ජනවාරි 01 වැනිදා සිට තාවකාලික විදුලි ගාස්තු ඉහළ දැමීමකට සහ පෙබරවාරි 15 වැනිදා සිට අන්තර්කාලීන විදුලි ගාස්තු ඉහළ දැමීමකට අනුමැතිය ලැබී තිබෙන බව විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කියයි.
(2023 ජනවාරි 13 වැනිදා ලංකාදීප)
මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කියන්නේ මේ ගාස්තු නැංවීම නීති විරෝධී බවය. විදුලි ගාස්තු නැංවීමේ බලයක් විදුලිබල මණ්ඩලයටත්, විදුලිබල අමාත්‍යංශයටත් ඇමැති මණ්ඩලයටත් නැති බව උපයෝගීතා කොමිසමේ සභාපති කියයි. ඒ සම්බන්ධයෙන් රටේ නීතියෙන් බලය ලැබී තිබෙන එකම ආයතනය තම කොමිසම පමණක් බව ඒ සභාපතිවරයා කියයි. ඔහු කියන්නේ සත්‍යයක් බව නීතිය ගැන දන්නා උදවිය තහවුරු කරති. ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන්නේ නීති විරෝධී විදුලි ගාස්තු ක්‍රමයකි. එහෙයින් ඒ නීති විරෝධී ක්‍රියාවට එරෙහිව යම් පුද්ගලයකු, සංවිධානයක් හෝ ආයතනයක් අධිකරණය හමුවට යා හැකිය. එසේම අතීතයට බලපාන ලෙස ගාස්තු වැඩි කිරීම ද අධිකරණය හමුවේ අභියෝගයට ලක්විය යුතු කාරණයකි.
අවසන් වරට විදුලි ගාස්තු වැඩි කළේ මීට මාස පහකට පෙරය. ඒ 2022 අගෝස්තු 10 වැනිදාය. එදා විදුලි ගාස්තු වැඩි කළේ සියයට 75කිනි. මාස පහක් සම්පූර්ණවීමටත් පෙර සියයට 60 සිට 65 අතර ගණනකින් යළිත් විදුලි ගාස්තු වැඩි කරයි. රටේ ඇත්ත තත්ත්වය නොදන්නා විදේශිකයකු ලංකාව ආර්ථික අතින් ඇමෙරිකාවට හා ජපානයටත් වඩා දියුණු රටකැයි සිතනු නිසැකය. අපට එසේ කල්පනා කිරිමට සිදුවන්නේ මාස පහකටත් අඩු කාලයක් ඇතුළත දෙවරක් ඉතා ඉහළ ප්‍රතිශතයකින් විදුලි ගාස්තු නැංවීම නිසාය. 2022 අගෝස්තු 10 වැනිදා කළ විදුලි ගාස්තු සංශෝධනය අනුව දවසකට විදුලි ඒකක 10ක් පාවිච්චි කරන මධ්‍යම පාන්තික පවුලක මාසික විදුලි බිල රුපියල් 16,440කි. ඒ පවුලේ මාසික ආදායම රුපියල් ලක්ෂයක් නම් ඉන් සියයට 16.4ක්ම වැය වන්නේ විදුලි බිල ගෙවීමටය.
ඇමෙරිකාවේ හා ජපානයේ පදිංචි ලාංකිකයන් පවසන්නේ ඒ රටවල මාසික විදුලි බිල ගෙවීම සඳහා මාසික ආදායමෙන් සියයට තුනකට වඩා වැය නොවන බවය. යම් හෙයකින් එය සියයට පහක් පමණ වුවහොත් ඒ රටවල ජනතාව පාරට බසින බව ඒ රටවල පදිංචි ලාංකිකයෝ පවසති. එහෙත් ලංකාවේ දැනටත් ඒ ප්‍රතිශතය සියයට 16.4කි. ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක නව ගාස්තු ක්‍රමය අනුව එය සියයට 24.5 දක්වා ඉහළ නඟියි. ඉඳින් මේ දෙස බලා සිටින විදේශිකයකු අප ඉහත කී ලෙස සිතනු පුදුමයක්ද?
ගාස්තු නැංවීම සඳහා විදුලි බල අමාත්‍යවරයා ජනවාරි 02 වැනිදා ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුව ලංකාවේ සිටින විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව හැට අට ලක්ෂ තිස් හත් දහස් තුන්සිය හැත්තෑ දෙකකි. (68,37,372) ඒ අතරින් 8,38,683ක් සාප්පු, කාර්යාල, බැංකු, ගබඩා, රජයේ ආයතන රෝහල් හා අධ්‍යාපන ආයතනය. සමස්ත විදුලි පාරිභෝගිකයන් අතරින් 43,114ක් ආගමික හා පුණ්‍යායතනය.
රටේ සිටින සමස්ත ගෘහස්ථ පාරිභෝගිකයන් සංඛ්‍යාව 59,55,575කි. ගෘහස්ථ පාරිභෝගිකයන් අතරින් 14,56,232ක්ම මාසයකට විදුලි ඒකක 30ක් හෝ ඊට අඩුවෙන් පාවිච්චි කරන්නෝය. මාසයකට විදුලි ඒකක 31 සිට 60 අතර ගණනක් පාවිච්චි කරන පාරිභෝගිකයන් සංඛ්‍යාව 15,51,001කි. මාසයකට විදුලි ඒකක 60 සිට 90 අතර ගණනක් පාවිච්චි කරන පාරිභෝගිකයන් පිරිස 14,62,070කි.
මාසයකට විදුලි ඒකක 91 සිට 120 අතර ගණනක් පාවිච්චි කරන පාරිභෝගිකයන් සංඛ්‍යාව 7,45,487කි. සමස්ත ගෘහ පාරිභෝගිකයන්ගෙන් 5,29,404ක් මාසයකට විදුලි ඒකක 121 සිට 180 අතර ගණනක් පාවිච්චි කරන්නෝය. මාසයකට විදුලි ඒකක 181කට වැඩියෙන් පාවිච්චි කරන නිවාස සංඛ්‍යාව 2,11,381කි. අමාත්‍යවරයාගේ යෝජනාවේ ගෘහස්ථ පාරිභෝගිකයන් පනස් නව ලක්ෂ පනස් පන්දහස් පන්සිය හැත්තෑ පස් දෙනා පාවිච්චි කරන විදුලි ඒකක ගණන අනුව කොටස් නවයකට බෙදා තිබේ.
මාසයකට විදුලි ඒකක 30ක් හෝ ඊට අඩුවෙන් පාවිච්චි කරන පාරිභෝගිකයකුට දැනට ලැබෙන්නේ උපරිම රුපියල් 360ක බිලකි. අමාත්‍යවරයාගේ නව යෝජනාව අනුව ඔවුන්ගේ මාසික විදුලි බිල රුපියල් 1,300ක් වෙයි. එහි වැඩිවීම සියයට 60ක් හෝ 65ක් නොව සියයට 261.11කි. ඒකක 31 සිට 60 අතර ගණනක් පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයන්ගේ මාසික බිල රුපියල් 780 සිට 2,560 දක්වා ඉහළ යයි. ඒ අනුව ඔවුන්ගේ විදුලි බිල සියයට 228.21කින් ඉහළ නගියි. මාසයකට ඒකකට 61 සිට 90 අතර සංඛ්‍යාවක් පාවිච්චි කරන අයගේ විදුලි බිල 1,800 සිට 4,430 දක්වා සියයට 146.11 කින් ඉහළ යයි. ඒ තොරතුරුවලින් අනාවරණය වන්නේ විදුලි ගාස්තු සියයට 60 සිට 65 අතර ගණනකින් ඉහළ යනවාය කියන කතාව බොරුවක් බවය.
නව විදුලි ගාස්තු සංශෝධනය යටතේ සියයට දහයකටත් (10%) අඩු ගණනනික් ගාස්තු ඉහළ යන පිරිසක්ද සිටිති. ඒ මාසයකට විදුලි ඒකක 500 සිට 1000 අතර ගණනක් පාවිච්චි කරන්නන්ය. අමාත්‍යවරයාගේ යෝජනාව අනුව ඒකක 500ක් පාවිච්චි කරන අයගේ විදුලි බිල ඉහළ යන්නේ සියයට 9.03කිනි. ඒකක 750ක් පාවිච්චි කරන අයගේ විදුලි බිල සියයට 5.66කින් ඉහළ යයි. ඒකක 1000ක් පාවිච්චි කරන පාරිභෝගිකයන්ගේ විදුලි බිල නගින්නේ සියයට 4.12කිනි. ඒකක 181කට වැඩියෙන් පාවිච්චි කරන සියලු දෙනාගෙන් විදුලි ඒකකයට රුපියල් 75 බැගින් අය කරන බව අමාත්‍යවරයාගේ යෝජනාව සඳහන් වෙයි. ඔවුන්ගෙන් දැනටත් ඒකකයක් සඳහා රුපියල් 75ක් අය කරයි. ඒ පාරිභෝගිකයන්ගෙන් දැනටත් ඉහළ මිලක් අය කරන නිසා ඔවුන්ගේ ගාස්තු සියයට 10කට අඩුවෙන් වැඩි කරනවා විය හැකිය.
එහෙත් ඒකක 30ක් හෝ ඊට අඩුවෙන් පාවිච්චි කරන අයගෙන් දැනට ඒකකයක් සඳහා අය කරන්නේ රුපියල් අටකි. ජනවාරි 01 වැනිදා සිට එය රුපියල් 30ක් වෙයි. ඒකක 31 සිට 60 දක්වා පාවිච්චි කරන නිවාස හිමියන්ගෙන් දැනට ඒකකයක් සඳහා රුපියල් 10ක් අය කරන අතර ජනවාරි 01 වැනිදා සිට එය රුපියල් 37ක් වෙයි. ඒකක 30ක් හෝ ඊට අඩුවෙන් පාවිච්චි කරන පාරිභෝගිකයන්ගෙන් අය කරන ස්ථාවර ගාස්තුව රුපියල් 120 සිට 400 දක්වා ඉහළ නඟියි. ඒකක 31 සිට 60 අතර නිවාස හිමියන්ගේ ස්ථාවර ගාස්තුව රුපියල් 240 සිට 550 දක්වා ඉහළ නංවයි. ඒකක 61 සිට 90 දක්වා පාවිච්චි කරන අයගේ ස්ථාවර ගාස්තුව රුපියල් 360 සිට 650 ක් දක්වා වැඩි වෙයි.
විදුලි ගාස්තු සංශෝධනයෙන් මාරාන්තික ප්‍රහාරයක් එල්ල වන්නේ ඒකක 90ක් හෝ ඊට අඩුවෙන් පාවිච්චි කරන්නන්ට පමණක් බව ඉහත තොරතුරුවලින් අනාවරණය වෙයි. මාසයකට ඒකක 31 සිට 60 දක්වා පාවිච්චි කරන්නෝ දුප්පත්තුය. ඒ විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව පහළොස් ලක්ෂ පනස් එක් දහස් එකකි. (15,51,001) ඒ පිරිස සමස්ත ගෘහ පාරිභෝගිකයන්ගෙන් සියයට 26.04කි. ඔවුනගේ විදුලි බිල වැඩි වන්නේ සියයට 228.21කිනි. මාසයකටම විදුලි ඒකක 30ක් හෝ ඊට අඩුවෙන් පාවිච්චි කරන්නේ අන්ත දුප්පතුන් බව නිසැකය. ඒ පාරිභෝගිකයන් සංඛ්‍යාව 14,56,232කි. ප්‍රතිශතයක් ලෙස එය සමස්ත ගෘහ පාරිභෝගිකයන්ගෙන් සියයට 24.45කි. ඔවුනගේ විදුලි බිල සියයට 261.11කින් ඉහළ නංවයි. ඒ අනුව වැඩිම ප්‍රතිශතයකින් විදුලි බිල ඉහළ යන්නේ රටේ සිටින අන්ත දුප්පතුන්ගේය.
ලෝක බැංකුවෙන් සකස් කළ ජාත්‍යන්තර දරිද්‍රතා රේඛාවට අනුව දුප්පතුන් ලෙස සලකන්නේ දවසකට ඇමෙරිකන් ඩොලර් 3.65කට වඩා අඩු ආදායමක් ලබන්නෝය. ශ්‍රී ලංකා මහ බැංකුව කියන හැටියට දැන් ඇමෙරිකන් ඩොලරයක වටිනාකම රුපියල් 365ක් පමණ වෙයි. ඒ අනුව ඇමෙරිකන් ඩොලර් 3.65ක වටිනාකම වන්නේ රුපියල් 1,332කි. එසේ නම් දවසකට රුපියල් 1,332කට අඩු ආදායමක් ලබන සියල්ලෝ දිළින්දෝය.
2022 ඔක්තෝබර් මාසයේදී ලෝක බැංකුවෙන් නිකුත් කළ ‘ශ්‍රී ලංකා ඩිවලොප්මන්ට් අප්ඩේට්’ (Sri Lanka Development Update) නමැති වාර්තාවට අනුව 2021 වසරට සාපේක්ෂව 2022 දී ලංකාවේ දුප්පතුන් සංඛ්‍යාව දෙගුණයක් වෙයි. ඒ වාර්තාවට අනුව 2021 දී ලංකාවේ ජනගහනයෙන් සියයට 13.1ක දවසක ආදායම රුපියල් 1,332කට අඩුය. ලෝක බැංකුව කියන හැටියට 2022 දී එය සියයට 25.6 දක්වා ඉහළ ගොසිනි. එසේ දුප්පතුන් ගොඩට වැටුණේ මධ්‍යම පාන්තිකයෝ නොවෙත්ද? දුප්පතුන් ගොඩට එසේ වැටුණු ජනගහනය ලක්ෂ 27ක් බව ලෝක බැංකුවේ පුරෝකතනයයි.
ලෝකු බැංකුවට අනුව ලංකාවේ සමස්ත දුප්පතුන් අතරින් සියයට 80ක් දිවි ගෙවන්නේ ගම්වලය. 2021 සිට 2022 අතර කාලයේදී නාගරික දුප්පතුන් සංඛ්‍යාව සියයට 05 සිට 15 දක්වා තුන් ගුණයකින් ඉහළ යන බව ලෝක බැංකුවේ තක්සේරුවයි. ඒ වාර්තාවට අනුව ලංකාවේ වතුකරයේ තත්ත්වය ඉතා ශෝකජනකය. 2021 දී වතුකරයේ දුප්පතුන් සංඛ්‍යාව සියයට 31කි. 2022 දී එය සියයට 54ක් වන බව ලෝක බැංකුවේ නිගමනය විය. එසේ නම් විදුලි බිල යළිත් අදහාගත නොහැකි අයුරින් ඉහළ නැංවීමෙන් රටේ දුප්පතුන් සේම මධ්‍යම පන්තියත් හාන්සි නොවෙත්ද?
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක ආහාර වැඩසටහන 2022 නොවැම්බර් 10 වැනිදා නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට 30කට වැඩි පිරිසක් එනම් ලක්ෂ 63ක් පමණ ජනතාවක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවය. නැතහොත් රටේ ජනගහයෙන් ලක්ෂ 63කට අවශ්‍ය තරමට ආහාර නොලැබෙන බවය. ඒ නිසා ලක්ෂ 53ක් ජනයා කෑම වේල් ගණන අඩුකර හෝ අතහැර තිබෙන බව ඒ වාර්තාවේ සඳහන් වෙයි. රටේ දරුවන්ගෙන් සියයට 70ක් පමණ වර්ධනය බාලවී මන්දපෝෂණයෙන් පෙළෙන බවද ඒ වාර්තාව කියයි. කුසට හරිහැටි කෑමක් නැතිව පීඩිතව සිටින බාල මහලු ඒ සියල්ලෝ මේ විදුලි ගාස්තු නැංවීමෙන් පරිපීඩිත නොවෙත්ද?
සෘජු බදු වැඩි කිරීම, වක්‍ර බදු ඉහළ නැංවීම, විදුලිය හා ජල ගාස්තු හිතුමතේ ඉහළ දැමීම, භාණ්ඩ හා සේවා මිල ගණන් අයාලේ තීරණයවීමට ඉඩ හැරීම සහ ඒවා කිසිදු නියාමනයකට ලක් නොකිරීම, ඛනිජ තෙල් මිල ඉහළ මට්ටමක පැවැතීම, රුපියල අවප්‍රමාණයවීම යනාදියෙන් දැන් ලංකාවේ වාර්ෂික උද්ධමනය සියයට 65 සිට 75 අතර මට්ටමක පවතින බව මහ බැංකුවම කියයි. ආහාර මිල උද්ධමනයෙන් (Food Price Inflation) ලොව ඉහළම රටවල් 10 අතරින් ලංකාව හතරවැනි තැන සිටින බව ලෝක බැංකුව හෙළි කළේ 2022 නොවැම්බර් 10 වැනිදා නිකුත් කළ වාර්තාවකිනි.
භාණ්ඩ හා සේවා මිල තුන් ගුණයකින් හෝ ඊටත් වැඩියෙන් ඉහළ ගොස් තිබෙන නිසා ජනතාව අත තිබෙන රුපියල් 100ක සැබෑ වටිනාකම අද වනවිට රුපියල් 30 ටත් අඩු බව ආර්ථික විශ්ලේෂකයන්ගේ තක්සේරුවයි. එසේ වීමෙන් රටේ සමස්ත ඉල්ලුම හැකිළෙයි. ජනතාවගේත් රටේත් ආර්ථික වර්ධනයට ඉන් වන බලපෑම ඉතා දැඩිය. ප්‍රබලය. එහි ප්‍රතිඵල අප දැනටත් භුක්ති විඳින බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව හෙළි කරයි. ඒ දෙපාර්තමේන්තුව කියන හැටියට 2022 දෙවැනි කාර්තුවේදී ලංකාවේ දල දේශීය නිෂ්පාදිතය සියයට 11.8කින් පහත වැටී හමාරය.
ජනවාරි 01 වැනිදා සිට අතීතයට බලපාන ලෙස ක්‍රියාත්මක නව විදුලි ගාස්තු ක්‍රමයෙන් දැවැන්ත බරක් පැටවෙන්නේ ඒකක 90ක් හෝ ඊට අඩුවෙන් පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයන් මත බව අපි ඉහත පෙන්වා දී ඇත්තෙමු. ඒකක 90කට අඩුවෙන් පරිභෝජනය කරන පාරිභෝගිකයන් සංඛ්‍යාව සමස්ත ගෘහ පාරිභෝගිකයන්ගෙන් සියයට 75.04 කි. ඔවුන්ගේ විදුලි බිල සියයට 146.11 සිට සියයට 261.11 අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමෙන් උත්සාහ කරන්නේ ආර්ථිකය තව තවත් පල්ලම් බැස්සවීමට නොවේද?
සටහන - ගුණසිංහ හේරත්