පැනවීම අසාධාරණය, අයුක්ති සහගතය. ඒ ක්‍රමය ලංකාවට නොගැළපෙයි. ලංකාවේ ආදායම් පරතරය ඉතා විශාලය. ලංකාවේ ජනතාව ඉතා ධනවත්, ධනවත්, ඉහළ මධ්‍යම, මැද මධ්‍යම, පහළ මධ්‍යම සහ දුප්පත් ලෙස ශ්‍රේණි ගණනාවකට බෙදා වෙන්කළ හැකිය. ඒ ඔවුනොවුන්ගේ ආදායම් සහ වත්කම් අනුවය. ඉතින් එවැනි විෂම සමාජ ක්‍රමයක් පවතින සමාන, සියයට 18 ක බද්දක් අය කිරීම සාධාරණ සහ යුක්ති සහගත වන්නේ කෙසේද?
ආදායම්, ඉපයිම් සහ වත්කම් අතින් විසම සමාජයක, රටක ඒ කාටත් සමාන බද්දක් ක්‍රියාත්මක කිරීමෙන් ඉතා ධනවත් අයට සියයට 18 ක බද්ද දැනෙන්නේවත් නැත. එහෙත් දුප්පතුන්ට ඒ සියයට 18 ක බදු අනුපාතය දරාගත නොහැකිය. එය ඒ දුප්පතුන්ට උසුලාගත නොහැකි බරකි. ඒ නිසා මා යෝජනා කරන්නේ අනුපාත කිහිපයකින් යුතු වැට් බද්දක් ලංකාවේ ක්‍රියාත්මක කළ යුතු බවය. එසේ කිරීම සඳහා රටේ පවතින භාණ්ඩ හා සේවාවල ස්වභාවය අනුව සුඛෝපභෝගී, සුඛෝපභෝගී නොවන සහ අත්‍යවශ්‍ය ලෙස භාණ්ඩ හා සේවා වර්ග කළ යුතුය. සීනි, පරිප්පු, කරවල, කිරිපිටි, පාන්පිටි අත්‍යවශ්‍ය භාණ්ඩ වෙයි. උදාහරණයක් ලෙස සුවඳ විලවුන් සහ වායු සමීකරණ සුඛෝපභෝගී ලෙස වර්ග කළ හැකිය. එහෙයින් රටේ පවතින භාණ්ඩ හා සේවා ශ්‍රේණි ගතකර ඒ ඒ භාණ්ඩ හා සේවා අයත්වන ශ්‍රේණිය අනුව අනුපාත කිහිපයකින් වැට් බදු අය කළ යුතු බව මගේ යෝජනාවයි.
සුඛෝපභෝගී භාණ්ඩ හා සේවාවලට සියයට 25 ක පමණ බද්දක් පැනවිය යුතුය. සුඛෝප භෝගී නොවන භාණ්ඩ හා සේවාවලින් සියයට 18 ක් නොව සියයට 12 සිට 15 අතර බද්දක් අය කිරීම සාධාරණය. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවලට පැනවිය යුත්තේ සියයට 05 ක පමණ බද්දකි. විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත අහෝසි කර ඒ පනත යටතට වැටෙන භාණ්ඩ සියල්ලද ඉහත කී සියයට පහේ වැට් බද්දට යටත් කළ යුතුය. එසේ බදු අනුපාත කිහිපයක් ක්‍රියාත්මක කිරීම බදු පරිපාලනයට ටිකක් කරදර බව සත්‍යයකි. එහෙත් ලංකාවේ තිබෙන විෂම ආර්ථික හා සමාජ තත්ත්වය මත බදු පරිපාලකයෝ ඒ කරදරය දරා ගැනීමට හා ඉවසා ගැනීමට මානුෂික විය යුතුය. ආදායම් සහ වැටුප් අහිමිව පණ ගැට ගසා ගැනීමට නොහැකිව ජීවිතය යදින මිලියන ගණනකට, බදු පරිපාලනයට අපහසු බව කියමින් ඇති හැකි සහ හැකි නොහැකි කාටත් සමාන බද්දක් ක්‍රියාත්මක කරවන තැනට රට තල්ලු කිරීම අසාධාරණය. බදු පරිපාලකයන් දැනට වඩා ටිකක් වැඩකර අපහසුතා විඳගෙන බදු, දඩ හා ණය බරට අමතරව ජීවන බරින් පීඩිතව සිටින මිලියන ගණනකට සහනයක් සැලසීමට මානුෂික විය යුතුය. එය ඒ පීඩිත ජනතාවට සහනයක් සේම කළගුණ සැලකීමක් ද වෙයි.
එකම බද්ද අනුපාත කිහිපයකින් ක්‍රියාත්මක කිරීම ලොව කොතැනකවත් නැති දෙයක් නොවේ. රටවල් රැසක එවැනි ක්‍රමයක් ක්‍රියාත්මක වෙයි. අසල්වැසි ඉන්දියාවේ කිරි වීදුරුවක් බීමට වත්කමක් නැති අයගේ සිට සාප්පු සවාරි සඳහා ලන්ඩන් යන අය ද සිටින බව එරට ආණ්ඩුව දනියි. ඒ නිසා එරටෙහි භාණ්ඩ හා සේවා බද්ද අනුපාත කිහිපයකින් ක්‍රියාත්මක කරයි. ඉන්දියාවේ අඩුම GST බදු අනුපාතය සියයට 0.25 කි. සියයට 1.5 සියයට 03, සියයට 05, සියයට 12, සියයට 18 සහ සියයට 28 ලෙස ඉන්දියාවේ අනුපාත 07 කින් GST බද්ද ක්‍රියාත්මක වෙයි. බංග්ලාදේශයෙහි සියයට 02, සියයට 2.4, සියයට 05, සියයට 7.5, සියයට 10 සහ සියයට 15 ලෙස වැට් බදු අනුපාත ගණන 06 කි. චීනයේ සියයට 0.5, සියයට 1.5, සියයට 02, සියයට 03, සියයට 06, සියයට 09 සහ සියයට 13 ලෙස අනුපාත 08 කින් වැට් බද්ද ක්‍රියාත්මක වෙයි. පකිස්තානයේ වැට් බද්ද ක්‍රියාත්මක වන්නේ පිරිවැටුම් හෝ වෙළෙඳ බද්ද නමිනි. සියයට 01, සියයට 02, සියයට 05, සියයට 10 සහ සියයට 12 ලෙස පකිස්තානයේ වෙළෙඳ බදු අනුපාත 05 කි.
එකම බද්ද අනුපාත කිහිපයකින් ක්‍රියාත්මක කිරීම පරිපාලනයට අපහසු බවත් ඒ රටවල බදු පරිපාලකයෝ නොකියති. සමාජවාදීය කියන චීනය අනුපාත 08 කින් වැට් බද්ද ක්‍රියාත්මක කරන්නේ ඒ සමාජවාදය යටතේ ආදායම්, වැටුප්, වත්කම් සහ ධනය රටේ සැමට සමානව හිමි නොවන නිසාය. ලංකාවේ තිබිය හැක්කේ ද චීනයට සමාන ආදායම් විසමතාවයකි. එහෙයින් අනුපාත කිහිපයකින් වැට් බද්ද ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපත්ති සම්පාදකයෝත් බදු පරිපාලකයෝත් මානුෂික විය යුත්තාහ. එක්සත් රාජධානියේ පවා සියයට 05 ක වැට් බදු අනුපාතයක් ක්‍රියාත්මක වන බව ඔවුහු තේරුම් ගත යුත්තෝය. එක්සත් රාජධානියේ උපරීම වැට් බදු අනුපාතය, සියයට 20 කි. නවසීලන්තයේ වැට් බදු අනුපාතය සියයට 18 ක් නොව සියයට 15 කි. ඔස්ට්‍රේලියාවේ භාණ්ඩ හා සේවා බදු අනුපාතය සියයට 10 කි. කැනඩාවේ භාණ්ඩ හා සේවා බදු අනුපාතය සියයට 05 කි. පිලිපීනයේ වැට් බදු අනුපාතය සියයට 12 කි. ඉන්දුනීසියාවේ වැට් බද්ද සියයට 11 කි. දකුණු කොරියාවේ වැට් බද්ද සියයට 10 කි. වියට්නාමයේ සියයට 05 සහ සියයට 10 ලෙස වැට් බදු අනුපාත දෙකකි. සිංගප්පූරුවේ භාණ්ඩ හා සේවා බද්ද සියයට 08 කි.
ප්‍රතිපත්ති සම්පාදකයන් සහ බදු පරිපාලකයන් ඒ තොරතුරුවලින් අවබෝධ කරගත යුත්තේ ආදායම්, වැටුප්, වත්කම් සහ ධනය ලැබිය යුතු තරම් නොලැබීමෙන් ලංකාවේ ජනගහනයෙන් අති විශාල පිරිසක් දුප්පතුන්ව, දුකට පත්ව සිටින බවය. රටේ ක්‍රියාත්මක වන බදු ක්‍රම හා ප්‍රතිපත්ති ඒ පීඩිත ජනතාවට අසහනයක් නොවිය යුතුය. ඔවුනට සහනයක් සැලසිය හැක්කේ වැට් බද්ද අනුපාත කිපයකින් ක්‍රියාත්මක කිරීමෙනි. එය කළ නොහැකි දෙයක් නොවේ. වැට් බද්ද හඳුන්වා දුන් මුල් යුගයේ ලංකාවේ ද අනුපාත කිහිපයකින් වැට් බද්ද ක්‍රියාත්මක වූ බව අපට අමතක කළ නොහැකිය. එහෙයින් අනුපාත කිහිපයකින් වැට් බද්ද ක්‍රියාත්මක කිරීමෙන් රැස් කරගත හැකි බදු ආදායම සහ අනුපාත කිහිපයකින් එකම බද්ද ක්‍රියාත්මක කිරීමේ දී උද්ගත වන පරිපාලන අපහසුතා මඟහරවා ගත හැකි ක්‍රමවේ ද පිළිබඳව අධ්‍යයනයක් කළ යුතු බව මගේ යෝජනාවයි. එහි අරමුණ විය යුත්තේ ජනතාවට පීඩාවක් නොවන අයුරින් රජය අපේක්ෂා කරන බදු ආදායම රැස්කර ගැනීමය.
(*** සාකච්ඡා සටහන – ගුණසිංහ හේරත්)