වැටුප් නංවන ක්‍රියාවලියේ නව කෝණ


2025 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලු‍ම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා වූ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. ජනාධිපතිවරණය ආසන්නව තිබියදී රජය විසින් මෙම වැටුප් කිරීම දේශපාලන අරමුණු මත ගන්නා ලද තීරණයක් බව සමහරු අර්ථ දක්වති.

ඒ අතරම මෙම තීරණයේ ආර්ථික බලපෑම පිළිබඳව උනන්දුවක් දක්වන සමහර අය රට දුෂ්කර කාලපරිච්ජේදයකට මුහුණ දී සිටින විට එවැනි තීරණයක් යෝග්‍යදැයි ප්‍රශ්න කරති. විවිධ මත පළ කරති. රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති වැටුප් වැඩිවීම මේ වසරේ දී ඉදිරිපත් කිරීමට නියමිතව ඇති 2025 අයවැය ලේඛනය මගින් ප්‍රතිපාදන ලබා දී ක්‍රියාත්මක කරන බව ද රජය සඳහන් කර තිබේ.

මාස කිහිපයකට පෙර රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා විවිධාකාරයේ උද්ඝෝෂණ, වර්ජන සහ විරෝධතා පැවැත්වූ ආකාරය බොහෝ දෙනකුට මතක ඇතැයි සිතමි. රජය විසින් 2024 වර්ෂය සඳහා සම්මත කර ගන්නා ලද අයවැය යෝජනා මගින් සියලු‍ම රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කරන ලදී. එය මේ වසරේ අප්‍රේල් මාසය වන විට අදියර දෙකක් යටතේ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර තිබුණි. එසේ වුවද තවදුරටත් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා ඇතැම් රාජ්‍ය අංශවල උද්ඝෝෂණ සහ වර්ජන ආරම්භ විය.

සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරුන්ට අදාළ වැටුප් ගැළපීමක් කිරීමෙන් පසු අනෙකුත් සේවක පිරිස්වලට ද වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස වැඩ වර්ජනයක් ආරම්භ විය. ඉන්පසු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව වැඩි කිරීමෙන් පසු ඒ හා සමාන දීමනාවක් තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනයක් ද ක්‍රියාත්මක විය. එය මාස දෙකකටත් වැඩි කාලයක් ක්‍රියාත්මක වූ අතර, මෑත කාලයේ දී විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක වූ දීර්ඝතම වැඩ වර්ජනයක් ලෙස එය හැඳින්විය හැකිය. ඒ ආකාරයටම තමන්ට නියමිත හිඟ වැටුප් වැඩිවීම් ලබාදෙන ලෙස ඉල්ලා පාසල් ගුරුවරු ද උද්ඝෝෂණයක් ආරම්භ කළහ. මෙම වර්ජන පිටුපස වැටුප් හා දීමනා වැඩි කර ගැනීම පිළිබඳ අරමුණු මෙන්ම සමහර අවස්ථාවලදී ඒවා පිටුපස දේශපාලන අරමුණු ද ක්‍රියාත්මක වූ බව පෙනේ.

ජනාධිපතිවරණය ආසන්නව පවත්නා විට වැඩ වර්ජන හේතුවෙන් රජය අපහසුතාවට පත්වීම නොවැළැක්විය හැක්කකි. ඒ අතරම රජය වෙත එල්ලවන පීඩනය හේතුවෙන් තම ඉල්ලීම් ඉටු කිරීමට රජය පෙළඹෙනු ඇතැයි වෘත්තීය සමිති නායකයෝ අපේක්ෂා කරති. ඒ අතරම දේශපාලනයට සම්බන්ධ වෘත්තීය සංගම් නායකයන් බොහෝ විට මෙවැනි විරෝධතා දියත් කරනුයේ රජය අප්‍රසාදයට ලක් කර තමන් සහාය දක්වන කණ්ඩායමට වාසි ලබාගැනීම බව පෙනේ.

පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ, මැතිවරණ, පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඡන්ද පැවැත්වෙන කාල සීමාව තුළ දී බොහෝ විට එවැනි වර්ජන හා උද්ඝෝෂණ ක්‍රියාත්මක වී ඇති බව පෙනේ. වත්මන් රජය මේ අවස්ථාවේ දී ඇතිව තිබෙන වර්ජන සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූයේ අතීත වර්ජන අත්දැකීම් පිළිබඳව අවබෝධයකින් යුතුව බව පෙනේ. කුමන හෝ කණ්ඩායමක ඉල්ලීම් ලබාදීමට ක්‍රියා කළහොත් දිගින් දිගටම වර්ජන ඇති විය හැකි බව ද එමගින් රට තුළ අවුල් ජාලයක් ඇති වීමට ඉඩ තිබෙන බව ද වටහාගෙන රජය කටයුතු කර ඇත. මෙම අවස්ථාවේ දී වැටුප් හෝ දීමනා වැඩි කිරීමට මුදල් වෙන් කර නැති බවත්, එක් එක් ආයතනවල වැටුප් හා දීමනා පිළිබඳව වෙන් වෙන් තීරණ ගැනීමෙන් වැටුප් විසමතා උග්‍ර වීමට ඉඩ ඇති බවත් රජය ප්‍රකාශ කළේය. ඒ හේතුවෙන් සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් විසමතා පිළිබඳ අධ්‍යයන කිරීමට කටයුතු කරන බවත්, 2025 අයවැය ලේඛනය මගින් එම විසමතා තුරන් කිරීමට කටයුතු කරන බවත් සඳහන් කරන ලදී.

ඇතැම් වෘත්තීය සමිති රජයේ මෙම යෝජනාව පිළිබඳ එකඟතාවක් නොදක්වා අඛණ්ඩව වැඩ වර්ජනයේ යෙදුණ නමුත් 2024 මැයි මස 27 වෙනි දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී රාජ්‍ය අංශයේ වැටුප් විසමතා පිළිබඳව අධ්‍යයනය කර ඒවා විසඳීම සඳහා වූ නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය. හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතා එහි සභාපතිවරයා ලෙස පත් කළ අතර, එහි ලේකම්වරයා ලෙස ප්‍රවීණ පරිපාලන නිලධාරී, ජනාධිපති අතිරේක ලේකම් වර්නන් පෙරේරා මහතා පත් කළේය. බොහෝ දෙනකු බලාපොරොත්තු වූයේ සෑම අවස්ථාවක දී ම පාහේ සිදුවන ආකාරයට ප්‍රශ්න යට ගැසීම සඳහා රජය විසින් කමිටුවක් පත් කිරීම පිළිබඳ තීරණය ගෙන ඇති බවයි.

එයට හේතුව බොහෝ විට රජය විසින් පත් කරනු ලබන කමිටු හෝ කොමිෂන් සභා නියමිත කාලයට තම කාර්යය නිමවන්නේ නැත. ඒ නිසා රජයට එම කමිටුවල කාලය දීර්ඝ කිරීමට සිදු වේ. ඒවායේ වාර්තා ඉදිරිපත් වන්නේ බොහෝ කලකට පසුවය. එවැනි වාර්තා වුවද රජය විසින් සම්පූර්ණයෙන් පිළිගෙන ක්‍රියාත්මක කිරීමක් සිදුවන්නේ කලාතුරකිනි. එබැවින් බොහෝ දෙනෙක් එම කමිටු හෝ කොමිෂන් සභාවලින් විසඳුමක් ලැබෙනු ඇතැයි විශ්වාස නොකරති.

රජය විසින් මෙම කමිටුව පත් කරන ලද්දේ 2024 ජුනි මස 11 වැනිදාය. එහි වාර්තාව අගෝස්තු මස 12 වැනිදා රජය වෙත ඉදිරිපත් කරන ලදී. ඉතා කෙටි කාලයකදී ගැටලු‍ සහගත වූ කරුණු රැසක් පිළිබඳ අධ්‍යයන කර විසඳුම් ඉදිරිපත් කිරීම ප්‍රශංසනීය කටයුත්තක් ලෙස හැඳින්විය හැකිය. එයට හේතුව වෙනත් බොහෝ කමිටු මෙන් කාලය දික් කර ගැනීමකින් තොරව තම වාර්තාව ඉදිරිපත් කර තිබීමයි.

මෙම වාර්තාව කැබිනට් මණ්ඩලය පිළිගෙන ඇති අතර, රාජ්‍ය සේවයේ ඉතා වැදගත් වෙනස්කම් රැසක් හඳුන්වා දීමට ඒ අනුව කටයුතු කර තිබේ. ඉතාම වැදගත් යෝජනාව වන්නේ ජීවන වියදම් දීමනාව ඇතුළු මෑතකදී ලබා දුන් අනෙකුත් දීමනා එකතු කර රුපියල් 25000 ක ජීවන වියදම් දීමනාවක් ලබා දීමටත්, මූලික වැටුප සියයට 24 ත් සියයට 35 ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමටත් ගෙන ඇති තීරණයයි. මේ වන විට රුපියල් 24250 ක් වන මූලික වැටුප රුපියල් 30,000 දක්වා වැඩි වේ. ඒ අනුව රාජ්‍ය සේවයේ අඩුම වැටුප් ලබන සේවකයාගේ වැටුප ජීවන වියදම් දීමනාව සමඟ රුපියල් 55000 දක්වා ඉහළ යනු ඇත.

ඒ අතරම 2020 ට පෙර විශ්‍රාම ලැබූ රාජ්‍ය නිලධාරීන්ට හිමිකම් ලැබූ වැටුප් වර්ධක ලබා දී ඔවුන් විශ්‍රාම වැටුප් සංශෝධන කර විසමතා නිරවුල් කිරීමට ද කටයුතු කර ඇත. දැනට රාජ්‍ය සේවයේ සිටින නිලධාරීන්ට ලබාදෙන ජීවන වියදම් දීමනාවෙන් සියයට 50 කට සමාන දීමනාවන් ඔවුන්ට හිමි වේ. රාජ්‍ය සේවකයන් සඳහා නව රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ද කමිටුවේ නිර්දේශ අනුව රජය තීරණය කර තිබේ.

කෙසේ වුවද උදය සෙනෙවිරත්න කමිටුවේ අදහස වී තිබෙන්නේ වැටුප් වැඩි කර රාජ්‍ය සේවය සඳහා සහන ලබාදෙන අතරම එම සේවාවන්ගේ කාර්යක්ෂමතාව ද ඉහළ දැමිය යුතු බවයි. ඩිජිටල්කරණය ඇතුළු තාක්ෂණික වෙනස්කම් හඳුන්වා දෙන විට රාජ්‍ය සේවයේ නිලධාරීන් සංඛ්‍යාව ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට ඉඩ ලැබෙනු ඇත. රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව කමිටුව විසින් අවධාරණය කර තිබේ.

රට ආර්ථික වශයෙන් අසීරු තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවක මෙම යෝජනා ක්‍රියාත්මක කළ හැකි ද යන්නත් ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලැබෙනු ඇද්ද යන කාරණය පිළිබඳවත් සමහරු ප්‍රශ්න කර ඇත්තාහ. රජය මෙම යෝජනා පිළිගෙන තිබෙන්නේ ඉදිරි වසර කිහිපය තුළ අයි.එම්.එෆ්. සමඟ වූ සම්මුතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ එකඟතාවන්ට අනුකූලවය. ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩනයට පත් වූ පිරිස්වලට සහන සැලසීම සඳහා වූ එකඟතා සම්මුතියේ අන්තර්ගතව පවතී.

රට තුළ පැන නැගුණු කම්කරු ආරවුල් අඛණ්ඩව පැතිර යාම වැළැක්වීම සඳහා රජය විසින් අනුගමනය කරන ලද උපාය මාර්ගික පිළිවෙතේ ප්‍රතිඵලයක් ලෙස මෙම වැටුප් වැඩිවීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් විය. රජයට අවශ්‍ය වූයේ රජයේ එක් එක් ආයතනවල විවිධාකාරයේ වැටුප් ක්‍රම ක්‍රියාත්මක කිරීම වෙනුවට විධිමත් හා ක්‍රමානුකූල වැටුප් පිළිවෙතක් ඇති කර ගැනීමටය. වැටුප් වැඩිවීම නිර්දේශ කරන ලද්දේ රටේ ආර්ථික තත්වය, රජයේ ආදායම, දැරීමට සිදුවන පිරිවැය ආදිය පිළිබඳ තාර්කික සමාලෝචනයක් මගින් නිගමනවලට එළඹීමෙනි. ඒ නිසා මෙය ජනාධිපතිවරණය අරමුණු කර ගත් දේශපාලනික යෝජනාවක් නොවන බව පෙනී යනු ඇත.

ඊළඟට පැන නගින ප්‍රශ්නය වන්නේ සැබැවින්ම මෙම යෝජනාව ක්‍රියාත්මක කරනු ඇද්ද යන කාරණය පිළිබඳවයි. 2015 වසරේ දී ද මේ ආකාරයේ ම වැටුප් වැඩිවීමක් පිළිබඳ යෝජනා ඉදිරිපත් විය. 2015 වසරේ දී රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000 කින් වැඩි කළ අතර, 2016 වසරේ දී අදියර කිහිපයක් යටතේ එම වැටුප් වැඩිවීම මූලික වැටුපට එකතු කරන ලදී. අද රජයේ සේවකයන් ලබන වැටුපෙන් සියයට 50 වැඩි ප්‍රමාණයක් 2015 සහ 2016 වැටුප් වැඩිවීම නිසා ලැබෙන්නක් වේ. ඒ ආකාරයට ම 2025 වසරේදී ද වැටුප් වැඩිවීම ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

රජයේ ආදායම පිළිබඳව වෙනස්කම් ඇති කරන ආකාරයේ යෝජනා ඉදිරිපත් වුවහොත් මෙම වැටුප් වැඩිවීම ක්‍රියාත්මකවීම සම්බන්ධයෙන් ගැටලු‍ පැන නැගීමට ඉඩ තිබේ. නව වැටුප් වැඩිවීම ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ රජයේ ආදායම් තත්වය සහ අයි.එම්.එෆ්. එකඟතාවට අනුකූලවන ආකාරයෙනි. එසේ වුව ද බදු සම්බන්ධයෙන් හෝ අනෙකුත් ආදායම් සම්බන්ධයෙන් කවර හෝ වෙනස්කමක් හඳුන්වා දෙන්නේ නම් එවිට නව වැටුප් සංශෝධන ක්‍රියාත්මක කිරීමට හැකි වේ ද යන්න පිළිබඳව අවිනිශ්චිතතාවක් ගොඩ නැගෙනු ඇත.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර