විද්‍යොදය, වත්මන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නිර්මාතෘවර ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ පනස් හත්වන ගුණ සමරුව අදට (17) යෙදේ. මෙම සටහන ඒ නිමිත්තෙනි.
“ගැඹුරු පාණ්ඩිත්‍යයටත් ඒ නිසා ඇතිවන දැඩි සංවරයටත් තමන් හදාළ විෂයයන් අඩු නැති ව දැනීම නිසා ඇතිවන ඍජු නො සැලෙන ගතියටත් උන්වහන්සේ ජීවමාන ප්‍රතිමූර්තියක් වූහ. සෝරත නාහිමියන්ගෙන් සකස් වුණු පොතපත හා ලියැවුණු නිබන්ධ සමූහය උන්වහන්සේගේ ගැඹුරු පාණ්ඩිත්‍යයට දෙස් දෙයි. භාෂාව හා සාහිත්‍යය පිළිබඳ ඇතැම් ප්‍රශ්න ගැන සෝරත නාහිමියන් ගත් මත දරුණු ලෙස විවේචනයට භාජන වුවත් උන්වහන්සේ ඒ මතවලට බැස ගත්තේ සෑහෙන තරම් ශාස්ත්‍රීය හේතු යුක්තීන් ඇතිව ය. මේ වියත් යතීන්ද්‍රයන් වහන්සේ තමන් මහත් ආයාසයෙන් ලබා ගත් දැනුම ලෝක සත්වයාට හිත වැඩ පිණිස නො මසුරුව බෙදා දුන්හ. මෙවැනි මහ පඬිරුවනකගේ පා සෙවණේ විද්‍යෝදය පිරිවෙණේදීත් පසුව එම විශ්වවිද්‍යාලයේදීත් ශාස්ත්‍ර හැදෑරීමට වර්තමාන පරපුරට අවස්ථාව ලැබීම ද මහත් ශාන්තියකි”
ඉහත සඳහන් අදහස ම විසින් උපුටා ගන්නා ලද්දේ “1963 ජූලි මස 18 වැනිදා බ්‍රහස්පතින්දා ලංකාදීප” පුවත්පත උන්වහන්සේගේ වියෝව වාර්තා කොට තිබූ ප්‍රවෘත්තියකිනි. පාණ්ඩිත්‍යය සමග කෙනෙකුගේ චරිතය සකස් විය යුතු ආකාරයත් එයින් ඇතිවන දැඩි සංවරයත් වැලිවිටියේ සෝරත නායක හිමියන්ගේ චරිතයෙන් එවක ජනතාව දුටු සැටි මෙයින් කියැවෙයි.
ශ්‍රී ලාංකේය පිරිවෙන් පරිසරයේ ද භාරතයේ, කල්කටාවෙහි ශාස්ත්‍රීය ඇසුර ද නොමඳ ව ලැබූ උන්වහන්සේ විසින් උපයාගත් ප්‍රාචීන අධ්‍යාපනයෙහි ප්‍රතිඵලය වූයේ ශාස්ත්‍රීය වශයෙන් සංස්කරණය කොට විද්‍යාර්ථීන්ගේ පරිශීලනය සඳහා දායාද කරන ලද සම්භාව්‍ය සාහිත්‍ය කෘති සමූහය යි. අමාවතුර, බුත්සරණ, දහම් සරණ, සඟසරණ, සද්ධර්ම රත්නාකරය, දළදා සිරිත වැනි කෘතිවල සංස්කරණ සහ ඇතැම් කෘතිවලට සපයන ලද ගැටපද විවරණ සාහිත්‍ය පරිශීලනය සුඛාවබෝධයෙන් විඳ ගැන්මට මහඟු අත්වැලකි. මයුර, ගිරා, හංස, පරෙවි වැනි සන්දේශ කෘති මැනැවින් හදාරා උන්වහන්සේ විසින් ප්‍රශස්ත සංස්කරණ සකසනු ලැබිණි. සෝරත නාහිමියන්ගේ සංස්කරණවල කූටප්‍රාප්තිය නම් කව්සිළුමිණි කල්පලතා ව්‍යාඛ්‍යාවෙහි නිපැද්මැ යි.
මේ සියලු සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථ සුඛාවබෝධයෙන් ස්පර්ශ කරන්නට අර්ථ සපයා ගන්නට අදත් අපට නොමසුරුව අත්වැල අල්ලා දෙනුයේ ශ්‍රී සුමංගල ශබ්ද කෝෂය යි. චිරන්තන සාහිත්‍ය සේවනයෙහි ලැදි කවර තරාතිරමක හෝ විද්‍යාර්ථියකුට මහසයුරක ගමන් කරන නෞකාවකට පහන් ටැඹක් මෙන් ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයෙහි ආලෝක ධාරාව පෙන්වන මග සුළුපටු නොවේ.
අද්‍යතනය හා සැසඳීමේ දී අප නාහිමියන් ජීවත් වූ සමය මුද්‍රණ කර්මාන්තය, ප්‍රවාහන සේවය, සන්නිවේදන ක්‍ෂේත්‍රය ආදියෙහි අවම පහසුකම් පැවැති යුගයෙකි. ඒ සියලු බාධා මැඩගෙන උන්වහන්සේ ශාස්ත්‍රීය සේවනයෙහි යෙදෙමින් ද විද්‍යෝදය - වත්මන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ගොඩනගමින් ද කරන ලද මහත් සේවා දායකත්වය අපට සිහි කරවන්නේ අතීත තොටගමු ශාස්ත්‍රීය පරම්පරාව නියෝජනය කරන ලද ශ්‍රී රාහුල හිමියන්ගේ සේවාදායකත්වය යි.
වැලිවිටියේ ශ්‍රී සෝරත ස්වාමීන් වහන්සේගේ විද්‍යොදය සේවාප්‍රදානය සාකච්ඡා කළ යුතු විලාසය මෙසේ නොවන බව ඉඳුරා දනිතත් යම් මතු දිනෙක එය ඉතා ගැඹුරින් සාකච්ඡා කළ යුතු ය යන තිර අදිටනින් යුතු ව මීදෙනියේ විමලානන්ද හිමියන් විසින් අපගේ නායක ස්වාමීන්වහන්සේ පිළිබඳ පබඳින ලද සමරු කවකින් මේ සරල සටහන නිමා කරනු කැමැත්තෙමි.
මී තල මුදුන් මල් කළ කවි කුල කැටියේ
ලෝ තුළ පතල වුණු යසසින් නොකිලිටියේ
රා හු ල නමින් තොටගමුවේ වැඩ සිටියේ
මේ හෙළ මහා පඬි රුවන ද වැලිවිටියේ
***
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
සිංහල සහ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ වැඩ බලන අංශ ප්‍රධාන ආචාර්ය
කුසුමලතා ලංකාමුල්ල