වැඩිම උණුසුම ඇති උණු දිය උල්පත ටැම්පිටියෙන් By None // 2012 මැයි 20 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලංකාවේ මෙතෙක් වැඩිම උෂ්ණත්වයක් ඇති උණු දිය උල්පත වාර්තා වන්නේ මහඔය ටැම්පිටිය කපුරුල්ලෙනි. මේ මහඔය ටැම්පිටිය කපුරුල්ල උණුදිය උල්පතේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 64.5 ක් බවත් එය ලංකාවේ පිහිටා ඇති උණුදිය උල්පත් වලින් වැඩිම උෂ්ණත්වය වාර්තාවන උණුදිය උල්පත බවත් මහනුවර මූලික අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය දීපාල් සුබසිංහ මහතා ප‍්‍රකාශ කරයි. ඉකුත් මාසයක් වැනි කාලපරාසයකදී කළ පර්යේෂණ මගින් මෙම උණුදිය උල්පත අධික උෂ්ණත්වයක් ඇති උණුදිය උල්පත බව සොයාගැනීමට හැකිවූ බවද ඒ මහතා ප‍්‍රකාශ කළේය. මෙය නැරඹීමට යන්නේ නම් මහඔය 69, හන්දිය මඩකළපු පාර, පිල්ලූමලේ හන්දිය හරහා ටැම්පය මාවතින් ළඟාවිය හැකියි. මෙම ප‍්‍රදේශයේදී එවකට එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන් අතින් යුද හමුදාවේ සහ ග‍්‍රාමආරක්ෂක භටයින් 17 දෙනකු ඝාතනය වූ බවද ජනතාව කියති. මෙම උණුදිය උල්පතට ළඟාවීමට ඇති දුෂ්කරතාවක් පසුගිය කාලයේ තිබූ කලබලකාරී වාතාවරණයත් සමග මේ පිළිබඳ පරීක්ෂා කර බැලීමට අවස්ථාවක් නොලැබූ බවද දීපාල් සුබසිංහ මහතා කීවේය. මෙතෙක් කල් වැලිකන්ද නෙළුම් වැව උණුදිය උල්පත සෙල්සියස් අංශක 62 ක් වාර්තා වී අංක එකට වාර්තා වී තිබූ බවද දීපාල් මහතා පැවසීය. උණුදිය උල්පත් ඇතිවන්නේ කොහොමද? පොළව අභ්‍යන්තරයේ අධික උෂ්ණත්වයක් පවතිනවා එහෙයින්ම ඉතා ගැඹුරට යනවිට ද්‍රව වූ පාෂාණ මැග්මා (ලෝදිය) ලෙස පවතිනවා. පොළව තුළට යනවිට සාමාන්‍ය උෂ්ණත්ව අනුක‍්‍රමණය කිලෝමීටරයකට සෙල්සියස් අංශක 30 ක් පමණ වෙනවා. මේ අනුව කිලෝමීටර් 10 ක් ගැඹුරේදී උෂ්ණත්ව අනුක‍්‍රමණය පෘථිවියේ තැනින් තැන වෙනස් වෙනවා. ගිනිකඳු ආශ‍්‍රිත ප‍්‍රදේශවල මේ අනුක‍්‍රමණය කිහිප ගුණයකින් වැඩිවිය හැකියි.පෘථිවි අභ්‍යන්තරයේ ඇති භූතාපයෙන් 1/5 ක් පමණ පෘථිවි නිර්මාණය වූ අවධියේ තිබූ තාපයෙන් ඉතිරිවී කොටසක්. ඉතිරි පහෙන් හතර විකිරණශීලී මූලද්‍රව්‍ය ක්ෂය වීම නිසා ඇතිවෙනවා. පෘථිවි අභ්‍යන්තරයේ ඇති මැග්මා එකවරම පිටවන ස්ථාන ගිනි කඳු ලෙස අප හඳුන්වනවා. නමුත් සමහර ස්ථාන වල පෘථිවි පෘෂ්ඨය ආසන්නයට පැමිණ මතු පිටටම නොපැමිණ නැවතී ඇති මැග්මා හෝ ආග්නේය පාෂාණ තිබිය හැකියි. එවැනි ස්ථානවල භූතාප අනුක‍්‍රමණය සාමාන්‍ය අගය එනම් කි.මී. 1 ට අංශක 30 ට වඩා වැඩියි. එවැනි ස්ථානවලට ඇතුළුවන භූගත ජලය පාෂාණයේ ඇති තාපයෙන් කොටසක් උරාගෙන උණුසුම් වී උණුදිය උල්පතක් ලෙස පොළොව මතුපිටට පැමිණිය හැකියි. ඒ එක ක‍්‍රමයක්.එසේම ඉතා ගැඹුරට විහිදී ගිය කුස්තුර පද්ධතියක් ඇති ප‍්‍රදේශවල භූගත ජලය ඉතා ගැඹුරට ගොස් වැඩි උෂ්ණත්වයකට රත්වී පොළව මතුපිටට පැමිණිය හැකියි. විකිරණශීලී ක්ෂය වීමෙන් ඇතිවන තාපය නිසාද උණුදිය උල්පත් ඇති විය හැකියි. උණුදිය උල්පතක් ඇතිවීම පිණිස තාප ප‍්‍රභවයක් සහ ඒ තාප ප‍්‍රභවය ආසන්නයට ජලය ගමන් කිරීමට හැකි ලෙස කුස්තුර පද්ධතියක් ඇති පාෂාණත් තිබිය යුතුයි. ප‍්‍රමාණවත් තරම් භූගත ජලයද තිබිය යුතුයි. බොහෝ රටවල් උණුදිය උල්පත ආශ‍්‍රිතව විදුලි උත්පාදනය කළ හැකි දැයි පර්යේෂණ කටයුතු කරනවා. ඒ ගැන ඔබ මොනවද කියන්නෙ. භූතාප ශක්තිය ඉතා දීර්ඝකාලයකට අඩු නොවන නිසා එය පුනර්ජනනීය බලශක්ති විශේෂයක් ලෙස භාවිත කළ හැකියි. ප‍්‍රමාණවත් තරම් තාප ප‍්‍රමාණයක් ඇති නම් විදුලිය ජනනය කිරීමටත් යොදා ගත හැකියි.මේ විදුලි උත්පාදනය කාලගුණික සාධක මත රඳා නොපවතින වසර පුරාම එකසේ ලබාගත හැකි පරිසරයට ඉතා අඩු බලපෑමක් කරන ක‍්‍රමවේදයක් නිසා මේ ගැන මූලික අධ්‍යයන ආයතනය විශේෂයෙන්ම පර්යේෂණ පවත්වනවා. මේ සඳහා භූ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ භූගර්භ විද්‍යාව සහ අංශ කිහිපයක්ම යොදා ගන්නවා. ශ්‍රී ලංකාවේ උණුදිය උල්පත් පිහිටා ඇත්තේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ සිට ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශය දක්වා විහිදෙන කලාපයකයි. පාෂාණ විද්‍යාත්මකව ගත්කල ශ්‍රී ලංකාවේ ඇති ප‍්‍රධාන පාෂාණ කලාප දෙකක් වන කඳුකර සංකීරණය සහ විප්යානු සංකීරණය අතර මායිමද උණුදිය උල්පත් පිහිටා ඇති ප‍්‍රදේශවලට ආසන්න ලෙස පවතී. මේ නිසා ඉහත පාෂාණ කලාප අතර මායිමෙන් උණුදිය උල්පත් ඇතිවීමත් අතර යම් සම්බන්ධයක් ඇතැයි විද්‍යාඥයෝ උපකල්පනය කරති. ගුරුළුපොත - බන්දුල ගොඩකුඹුර Facebook Twitter Google+ Recommended Articles දළදා මාලිගාවේ කාර්යමණ්ඩලය දළදා මැදුරේ වතගොත දළදා දැක්මට පෙර ට්‍රම්ප් ට TIK TOK ප්‍රහාරයක් පුංචි ජන්දයෙන් ඔබේ නියෝජකයා තෝරන හැටි ශ්‍රී දළදා පූජා - ප්‍රදර්ශන ඉතිහාසය