යුක්තිය ඉටුවීම පමණක් ප්‍රමාණවත් නැති බවත් එය ඉටු වූ බව පෙනෙන්නට තිබිය යුතු බවත් යනු ප්‍රකට කියමනකි. අපේ රටේ ඇතැම් අවස්ථාවලදී දැන දැන වැරැදි කරන සහ සැක සහිත ගනුදෙනුවල නිරත වන බවට චෝදනා ඇති බලවතුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන දුර්වල ආකාරය අනුව යුක්තිය ඉටුවීම සම්බන්ධයෙන් කෙනකුට සැක පහළ වීම සාධාරණය. වැරැදිවලට පටලැවුණත් කිසිම දඬුවම් ලැබීමකින් තොරව එම බලවත් පුද්ගලයෝ යෙහෙන් වැජඹෙති.
කිසියම් බලවත් පුද්ගලයකුට හේතු සාධක සහිතව චෝදනා එල්ල වනවිට එම පුද්ගලයා කළ යුතු වන්නේ තමන්ට එරෙහිව සාධාරණ පරීක්ෂණයකට ඉඩ සලසා තාවකාලිකව තමන් දරන තනතුරෙන් ඉවත්ව සිටීමය. චූදිතයා සිද්ධියට අදාළ ස්ථානයේ ප්‍රධානියා වශයෙන් සිටිනතාක් ඔහුට හෝ ඇයට එරෙහිව සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුවන්නේ නැත. සිදුවිය හැකි එකම දේ එම පරීක්ෂණය යට ගොස් ඇතැම් විට සිද්ධිය තහවුරු කිරීමට ඇති සියලුම සාක්ෂි ද විනාශ මුඛයට යාම පමණි. එහිදී යුක්තිය ඉටුවීමක් සම්බන්ධයෙන් කතා කිරීමත් පලක් නැත.
රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් පමණක් නොව ඇතැම් විට මැති ඇමැතිවරුන්ගෙන් ද මේ ආකාරයේ හැසිරීම් දැකගත හැකිය. මෑතකදී බන්ධනාගාරය තුළ සිදුවූ සිද්ධි දෙකක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමැතිවරයාට එරෙහිව තවමත් කිසිදු පරීක්ෂණයක් නැත. එවැන්නක් සිදුවූ බවට කතාවක් හෝ නැත. ඔහු තවමත් රාජ්‍ය ඇමැති ධුරය ද හොබවයි.
තරමක් අතීතයට ගියහොත් ශ්‍රී ලංකන් ගුවන් සේවයද ඊට හොඳම උදාහරණයකි. කාලයක් රටේ අභිමානය ඉහළින් රඳවා ගනිමින් ලාබ ලබන ආයතනයක් බවට ශ්‍රී ලංකන් ගුවන් සේවය පත්ව තිබිණි. එහෙත් හදිසියේම එහි පාලනාධිකාරිය වෙනස් කරනු ලැබීය. වසර ගණනාවක් පෞද්ගලික කළමනාකාරීත්වයක් යටතේ ශ්‍රී ලාංකික රාජ්‍ය ආයතනයක් වශයෙන් හොඳ ලාබයක් උපයමින් සිටි ශ්‍රී ලංකන් ආයතනය එතැනින් පසුව අහසින් පොළොවට පහත් වීමට එතරම් කාලයක් ගතවූයේ නැත. එහි ප්‍රතිඵලය මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදලින් වාර්ෂිකව රුපියල් කෝටි 600කට අධික මුදලක් වැය කරමින් අධික පාඩු ලබන රාජ්‍ය ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකන් ආයතනය පවත්වාගෙන යාමට සිදුවීමය. එය ලබන පාඩුව කොතරම්දැයි කිවහොත් ව්‍යාපාරයක් වශයෙන් ශ්‍රී ලංකන් ආයතනය දියුණු කිරීමට එකම ආයෝජකයකුවත් ඉදිරිපත් වන්නේ නැත.
ශ්‍රී ලංකන් ආයතනය එතරම් පිරිහීමකට ඇද දැමීමේ වගකීම භාරගත යුතු කිසිදු නිලධාරියකුට එරෙහිව තවමත් නීතිය ක්‍රියාත්මක වී නැත. ශ්‍රී ලංකන් විනාශය ගැන සෙවීමට පත්කරනු ලැබූ කොමිෂන් සභාවලින් ද වගකිව යුතු පුද්ගලයන්ගේ නම් ගම් හෙළිකරනු ලැබුව ද ඔවුන්ට ලැබුණු බලගතු රැකවරණය හමුවේ ඔවුහු යහතින් වැජඹෙති. රටේ ජනතාව තම බදු මුදලින් ශ්‍රී ලංකන් ආයතනය නඩත්තු කරති. මේ මොන අපරාධයක් දැයි කෙනකුට සිතීම සාධාරණය.
ඉන් පසුව ශ්‍රී ලංකා මහ බැංකුව කේන්ද්‍ර කර ගනිමින් බැඳුම්කර මගඩිය එළියට ආවේය. ඒ සම්බන්ධව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් ද පත්කෙරුණු අතර එහිදී නම් ගම් ගණනාවක් සඳහන් විය. සමහරුන්ට පට්ටම් අහිමි වූ අතර සැකපිට දෙදෙනෙක් බොහෝ කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවූහ. එහෙත් එම මගඩියට ඍජුවම හවුල් වූ බවට චෝදනා ලැබූ ප්‍රධානීන් දෙදෙනෙක් තවමත් අතුරුදන්ව සිටිති. මේ හේතුවෙන් ඊට අදාළ නඩු විභාගය ඔවුන් අනභිමුඛයේ විභාග කරන ලෙසට ඉල්ලීමක් ඉදිරිපත් විය. මේ චෝදනා කොතරම් බරපතළ වුවද එවකට සිටි මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස් නොවූ අතර ඔහුට එරෙහිව කිසිදු පියවරක් ගැනීමට එවකට සිටි පාලකයෝ අසමත් වූහ. එම ගනුදෙනුවේ පාඩුව පැටවුණේද ජනතාවගේ කර මතය.
මෙවැනි සිදුවීම් නතර කර දමා එක රටක් එක නීතියක් ස්ථාපිත කරන බවට ප්‍රතිඥා දෙමින් බලයට පැමිණි වත්මන් රජය යටතේ ද මෙය වෙනස් මුහුණුවරින් සිදුවෙමින් තිබීම ලොකුම ඛේදවාචකයයි. පසුගිය කාලය තුළදී සීනි ගෙන්වීමේදී සිදුවූ මහා වංචාවක් පිළිබඳව විශ්වාසනීය තොරතුරු සහිතව මාධ්‍ය මගින් හෙළිදරව් කරනු ලැබීය. ඒ පිළිබඳ විමර්ශන සිදුකරන බවට බොහෝ ප්‍රකාශ නිකුත් වුවත් ඒවා සියල්ල ප්‍රකාශවලට පමණක් සීමා විය. මහා වංචාවක් සිදුව තිබේ. එහෙත් එය සිදුකළ පුද්ගලයෙක් නැත. එහි වගකීම බාර ගැනීමටද කිසිවකු හෝ ඉදිරිපත් වූයේද නැත.
එසේම පොල්තෙල් ගෙන්වීමේදී සිදුවූ වංචාවක් පිළිබඳව ද විශාල වශයෙන් කරුණු හෙළිදරව් විය. එහෙත් එයටද අත්වූයේ සීනි වංචාවට අයත් වූ ඉරණමමය. දූෂිත ක්‍රියාවක් සිදුවිය. එහෙත් දඬුවම් ලැබුණු කෙනෙක් නැත. මෑතකදී සිදුවූ සුදුලූනු වංචාව ද මාධ්‍ය හරහා විශාල ප්‍රසිද්ධියක් ලැබීම හේතුවෙන්දෝ එය මේ වනවිට අධිකරණය ඉදිරියේ දිගහැරෙමින් තිබේ. සතොස නිලධාරීන් කිහිප දෙනකුට ද රිමාන්ඩ් ගතවීමට සිදුවිය. අදාළ වංචාව සිදුවූ දිනට පසුදිනට ඊට අදාළ දත්ත මකා දමා තිබෙන බව ද උසාවියේදී අනාවරණය විය. මේ මැකුණු දත්ත සමඟ සැබෑ වංචාකරුවන් ද මැකී යා හැකි බව ද සඳහන් කළ යුතුය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමද මහත් ආන්දෝලනයකට තුඩු දී තිබිණි. ඒ සම්බන්ධයෙන් එම පරිගණක දත්ත භාරව කටයුතු කරන ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙමින් තිබේ. එහෙත් තනිවම දත්ත ලක්ෂ ගණනක් මකා දැමුවේ ඔහුට තිබෙන මොළේ අමාරුවක් නිසා නොවන බව කුඩා දරුවකු වුවද තේරුම් ගනු ඇත. මේ සිද්ධිය අනාවරණය වනවිට සමහරුන් භූමිතෙල් ගෑවුණු ගැරඬින් මෙන් දැඟලූ බව ද රහසක් නොවීය. මේ දත්ත මකා දැමීමට වගකිවයුතු සැබෑ වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටුකර දීමකි. එහෙත් එය සිදුවන බවට කිසිම සහතිකයක් නැත.
වංචා සහ දූෂණවලට හවුල්වන, එසේම නීති විරෝධී ක්‍රියාවලට දායක වන කිසිවකුටත් ලිස්සා යාමට ඉඩදිය යුතු නැත. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම ජනතාවගේ විශ්වාසය බරපතළ ලෙස කඩ කිරීමකි.
(***)