වැරදි නොකළවුන් දඬුකඳේ ගැසූ සේයා ඝාතන විමර්ශන


10_SLMA_P6_Back  

 

කොටදෙණියාවේ අකරන්ගහ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය දැන් දිනපතා පුවත් මවන සිදුවීමක් බවට පත්ව තිබෙනවා පමණක් නොව පොලිස් විමර්ශන ගැන සාමාන්‍ය සමාජය තුළ තිබෙන විශ්වාසය ගැන ප‍්‍රශ්නකාරී බවක් ඇති කිරීමට ද සමත්ව තිබේ. අදට (11) සේයා දැරිය ඝාතනය වී මසක් සපිරෙයි. සේයා ඝාතනය සම්බන්ධයෙන් සිව්වැනි සැකකරු ද පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහු මීට පෙර අත්අඩංගුවට ගත් දුනේෂ් ප‍්‍රියෂාන්ත හෙවත් කොණ්ඩයාගේ සහෝදරයා ය.

 


කොටදෙණියාවේ සේයා ඝාතනයේ සිට සිව්වැනි සැකකරු අත්අඩංගුවට ගැනීම දක්වා මෙතෙක් කතාව මෙම ලිපියෙන් ලියැවෙයි.

 


සේයා අතුරුදන්වීම 


2015 සැප්තැම්බර 12 වැනි සෙනසුරාදා උදේ රටේ බොහෝ දෙනෙක් කම්පනයට පත් කළේ පස් හැවිරිදි දැරියක කොටදෙණියාව අකරන්ගහ ගමේ නිවසකින් අතුරු දන්වූ බවට ලැබුණු ප‍්‍රවෘත්තිය නිසාය. ගම්වැසියන්ද, පොලිසිය ද එක්ව සෝදිසි මෙහෙයුම් සිදු කළත් තොරතුරක් නොලැබිණි.
දැරිය ඇඳ සිටි බව කියන ඇඳුම ඇඳේ තිබුණු බවත්, ජනේලයක් විවෘත කර තිබූ බවත් ඇඳ මත පා සලකුණක් තිබුණු බවත් පොලිසිය කීවේය. පොලිස් නිල සුනඛයකු ගෙනවිත් විමර්ශන කළත් පළක් නොවිණි.


මේ අතර පසුදින එනම් ඉරිදා (13) උදේ 8.30ට පමණ අකරන්ගහ අරවින්ද වත්තේ කෙළවර වෙළ මායිමේ ඇළ අයිනේ තිබිය දී සේයාගේ නිසල දේහය හමු විය.  ඒ සමඟම මුළු අකරන්ගහම එකම මළගමක් බවට පත් විය.

 

tugj

 


කොටදෙණියාව පොලිසිය විමර්ශන ඇරැඹීම


එම සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර මහතා 2015 සැප්තැම්බර් 13 වැනිදා මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මහේස්ත‍්‍රාත් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස  අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කරන ලෙසත් ඉල්ලා සිටියේය.

 

ඔහු අධිකරණයට මෙසේ දැන්වීය.
බාල වයස්කාර දැරියක් පැහැරගෙන ගොස් මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ බව අකරංගහ බඩල්ගම පදිංචි බලදරගේ දයාරත්න විසින් 2015 සැප්තැම්බර 12 වැනි දා කරන ලද පැමිණිල්ල විභාග කළ බව කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර වන මම මෙයින් වාර්තා කරමි.
පැමිණිලිකරු වන බලදරගේ දයාරත්න විසින් සැප්තැම්බර් 12 වැනිදා ඔහුගේ පුතාවන උපුල් නිශාන්තගේ දෙවැනි දුව වන සේයා සදෙව්මි බක්මීදෙණිය යන අය අතුරුදන් වීමක් සම්බන්ධයෙන් පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් කර ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් 119 මධ්‍යස්ථානයෙන් ද 12 වැනි දා උදේ 7.30ට කෙටි පණිවිඩයක් ලැබී ඇත. පැහැරගෙන යන ලද දරුවාගේ නිවසේ ඇගේ පියා, මව, පියාගේ පියා, පියාගේ මව, දැරියගේ සහෝදරයා හා සහෝදරිය ද පදිංචිව සිටිති.

 

පැමිණිලි විභාගයේ දී පොලිසිය මුලින්ම නිවසේ සිටියවුන්ගේ ප‍්‍රකාශ සටහන් කර ගත්තේය.  
සේයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සැප්තැම්බර 14 වැනි සඳුදා මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එච්. එන්. රාහුල් හක් මහතා විසින් පැවැත්වීය. රෙදි පටියකින් ගෙල සිර කිරීම නිසා මරණය සිදුවී ඇති බවත්, ඇය අපයෝජනයට ලක්කර ඇති බවටත් පශ්චාත් මරණ පරීක්ෂණයේ කෙටි වාර්තාවක් අධිකරණ වෛද්‍ය වරයා ලබා දුන්නේය.


සේයා දැරියගේ අවසන් කටයුතු පැවැති 15 වැනි අඟහරුවා දා සේයාගේ මවට සහ පියාට භූමදාන කටයුතු සිදු කරන කනත්තට යෑමට නොහැකි වූයේ පොලිසියේ උපදෙස් නිසාය. මරණයට පවුලේ කෙනකු සම්බන්ධ වන්නට ඇතැයි පැතිර ගිය ආරංචි නිසා විශාල පිරිසක් සේයාගේ නිවස වටා එක්රොක් වී සිටි අතර නිවසට පොලිස් ආරක්ෂාව ද යෙදවීය. පසුව පොලිසිය පැහැදිලි කළේ සේයාගේ ඝාතනයට පවුලේ කිසිවකු සම්බන්ධ බවට තොරතුරු අනාවරණ නොවූ බවයි.


මේ අතර මීගමුව අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් කළ විමර්ශනයේ දී සොයාගත් රෝම  ආදිය ජින් ටෙක් ආයතනයට යැවිණි. ඒ සැප්තැම්බර 16 වැනිදා කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති කළ ඉල්ලීමක් අනුවය.

 


පරීක්ෂණ රහස් පොලිසියට


සේයාගේ ඝාතනය ගැන රටේ මහත් ආන්දෝලනයක් ඇති වෙද්දී සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙනු ලැබීය. සැප්තැම්බර් 16 වැනිදා ඔවුන් පරීක්ෂණ බාර ගත්තේය. 


කොටදෙණියාව ප‍්‍රදේශයට ගොස් විමර්ශන ඇරැුඹීය. ගමේ බොහෝ දෙනකු ගැන තොරතුරු රැස් කරන්නට පටන් ගත් අතර සේයාගේ නිවස අසල ද නිතර රැුඳුනේය. පරීක්ෂණ සඳහා පොලිස් නිලධාරීහු දැඩි වෙහෙසක් දැරූහ.


රහස් පොලිසිය පරීක්ෂණ බාර ගැනීමෙන් පසු ද කොටදෙණියාව පොලිසිය දිගටම විමර්ශන කළ අතර ගමේ තරුණයන් විශාල පිරිසක් පොලිසියට ගෙන ගොස් ප‍්‍රශ්න කරනු ලැබූහ. ඇතැම් තරුණයින් සිව් වතාවක් පමණ කැඳවීය. තවත් තරුණයින් දින කිහිපයක් පොලිසියේ රඳවාගෙන සිටියේය.

 

 
පාසල් සිසුවා සහ එක්දරු පියා පොලිස් භාරයට


මේ අතර 16 වැනිදා අලූයම සේයාගේ නිවස අසල එක්දරු පියකු පොලිස් භාරයට ගත් අතර 16 වැනිදා උදේ අකරන්ගහ ගමේ පදිංචි පාසල් සිසුවකු ද පොලිස් බාරයට ගත්තේය. ඔවුන් දෙදෙනා 19 වැනිදා වනතුරු කොටදෙණියාව පොලිසියේ රඳවාගෙන සිටි බව ඔවුහු පවසති.


පාසල් සිසුවකු පොලිස් බාරයට ගෙන ඇති බව බ‍්‍රහස්පතින්දා (17) සහ සිකුරාදා (18) මාධ්‍ය වාර්තා කිරීමෙන් පසු  සිකුරාදා (18) උදේ වැඩ බලන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රිෂාන්ත ජයකොඩි මහතා නිවේදනයක් නිකුත් කරමින් කීවේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බවයි. පොලිස්පතිගේ සෘජු අධීක්ෂණය යටතේ රහස් පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යන බව ඔහු එම නිවේදනයේ සඳහන් කළේය.
පොලිසියේ රඳවා සිටිය දී පාසල් සිසුවා නිරුවත් කර ඡායාරූප ගත් බව පසුව කියැවිණි.

 


සිසුවා සහ එක්දරු පියා රිමාන්ඞ්


කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වද්දී කොටදෙණියාව පොලිසිය පාසල් සිසුවා සහ එක්දරු පියා 19 වැනිදා මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් ඉල්ලූවේ ඔවුන්ගේ ඞීඑන්ඒ වාර්තා ලබා ගැනීමට නියෝගයක් කරන ලෙසත් එතෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ය. 


සිසුවා පොලිස් බාරයට ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කිරීම නිසා ඔහු එළියට දැමුවහොත් පොලිසිය පහරදී ඇති බව හෙළිවේ යැයි බියෙන් ඇතැම් විට පොලිසිය ඔහු ද එක්දරු පියා ද රිමාන්ඞ් කරන ලෙස ඉල්ලූවා විය හැකිය.


පාසල් සිසුවාගේ ලැප්ටොප් පරිගණකයේ තිබී නිල් චිත‍්‍රපටි හමු වූ බව වැඩ බැලූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ප‍්‍රිෂාන්ත ජයකොඩි මහතා කීවත් නිල්චිත‍්‍රපටි ලැප්ටොප් පරිගණකයක තිබීම හා සේයාගේ ඝාතනය අතර ඇති සම්බන්ධය ගැන කිසිවක් කීවේ නැත. ඞීඑන්ඒ වාර්තා ලැබෙනතුරු ඔවුන් රිමාන්ඞ් කිරීමට ඉල්ලූ බව පොලිසිය කීවත්  ඞීඑන්ඒ ලැබෙනතුරු සැකකරුවන් රිමාන්ඞ් කරන ලෙස ඉල්ලීම සාධාරණ නොවන බව නීතීඥවරු කීහ.


එම සැකකරුවන් දෙදෙනා සැප්තැම්බර 21 වැනිදා අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට බඳුන් කළේය. 


එදිනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් පැමිණිල්ල කැඳවූ අතර මින් ඉදිරියට පරීක්ෂණ පවත්වන බව අධිකරණයට දැන්වීය. ඒ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයන් 23 දෙනකුගෙන් පමණ ප‍්‍රකාශ සටහන් කරගෙන තිබිණි.


මෙම දැරිය සම්බන්ධයෙන් මව හා පියාගේ අවධානය දීර්ඝකාලයක් තිස්සේ ඉතා අවම මට්ටමක තිබී ඇති බව හා දැරියගේ ආච්චි හා සීයා විසින් නිතර දැරියගේ කටයුතු සඳහා සම්බන්ධවී ඇති බව අනාවරණය වූ බව සැප්තැම්බර 21 වැනිදා රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.  


දැරියගේ සමීප ඥාතීන්ගේ චර්යා රටාව හා ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අධ්‍යයනය කිරීමේ දී මෙම අපරාධයට හෝ මෙම අපරාධයේ යම් කොටසකට ඔවුන්ගේ යම් ආකාරයක සම්බන්ධතාවක් ස්ථිර වශයෙන්ම නොමැති බවට සාධාරණ ලෙස නිගමනය කර ඔවුන්ගේ ප‍්‍රකාශයන් මත පමණක් පදනම් කරගෙන කටයුතු කිරීමට හැකියාව නොමැති බව දැන්වූ රහස් පොලිසිය දැරියගේ පියා හා සීයා ද මීගමු රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගන්නැයි ඉල්ලා සිටියේය.


 රහස් පොලිසිය ඉදිරියට පරීක්ෂණ පවත්වන බව දැන්වීමෙන් පසු ද කොටදෙණියාව පොලිසිය වරින් වර අධිකරණයට කරුණු වාර්තා කරමින් නියෝග ලබා ගත්තේය. (මහේස්ත‍්‍රාත් ඞී ඒ රුවන්පතිරණ මහතා ඒ බව විවෘත අධිකරණයේ ප‍්‍රකාශ කළේය.)

 


කොණ්ඩයා අත්අඩංගුවට


මේ අතර රහස් පොලිසිය සැප්තැම්බර් 23 වැනිදා වේයන්ගොඩ බදුවතුගොඩින් සැකකරුවකු අල්ලා ගත්තේ ය. ඔහු නමින් දුනේෂ් ප‍්‍රියෂාන්ත විය. කොණ්ඩයා යන නමින් ද ඔහු හැඳින්විණි.


දුනේෂ් ප‍්‍රියෂාන්ත හෙවත් කොණ්ඩයා තාවකාලිකව පදිංචිව සිටියේ බඩල්ගම ඉංගම්මාරුව නම් ගමේ ඔහුගේ නැගණියගේ නිවසේ ය. පාසල් සිසුවා කොටදෙණියාව පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමට පෙර කොණ්ඩයාගේ පෙර වැරදි කිහිපයක් ගැන පොලිසියට තොරතුරු ලැබී තිබුණ ද ඒ ගැන තැකීමක් නොකර පොලිසිය සිසුවා අත්අඩංගුවට ගත්තේ ය.


2010 ජුනි මස 20 වැනිදා වයස අවුරුදු 15ක දැරියක පැහැරගෙන යාම හා සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනාවන්ට 2013 ජූලි 17 වැනිදා වැරදිකරු වූ ඔහුට බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් නියම කර එය වසර පහකට අත්හිටුවා තිබිණි.


2014 මැයි පළමු වැනිදා රාත‍්‍රී නිවසකට අයුතු ඇතුල්වී සාපරාධී බලහත්කාරය පෑමක් සම්බන්ධයෙන් ගම්පහ උසාවියේ නඩුවකට නොපැමිණීමෙන් ඔහු වරෙන්තුවී සිට ඇතැයි පොලිසිය කීවේය.


දැරිය පැහැරගෙන ගිය දිනට පසු දින සිට ඔහු අතුරුදන්ව සිටි බවත්, ලැබුණු තොරතුරු අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට බදුවතුගොඩට යද්දී ඔහු සැඟවී ඇති බවත්, මහත් පරිශ‍්‍රමයක් යොදා ඔහු අත්අඩංගුවට ගත් බවත් රහස් පොලිසිය කීවේය.


රැඳැවුම් නියෝග මත ඔහුගෙන් ප‍්‍රශ්න කළ අතර සේයා දැරිය පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමූවේ තමා යැයි කොණ්ඩයා පාපොච්චාරණය කළ බව පොලිස් ආරංචි උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කළේය. පොලිසිය හමුවේ කරන ප‍්‍රකාශයක් පාපොච්චාරණයක් නොවන අතර ඒවා හුදු ප‍්‍රකාශ පමණක් වේ. එම ප‍්‍රකාශ අධිකරණයක දී සාක්ෂි වශයෙන් හෝ පිළිගන්නේ නැත.


දැරියගේ ඝාතකයන් අල්ලන ලෙසත්, ඔවුනට මරණ දඬුවම දෙන ලෙසත් ඉල්ලමින් රට පුරාගිය උද්ඝෝෂණ රැුල්ල ඉන් පසු හැරුණේ කොණ්ඩයාට මරණ දඬුවම දෙනු යන සටන් පාඨයට ය. දුනේෂ් ප‍්‍රියෂාන්ත හෙවත් කොණ්ඩයා සේයාගේ ගමට ගෙන එන බවට ලද තොරතුරු අනුව කිහිප විටක්ම ගම්මු සේයාගේ ගේ අසලටත්, පන්සල අසලටත් ආහ.


 සේයා දැරියගේ ඝාතනයේ සැකකරු ලෙස රහස් පොලිසියෙන් කොණ්ඩයා අත්අඩංගුවට ගෙන තිබිය දී හා ඔහු අපරාධය කළැයි ප‍්‍රකාශයක් කළ බව කියා තිබිය දී කොටදෙණියාව පොලිසිය පාසල් සිසුවා සහ එක්දරු පියා නිදහස් කිරීමට පෙළඹුනේ නැත. උසස් පොලිස් නිලධාරීන් ද ඒ සඳහා උපදෙස් ලබා දුන් බවක් පෙණුනේ නැත. ඒ වෙනුවට පොලිසිය කළේ සිසුවා හා එක්දරු පියා නැවත සිර කිරීමය.


සැප්තැම්බර 28 වැනිදා නඩුව යළි කැඳවූ අවස්ථාවේ පාසල් සිසුවා වෙනුවෙන් නීතීඥ නිමල් රණසිංහ, තරංග වීරසිංහ, උදුල් පේමරත්න ඇතුළු පිරිසක් පෙනී සිටියහ. එක්දරු පියා වෙනුවෙන් නීතීඥ සරණ කරුණාරත්න මහතා පෙනී සිටියේය. සාධාරණ සැකයක් නැතිව පොලිසිය පාසල් සිසුවා හා එක්දරු පියා අත්අඩංගුවට ගෙන ඇති බවත්, දින තුනක් පොලිසියේ රඳවාගෙන පහර දී ඇති බවත්, එක්සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඔහු පාපොච්චාරණය කළ බව කියමින් සිසුවා හා එක්දරු පියා රඳවාගෙන සිටින බවත් කී නීතීඥවරු ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලූහ.


කෙසේ වෙතත් ඔවුන් නිදහස් කරනවාට කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් උදය කුමාර මහතා විරුද්ධ විය. පොලිසියේ සද්භාවය එතැනදී හෝ පෙන්වූයේ නැත. පොලිසියට වැරදීමක් වූවානම් කළ යුතුව තිබුණේ එම වරද නිවැරදි කරමින් සැකකරුවන් නිදහස් කරන ලෙස අධිකරණයට දැනුම් දීමය. එසේ වූයේ නැත. පොලිසියේ ඉල්ලීම පරිදි ඔවුහු යළි ඔක්තෝබර දෙවැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.


පාසල් සිසුවකු නීතිවිරෝධීව අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින බව කියමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සැප්තැම්බර 30 වැනිදා උදේ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළේය.


වෙබ් අඩවි, රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා එදිනම ඊට විශාල ප‍්‍රසිද්ධියක් ලබා දුන්නේය. එය විශේෂ ප‍්‍රවෘත්තියක් ලෙස කෙටි පණිවිඩ ද යැවීය. ඉන් පසු එදින දහවල් මීගමුව ස්ථානීය අපරාධ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් ජින්ටෙක් ආයතනයෙන් ලබාගත් ජාන සමීක්ෂණ වාර්තා සහිත සීල් තැබූ ලිවුම් කවරය මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට බාර දුන්නේය.

 


පාසල් සිසුවා එක්දරු පියා නිදහස්


ඔක්තෝබර පළමුවැනිදා ලෝක ළමා දිනය දා රහස් පොලිසිය මෝසමක් මගින් පැමිණිල්ල කැඳවා ඞීඑන්ඒ වාර්තාවේ කුමක් සඳහන්වේදැයි මහේස්ත‍්‍රාත්ගෙන් විමැසීය. සිසුවියගේ ශරීරයෙන් හමුවූ ආගන්තුක ජෛවීය ද්‍රව්‍යවල ජාන හා පාසල් සිසුවාගේ මෙන්ම එක්දරු පියාගේ ජාන ද නොගැලපෙන බව එම වාර්තාවේ සඳහන් විය.


ඒ අනුව පාසල් සිසුවා සහ එක්දරු පියා නිදහස් වූ අතර පොලිසියේදී කළ පහරදීම් නිසා ඔවුහු ගම්පහ රෝහලට ඇතුළු වී ප‍්‍රතිකාර ලැබූහ.
කොටදෙණියාව පොලිස් විමර්ශනයේ හෙළුව දිග හැරුණේ ඉන් පසුය.

 


නොකී කතා


කොටදෙණියාව පොලිසිය විමර්ශන කළේ ඇෙඟ් හයියෙන් ය. සාක්‍ෂිමත පදනම් වූ විශ්වසනීය විමර්ශන ක‍්‍රමවේදයක් ඔවුනට තිබුණේ නැත. සේයාගේ මිනිය හමුවූ අවස්ථාවේ සිට ගමේ තරුණයක් 10ක් පමණ වරින් වර පොලිසියට හෝ වෙනත් ස්ථානයකට ගෙන ගොස් තඩි බෑවේය. ඔවුන්ගෙන් ප‍්‍රකාශ ද ගත්තේය.


ඇතැමෙක් තුන් හතර වතාවක් පොලිසියට ගෙන ගියේය. පාසල් සිසුවා ගංජා ගසනවා නේදැයි අසා ප‍්‍රකාශ ගත්තේය. පොලිසියෙන් සිදුවූ වරද වසා ගැනීමට සිසුවාගේ ප‍්‍රතිරූපය පළුදු කිරීමට උත්සාහ කළේය.


සමහරකුගේ ඇඳුම් ගලවා බැලීය. සාමාන්‍ය මිනිහකුගේ පමණක් නොව සැකකරුවකු හෝ නිර්වස්ත‍්‍ර කිරීමටත්, නිර්වස්ත‍්‍රකර ඡුායාරූප ගැනීමටත් පොලිසියට අයිතියක් නැත. සැකකරුවකුගේ ශරීරය පරීක්ෂා කරනවා නම් කළ යුත්තේ අධිකරණ වෛද්‍ය නිලධාරියාය. කෙසේ වෙතත් කොටදෙණියාව පොලිසියේදී පොලිස් දොස්තරලා එයත් කළහ.


අප කළ සොයාබැලීමේ දී හමු වූ තරුණයකු හතර වරක් පොලිසියට ගෙනගොස් තිබිණි. 


පොලිසියේ කැරැුට්ටුව එකිනෙක දිග හැරෙද්දී සේයා ඝාතන සිද්ධියට කොණ්ඩයාගේ සම්බන්ධයක් නැතැයි කතා පැතිර ගියේය.

 


කොණ්ඩයාගේ සහෝදරයා අත්අඩංගුවට


කොණ්ඩයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ද රහස් පොලිස් විමර්ශන නතර වුණේ නැත. කොණ්ඩයාගේ සහෝදරයා අත්අඩංගුවට ගැනුණේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය. මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත‍්‍රාත්ගෙන් ලබාගත් රැඳවුම් නියෝග මත පොලිසිය ඔක්තෝබර පස් වැනි සඳුදා කොණ්ඩයාගේ සහෝදරයා වන ඉලංදාරිපේඩිගේ සමන් ජයලත් අධිකරණයට ඉදිරිපත් කළේය.


සේයා දැරිය ජනේලයෙන් එළියට ගැනීමේ සිට මරා දැමීම දක්වා සියලූ තොරතුරු ඔහු ප‍්‍රකාශ කළ බව රහස් පොලිසිය කීවේය. ඔහුට මහේස්ත‍්‍රාත් ඉදිරියේ ප‍්‍රකාශයක් දීමට ඇතැයි රහස් පොලිසිය කළ දැනුම් දීම අනුව සැකකරුගේ ද කැමැත්ත විමසීමෙන් පසු මහේස්ත‍්‍රාත් අවසර මත පැය දෙකක ප‍්‍රකාශයක් ඔහු කළේය.


කොණ්ඩයාගෙන් මුලින් ප‍්‍රකාශයක් ගනිද්දී තම සහෝදරයා අපරාධය කළ බව කීවේයැයි පොලිසිය කියයි. ඒ අනුව ඔහු මුදාහැර පොලිසිය කළ පසු විපරම්වලදී පරස්පර කාරණා මතුවීම නිසා නැවත අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.


රහස් පොලිස් ආරංචි අනුව කොණ්ඩයාගේ සහෝදරයා පොලිසියට කීවා යැයි කියන කතාව මෙයයි.


මම එදින රාත‍්‍රී ගෙට එබුණා. කාන්තාවක් රූපවාහිනිය බලමින් හිටියා. ඒ කාන්තාව ගැන ආස හිතුනා. නිවසේ කට්ටිය ඉඳියි කියා සිතා ඇතුළු වුණේ නෑ. මා නැවත ආවා. ඇවිත් ඇඳට කකුළ තබා ජනේලයෙන් ගේ ඇතුළට ගියා. පිහියක් හෙව්වත් හමු වුණේ නෑ. කාන්තාවට මොනයම් හෝ දෙයක් කරන්න ගියොත් ප‍්‍රශ්නයක් ඇතිවේය කියා සිතා දැරිය ගත්තා. අරගෙන ජනේලයෙන් එළියට ආවා.


ඔහු දැරියට කළ දේ ගැන කී කතාව අපට මෙහි ලිවිය නොහැක.


මීට පෙර දුනේෂ් ප‍්‍රියෂාන්ත ද මෙවැනිම ප‍්‍රකාශයක් කළ බව මාධ්‍ය වාර්තා කළේ පොලිසිය උපුටා දක්වමිනි. මේ නිසා පොලිසියේ ප‍්‍රකාශ ජනතාව විශ්වාස නොකරන තත්ත්වයකට පත්වූ අතර පොලිසිය විහිළු සපයන ආයතනයක් බවට ජනතාව අතර කුකුසක් ඇති වීමට ද එය සමත් විය. සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දිගින් දිගටම විවේචන එල්ල විය.

 


මානව හිමිකම්


පාසල් සිසුවා අත්අඩංගුවේ සිටිය දී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ල ඔක්තෝබර 08 වැනිදා විභාගයට ගත්තේය. පාසල් සිසුවා ද, එක්දරු පියා ද අගතියට පත් පාර්ශ්වය ලෙස කොමිසම ඉදිරියේ පෙනී සිටිද්දී කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති, සහකාර පොලිස් අධිකාරී සහ පොලිස්පති නියෝජනය කරමින් සහකාර පොලිස් අධිකාරීවරයකු වගඋත්තරකරුවන් ලෙස පෙනී සිටියහ.
පාසල් සිසුවා හා එක්දරු පියා දින තුනක් රඳවාගෙන පහර දී ඇත්දැයි යන්න ගැන පොලිස්පති නියමයෙන් විමර්ශනයක් පැවැත්වෙද්දී හා එම විමර්ශනය අවසන් වී නොතිබිය දී මානව හිමිකම් කොමිසමට පොලිස්පති නියෝජනය කරමින් පැමිණි සහකාර පොලිස් අධිකාරීවරයා කෙලින්ම ප‍්‍රකාශ කළේ පොලිසිය කිසිවකුට පහර දී හෝ නීතිවිරෝධීව රඳවාගෙන නැති බවයි. පොලිස් විමර්ශන අවසන්ව නොතිබිය දී ඔහු එවැනි ප‍්‍රකාශයක් කිරීමෙන්ම පොලිසිය ගැන ඇති වැටහීම තව තවත් නරක අතට යැවීමට හේතුවිය හැකි බව ඔවුන් නොසිතන්නට ඇත.

 


ඞීඑන්ඒ වාර්තාවෙන් කොණ්ඩයා නිදහස්


මේ අතර දුනේෂ් ප‍්‍රියෂාන්ත හෙවත් කොණ්ඩයාගේ ඞීඑන්ඒ විශ්ලේෂණ වාර්තා පසුගිය සතියේ අධිකරණයට ඉදිරිපත් විය.  කොණ්ඩයාගේ ඞී එන් ඒ හා  දැරියගේ ශරීරයේ තිබී සොයාගත් ආගන්තුක ජෛවීය ද්‍රව්‍යවල ඞීඑන්ඒ හා නොගැලපෙන බව එම වාර්තාවේ සඳහන් විය. 


පසුගිය බ‍්‍රහස්පතින්දා (08) රහස් පොලිසිය මෝසමක් මගින් නැවත නඩුව කැඳැවීය. ඔවුන් ඉල්ලූවේ සේයා දැරියගේ පියාගේ ඞීඑන්ඒ ලබා ගැනීමට අවසර දෙන ලෙසයි. තමාගේ ඞීඑන්ඒ වාර්තා ලබා ගැනීමට පියා ද විරෝධතා නොදැක්වූ අතර ඔහු කැමැත්තෙන් ඊට එකඟ විය. ඒ අනුව ඔහුගේ ද ඞීඑන්ඒ විශ්ලේෂණ ලබා ගැනීමට නියමිතය.


මෑත කාලයේ පොලිස් ඉතිහාසයේ විමර්ශන ගැන ජනතාව කෙරෙහි ප‍්‍රශ්නකාරී බවක් ඇති කළ ප‍්‍රධානම සිද්ධිය කොටදෙණියාවේ සිද්ධියයි. පොලිස් විමර්ශන කෙරෙහි මහ ජනයා වපර ඇසින් බලන තැනට තල්ලූ කිරීමට පොලිසියේ ඇතැම් නිලධාරීන්ගේ හැසිරීම බල පෑවේය. සේයා පැහැරගත්තේ කවුද? සේයා ඝාතනය කළේ කවුද? සේයා ඝාතනය වී මසක් ගතවන අද දිනය වන විටත් එය අභිරහසකි. 

m