වැඩවර්ජන - ජනතාවාදී විසඳුමක්


මේ දිනවල ක්‍රියාත්මක විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනයට මේ වන විට දින පනහකට ආසන්න කාලයක් ගතවී තිබේ. පොදුවේ ගත් කල, වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීම වෘත්තීය අයිතිවාසිකමක් ලෙස කවුරුත් පිළිගන්නා කරුණකි. ඒ අයිතියට අපි කවුරුත් ගරු කරමු. එහෙත්, මෙතැනදී අපට ප්‍රශ්න කළ යුතුව ඇති කරුණ නම්, ඔවුන්ගේ එම අයිතිය භාවිත කිරීමේ ක්‍රමය නිවැරැදි ද යන්නයි. එයින් ඇති වන පල විපාක, රටට ඇති වන බලපෑම, සමාජයට ඇති වන අපහසුතා ආදිය එහිදී සලකා බැලිය යුතුය.

මේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල 17කි. ඒවාට අනුබද්ධ ආයතන ද සමග තිස් ගණනකි. විශ්වවිද්‍යාලවල මූලිකව කාර්යමණ්ඩල දෙකකි. අධ්‍යයන කාර්යමණ්ඩල යනු, ඉගැන්වීම් කටයුතුවල යෙදෙන අයයි. අනධ්‍යයන කාර්යමණ්ඩලයට ඇතුළත් වන්නේ පරිපාලන සහ සහකාර වෘත්තීය කටයුතු කරන පිරිසයි. ඔවුන් අතර ද සාමාන්‍ය සේවකයන් සහ විධායක ශ්‍රේණිය යනුවෙන් දෙකොටසක් දැකිය හැකිය. එයින් ද වැඩි සේවක සංඛ්‍යාවක් අයත් වන්නේ සාමාන්‍ය සේවකයන්ගේ කොටසටයි. අනධ්‍යයන සේවකයන්ගේ මෙම වර්ජනයට ප්‍රධාන හේතුව ලෙස දැක්වෙන්නේ, වැටුප්වල පවත්නා විසමතාවයි. ඔවුන් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන්නේ ජයග්‍රහණයකින් තොරව නිම නොකරනවාය යන අදහසින් බව පෙනේ. එහෙත්, රජය සමග මේ සම්බන්ධ අතරමැදි විසඳුමකට පැමිණීමට මොවුන් තවමත් සමත් වී ඇති බවක් නොපෙනේ. අපට දැනගන්නට ලැබෙන ආරංචි මාර්ග අනුව, ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කොට ඇත්තේ, මේ වසර තුළ පඩි වැඩි කිරීමක් කළ නොහැකි බවත්, ඒ සඳහා පසුගිය අයවැයෙන් මුදල් වෙන් වී නොමැති බවත්ය.

විශ්වවිද්‍යාලවල පමණක් නොව සේවක වැටුප් විසමතා බොහෝ රාජ්‍ය ආයතනවල පවතී. ඒ ඒ ආයතනවල වෘත්තීය අරගල හෝ වැඩවර්ජන මත පදනම්ව තනි තනි වශයෙන් ගෙන මෙම වැටුප් විසමතා සඳහා පිළියම් සෙවීම දුෂ්කරය. වැටුප් සම්බන්ධ කොමිටියක් පත් කොට ඇත්තේ ඒ සඳහා ස්ථිරසාර විසඳුමක් ලබා දීමේ අපේක්ෂාවෙනි. එයින් ලැබෙන වාර්තා අනුව වැටුප් විසමතා නිවැරැදිව හඳුනාගත හැකිය. ජනාධිපතිවරයාගේ අදහස වී තිබුණේ, මෙම කොමිටියේ නිර්දේශ මත ලබන වසරේ මේ සඳහා විසඳුමක් ලබා දිය හැකි වනු ඇති බවය. සේවයට වාර්තා නොකළහොත්, සේවය අතහැර ගියා සේ සලකන බව රජයේ ඊළඟ දැනුම් දීමයි.

ජනාධිපතිවරයාගේ අදහස අනුව, වැඩවර්ජනය සම්බන්ධයෙන් යම් තීරණයකට පැමිණීමේ හැකියාව ඇත. සේවය අතහැර ගියා යැයි සලකා ක්‍රියා කිරීම වෘත්තීය සමිතිවල සෞඛ්‍යය සම්බන්ධයෙන් ඒ තරම් යහපත් නොවේ. එබැවින්, ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැන් ඔවුන් වැඩිපුර සිතන්නට කාලය පැමිණ තිබේ.

මේ වෘත්තීය ක්‍රියාමාර්ගය කරන්නේ වෘත්තීය සමිති කිහිපයකගේ එකමුතුවෙනි. ලංකාවේ මෙම සමිති හඳුන්වන්නේ, වෘත්තීය සමිති ව්‍යාපාර වශයෙනි. ජපානය වැනි රටවල වෘත්තීය සමිති ක්‍රියාත්මක වන්නේ තම ආයතනයට හා වෘත්තීන්ට සම්බන්ධව පමණි. එම සමිතිවල අපේ රටේ මෙන් සේවක සංගම් පනහක් සියයක් දැකිය නොහැකිය. එක් ආයතනයක් වර්ජනයක් ක්‍රියාත්මක කරන විට තවත් ආයතනයක් වර්ජනයක් ආරම්භ නොකිරීමේ සදාචාරාත්මක තත්වයක් ද ඒ රටවල දැකිය හැකිය. ලංකාවේ වෘත්තීය සමිති සියල්ලක්ම පාහේ ක්‍රියාත්මක වන්නේ දේශපාලන සබඳතා මත පදනම්වය. මේවා බොහොමයක් හැඳින්වෙන්නේ වෘත්තීය සමිති එකමුතුව ලෙසිනි. සැබෑ තත්වය පරීක්ෂා කළොත්, මේ එකමුතුව ඇත්තේ සේවකයන් අතර නොව වෘත්තීය සමිති අතරය.

ලංකාවේ විශ්වවිද්‍යාල ඉතිහාසයේ දීර්ඝතම වර්ජනය ක්‍රියාත්මක කළෝ විශ්වවිද්‍යාල ආචාර්යවරුය. ඒ, 2011 වසරේ ක්‍රියාත්මක කළ දින සියයේ වැඩවර්ජනයයි. ආචාර්යවරයකුගේ වැටුප විශ්වවිද්‍යාලයේ පහළ මට්ටමේ සාමාන්‍ය සේවකයකුගේ වැටුප මෙන් හතර ගුණයක් පමණය. වර්ජනයේදී පළමු මාසය ගෙවී ගොස් මාසික වැටුප නොලැබෙන විට බොහෝ ආචාර්යවරු ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටියහ. දෙවැනි මාසයේ වැටුප ද අහිමි වන විට පෙරටත් වඩා වැඩි පිරිසක් අර්බුදයට ලක් වූහ. තුන් වැනි මාසය වන විට වැටුප් නොමැතිව ජීවත් විය නොහැකි මට්ටමට හෙම්බත් වූහ. වෘත්තීය සමිති නායකයෝ මානසිකව ද පීඩාවට ලක් වූහ. වෘත්තීය සමිති පැත්තෙන් යම් සහනශීලී වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට සිදු විය. දැන් මෙහිදී අපට තේරුම් යන යථාර්ථය කුමක් ද? විශ්වවිද්‍යාල ආචාර්යවරයකුට වඩා හතරෙන් පංගුවක් පමණ වැටුප් ලබන සේවකයන් බහුතරයක් අනධ්‍යයන සේවකයන් අතර සිටී නම්, ඔවුන් දැනට මාස දෙකක් පමණ වැටුප් නොලබා ජීවත් වන්නේ කෙසේ ද? තවදුරටත් වර්ජනය දිගින් දිගට ක්‍රියාත්මක කරනවා නම් ඒ කාල සීමාවේ ද වැටුප් ලැබෙන්නේ නැති නම් මතු වන තර්කය වන්නේ, මොවුනට ජීවත් විය නොහැකි තරමේ ආර්ථික ප්‍රශ්නයක් නොමැති බවය.

එසේ නම්, ඔවුනට ජීවත් වීමට හැකි තරම් හොඳ වැටුපක් ලැබෙනවා ඇතිය යන තර්කය කෙනකුට මතු විය හැකිය. මේ තර්කය මත අනධ්‍යයන කාර්යමණ්ඩලය තව තවත් මේ වැඩවර්ජනය දිග් ගස්සනවාය කියා කියන්නේ ඔවුන්ගේ වැටුප මාස දෙක තුනක් වැටුප් නොලබාම ජීවත් වීමට තරම් ප්‍රමාණවත්ය යන මතය තහවුරු කිරීමට ආණ්ඩුවට හේතු සැපැයීමකි. එම හේතු සැපැයීම තමන් අත ඇති ආයුධයක් ආණ්ඩුවට ලබා දීම වැනි කටයුත්තකි.

මෙයින් පැහැදිලි වන්නේ, මේ වැඩවර්ජන සේවකයන්ගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට වඩා වෘත්තීය සමිතිවල දේශපාලන අවශ්‍යතා ඉටු කරගැනීමට දරන ප්‍රයත්නයක් ලෙසය. විවිධ වෘත්තීය සමිති හිටිහැටියේ විදුලි කොටන්නා සේ වැඩවර්ජන ආරම්භ කරන්නේ මේ නිසාය. ගුරුවරු පවා දැන් වර්ජන ක්‍රියාත්මක කිරීමට උපන් හපන්කම් ඇති පිරිසක් බවට පත්ව සිටිති. ඔවුන්ගේ වර්ජන අවසන් වන්නේම නැත. ගෝඨාභය ජනාධිපතිවරයාගේ කාලයේ ගුරුවරුන් ඉල්ලා සිටි දේවල්වලටත් වඩා වරප්‍රසාද ලබා දෙන්නට උත්සාහ කිරීමෙන් තමන් ජයග්‍රාහී වෘත්තීය සමිතියකැයි ඔවුහු කල්පනා කළහ. මේ ජයග්‍රාහී මානසිකත්වයෙන් නිතර නිතර සටන් කරන්නට පටන්ගත්හ. එය මෝඩකමකි. එයින් සිදු වන්නේ නැපෝලියන් බොනපාට්ට සිදු වූ දේමය.

මොවුන් දිගින් දිගටම වර්ජන ක්‍රියාත්මක කරමින් අපේක්ෂා කරන්නේ, පවතින රජය අපකීර්තියට පත් කිරීමය. ඒ බහුතරය නියෝජනය කරන්නෝ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පාක්ෂිකයෝය. මේ පාලකයන් පලවා හරින තෙක් වර්ජන ක්‍රියාත්මක කරනවාය යන අදහස මතු වීමෙන් ඉදිරියට එන්නේ ඔවුන්ගේ ඒ අරමුණය. මීටත් අමතරව තව තවත් වෘත්තීය අරගල මේ කාලයේ මතු වීමේ ප්‍රවණතාවක් පෙනෙන්නට තිබේ. මැතිවරණයක් ළඟ එන මේ කාලයේ එවන් වෘත්තීය අරගලවලින් අපේක්ෂා කරන්නේ වෙන කිසිවක් නොව තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂයට සහයෝගය ලබා දීමය. ආණ්ඩුව අසීරුතාවට පත් කිරීමය.

ලංකාවේ සෑම දේශපාලන පක්ෂයක්ම පාහේ වෘත්තීය සමිති ආරම්භ කළ අතර, ඒවා තම පක්ෂවල ප්‍රයෝජනය සඳහා යොදා ගැනිණ. ඒ අනුව, අපේ රටේ වැඩිපුරම දේශපාලන ක්‍රියාකාරකම් කරන්නේ වෘත්තීය සමිති බව පැහැදිලිය. මෙය ලංකාවේ ඉතාම නරක පහත් තත්වයකි. තම වෘත්තිය සහ වෘත්තීය සමිති අවමානයට ලක් කිරීමකි. නිතර නිතර මෙසේ වර්ජන ක්‍රියාත්මක කිරීමෙන් සිදු වන්නේ වෘත්තිකයා සහ ඔවුන්ගේ වෘත්තීය ගෞරවය විනාශ වී යාමය. අද වන විට බොහෝ අංශවලට ඒ ඉරණම අත් වී ඇත. වෛද්‍යවරු ද ගුරුවරු ද ඒ ඉරණම අද උදා කරගෙන සිටිති. රජයේ සේවකයා සත පහකට ගණන් නොගන්නා තැනට මෙයින් පරිසරය නිර්මාණය වේ. ඒ තත්වය ඇති වුණේම දේශපාලන අවශ්‍යතා ඉටු කිරීමට යාම නිසාය.

ජපන් ජාතිකයෝ තම වෘත්තීය ඉල්ලීම් දිනාගන්නේ එකඟතාවන් හා සාකච්ඡා මාර්ගයෙනි. නැතහොත්, කැපකිරීම් අනුවය. ඔවුහු කම්කරු නීතිය තුළම ඇලී ගැලී නොසිටිති. එහෙත්, ලංකාවේ මේ පවත්නා තත්වය තුළ වෘත්තීය සමිතිවල ගැටලු‍ කිසි දිනෙක විසඳිය නොහැක. හේතුව, ඔවුන්ට වෘත්තීය අභිලාෂයක් නොව දේශපාලන අභිලාෂයක් ප්‍රමුඛ වීමයි. ලංකාවේ වෘත්තීය සමිති ඔවුන්ගේ සාර්ථකත්වය මනින්නේ තමුන්ට ලැබෙන දෙයින් නොවේ. කොපමණ රෝහල් ගණනක් වැසුණා ද, කී දාහක් සේවයෙන් ඉවත් වී සිටියා ද, පාසල් කී දාහක් වැසුණා ද, රෝගීන් කී දෙනෙක් මිය ගියා ද, කී දෙනකුට බස් කෝච්චි නැතිව ගියා ද ආදියෙනි. ලංකාවේ වෘත්තීය සමිතිවලට ඇත්තේ මොන තරම් දුෂ්ට අභිලාෂයක් ද යන්න එයින්ම පෙනේ.

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය දෙස නැවත අවධානය යොමු කළහොත්, කිසියම් නිගමනයකට පැමිණිය හැකිය. අනධ්‍යයන සේවකයන්ගෙන් ප්‍රධාන වශයෙන්ම සිදු වන්නේ ආචාර්යවරුන්ගේ ඉගැන්වීමට සහ ශිෂ්‍යයන්ගේ ඉගැනීමට අතරමැදි පහසුකම් සැලසීමය. ඉගැනීම සහ ඉගැන්වීම යම් යම් බාධා සහිතව වුවත් පවත්වාගෙන යාම කළ නොහැකි නොවේ. මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආචාර්යවරුන්ගේ පර් යේෂණ කටයුතු සඳහා ප්‍රබල බාධාවක් වී නැත. එහෙත්, ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනයට බාධාවක් වී තිබේ. මේ අතරතුරත් තාක්ෂණික ක්‍රම ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදුවේ. ඒ නිසා මේ වෘත්තීය සමිතියේ බලපෑම් විශ්වවිද්‍යාලයට මහ ලොකුවට දැනුණ බවක් නොපෙනේ. එයින් සමාජයට බරපතළ පීඩාවක් ඇති කළ නොහැකිය. මාස දෙකකට ආසන්න වන තුරු රජය කලබල වන බවක් නොපෙනෙන්නේ මේ නිසා විය යුතුය.

රජය කළ යුත්තේ කලින් කලට එන වෘත්තීය සමිති ප්‍රශ්නවලට පිළිතුරු සැපැයීමට වඩා තිරසාර රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීමේ කාර්යයෙහි ප්‍රමුඛ වීමය. ඒ සඳහා මුලින්ම කළ යුත්තේ, රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කිරීමය. එසේ වුවහොත්, සෑම සේවකයකුටම වැඩි වැටුපක් ලබා දෙන්නට හැකියාව ලැබෙනු ඇත. වර්ජන අවම වනු ඇත. දූෂණ වංචා අවම වනු ඇත. අද මේ රාජ්‍ය සේවයේ ඇති වී තිබෙන තත්වයට වගකිව යුත්තේ ද පෙර පැවැති ආණ්ඩුමය. ඔවුන් කළ වැරැද්ද හේතුවෙන් බලයට එන සෑම රජයකටම මේ ප්‍රශ්නයෙන් බැට කන්නට සිදු වී තිබේ.

(*** සටහන – ගාමිණී කන්දේපොළ)