විදුලිය සැපයීමට ප්‍රශ්නාර්ථ එපා


 

‘අවිනිශ්චිත බව’ තරම් සාපරාධී අත්දැකීමක් තවත් නැත. එහෙත් මෙරට ජනයාට කල දවස ගෙවීමට සිදුවී තිබෙන්නේ එම සාපරාධී අත්දැකීම සමගය. බරපතළම ප්‍රශ්නය මතුවී තිබෙන්නේ විදුලිය ක්ෂේත්‍රයෙනි. කොයි මොහොතේ විදුලිය කප්පාදුවක් සිදුවේදැයි ජනයා පසුවන්නේ දෙගිඩියාවෙනි. 

විදුලිය ‘සුඛෝපභෝගී’ හෝ ‘අධිසුඛෝපභෝගී’ වස්තුවක්ව තිබූ යුගයක්ව පවතින්නට ඇත. එහෙත් වර්තමානය එසේ නොවේ. ආණ්ඩුවම පවසන පරිදි සෑම නිවෙසකටම විදුලිය සපයා තිබේ. ඒ අනුව එය අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්වී ඇත. ජනයාගේ දෛනික ජීවිතය හා තදින්ම ගැටගැසී ඇති විදුලිය කිනම් මොහොතක බිඳ වැටේද යන දෙගිඩියාව පවතින්නේ නම් එය ජන ජීවිතයේ පැවැත්ම බිඳ දැමීමකි. සත්‍ය වශයෙන්ම අද තිබෙන්නේ එබඳු තත්ත්වයකි. 

අද දවස මෙරට ජනයාට තීරණාත්මකය. මන්දයත් විදුලිය කපන්නේද නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ අද ය. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පෙරේදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ප්‍රමාණවත් තරම් ඉන්ධන තිබෙන හෙයින්  අද (27) දක්වා විදුලිය කප්පාදුවක් සිදු කිරීමට ඉඩ නොදෙන බවය. එමෙන්ම අද දවසේ තත්ත්වය නැවත සමාලෝචනය කර විදුලිය කප්පාදුවකට අවසර දෙනවාද යන්න තීන්දු කරන බවය.

රට ‘දවස් පඩි’ ගානට වැටී ඇති සෙයකි. දවස තුළ මතුවන ප්‍රශ්නවලට එක්කෝ මුහුණ නොදී මගහැර ගොස් හෝ තාවකාලික පැලැස්තරයක් ඇලවීම සිරිතක් කරගෙන තිබේ. විදුලිය අර්බුදයේ දී ඒ බව මනාව ප්‍රදර්ශනය වේ. වඩාත් බරපතළ  ප්‍රශ්නය වන්නේ වත්මනෙහි ඇති තත්ත්වය කල් ඇතිව දැකීමට අසමත්වීමය. ‘ඩොලර් ලැබුණොත් තෙල් දෙන්නම් - තෙල් දුන්නොත් විදුලිය දෙන්නම්’ තැනට රට වැටීම අතිශයින්ම හාස්‍යජනකය.

විදුලිය සැපයීමේ වගකීම ඇමැති ගාමිණී ලොකුගේටය. ඉන්ධන භාර ඇමැතිවරයා උදය ගම්මන්පිලය. විද්‍යාත්මක අමාත්‍ය මණ්ඩලය එසේය. විදුලිය නිපදවන්නේ ඩීසල් වලිනි. එහෙත් විදුලිබල අමාත්‍යාංශයට ඩීසල් නැත. ඩීසල් තිබෙන ඇමැති ගම්මන්පිල මුලින් පැවසුවේ ‘ඩොලර් දුන්නොත් පමණක් ඉන්ධන ලබාදෙන බවය. ජනාධිපතිවරයාද ප්‍රශ්නයට මැදිහත් වූ විට ගම්මන්පිල ඇමතිවරයා ප්‍රකාශ කළේ බරපතළ ඉන්ධන අර්බුදයකට මුහුණදී තිබෙන ලංකා විදුලිබල මණ්ඩලයට තවත් සති දෙකක කාලයක් සඳහා ඩීසල් සහ දැවිතෙල් ලබාදීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර ඇති බවය.

ලංකා  ඛනිජ තෙල් සංස්ථාව ද බරපතළ ඩොලර් අර්බුදයකට  ගොදුරුවී තිබෙන බව පෙන්වා දෙන ඇමැතිවරයා විදුලිය අර්බුදය කළමනාකරණය කරගත යුතු බැවින් අපහසුතාවෙන් වුවද මෙම ඉන්ධන ප්‍රමාණය විදුලිබල මණ්ඩලයට ලබාදෙන බව සඳහන් කර තිබිණි. 

කුමන අභියෝග තිබුණද විවිධ සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක වේ . ප්‍රශ්නය වන්නේ එහිදී ප්‍රමුඛතා ලැයිස්තුවක් දක්නට නොවීමය. එසේ ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කරන්නේ නම් එහි අංක එක බවට පත්වන්නේ අඛණ්ඩව විදුලිය ලබාදීමය. අංක දෙකට පත්විය යුත්තේ හිඟයකින් තොරව ගෑස් සැපයීමය. මන්දයත් මේ දෙකම ජන ජීවිතයේ අත්‍යවශ්‍ය අංග බවට පත්වී තිබීමය.

විදුලිය බිඳ වැටීම යනු මුළු රටම අකර්මණ්‍යවීමකි. කොවිඩ් මාරක වසංගතය හමුවේ බිඳ වැටුණු ආර්ථිකය නැවත පණ ගැන්වීමට නම් මුළු රටම එකම වැඩබිමක් බවට පත්විය යුතුය. එහෙත් විදුලිය කප්පාදුවෙන් එම ඉලක්කය සපුරා ගත නොහැකි විය. කොවිඩ් මාරක වසංගතය හමුවේ වුවද මෙරටට විදේශ විනිමය රැගෙන ඒමට යහමින් දායක වූයේ ඇඟලුම් කම්හල් ක්ෂේත්‍රය වෙයි. එහෙත් විදුලිය කප්පාදුවෙන් එම ක්ෂේත්‍රයද හාන්සි වේ. ඒ අනුව අනෙකුත් ක්ෂේත්‍රවලට අත්වන ඉරණම සිතා ගැනීම අසීරු නැත. 

මෙරට දුවා දරුවන්ගේ ඉරණම තීන්දු කරන ප්‍රධානම විභාගය වන අපොස උසස් පෙළ විභාගය පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිතය.  ලක්ෂ තුනකට වැඩි දූ දරුවෝ මෙම විභාගයට මුහුණ දෙති. එම විභාගයට සාර්ථකව මුහුණ දීමට එම දරුවන්ට නිර්බාධක පරිසරයක් නිර්මාණය කරදිය යුතුය. එහෙත් එවැන්නක් නොපෙනීම බරපතළ ඛේදවාචකයකි. මේ මොහොතට අත්‍යවශ්‍ය නොවන සංවර්ධන ව්‍යාපෘති නතර කර හෝ විදුලිය අඛණ්ඩව ලබාදීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය.