විදේශ අමාත්‍යංශයේ ගමේ වැඩ


ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිගින් දිගටම සිදුකළ වරදක් වූයේ මහජන සේවයට වගකිවයුතු රාජ්‍ය ආයතනයන්ගේ මුල් පුටුවලට විශ්‍රාමික හමුදා නිලධාරීන් පත්කිරීමය. ඔවුන්ගෙන් බහුතරයක්, තමන් එම තනතුරුවලට නුසුදුස්සන් බව ඔවුන්ම ඔප්පු කර හමාරය. මේ සම්බන්ධයෙන් ද, ගෙවුණු සති කිහිපය පුරාම නොයෙක් විරෝධතා මතුවිය.

මෙවන් නිලධාරීන්ට පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කටයුතු සිදුවන ආකාරය පිළිබඳව නිසි අවබෝධයක් නොමැත. අතීතය සළකන විට එම කටයුතු සිදුව තිබෙන්නේ තනතුරු භාරගත් පුද්ගලයින් මත බලපැවැත්වෙන දේශපාලන බලය මත හෝ පෞද්ගලිකව ගන්නා තීන්දු තීරණ මතය. මෙය රාජ්‍ය සේවයේ නිලධාරීන් අතර විශ්වාසයේ අර්බුදයක් ඇතිවීමට හේතු කාරණා වී ඇත.

අඩුම තරමින් එසේ ලබාදුන් එක් තනතුරක් හෝ දැන් වෙනස් කිරීමට පියවර ගෙන ඇත. විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස අරුණි විජේවර්ධන මහත්මිය පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ  මහතා සිය අනුමැතිය ලබා දී ඇති අතර, විශ්‍රාම ගොස් සිට නැවත සේවයට කැඳවන ඇය විදේශ සේවයේ දැනට සිටින ජේ්‍යෂ්ඨතම සහ අත්දැකීම් පූර්ණම නිලධාරිනිය වේ.

මෙතෙක් විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සිය තනතුර ආරක්ෂා කරගැනීමට උත්සාහ කළ ද, එය අසාර්ථකව ඇත. ගෙවුණු අගහරුවාදා දින ඔහු සිය කාර්යාලය අස්පස් කරගැනීමට නියමිතව සිටියේය. නව විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරිය ලෙස විජේවර්ධන මහත්මිය පත්කිරීමට ජනපතිවරයාට යෝජනා කර තිබෙන්නේ විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් මහතාය.

කළු සදුදා දින, විරෝධතාකරුවන්ට ප්‍රහාර එල්ලවීමට මත්තෙන්, විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මහතාව කොළඹ රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව සමග වන රැස්වීමකට කැඳවා තිබිණ. රැස්වීම ආරම්භවීමට නියමිතව තිබුණේ පෙරවරු 11.00ට වුවත්, එය ආරම්භවූයේ විනාඩි 45 ක් පසුවීය. එහිදී ඔහු විවිධ වීඩියෝ දසුන් පෙන්වමින් පොලිසියට සහ අනෙක් අහිංසක ජනතාවට පහර දෙමින් සිටින්නේයැයි විරෝධතාකරුවන්ට චෝදනා කළේ ය.

ඔහු එසේ කළේ, මැරයින්ගේ ප්‍රහාරයට ලක්වන තෙක්ම විරෝධතාකරුවන් අතිශය සාමකාමීව සිය විරෝධතාවන් පවත්වාගෙන ගිය බව ලෝකයම දන්නා පසුබිමකය.

එවැනි තත්ත්වයක, රටේ විදේශ කටයුතු අමාත්‍යවරයා කරන මෙවන් පැහැදිලි කිරීමක් රජයට දැනට යන්තම් ඉතිරිව තිබෙණ විශ්වාසයත් විනාශ කරන්නේ නොවේ ද? ඔහු විරෝධතාකරුවන් හඳුන්වාදුන්නේ පීඩකයින් ලෙසය. එය අඩුම තරමින් රජය හෝ අනුගමනය කරන ස්ථාවරයක් නොවේ. රැස්වීම අවසානය වන විට ඊට සහභාගී වී සිටි කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනොන්, විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරයන් ගැන විමසා සිටියේ ය. ඒ සම්බන්ධයෙන් කෙටි පණිවිඩයක් ද, ඔහුගේ දුරකතනයට ලැබී තිබිණ. ඔහුගේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබුණේ නැත.

අමාත්‍ය පතිරණ මහතා කළ අනාවරණය හමුවේ රාජ්‍ය පාලනයට අදාළ කටයුතු සිදුවෙමින් පවතින්නේ එකිනෙකට වෙනස් බල කේන්ද්‍ර දෙකක් පදනමේ සිටය යන්න තහවුරුව ඇත. එයත් සමග රාජපක්ෂ පවුලේ ද, දෙපිළක් පවතින බව පැහැදිලි වේ.

එයට එක් උදාහරණයක් වන්නේ කූප්‍රකට මිග් 27 ගුවන්යානා ගනුදෙනුවේ මහමොළකරුවා බව කියැවෙන සහ පසුව රුසියානු සහ යුක්රේන සංචාරකයින් ශ්‍රී ලංකාවට ගෙන්වීමේ කටයුතුවල තනි ඒකාධිපතීත්වය දැරූ උදයංග වීරතුංග සහභාගී වූ සම්මුඛ සාකච්ඡාවකි. එය පැවැත්වූයේ දිනපතාම පාහේ යූටියුබ් නාළිකාවට එවන් සාකච්ඡා එකතු කරන රූපවාහිනී නිවේදකයෙකි.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඥාතියෙක් වන වීරතුංග (ගෝඨාභය රාජපක්ෂගේ මවගේ, සොහොයුරියගේ පුත්‍රයා), අගමැති රාජපක්ෂට අයුතු ආකාරයට සැළකී යැයි එම සාකච්ඡාවේ දී, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාව තරයේ විවේචනය කළේය. දෙදෙන අතර වෙනස්කම් මතුවීමට ගත්තේ ජනපතිවරයා වියත්මග සාමාජිකයන්ට ඇහුම්කන් දීම නිසා යැයි ඔහු කීවේය.

තමන්ගේ දෙමව්පියන්ගේ සොහොන් ආරක්ෂා කරගන්නටවත් බැරි ජනපතිවරයෙක් රටක් ආරක්ෂා කරන්නේ කොහොම ද? යැයි උදයංග විමසුවේය. ඔහු එතැන සඳහන් කළේ, නැසීගිය ඩී.ඒ.රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වෙනුවෙන් වීරකැටිය ප්‍රදේශයේ ඉදිකර තිබූ ස්මාරකයක්, මැරයින්ගේ ප්‍රහාරයට ලක්ව විනාශවීම සම්බන්ධයෙනි.

ඉහළින් ආ පීඩනයක් නිසා එම සම්මුඛ සාකච්ඡාව යූටියුබ් නාළිකාවෙන් ඉවත් කර ඇතැයි පසුව ප්‍රකාශයක් නිකුත් කළ වීරතුංග මහතා නිවේදනය කළේය. ඉන්පසුව ඔහු කළේ එම සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රසිද්ධ කිරීමය.

තමාට යම් හානියක් සිදුවුවහොත් එයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ එසේ එම වීඩියෝව ඉවත් කිරීමට බලපෑම් කළ පුද්ගලයා බවට ඔහු චෝදනා කළේය. මහින්ද රාජපක්ෂ මහතා ජනපතිව සිටි සමයේ ඔහු උදයංග වීරතුංගව රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කළේය. මීට පෙර අවස්ථාවක ඔහු යුක්රේනයේ කියෙව් නුවර පිහිටි ක්ලබ් ශ්‍රී ලංකා නම් අවන්හලක් ද, පවත්වාගෙන ගියේය.


චමල්ගේ චෝදනාව
රාජපක්ෂ පවුලේ පවතින වෙනස්කම් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම පවුලේ වැඩිමලා වන චමල් රාජපක්ෂ මහතා ද, අනාවරණයක් කළේ ය. ඔහුගේ අදහස් දැක්වීමෙන් ගත් වැදගත් කොටස් පහත පරිදිය.

“මම මැයි මස 9 වැනිදා සිදුවීම ගැන කණගාටුවෙනවා. විශේෂයෙන්ම අරලියගහ මන්දිරයට පැමිණිලා, පසුව කෙනෙකු දුන් වැරදි උපදෙසක් නිසා අනෙක් අයට පහරදෙන තත්ත්වයට පත්වුනු පුද්ගලයින් ගැන.”

“එතැන සිටියේ ගම්වලින් පැමිණිලා සිටපු අහිංසක ජනතාව. ඔවුන් පක්ෂයේ ආධාකරුවන්. ඔවුන් පැමිණ සිටියේ ඔවුන්ගේ දුක සහ සුභ පැතුම්, ඉල්ලා අස්වීමට බලාපොරොත්තුවෙන් සිටි අගමැතිවරයා හමුවේ කියන්නට, ඉදිරිපත් කරන්නට”

“ඒ මොහොත් සිදුවූ යම් ක්‍රියාවක් හෝ උසිගැන්වීමක් හරි නිසා ලොකු ගැටලුවක් නිර්මාණය වුණා. පස්වරු 6.30 සිට පස්වරු 8 දක්වා ගෙවුණු කාලය ඇතුළත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ආධාකරුවන්ගේ සහ සංවිධායකයන්ගේ නිවාස ගිණිබත් කෙරුණා. හැම ගමකම වගේ එවැනි ප්‍රහාර සිදුවුණා. ඇතැම් පුද්ගලයින් මැරුම් කෑවා. මේ සියල්ල සිදුවුණේ ඉවසීමක් නොමැති කම නිසා”

“පොලිස් නිලධාරීන් එතැන සිටියා. ඔවුන් හැම තැනම සිටියා. හැබැයි ඔවුන් කළේ වෙන දෙය දිහා බලාගෙන සිටීම පමණයි. මෙය නවත්වන්නට පොලිස් නිලධාරීන්ට හැකියාව තිබුණා. කෙසේවුවත් තිස්සමහාරාමයේ නම්, ප්‍රහාර එල්ල කිරීමට පුද්ගලයින් රැගෙන පැමිණි වාහනවල අංක සටහන් කරගැනීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබෙනවා. දැන් එම පුද්ගලයින් හඳුනාගැනීමට සහ අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරෙමින් තිබෙනවා. ඇයි පොලිසිය මෙහෙම නිහඩ වුණේ?”

“ජනතාව අරලියගහ මන්දිරයේ ඉඳන් ගාලුමුවදොරට යනකොට ඇයි පොලිසිය ඔවුන්ව නැවැත්තුවේ නැත්තේ? ”

“ඔවුන්, ඔවුන්ගේ රාජකාරිය ඉෂ්ඨ කරන්නට අපොහොසත් වුණා. ඒ නිසා අපේ පැත්තේ කෙනෙක් කිව්වා දැන් ඉන්නේ අයිජීපී (පොලිස්පති) කෙනෙක් නෙවෙයි, පීඅයිජී කෙනෙක් (ඡෂඨ) කියලා. මම ඒකෙ තේරුම දන්නේ නැහැ. එහෙම තමයි දැන් කියන්නේ”
“මේ ප්‍රහාරය සිදුවන්නට කවුරුන් හෝ කෙනෙක් ඔවුන්ට උපදෙස් දුන්නා ද? අප එය වහාම සොයාගත යුතුයි. වගකිව යුතු පුද්ගලයින් සිටින්නම ඕනේ මෙතැන. ආරක්ෂක ලේකම්වරයෙක් ඉන්නවා. ඔවුන්ට පුලුවන්කම තිබුණා මේක නවත්වලා, ජීවිත සහ දේපළවලට සිදුවූ හානි වළක්වාගන්නට. විමර්ශන කටයුතු භාරදීලා තියෙන්නේ එකම පුද්ගලයින්ට. වෙන්නේ මොනවාද කියලා එතකොට අපි දන්නේ නැහැ”

“රාජපක්ෂවරුන්ගේ දේශපාලනය ගැන මම කතාකරන්න අවශ්‍ය නැහැ. එම කටයුතු ආරම්භ වුණේ 1931 දී, වසර 90කටත් එහා යුගයක. මම හිතනවා, අගමැතිවරයා (මහින්ද රාජපක්ෂ) ජනපතිවරයා ලෙස ඔහුගේ දෙවැනි ධූරකාලයෙන් පසුව හරිනම් දේශපාලනයට සමුදිය යුතුව තිබුණා කියලා. ඔහු එසේ කළේ නැහැ. ඔහුට ඉතිරිවුණේ දුක සහ වේදනාව” යයි චමල් රාජපක්‍ෂ මහතා පැවසීය.

ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් බරපතල ගැටලු මතුවන තවත් ස්ථානයක් වන්නේ ජාතික ආරක්ෂාව සහතික කිරීම භාරව කටයුතු කරන ආරක්ෂක අමාත්‍යංශයයි. ගෙවුණු සතියේ මාධ්‍ය හමුවක් ඇමතූ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා, අරලියගහ මන්දිරය ඉදිරියේ සහ ගාලුමුවදොර පිටියේ රැඳී සිටි විරෝධාකරුවන්ට ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි අංශ වාර්තා තමන්ට නොලැබුණු බව පැවසුවේය. නමුත් මුල් පෙලේ තොරතුරු මූලාශ්‍ර එය තරයේම බැහැර කරයි.

“ඉදිරියේ තියෙන්නේ මොනවද කියන එක ගැන ඔහුට අනතුරු ඇඟවූවා පමණක් නෙවෙයි, යම් යම් පියවර ගන්නා ලෙසත් ඔහුගෙන් ඉල්ලා සිටියා. කෙසේවුවත්, ඒවා ඒ ආකාරයට ක්‍රියාත්මක වුණේ නැහැ” යයි අයෙක් පැවසුවේ ය.

තවත් අයෙක් ඊට තවත් දේ එකතු කළේය.

“ආරක්ෂක අංශ සහ පොලිසියේ කටයුතු සම්බන්ධීකරණය කිරීම හරහා ඕනෑම තලයක විනාශයක් වළක්වාගැනීමට පියවර ගැනීමේ ලොකු අවස්ථාවක් ආරක්ෂක අමාත්‍යංශයට තිබුණා. ගැටලුව වෙන්නේ ඒක විදිහටම වුණා ද? එහෙමත් නැතිනම් කවුරු හෝ තමන්ගේ රාජකාරිය ඉටුකිරීමට අපොහොසත් වුණා ද කියන එකයි.”


මහින්ද රාජපක්ෂ යළි කොළඹට
ත්‍රිකුණාමලය වරාය භූමියේ පිහිටා ඇති නාවික හමුදාපතිවරයාගේ බංගලාවේ පුරා සතියක කාලයක් රැඳී සිටීමෙන් පසුව, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ගෙවුණු සඳුඳා දින නැවත කොළඹට පැමිණියේය.

එදින ඔහු පාර්ලිමේන්තු සැසිවාරයන්ට සහභාගීවීමට නියමිතව සිටියත්, අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඔහු රැගෙන කොළඹ බලා පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ගුවන්හමුදාවට අයත් හෙලිකොප්ටර යානය තරමක් ප්‍රමාද විය. හිටපු අගමැතිවරයා ඔහුගේ සම්පූර්ණ කාලය නාවික හමුදාපතිවරයාගේ බංගලාවේම රැඳී සිටිමින් ගෙවූ බව, නැගෙනහිර නාවික හමුදා ආඥාපති දිසාවේ නාවික හමුදා ආරංචි මාර්ගයක් පැවසුවේය.

ඇතැම් සමාජ මාධ්‍යවල පළව තිබූ ආකාරයට ඔහු සෝබර් දිවයිනේ හෝටලයක නවාතැන් ගැනීමට නොගියේ යැයි ද, එම ආරංචි මාර්ගය කීවේය. කොළඹට පැමිණි පසුව හිටපු අගමැතිවරයාට නවාතැන් හිමිවූයේ ඉහළ පෙලේ ආරක්ෂක අංශ සාමාජිකයෙක් කලක් සිය නිල නිවහන ලෙස භාවිතා කළ නිවසකය. එය පිහිටා තිබෙන්නේ අධි ආරක්ෂික කලාපයකය.


ගැලවුම්කරු රනිල්
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රටේ නව අගමැතිවරයා ලෙස දිව්රුම්දීමට දින කිහිපයකට පෙර, ජනපති ගෝඨාභය රාජපක්ෂ සිතමින් සිට ඇත්තේ විධායක ජනපතිධූරය අහෝසි කිරීමේ යෝජනාවක් පෙරදැරිව ජනතාව හමුවට යාමටය. එසේ කිරීමට අදහස් කර තිබුණේ පාර්ලිමේන්තුවට පණතක් ඉදිරිපත් කර හෝ පවත්නා පණතකට සහාය දැක්වීමෙන් හෝ සහ ජනතාවට අවශ්‍ය කුමන ආකාරයේ පාලන ක්‍රමයක්දැයි විමසීමට නිශ්චිත දිනයක දී, ජනමත විචාරණයක් පැවැත්වීමේ අදිටන ද, ඇතිවය. මේ අරබයා ඔහු නීති ක්ෂේත්‍රයේ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ මහමොළ කිහිපයකම අදහස් විමසා තිබිණ.

කෙසේවුවත්, වික්‍රමසිංහ මහතා කිසිඳු කොන්දේසියක් නොමැතිව අගමැතිධූරය පිළිගත් නිසා, අන්තර්වාර රජයක ක්‍රියාවලිය පසුපස සැගවී යම් හුස්මක් ගැනීමටත්, එම ක්‍රියාවලිය නිසාම තවදුරටත් රටේ විධායක ජනපතිවරයා ලෙස කටයුතු කිරීමටත් අවස්ථාව ජනපති ගෝඨාභයට ලැබී ඇත.

රටේ නව අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතමින් කළ පළමු ප්‍රකාශය (මැයි 16 වැනිදා) දෙපැත්ත කැපෙන සුලු විය. එක් අතකින්, ඔහු රටේ සැබෑ ආර්ථික තත්ත්වය මෙසේ යැයි සරල, සැමට තේරුම්ගත හැකි භාෂාවෙන්, ඔහු ඉදිරිපත් කළ කාරණාවලට පදනමක් සපයන සාක්ෂාත් කරගත හැකි අගයන් ගෙනහැර දක්වමින්, පැහැදිලි කළේය. අනෙක් අතින්, හිටපු අගමැතිවරයා, මුදල් අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයන් ජනතාව ඉදිරියේ නිරාවරණය කිරීමටත් ඔහු මෙය අවස්ථාවක් කරගත්තේය. රටේ මෙවැනි තත්ත්වයක් නිර්මාණයවීමට ඉඩ හැරියේ යැයි ඔහු ජනපතිවරයාට දොස් කීවේ ඇඟටපතට නොදැනෙන ලෙසය.


අතීතයට ඇමතීම
“වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පවතින්නේ ඉතාම බරපතල තත්ත්වයක. පැවති රජයේ අයවැයෙන්, රුපියල් ටි්‍රලියන 2.3 ක ආදායමක් පුරෝකථනය කරලා තිබුණත්, වඩා යතාර්ථවාදී පුරෝකථනයක් කළොත් මේ වසරේ අපට ලබාගන්නට පුලුවන්කම තියෙන්නේ රුපියල් ටි්‍රලියන 1.6ක්” යැයි ඔහු කීවේය.

“2019 නොවැම්බර් මාසය වෙනකොට අපේ විදේශ සංචිත පැවතුණේ ඩොලර් බිලියන 7.5ක මට්ටමේ. කෙසේවුවත් අද වෙනකොට ඩොලර් මිලියනයක් සොයාගැනීම පවා මහා භාණ්ඩාගාරයට අභියෝගයක් වෙලා තිබෙනවා. ගෑස් ආනයනය කරන්න අවශ්‍ය ඩොලර් මිලියන 5 ක් හොයාගන්නටත් මුදල් අමාත්‍යංශයට අපහසු වෙලා තිබෙනවා” යයි අගමැතිවරයා කීවේය.

2019 නොවැම්බර් මාසයේ පැවති ජනපතිවරණයෙන් පසුව ගැනුණු දුර්වල තීරණ සහ දුර්වල කළමණාකාරීත්වය නිසා රටට මෙවැනි ඉරණමක් අත්ව තිබෙන බව ඔහු ඉන් ඇතැම් විට අදහස් කරන්නට ඇත.

දුක්විඳිමින් සිටින ජනතාවගේ ගැලවුම්කරුවා ලෙස තමාව හඳුන්වා දී ගැනීමටත්, වික්‍රමසිංහ මහතා සිය කතාව යොදාගත්තේය.

“මම මේ භාරගන්නේ භයානක අභියෝගයක්. හුණුවටයේ කතාවේ ගෲෂා, අබලන් කඹයකින් බැඳ තිබූ පාලමකින් එතෙර වෙන්නේ තමාගේ නොවන දරුවෙකුත් කර පින්නාගෙන. මේක ඊටත් වඩා අසීරු කාර්යයක්”

“හෙළ ගැඹුරුයි, එයි පතුළ පේන්නේවත් නැති තරම්. පාලම සැදී තිබෙන්නේ මෘදු වීදුරුවලින්. අත්වාරුවක්වත් නැහැ. මම පැළදගෙන ඉන්න සපත්තුවල අඩියේ උල් ඇණ තිබෙනවා. ඒවා ඉවත් කරන්නට හැකියාවක් නැහැ. දරුවාව ආරක්ෂිතව අනෙක් පසට ගෙනයාම තමයි මගේ රාජකාරිය. මගේ ඉලක්කය සහ කැපවීම, තනි පුද්ගලයෙක්වත්, පවුලක් හෝ පක්ෂයක්වත් බේරා ගැනීම නොවෙයි. මේ රටේ සියලුම ජනතාවත්, අපේ තරුණ පරම්පරාවේ අනාගයත් බේරා ගැනීම තමයි මගේ අරමුණ. මගේ ජීවිතය පරදුවට තබා මම මේ කාර්යය භාරගන්නවා. ඒ වගේම, අප ඉදිරියේ තියෙන අභියෝගයන් ජයගන්නවා” යයි වික්‍රමසිංහ මහතා කීවේය.

වත්මන් තත්ත්වය ගැන නිසි කරුණු ගෙනහැර දක්වමින් කළ හොඳ පැහැදිලි කිරීමක් වුවත්, අප ඩොලර් උත්පාදනය කිරීමට යන්නේ කෙසේද, සෘජු විදෙස් ආයෝජන ආකර්ෂණය කරගැනීමට යන්නේ කෙසේද සහ අපි අපේ ආර්ථිකය වර්ධනය කරගැනීමට යන්නේ කෙසේද, අපගේ ගෙවුම් ශේෂය අඩු කරගන්නේ කෙසේද, අපගේ අනාගත මුල්‍ය ප්‍රතිපත්ති, නීති සහ රෙගුලාසි මොනවාද, යනාදිය ගැන කිසිත් සඳහනක් එහි නොවිණ. එම නිසාම නව අගමැතිවරයාගේ කතාව අතීතයට ආමන්ත්‍රණය කිරීමක් මිස, අනාගතය දෙස බැලීමක් නොවන බව ඇතැම් අය කීවේය.

ඉතාම කෙටි කාලයක් ඇතුළත නැවත වතාවක් කැබිනට් අමාත්‍යවරු වෙනස් කර ඇත. ඇමතිධූර භාරගැනීමේ නොතිත් ආශාවෙන් පසුවන දේශපාලකයින්, ඒ වෙනුවෙන් සිය දේශපාලන පක්ෂ ද, අතහැර පැමිණ ඇත. අඩුම තරමින් එසේ හෝ, නව අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය, ඉදිරි කටයුතු සාමාන්‍ය අයුරින් ගෙනයාමට සහ ක්‍රියාත්මක කිරීමට තමන් පත්ව සිටින්නේය යන පණිවිඩය අන්තර්ජාතික ප්‍රජාව වෙත සහ බටහිර ලෝකය වෙත ලබාදීමට සමත්ව ඇත.

නමුත් ශ්‍රී ලංකාවේ පුරවැසියන් ගත්විට, තවමත් ඔවුන් සිටින්නේ තෙල් පෝලිම්වලය. ඉන්ධන පිරවුම්හල් බහුතරයක් තිබෙන්නේ වසා දමාය. ගෑස් හිගය. ඖෂධ සහ ආහාරවල තත්ත්වයත් එසේමය. ආහාර භෝග ප්‍රවාහනය කිරීමට හැකියාවක් නොමැති වී ඇත. පාසල් වසා දමාය. අවන්හලුත් එසේමය. විශාලම ගැටලුව වන්නේ මේ ගැටලු විසඳෙන්නේ කවදාද යන්නය.  මේ සියල්ල මැද මිරිකෙමින් සිටින ජනතාවගේ ඉවසීම ඉක්මවා යමින් තිබෙණ බව රහසක් නොවේ.


ජනපතිට ආරක්‍ෂක අමාත්‍යංශය එපාවෙයි
ආරක්ෂක කටයුතුවලට අදාළ කාරණාවල නියැළී අවුරුදු 15ක් ගෙවී තිබෙණ තැනක, ආරක්ෂක අමාත්‍යධූරය අත්හැරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂට වුවමනාවී තිබේ.

අලුත පත්කිරීමට යන කැබිනට්ටුව සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග ගෙවුණු බ්‍රහස්පතින්දා පැවති සාකච්ඡාවේ දී, මේ සම්බන්ධයෙන් ඔහු අගමැතිවරයාව දැනුම්වත් කර ඇත.

කුමන හෝ තත්ත්වයක වේවා, 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ස්වරූපයෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත හඳුන්වාදුනහොත් නිර්මාණය වන්නේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පසුව පත්වන ජනපතිවරයෙක්ට කිසිඳු අමාත්‍යධූරයක් දැරිය නොහැකි වන පසුබිමකි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ප්‍රතිස්ථාපනය කෙරුණු අතර, ඒ හරහා ජනපති ගෝඨාභය රාජපක්ෂ අමාත්‍යංශ තමන් යටතට ගත්තේය.

පසුව ජනපතිවරයා ආරක්ෂක අමාත්‍යංශය ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණට පිළිගැන්වීය. නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇත. රමේෂ් පතිරණ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන්නේ ඉන් අනතුරුවය. ඔහු මීට කලින් දරමින් සිටියේ ද, එම අමාත්‍යධූරයයි. ඔහුගේ අදහස වෙනස් කිරීමට තවමත් උත්සාහ ගැනෙමින් පවතින බව රජයේ ආරංචි මාර්ගයක් පැවසුවේය.

ඔහු එය පිළිගන්නේ නැති නම්, වෙන කෙනෙක්ව තෝරාගන්නට සිදුවෙනවා, එම ආරංචි මාර්ගය වැඩිදුරටත් සඳහන් කළේය.

මුදල් අමාත්‍යංශය තවදුරටත් අගමැති රනිල් වික්‍රමසිංහ යටතේම පැවතියත්, සුපිරි අමාත්‍යංශයක් නිර්මාණය කිරීමේ සැළසුම් මේ වන විට සකස් කැරෙමින් පවතී. එය සෘජු විදෙස් ආයෝජන ඇතුලු, ආර්ථික සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ සියලුම කාරණා එකම තැනකට ගෙන එන අමාත්‍යංශයක් වනු ඇත. මුදල් විෂය ද, වැටෙන්නේ ඒ යටතටය.
ඇතැම් දේශපාලන පක්ෂවල සහාය දැනටමත් හිමිව තිබෙන අන්තර්වාර රජයකට සම්පූර්ණයෙන් සහාය දක්වන රජයේ ඇතැම් පාර්ශවයන් බියෙන් සිටින දෙයකි. එය නම්, ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති වික්‍රමසිංහ ගන්නා උත්සාහයන් ව්‍යර්ථ කිරීමට හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතපොවණු ඇතැයි කියාය.


බැසිල්ගේ අදිසි හස්තය
ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ආශිර්වාදය යටතේ, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක පුටුවට නිතරගයෙන් පත් කිරීමට අගමැති වික්‍රමසිංහ මහතා නිර්දේශ කර තිබිණ. මේ පිළිබඳව ඔහු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීනී කණ්ඩායමට නායකත්වය දෙන සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ද, අදහස් විමසා තිබිණ. ප්‍රනාන්දුපුල්ලේට පසුව මෙම කණ්ඩායමේ ජේ්‍යෂ්ඨතමයා වන්නේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියයි. අනතුරුව සිටින්නේ තලතා අතුකෝරළ සහ රොහිණී කවිරත්න යන මහත්මීන්ය. මෙය හොඳ දෙයක් බව මුල් තිදෙනගේ අදහස විය.

පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ආරම්භ වූ පසුව නැගී සිටි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී කවිරත්න මහත්මිය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරිය ලෙස ඒකමතිකව පත්කෙරනු ඇතැයි අපේක්ෂාවෙන් ජනපතිවරයා පසුවන බව දන්වා සිටියේය. කෙසේවුවත්, බැසිල් රාජපක්ෂට සහාය දක්වන කණ්ඩායමක් අදහස් දක්වමින්, පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදයක් පැවතිය යුතු බවත්, තමන්ට තමන්ගේ තෝරාගැනීම පරිදි කටයුතු කිරීමට අවස්ථාව තිබිය යුතු බවත් පවසා සිටියේය. පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස අජිත් රාජපක්ෂ මහතාව පත්කිරීමට බැසිල් පාර්ශවය සමත්වූයේ ඒ ආකාරයටය.

නියෝජ්‍ය කතානායක පුටුවට කවිරත්න සහ රාජපක්ෂ අතර පැවැති ඡන්ද විමසීමේ දී, පහසු ජයක් අත්කරගැනීමට රාජපක්ෂ සමත් විය. නමුත් පාර්ලිමේන්තුවේ බහුතරය වන 113 ක මනාප ගණන ඔහුට ලැබුණේ නැත.

නව රජය හා එකතුවීම සහ අමාත්‍යධූර භාරගැනීම සම්බන්ධයෙන් වන තීරණ එම එක් එක් දේශපාලන පක්ෂයෙන් ඉදිරිපත් කරනු ලදුව, අනෙක් අයටත් දන්වනු ලැබිණ. ටිරාන් අලස් මහතා සැළකීමේ දී, මහජන ආරක්ෂක අමාත්‍යංශය භාරගන්නා ලෙස ජනපතිවරයා තමාගෙන් ඉල්ලා ඇතැයි ඔහු සිය කණ්ඩායම නියෝජනය කරන දේශපාලන පක්ෂ - විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල කණ්ඩායම ලෙස හැඳින්වෙන, දැනුම්වත් කළේය. දේශපාලන පක්ෂ 11කින් සමන්විත මෙම කණ්ඩායම දැනට විපක්ෂය නියෝජනය කරන අතර, ඔවුන් මේ දක්වාම අමාත්‍යධූර භාර නොගත්තේ එකී සියලු කාරණා හසුරුවනු ලබන්නේ බැසිල් රාජපක්ෂ බවට චෝදනාවක් ඔවුන් නඟමින් සිටි බැවිනි.

අපි මේ කාරණය දැනටමත් ජනපතිවරයාගේ අවධානයට යොමුකර තිබෙනවා, නම් සඳහන් නොකිරීමේ පොරොන්දුව මත අදහස් දැක්වූ අයෙක් පැවසුවේය. රාජපක්ෂ-වික්‍රමසිංහ නායකත්වය අලස්ගේ නම සැළකූයේ සාමාජිකයන් 11 දෙනෙකුගෙන් සමන්විත වීරවංශ-ගම්මන්පිල කණ්ඩායම නියෝජනය කරන්නෙක් ලෙසය.

පත්වන නව අමාත්‍යවරුන් වැටුප් ලබා නොගනු ඇතැයි අගමැතිවරයා ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සමගි ජනබලවේගය යන දෙපක්ෂයම කැබිනට් අමාත්‍යධූර ලබාගත් ඔවුන්ගේ සාමාජිකයන්ට එරෙහිව විනය පියවර ගැනීමට තීරණය කර ඇත.

තවත් වැදගත් දේශපාලන සිදුවීමක් වන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ දෙකක් වන සමගි ජනබලවේගය සහ දෙමළ ජාතික සන්ධානය, මේ වන විට විරෝධතා ව්‍යාපාරය සමග වඩවඩාත් බද්ධ වෙමින් සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග පැවති රැස්වීමයි.

ව්‍යවස්ථාමය වෙනස්කම් සහ විධායක ජනපතිධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ඔවුහු සාකච්ඡා කළහ. පැවැත්වෙමින් තිබෙන විරෝධතා ව්‍යාපාරයන්ගේ ශක්තිය හමුවේ සමගි ජනබලවේගය මෙන්ම දෙමළ ජාතික සන්ධානයත්, පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ හරහා සහනය සොයන සෙයකි. රැස්වීමට සහභාගීව සිටියෝ අතර, කබීර් හෂීම් (සජබ), ඒබ්‍රහම් සුමන්තිරන් (දෙමළ ජාතික සන්ධානය) සහ ෂානක්කියන් රාසමාණික්කම් (ඉ.ත.අ.ක) වූහ.


ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර