ඕනෑම රටක ප්‍රශ්න ඇතිවීමට බලපාන හේතු හෝ කරුණු තුනකි. ස්වාභාවික විපත් සහ සෞඛ්‍ය ප්‍රශ්න ඉන් පළමු හේතු දෙකයි. තෙවැනි හේතු හෝ කාරණය වන්නේ වෙනත් රටක් විසින් ඇතිකරන අර්බුදය. යුක්රේනයේ අද පවතින යුද්ධය එවැන්නකි. එය රුසියාවේ අවශ්‍යතාව මත ඇති කළ යුද්ධයකි. අද අපේ රටේ පවතින ප්‍රශ්නවලට හේතු වී ඇත්තේ ඉහත කී කරුණු තුනෙක් එකක්වත් නොවේ. අපේ රටේ තිබෙන්නේ 1948 සිට රට පාලනය කළ දේශපාලකයන් විසින් ඇතිකරනු ලැබූ ප්‍රශ්නයට නැතහොත් එදා මෙදා තුර ආණ්ඩු කළ දේශපාලකයන් විසින් මවනු ලැබූ නිර්මාණය කරනු ලැබූ අර්බුදය.
1948 දී ලංකාව නිදහස ලබාගනිද්දී සමස්ත ආසියාවේම සමෘද්ධිමත් රාජ්‍යයකි. එදා සිට බලයේ සිටි ආණ්ඩු අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්ති සහ ඔවුන්ගේ අදූරදර්ශීභාවය මත වර්තමාන අර්බුද නිර්මාණය වී තිබේ. එදා සිටම පැවැතියේ කාලයට හා රටට ගැළපෙන තීන්දු තීරණ නොගත් ආණ්ඩුය. 1948 සිට පැවැතියේ ‘‘නැවෙන් කටට’’ ආර්ථික ප්‍රතිපත්තියයි. එදා සිට රට අභ්‍යන්තර හා බාහිර වශයෙන් පැමිණියේ ණය ගන්නා මාවතකය. 1948 සිට අවුරුද්දක් දෙකක් හැරෙන්නට අනෙක් සෑම වර්ෂයකම ලංකාවේ අපනයනවලට වඩා ආනයන විශාලය. හැමදාම භාණ්ඩ ආනයනය කළේ ණය ලබාගෙනය. අභ්‍යන්තර ආර්ථිකය ගත්තොත් හැමදාම අපේ රාජ්‍ය ආදායමට වඩා වියදම වැඩිය. ඒ නිසා රටේ අභ්‍යන්තර ආර්ථිකය සේම බාහිර ආර්ථිකයද ඍණ විය.
රටට දේශයට අනන්‍ය ආර්ථිකයක් ගොඩනගා ගැනීමට 1948 සිටම අපි අසමත් වූයෙමු. ඒ නිසා ඇතිවූ අර්බුදවලින් ජනිත දුක පටවන්නේ ජනතාව මතය. ජනතාවගේ පරමාධිපත්‍ය විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන බල කේන්ද්‍ර තුනට පවරා දීම 1948 සිටම සිදුවෙයි. ඒ බල කේන්ද්‍රවල සිටි සහ දැනටමත් සිටින නායකයන්ගේ අදූරදර්ශී ක්‍රියා කලාපය මත සියලු බර ජනතාව මතම පටවයි. මැයි 16 වැනිදා අග්‍රාමාත්‍යවරයා කළ කතාවෙන්ද ඒ බර පැටවූයේ ජනතාව මතය. අග්‍රාමාත්‍යවරයා එහිදී අලුත් දෙයක් කිව්වේ නැත. ඔහු කී සියල්ල ඊට පෙර ගාලු මුවදොර සිටින තරුණ තරුණියෝ රටට අනාවරණය කළහ. පැවැති ආණ්ඩුව කළේ අර්බුදය වසාගෙන සිටීමය. වර්තමාන අග්‍රාමාත්‍යවරයා කළේ අර්බුදයේ දිග පළල රටට හෙළි කිරීම පමණකි. අග්‍රාමාත්‍යවරයා එදා කියා සිටියේද මේ සියල්ල ජනතාව විසින්ම දරාගත යුතු බවය. ජනතාවට එසේ දරාගන්න කියන්නේ ඔවුන් විසින් නිර්මාණය කරනු ලැබූ අර්බුදවල ප්‍රතිවිපාකය. දේශපාලකයන්ගේ වැරැදි තීන්දුවල බර හා ප්‍රතිවිපාක ජනතාව මත පැටවීම සම්පූර්ණයෙන්ම වැරැදිය. අයුක්තිසහගතය, අසාධාරණය.
1948 සිට අනුගමනය කළ වැරැදි ආර්ථික ප්‍රතිපත්ති නිසා සෑම වසරකම ඩොලර් බිලියන හතරකින් පමණ රටේ ණය බර ඉහළ ගොසිනි. 1948 සිටම අපේ රුපියල අවප්‍රමාණය විය. එසේම එදා සිටම අපේ විදේශ සංචිත අඩු වූ විට කර තිබෙන්නේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුත් කරමින් විදෙස් සංචිත ශක්තිමත් කර ගැනීම සඳහා ණය ගැනීමය. ගමේ ගොඩේ භාෂාවෙන් කිවහොත් එය ණය අරගෙන සාක්කුව පුරවා ගැනීමකි. රටේ ජනතාවට කෑම දුන්නේද ණය වෙමිනි. එසේම රාජ්‍ය සුබ සාධනවාදය ක්‍රියාත්මක කළේද ණය වීමෙනි. පාලකයන්ගේ ඒ තීරණවල ප්‍රතිඵල දැන් ජනතාව මත පටවයි. ලංකාව ලොව දැඩිම ආර්ථික අර්බුදයක වැටී සිටින්නේ පාලකයන්ගේ වැරැදි නිසාය. එසේම උද්ධමනය අතින් ලංකාව සමස්ත ලෝකයේම දෙවැනි තැනට පත්ව තිබෙන්නේද පාලකයන්ගේ වැරැදි ප්‍රතිපත්ති නිසාමය. පාලකයන්ගේ ඒ අදූරදර්ශී කළමනාකරණයට අමතරව බලපෑ තවත් කරුණු දෙකකි. ඒ වංචාව සහ දූෂණයයි. අදූරදර්ශී අකාර්යක්ෂම ආර්ථික කළමනාකරණයට අමතරව වංචාව සහ දූෂණය එකතු වූ විට මෙවැනි ප්‍රතිඵලයක් හැර වෙනත් ප්‍රතිඵලයක් රටකට අත් නොවෙයි.
මේ අර්බුදයෙන් ගැලවීමට, ගොඩඒමට ගතයුතු දිගු හා කෙටිකාලීන ක්‍රියාමාර්ග ගණනාවකි. ණය ගෙවීම අත්හිටුවීම ඒ අතරින් එක් ක්‍රියාමාර්ගයකි. එය ඒක පාර්ශ්වික තීරණයකි. ණය ගෙන තිබෙන්නේ ඒකපාර්ශ්විකව නොව ද්වි හෝ බහුපාර්ශ්වීය ගිවිසුම් මතය. ණය ගෙවන්නේ නැතැයි ඒක පාර්ශ්විකව ගත් තීරණයට අනෙක් පාර්ශ්ව කෙබඳු ප්‍රතිචාර දක්වයිද යන්න තවමත් අවිනිශ්චිතය.
දැනට ප්‍රතිචාර දක්වා තිබෙන්නේ චීනය පමණකි. ඒ අයහපත් ප්‍රතිචාරයකි. ණය ගෙවීම කල්දැමීමට හෝ අත්හිටුවීමට චීනය එකඟ නොවෙයි. චීනය කියන්නේ ලංකාවේ තීරණයට තමන් එකඟ නොවන බවය. තමන්ගෙන් ගත් ණය ගෙවිය යුතු බවය. චීනයේ අරමුණ ලෝක ආර්ථික බලවතා වීමය. ඒ අරමුණ ඉටු කර ගැනීමට ඔවුන්ගේ ඉහත තීරණය චීනයටද අවාසිදායක ලෙස බලපායි. ප්‍රශ්නය එය නොවේ. ගත් ණය වලින් ආදායම් උපයන ව්‍යාපෘති ක්‍රියාත්මක නොකිරීම අපේ පාලකයන්ගේ වරදකි. 2010 සිට 2015 තෙක් කාලයේදී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 6 සිට 7 අතර රැඳුණේ ඉදිකිරීම් කර්මාන්තයේ ඇති වූ ප්‍රගතිය මතය.
එහෙත් ඒ ඉදිකිරීම්වලින් රටට අත්වූ ආර්ථික ප්‍රතිඵලයක් නැත. නෙළුම් කුලුන, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව, සූරියවැව ක්‍රීඩාංගණය, මත්තල ගුවන් තොටුපොළ, හම්බන්තොට වරාය උදාහරණ කීපයකි. මහවැලිය වැනි ව්‍යාපෘතිවලින් ප්‍රතිලාභ ලැබුණත් ඉන් පසුව දියත් කළ බොහෝ ව්‍යාපෘතිවලින් ප්‍රතිලාභ ලැබුණේ නැත. අද අප මේ විඳවන්නේ ඒ සියලු කාරණාවල ප්‍රතිඵලය.
වර්තමාන ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාවගෙන් පිරිසක් ඉතාමත් අසරණව සිටිති. ඔවුනට ඉතා ඉක්මනින් මානුෂික ආධාර සැපයිය යුතුය. ඒ සඳහා විදෙස් රටවලින් හා විදෙස් සංවිධානවලින් ආධාර පැතීමට අපට සිදුවෙයි. හේතුව රට අභ්‍යන්තරයෙන් සහයෝගයක් ලබාගැනීමට නොහැකි තරමට බංකොලොත්වීම නිසාය. එසේ අවධාරණය වන ජනතාවට සහන දෙන ආයතන ජාත්‍යන්තරයේ පවතී. රතු කුරුස වැනි මානුෂීය ආධාර දෙන ජාත්‍යන්තර සංවිධානවලින් උදව් උපකාර ඉල්ලා සිටීමට සිදුවෙයි. අප මේ සිටින්නේ ආර්ථික අර්බුදයේ මුල් අවස්ථාවේ බව අමතක නොකළ යුතුය. මේ ආර්ථික අර්බුදය ක්‍රමයෙන් දරුණු වෙයි. ඊයෙට වඩා අදත් අදට වඩා හෙටත් හෙටට වඩා අනිද්දාත් අනිද්දාට වඩා ඉන්අනිද්දාත් වශයෙන් මේ ආර්ථික අර්බුදය ක්‍රමයෙන් දරුණු වෙයි. අර්බුදයට විසඳුමක් ගැන තවමත් කතා නොවෙයි. පාර්ලිමේන්තුවේදීවත් ඒ ගැන කතා නොකරයි. ඒ නිසා ඉතා ඉක්මනින් දැඩිව පීඩනයට පත්ව සිටින ජනතාව කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
රටට අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ ගෙන්වා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හෝ වෙනත් ආයතනයකින් හෝ ආධාර මුදලක් ලබාගත යුතුය. අනතුරුව අර්බුදයෙන් රට ගොඩ ගැනීමට ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ ගණනාවක් කළ යුතුය. රටේ ආර්ථිකය පවතින්නේ සකල ශරීරය පුරා පැතිරුණු පිළිකා රෝගියකුගේ තත්ත්වයේය. ඒ නිසා ලෙඩා බේරා ගැනීමට නම් යම් යම් අවයව කපා දැමීමට සිදුවෙයි.
ඒ නිසා ඉතා දැඩි ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවකට යන්නට රටට සිදුවෙයි. එහිදී රාජ්‍ය ව්‍යවසායන් කළමනාකරණයෙහි බරපතළ වෙනස්කම් කිරීමට සිදුවෙයි. ඛනිජ තෙල් විකුණන ඉන්දීය තෙල් සමාගම ලාබ ලබද්දී එයම කරන රජයට අයිති තෙල් සංස්ථාව පාඩු ලැබීම අදහාගත නොහැකි උභතෝකෝටියකි. ඛනිජ තෙල් විකිණීමෙන් පාඩු ලබන ලොව එකම ආයතනය හෝ ව්‍යාපාරය ලංකාවේ තෙල් සංස්ථාව විය හැකිය. අවසානයේ ඒ බර පටවන්නේද රටේ අසරණ ජනතාවගේ කර මතය. ඒ නිසා මේ රාජ්‍ය ව්‍යවසායන් කළමනාකරණයෙහි විප්ලවීය වෙනස්කම් කළ යුතුය.
බලයට පත්වන සෑම ආණ්ඩුවක්ම රාජ්‍ය ව්‍යවසායයන් කළමනාකරණයට පත් කරන්නේ තමන්ගේ හෙංචයියන්ය. ඒ හෙංචයියන්ට ගෙවන වැටුප් හා වරප්‍රසාද දෙස බැලීමෙන් ඒ රාජ්‍ය ව්‍යාපාර පාඩු ලබන්නේ ඇයිදැයි පහසුවෙන් අවබෝධ කරගත හැකිය. ඒ නිසා ඔවුනට දෙන වරප්‍රසාද ඉවත් කළ යුතුය. ඔවුන් සුවිශේෂ පුද්ගලයන් නොව සාමාන්‍ය මිනිසුන් කළ යුතුය. රාජ්‍ය ව්‍යවසායන් දිගටම පාඩු ලබයි. ඒ ගැන කිසි පර් යේෂණයක් නොකරයි. ඒවා පවත්වාගෙන යාමට රාජ්‍ය බැංකුවලින් ණය දෙයි. එමගින් රාජ්‍ය බැංකුද බංකොලොත් වෙයි. අවසානයේ ඒ සියලු බර ජනතාව මත පටවයි.
රටේ සංවර්ධනයට යෙදිය යුතු සල්ලිවලින් රජයේ සංස්ථා මණ්ඩලවල පාඩු පියවයි. අද රටේ පවතින ආර්ථික අර්බුදයට මේ රාජ්‍ය ප්‍රතිපත්තියද හේතුවකි. බලශක්තිය රටේ කොඳු නාරටිය වන හෙයින් ඒ ව්‍යාපාර කරගෙන යා යුත්තේ රාජ්‍ය මැදිහත්වීමක් සහිතවය. ඒවා කළමනාකරණයට දේශපාලන හෙංචයියන් නොව දක්ෂ රාජ්‍ය නිලධාරීන්ම පත්කළ හැකිය. විදුලිය හා තෙල් වැනි ව්‍යාපාර රාජ්‍ය මැදිහත්වීමක් සහිතව පවත්වාගෙන යාම ජාතික ආරක්ෂාවට අත්‍යවශ්‍ය කොන්දේසියකි. එහෙත් ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීම වරදක් නොවේ. එය එමිරේට්ස් සමග එක්ව පවත්වාගෙන ගිය කාලයේ ඒ සමාගම ලාබ ලැබූ අතර එමගින් රාජ්‍ය භාණ්ඩාගාරයටද ආදායම් ලැබිණි. යළිත් එවැනි පියවරකට යාම කාලීන අවශ්‍යතාවකි.
රට මේ තත්ත්වයට ඇද දැමූ දේශපාලන සංස්කෘතියද වහාම තුරන් කළ යුතුය. එය නොකළොත් යළි යළිත් මෙවැනි අර්බුදවලට රට ඇද වැටෙයි. අද දේශපාලනයේ යෙදෙන වැඩි පිරිසක් හොරුය. පොදු දේපළ කොල්ල කන්නෝය. කසිප්පු, කුඩු, ගංජා, එතනෝල්, ගල්, වැලි, පස් ජාවාරම්කාරයෝද ඒ අතර සිටිති.
ඔවුන් ව්‍යවස්ථාදායකය ඇතුළු මහජන නියෝජිත ආයතනවලට පිවිසෙන්නේ ජනතාවගේ යහපත සඳහා නොව තමන්ගේ වාසිය සඳහාය. තම ජාවාරම් යහතින් හා යහමින් කරගැනීම සඳහාය. ජනතාවට අනුව මෙවැනි පුද්ගලයන් හඳුන්වන්නේ පාදඩයන් වශයෙනි. එවැනි පුද්ගලයන් දේශපාලනයට පිවිසෙන්නේ සල්ලි විසිකර මනාප ලබාගත හැකි සමානුපාතික ඡන්ද ක්‍රමය හේතුවෙනි. ඒ නිසා පවතින මේ මැතිවරණ ක්‍රමය, ඡන්ද ක්‍රමය වහාම වෙනස් කළ යුතුය. දූෂිත බලලෝභී පාදඩ දේශපාලන ක්‍රමය දිගටම පවතිද්දී කවර ආර්ථික ප්‍රතිසංස්කරණ කළත් පලක් නොවේ. පවතින දේශපාලන ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යමින් කවර ආර්ථික ප්‍රතිසංස්කරණ කළත් රට යළි යළිත් වළේම වැටෙයි.
ජනතා පරමාධිපත්‍යය තහවුරු කෙරෙන මැතිවරණ ක්‍රමයක් ගොඩනැගීම යුගයේ අවශ්‍යතාවකි. මැති ඇමැතිවරුන් ජනතා කැමැත්තට, අභිලාෂයට පටහැනිව කටයුතු කරන්නේ නම් ඔවුන්ට දුන් ජනවරම යළි කැඳවිය හැකි හෝ අහෝසි කළ හැකි මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දිය යුතුමය. ස්වීඩනයේ පවතින්නේ එවැනි ක්‍රමයකි. දැන් මේ එළඹ තිබෙන්නේ එවැනි මැතිවරණ ක්‍රමයක් සකසා ගැනීමට කදිම අවස්ථාවකි.
රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණ කිරීමද තවත් කාලීන අවශ්‍යතාවකි. ලංකාව රටේ ජනගහනයට සාපේක්ෂව වැඩිම රාජ්‍ය සේවකයන් පිරිසක් සිටින රටකි. ඒ රාජ්‍ය සේවකයන්ගේ ඵලදායිතාව ඉතා අඩුය. වෙනත් රටවල රජයේ සේවකයන් පැය දෙකකදී කරන කටයුතු කිරීමට අපේ රටේ රජයේ සේවකයෝ පැය 8ක් ගනිති.
ඔවුන්ගේ ඵලදායිතාව අඩුවීමට ප්‍රධාන හේතුව බඳවා ගැනීමෙන් පසු ඔවුන්ට නව තාක්ෂණය සමග ඒකාබද්ධ වුණු පුහුණුවක් ලබා නොදීමය. නුතන ලෝකයේ බොහෝ රටවල රාජ්‍ය සේවය ක්‍රියාත්මක වන්නේ තොරතුරු තාක්ෂණය සමගය. පුරවැසියන්ට ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කිරීමට අපේ රාජ්‍ය සේවකයන්ට තවමත් හැකි වී නැත. රටේ දැනටත් පවතින්නේ ඉල්ලුම්පත්‍ර රැසක් පුරවමින් ඒ කොළ පිරුණු ලිපි ගොනු මේසයෙන් මේසයට යවමින් කල් මරන රාජ්‍ය සේවයකි. රාජ්‍ය සේවය අන්තර් ජාලය ඔස්සේ ලබාගත හැකි මට්ටමට දියුණු නොකිරීම නිසා ඵලදායීතාව අතින් එය කඩා වැටී තිබේ. මේ රාජ්‍ය සේවය අකාර්යක්ෂමය. තීරණ ගැනීම මන්දගාමීය.
රජයට ආදායම් උපයා දෙන දේශීය ආදායම්, රේගු සහ සුරාබදු වැනි දෙපාර්තමේන්තුවල කටයුතු සහ ඒ ආයතනවලින් කෙරෙන බදු අය කිරීම් හා ගෙවීම් වැනි කටයුතු අන්තර්ජාලය ඔස්සේ කළ හැකි නම් රාජ්‍ය සේවය කාර්යක්ෂම වනවාට අමතරව දූෂණ හා වංචා අවම වී රාජ්‍ය ආදායමද ඉහළ යයි. ඵලදායිතාව වැඩි කිරීමට ඔවුන් පුහුණු කළ යුතුය. ඒ පුහුණුව කලින් කල යාවත්කාලීන විය යුතුය.
දේශපාලන පත්වීම් දීම නවතා කුසලතාව, දක්ෂතාව හා හැකියාව මත (Meritocracy) රාජ්‍ය සේවයට බඳවා ගත යුතුය. සිංගප්පූරුව, ජපානය වැනි රටවල් රාජ්‍ය සේවයට බඳවා ගන්නේ කුසලතාවෙන්, දක්ෂතාවෙන් හා හැකියාවෙන් පිරුණු පුද්ගලයන්ය.
දැන උගත් බුද්ධිමත් ප්‍රායෝගික ජනතා මාමක මැති ඇමැතිවරුන් බිහිවන මැතිවරණ ක්‍රමයක් ගොඩනැගෙන්නේ නම් එවැනි ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා කුසලතා මත බඳවා ගන්නා රාජ්‍ය සේවයක් තිබිය යුතුමය. පවතින අකාර්යක්ෂම හා දූෂිත රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කර ගැනීමටද මෙය හොඳ අවස්ථාවකි.
රටේ අනාගතය යහපත් කරගැනීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගණනාවක්ද කළ යුතුය. අපේ අධ්‍යාපනයද කාලීනව වෙනස් වී නැත. රටට අවශ්‍ය නවීන තාක්ෂණික දැනුම සහිත පුද්ගලයන් බිහිකරන අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැගිය යුතුය. ලෝකයේ පවතින අගය දාමයන්ට ගැළපෙන (Value Chain) සේම අවශ්‍ය පර් යේෂණ කරන හා දැනුම ගොඩනගන උපාධිධාරීන් විශ්වවිද්‍යාලවලින් බිහි කිරීම කාලීන අවශ්‍යතාවකි. ඒ සඳහා අපේ විශ්වවිද්‍යාල පාඨමාලා වෙනස් කළ යුතුය.
(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)