පළාත් සභා ඡන්දයත් කල් දැමුවාද? ජනමත විචාරණයට නොගියේ පරදින බව දන්නා නිසාද? සුළු පක්‍ෂවලට යටවුණාද? ජනතාවට තිබූ අයිතිය අහිමි කිරීම, ඡන්ද පවත්වන දිනය, විධායක ජනාධිපති ධුරය පිළිබඳ ස්ථාවරය යානාදී කරුණු පිළිබඳ මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතායි.
පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා
ප‍්‍රශ්නය - විසිවැනි සංශෝධනයට අධිකරණය හරහට සිටියා නේද?
පිළිතුර - විසිවැනි සංශෝධනයෙන් රජයේ බලාපොරොත්තුව වුණේ පළාත් සභා සියල්ලේම ඡන්ද එකම දිනයක පැවැත්වීමයි. එමගින් සමහර පළාත් පාලන ආයතනවල කාලය වසරකින් දීර්ඝ වෙනවා. තවත් සමහරක කාලය වසරකින් අඩු වෙනවා. ඒ කාලය ගන්න බලාපොරොත්තු වුණේ මිශ‍්‍ර ක‍්‍රමය හඳුනාගෙන අලූත් ඡන්ද ක‍්‍රමයක් ඉදිරිපත් කරන්නයි. ඒ අතර තුරදී සියලූ පළාත් සභාවල ඡන්ද එකම දිනයක පැවැත්වීමේ අවශ්‍යතාව තිබුණා. ගිය වකවානුයේ දිගින් දිගටම කඩින් කඩ ඡන්ද පැවැත්වීමෙන් රාජ්‍ය යාන්ත‍්‍රණයේ යම් යම් ප‍්‍රශ්න ඇතිවූවා. රජයේ සම්පත් නාස්ති වූවා. ජනතාවට තිබෙන අපහසුතා ඇතිවූවා. මේවා සියල්ල සලකලයි විස්ස ගේන්න හැදුවේ.
ප‍්‍රශ්නය - එහෙම කිව්වට ප‍්‍රමුඛ අරමුණ වූයේ ඡන්ද කල්දැමීම නේද?
පිළිතුර - නෑ මම විපක්‍ෂයේ සිටිය නම් මමත් ඕකමනේ කියන්නේ. ආණ්ඩුවක් හොඳක් කළාම මොන රටේ විපක්ෂයද ඒක හොඳයි කියන්නේ. විශේෂයෙන්ම අපේ රටේ. ආණ්ඩුව කරන සෑම ක‍්‍රියාවකම ඇද කුද බැලීම තමයි විපක්ෂයේ කර්තව්‍යය. ඒ නිසා ඔය සිල්ලරට කියන කතා එතරම් ගණන් ගන්න ඕන නෑ.
ප‍්‍රශ්නය - ඔබලා කරන්නේ යහපත් දෙයක් නම් අධිකරණ තීන්දුවට හිස නමන්න තිබුණා නේද?
පිළිතුර - අධිකරණයට හිස නැමුවනේ. පළාත් සභාවල ධුරකාලය දිගු කරන්න ජනමත විචාරණයක් අවශ්‍යයි කියලයි අධිකරණය කිව්වේ. හැබැයි ඒ ක‍්‍රියාදාමයේ යන එක ප‍්‍රායෝගික නොවන බව අපට වැටහුණා. අලූත් ව්‍යවස්ථාවක් ගැන ව්‍යවස්ථා සභාවේ සාකච්ඡා වෙමින් තිබෙනවා. එහිදීත් ජනමත විචාරණයක් අවශ්‍ය බවට තීන්දු තීරණ ආවොත් මොකද කරන්නේ. රටට ජනමත විචාරණ දෙකක් පවත්වන්න බෑ. ප‍්‍රායෝගිකව සහ යථාර්ථවාදී ලෙස කටයුතු කිරීමට ආණ්ඩුවකට සිදුවෙනවා.
ප‍්‍රශ්නය - ජනමත විචාරණයට නොගියේ පරදින බව හොඳින්ම දන්නා නිසා නොවේද?
පිළිතුර - නෑ. දේශපාලනයේ ඉන්න කොට මොන්ටිසොරි කතාත් කියන්න එපැයි.
ප‍්‍රශ්නය - කොහොම හරි වංගුවක් ගහලා පළාත් සභා ඡන්දය කල්දාගත්තා නේද?
පිළිතුර - මම නම් ජීවිතේට වංගු ගහලා නෑ. මොකද්ද වංගු කතාව. සෘජුවම තීන්දු තීරණ ගත්තා. මේ ඡන්දයේදී සීමානිර්ණ කටයුත්තත් කරන්න ඕන. අලූත් ඡුන්ද ක‍්‍රමයෙදි ඒකට යම් කාල පරිච්ජේදයක් අවශ්‍යයි. ඒ කටයුත්ත අවසන් කරන්න පනතේ මාස හයක කාලයක් සඳහන් කර තිබෙනවා. ඉතිං කොහෙද වංගු දාලා තියෙන්නේ. සෘජුවම ඒව කියල තිබෙනවා. ඡන්දෙට මාස හයක කාලයක් යාවි. වංගුදාන්න ඕන නෑ. කොළේ වහලා කියන්න ඕන නෑ. ඔව් මේ හේතුව නිසා අනිවාර්යයෙන්ම පළාත් සභා ඡන්දය මාස හයකින් කල් යනවා. කොළේ වහලා ගැහිලි අපිගාව නෑ.
ප‍්‍රශ්නය - අලූත් පනතක් ගෙනාවෙ මොකටද?
පිළිතුර - පළාත් සභා තුනක් එක් ක‍්‍රමයක තියලා ඉතිරි හය තවත් ක‍්‍රමයකට තැබීම ප‍්‍රායෝගික නොවන නිසයි. සියලූ පළාත් සභා ඡන්ද එක දිනක පැවැත්වීම රජයේ ප‍්‍රතිපත්තියට අනුකූලයි. මිශ‍්‍ර ක‍්‍රමයක් හඳුන්වා දෙන බවත් දුෂිත මනාප ක‍්‍රමයෙන් ඈත්වන බවත් ගමට වග කියන මන්ත‍්‍රීවරයෙක් බිහිකරන බවත් ජනාධිපතිවරණයේදී ජනාධිපතිතුමා කිව්වා. අපි මේ ක‍්‍රියාදාමයට ගියේ ඒ පොරොන්දුව ඉෂ්ඨ කරන්නයි.
ප‍්‍රශ්නය - හැබැයි මුලින් ඉදිරියට දා ගත්තේ කාන්තා නියෝජනය වැඩිකිරීමේ කතාව නේද?
පිළිතුර - ඉතිං කාන්තා නියෝජනයත් පළාත් සභා ඡන්දයට සම්බන්ධ දෙයක් නේ. කාන්තා නියෝජනයත් ඇතුළත් කළා. මිශ‍්‍ර ක‍්‍රමයත් ඇතුළත් කළා. මන්ත‍්‍රීවරු 159 දෙනෙක් අලූත් පනතට පක්‍ෂව ඡන්දය දුන්නේ එය ස්ථාවර නියෝගවලට පටහැනි නොවන නිසානේ. ජනතාවගේ පරමාධිපත්‍යය ක‍්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුව හරහා නේ. ජනතා පරමාධිපත්‍ය ක‍්‍රියාත්මක කරන මන්ත‍්‍රීවරු එකසිය පනස් ගණනක් මේකට අත ඉස්සුවනම් ඒකෙ ඇති වැරැද්දක් නැහැනේ. මම කියන්නේ නෛතිකවත් සදාචාරාත්මකවත් වැරැද්දක් නෑ.
ප‍්‍රශ්නය - හැබැයි ඔය එකසිය පනස් ගණන මුලින් සිටියේ නැහැ නේද?
පිළිතුර - සිටියේ නෑ කියලා කියන්නේ කොහොමද? අන්තිමට ඡුන්දය දෙන විට සිටිය නම් එච්චරයි. ඒ අය පාර්ලිමේන්තුවේ සිටියේ ඡන්දෙ දෙනකම් නේ. එකසිය පනස් ගණනක් ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටියෙ නැහැ කියල කවුරු හරි ගණන් හිලව් බලල කිව්වද?
ප‍්‍රශ්නය - එහෙනම් නියමිත වෙලාවට ඡන්දය විමසන්න බැරි වුණේ ඇයි?
පිළිතුර - අපි, මම විවෘතයි. දේශපාලන පක්‍ෂ යම් යම් සංශෝධන ඉදිරිපත් කළා. ඒ සංශෝධන පිළිගෙන ඉදිරියට යන්න අපට සිදුවුණා. අපි යථාර්ථවාදී, ප‍්‍රජාතන්ත‍්‍රවාදී, නම්‍යශීලි ආණ්ඩුවක්. සංඛ්‍යාත්මක වශයෙන් සංඛ්‍යාවක් තිබෙනවා කියා බුල්ඩෝස් කරන ආණ්ඩුවක් නෙමෙයි මේක. ඒ නිසා ඔව් සමහර දේශපාලන පක්ෂ ඒ අයගේ මත ඉදිරිපත් කළා. හෘද සාක්ෂියට එකඟව ඡුන්දය දෙන්න මේ වෙනස්කම් කරන්න ඕන කියා ඔවුන් කිව්වා. අපි ඒ වෙනස්කම් කළා.
ප‍්‍රශ්නය - ඇයි ඒ වෙනස්කම් කියන්න බැරිද?
පිළිතුර - කියන්නම්. සියයට හැටයි හතළිහට තිබූ අනුපාතය පනහට පනහ වුණා. සීමානිර්ණ අභියාචනා ක‍්‍රියාදාමයෙන් පස්සෙ එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් අනුමත කළ යුතුයි. අනුමත නොවුණොත් අගමැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් යුත් තව කමිටුවක් ජනාධිපතිතුමා පත්කළ යුතුයි. ඒ කමිටුව නැවත විමර්ශනය කර මාස දෙකක් ඇතුළත දී ඒකත් ගැසට් කරන්න ඕන. මම කොළේ හංගන්නේ නෑ. ඡන්දෙ ගන්න පරක්කු වුණේ කමිටු අදියරේදී තිබූ සංශෝධන සම්බන්ධව යම් කාලයක් ගත් නිසයි. අපි ඉතාමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කටයුතු කළා.
ප‍්‍රශ්නය - ඔය සංශෝධන ගෙනා පක්ෂ කෙළින්ම කියන්න බැරිද?
පිළිතුර - නෑ ඉතින් මනෝ ගනේෂන් සහ මුස්ලිම් පක්ෂ යම් යම් අදහස් අපට ඉදිරිපත් කළා. ඒ අදහස් අපි පිළිගත්තා. සුළු ජාතික නියෝජනයට සහ සුළු මත දරන නියෝජනයට හොඳම ක‍්‍රමය සමානුපාතික ක‍්‍රමයයි. ඒ ක‍්‍රමයෙන් ඈත් කරනවිට ඇතිවන බිය සැක නැති කරන්න යම් යම් දේ කරන්න අපට සිදුවුණා. යම් යම් සංශෝධන කරන්න වුණා.
ප‍්‍රශ්නය - ඔය සංශෝධන කළේ ඔවුන් ඡන්දය නොදෙන බව කිව්ව නිසා කියා පිළිගන්නවද?
පිළිතුර - ඒ අය ඡන්දය දුන්නනේ. ඡන්ද දුන්න නම් ඒකෙන් කියන්නේ මොකද්ද? ඒගොල්ලත් ඡන්දය දීමෙන් වැළකී ඉන්නේ නෑ කියලයි.
ප‍්‍රශ්නය - හැටයි හතළිහේ අනුපාතය පනහට පනහ කිරීම ඒ පක්ෂවලට වාසි වුණාට මුස්ලිම් ජනයාට වෙන්නේ අසාධාරණයක් නේද?
පිළිතුර - මුස්ලිම් ප‍්‍රජාව රටපුරා විසිරී සිටිනවා. එක් ප‍්‍රදේශයකට සීමාවීමේ ප‍්‍රවණතාව අඩුයි. ඒ නිසා සියයට සියය සමානුපාතික ක‍්‍රමය යටතේ මුස්ලිම් ප‍්‍රජාවට ලබාගත හැකි නියෝජනයට වඩා අඩු නියෝජනයක් ලැබෙනවා කියන අදහස සමහර අයට තිබුණා. මුස්ලිම් ප‍්‍රජාවගේ ප‍්‍රශ්නයක් නෙමෙයි. නොයෙක් සුළු මත දරන සුළු ජාතික පක්ෂ අදහස් ඉදිරිපත් කළා.
ප‍්‍රශ්නය - යම් පනත් කෙටුම්පතක් ගැන අධිකරණයට යාමේ අයිතිය ජනතාවට තිබුණත් එය මෙතැනදී අහිමි කළා නේද?
පිළිතුර - මේ කෙටුම්පතට අදාළ සංශෝධන අපි ඉදිරිපත් කළා. ඒක 19 වැනි සංශෝධනයෙදිත් වුණා. දිවි නැගුම පනතෙදිත් වුණා. පළාත් පාලන ආයතන සම්බන්ධව ඉදිරිපත් වූ පනත් කෙටුම්පතේදිත් මේ සමාන ක‍්‍රියාදාමයක් වුණා. ඒ නිසා නීති විරෝධී නෙමෙයි.
ප‍්‍රශ්නය - මම ප‍්‍රශ්න කළේ ජනතාවට තිබූ අවස්ථාව අහිමි කළේ ඇයි කියලයි?
පිළිතුර - අහිමි කිරීමක් නෙමෙයිනේ. මේ සංශෝධන මතුවුණේ කමිටු අදියරේදී. මම ඉදිරිපත් නොකර ඕනම මන්ත‍්‍රීවරයකුටත් ඉදිරිපත් කරන්න තිබුණා. මේවා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ප‍්‍රතිපාදන. දෙසීය විසිපහක් පාර්ලිමේන්තු යවා තිබෙන්නේ ජනතාව විශ්වාස කරලයි. ජනතා පරමාධිපත්‍යය ක‍්‍රියාත්මක කරන්නේ ජනතා නියෝජිතයන්.
ප‍්‍රශ්නය - ආණ්ඩුව කළේ නංගි පෙන්නා අක්ක දීමක් නොව නංගි පෙන්නා ආච්චි දීමක් නේද?
පිළිතුර - මම නංගිල ගැන දන්නෙත් නෑ. ආච්චිල ගැන දන්නෙත් නෑ. සද්භාවයෙන් මේ කටයුත්ත කළා කියලයි මම දන්නේ. මේක විවාහ මංගල්ලයක් නෙමෙයි. ඒක මෙතෙන්ට අදාළ නෑ. මෙතන නංගි දෙන්න ඕනත් නෑ. අක්ක දෙන්න ඕනත් නෑ. ආච්චි දෙන්න ඕනත් නෑ.
ප‍්‍රශ්නය - එතකොට මේකද යහපාලනය. මේකද ප‍්‍රජාතන්ත‍්‍රවාදය?
පිළිතුර - ඔව් ඉතින්. මේක තමයි යහපාලනය. මේක තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ප‍්‍රජාතන්ත‍්‍ර රාමුව තුළ ආණ්ඩුව යම් යම් තීන්දු තීරණ ගන්නවා. නොයෙක් අය නොයෙක් මත ඉදිරිපත් කරනවා. සමහර විට ඒ මත වේදිකාවට පමණක් සීමා වෙනවා. ඒ මතවලින් වෙනස්කම් කරන්න හැකියාව තිබෙනවා. මේ පනත නීති ගත වුණාම දැන් තිබෙන මත වේදිකාවට සීමා වෙනවා.
ප‍්‍රශ්නය - මේ තත්ත්වය යටතේ මැතිවරණ කොමිසමේ ඉරණම මොකද්ද?
පිළිතුර - රටේ නීතිය ක‍්‍රියාත්මක කිරීම තමයි මැතිවරණ කොමිසමේ වගකීම. නීති සම්පාදනය කරන්නේ මැතිවරණ කොමිසම නෙමෙයි. මැතිවරණ කොමිසමත් උත්තරීතර පාර්ලිමේන්තුවේ සම්මත වන නීතිවලට යටත්. අපි හදපු නීති අනුව තමයි ඒ අය මැතිවරණ පවත්වන්නේ. ඒ නීති හදන්න මැතිවරණ කොමිසමට අයිතියක් නෑ.
ප‍්‍රශ්නය - පැහැදිලිව කෙළින් කියන්න ඡන්ද තියන්නේ කවද්ද?
පිළිතුර - පළාත් පාලන ඡන්දය ජනවාරි මාසයේ පවත්වනවා. පළාත් සභා ඡන්දය මාර්තු මාසයේ පවත්වනවා. ජනවාරි 20 ට පෙර ඡන්දය පවත්වන්න අපි උත්සාහ කරනවා. හැබැයි ජනවාරි මාසයේ අනිවාර්යයෙන් තබනවා. අනිවාර්යයෙන් පළාත් සභාවලට අදාළ සීමානීර්ණ කටයුතු මාස හයෙන් අවසන් කරනවා.
ප‍්‍රශ්නය - අලූත් ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවද?
පිළිතුර - විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවාට ශ්‍රී.ල.නි.ප අපි විරුද්ධයි. ජනමත විචාරණයකට තුඩු නොදෙන ආකාරයට මේ ධුරයේ අත්තනෝමතික බලය අඩු කරනවා කියලයි අපි එදා කිව්වේ. බලය බෙදීමේ න්‍යායන් එක්ක විධායක ජනාධිපති ධුරය නැති කිරීමට ශ්‍රී.ල.නි.ප විරුද්ධයි. ස්ථාවර ආණ්ඩුවක් රටේ ස්වෛරීභාවය රැකීමට විධායක ජනාධිපති ධුරය අවශ්‍යයි කියන මතයේ ශ්‍රී.ල.නි.ප ඉන්නවා.
ප‍්‍රශ්නය - යහපාලන ආණ්ඩුවේ ස්ථාවරය මොකද්ද?
පිළිතුර - ශ්‍රී.ලනි.ප ය ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙක්. මේ ආණ්ඩුවේ එ.ජා.ප. වේදිකාවේ කියන දේවල් අපට අදාළ නෑ. අපේ පක්ෂයේ තියෙන්නේ අපේ ප‍්‍රතිපත්ති. අපි මේ ආණ්ඩුවේ හිඟා කන්න ආපු පක්ෂයක් නෙමෙයි. අපි සම කොටස්කරුවෝ. රටේ නායකයා ශ්‍රී.ල.නි.පයේ. එතුමා ශ්‍රී.ල.නි.ප ප‍්‍රතිපත්තිවලට යටත්. ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව ගන්නා තීන්දුවකට ජනාධිපතිතුමා හිස නමාවි.
ප‍්‍රශ්නය - ඡන්ද කල්දැමීමේ ප‍්‍රධාන වගකිව යුත්තා ඔබ නේද?
පිළිතුර - මම කර ගහල ඉන්නේ පෙර පව්වලට. බැසිල් රාජපක්ෂ අතාවුල්ලා කියල ඇමැති කෙනෙක් පත් කරලා එතුමට ඕන ක‍්‍රමයට සීමා නීර්ණය නැටෙව්වා. එයාලට කවුරුත් දොස් කියන්නේ නෑ. හැබැයි මම දොස් කියනවා. ඒ ගමන් ඔබතුමා කළ දේ හොඳයි කියලත් කියනවා. මේ වැරැද්ද නිවැරැදි කරන්න පුළුවන් වුනේ සීමා සහිතවයි. නෛතික රාමුව ඇතුලේ මට කළ හැකි දේ සීමිතයි. ඡන්ද කල්දාන කොන්ත‍්‍රාත් මම කරන්නේ නෑ. ඔය කොන්ත‍්‍රාත් කරන්න මගේ ආත්ම ගරුත්වය විකුණන්නේ නෑ.
ප‍්‍රශ්නය - මේවා කරන්න කල් ගත්තා වැඩි නැද්ද?
පිළිතුර - මම කෙරුවෙ නැතත් දොස් කියයි. කෙරුවමත් කල් ගත්තා කියා දොස් කියයි. අපට බනිනවා. හොඳ කියනවා. මම සද්භාවයෙන් වැඩ කළා කියා ජනතාව දන්නවා. දේශපාලන වේදිකා සොයා යන සමහරු නොයෙක් කතා කියාවි. සමහර දේශපාලනඥයන්ගේ අරමුණුවලට නටන්න අපට බෑ. ඉක්මන් හෝ පරක්කු වී අපි වැඬේකළා. අවුරුදු ගණනක් මේ පුටුවේ සිටි අයට කරන්න බැරි වූ දේ අපි මාස එකහමාරෙන් කළා. ඒ ගැන මම ආඩම්බරයි.
ප‍්‍රශ්නය - ඡන්දයට එන්නේ ඒකාබද්ධය සමගද?
පිළිතුර - ඒක පක්ෂයක් නෙමෙයි. කණ්ඩායමක් බෝඞ් එකක් ගහගෙන ඉන්නවා. පොහොට්ටුවක් පක්ෂයක් කරන්න හදනවා. හැබැයි ඒ අය ඔක්කොම ශ්‍රී ලංකා. ශ්‍රී.ල.නි.ප ඉතිහාසයෙත් මේ වගේ පොඩි පොඩි අවුල් තිබුණා. ශ්‍රී.ල.නි.පය විනාශ කරන්න බෑ. හැබැයි ශ්‍රී.ල.නි.ප ය විනාශ කරන්න හදන අය විනාශ වෙනවා. ශ්‍රී.ල.ප යෙන් බිහි වූ අය පදවි දරපු අය මේ පක්ෂයේ ඉහළටම ගිය අයගෙන් මම ඉල්ලීමක් කරනවා. හිත් අමනාපකම් තිබෙන්න පුළුවන්. ශ්‍රී.ල.නි.ප කාගෙවත් බූදලයක් නෙමෙයි. මේක පාක්ෂිකයන්ගේ බූදලයක්. කවුරු හෝ මේක විනාශ කරන්න හදනව නම් ඒක ලොකු ශාපයක්. පක්‍ෂය රැකීම සියලූ දෙනාගේ වගකීමක්.
ප‍්‍රශ්නය - ඡන්ද ජයගන්න ශක්තිය ශ්‍රී.ල.නි.ප යට තිබෙනවාද?
පිළිතුර - ඔව්. අපි ජයගන්නවා. ශ්‍රී.ල.නි.ප විනාශ කිරීමේ කුමන්ත‍්‍රණයක් දියත් වෙනවා. වෙනත් පක්‍ෂ හදන උදවිය කරන්නේ එ.ජා.ප කොන්ත‍්‍රාත්තුවක්. මේ ක‍්‍රියාදාමයේ දිනුම ලැබෙන්නේ එ.ජා.ප යට
(සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)