මෙරට ආර්ථිකයේ කාලයක් තිස්සේ පැවැති සියලු ගැටලු දැන් ක්‍රමයෙන් අර්බුදයක් බවට පත්වෙමින් ඉස්මතු වෙමින් තිබේ. මේ අර්බුදයේ ස්වභාවය කෙබඳු ද? එයට බලපෑ මූලික කරුණු මොනවා ද? මෙයින් මිදීමට අනුගමනය කළ ප්‍රතිපත්ති සහ ඒවායෙන් ආර්ථික අර්බුදය මගහරවාගෙන ඉදිරියට හා හැකි ද? පවතින වාතාවරණය හමුවේ මේ කාරණා අවධානයට ගත යුතුව තිබේ.
ආර්ථික අර්බුදය කොරෝනා වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස සමහරු අර්ථ දක්වති. එහෙත් මේ අර්බුදය කොරෝනා වසංගතය නිසාම ඇති වූවක් නොවේ. කාලයක් තිස්සේ අනුගමනය කළ ප්‍රතිපත්ති රටට යෝග්‍ය නොවීම හේතුවෙන් ක්‍රම ක්‍රමයෙන් ගැටලු මතු වෙමින් තිබුණි. එසේ මතු වෙමින් පැවැති ආර්ථික ගැටලු කොරෝනාවත් සමග අර්බුදයකට පරිවර්තනය වෙමින් තිබේ. මේ වන විට රට තුළ ඇත්තේ බරපතළ විදේශ විනිමය අර්බුදයකි. 2021 නොවැම්බර් වන විට මහ බැංකුව සතු විදේශ සංචිතය ඇමෙරිකන් ඩොලර් බිලියනයකට අඩු වී තිබුණි. එය ප්‍රමාණවත් වූයේ සතියකට දෙකකට භාණ්ඩ ආනයනයට පමණි. 2020 ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ අපනයන ආදායම ඩොලර් බිලියන 7.4කි. 2021 එම කාලය තුළ අපනයන ආදායම ඩොලර් බිලියන 9.3කි. ආනයන ආදායම සැලකිය යුතු වර්ධනයක් මේ කාලයේ ලබා නැත. එහෙත් 2020 දී ආනයන සඳහා දරනු ලැබූ වියදම ඩොලර් බිලියන 11.78කි. 2021 දී එම වියදම ඩොලර් බිලියන 16.94 දක්වා වැඩි වී තිබේ. 2020 ආනයන සහ අපනයන අතර පරතරය ඩොලර් බිලියන 4.34ක හිඟයකි. 2021 වන විට එම අගය ඩොලර් බිලියන 6ක හිඟයක් දක්වා වැඩි වී තිබේ. මෙයින් පෙනෙන්නේ 2021 දී අපනයනවල වැඩි වීමට සාපේක්‍ෂව ආනයන ඉහළ අගයකින් වැඩි වීමකි. අපනයන සියයට විස්සකින් වැඩි වන විට ආනයන සියයට 27කින් පමණ මේ කාලයේ වැඩි වී තිබේ. අපනයන සහ ආනයන අතර පරතරය දිගින් දිගටම හිඟයක් ලෙස පසුගිය දශක කිහිපයේදීම තිබුණි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සෑම වසරකම විනිමය අනුපාතය ද පිරිහුණේය. රුපියලේ අගය අවප්‍රමාණය වුණේය.
මේ තත්ත්වය නිවැරැදිව තේරුම් නොගැනීමේ ප්‍රතිඵලය වී ඇත්තේ විනිමය අනුපාතය අන්තගාමී තත්ත්වයකට ගමන් කර තිබීමය. නිශ්චිත විනිමය අනුපාතයක් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණ ද එයින් එහාට ගොස් පෞද්ගලික වෙළෙන්දෝ කෘත්‍රිම විනිමය අනුපාතයක් රට තුළ ක්‍රියාත්මක කරමින් සිටිති. ආර්ථික අවගමනයක් ඇති වන බවට මෙය සාක්‍ෂියකි. ආර්ථිකයක් මෙහෙයවනු ලබන්නේ ආණ්ඩුව සහ මහ බැංකුව යන ආයතන දෙකෙනි. එම ආයතන දෙකෙන් මෙහෙයවන ආර්ථිකය ජනතාව නොපිළිගන්නා තැනට පත්වීමක් මෙයින් පෙන්නුම් කෙරේ. මේ ආකාරයට අනෙකුත් අංශත් ආර්ථිකය මෙහෙයවන ප්‍රධාන ආයතන දෙකෙන් ඔබ්බට ගොස් ක්‍රියාත්මක මිල ගණන්, දර්ශක නිර්මාණය කරගන්නට පුළුවන. එසේ වුවොත් සමස්ත ආර්ථිකයම ආණ්ඩුවේ සහ මහ බැංකුවේ පාලනයෙන් ගිලිහෙනු ඇත. ආර්ථිකය අර්බුදයකට මැදි වූ බව කියන්නේ එවන් අවස්ථාවකය. මෙරට ආර්ථිකය එවන් අර්බුදයක් දෙසට ගමන් කරන බව ඇතැම් විචල්‍යවලින් දැකගන්නට පුළුවන. මෙයින් මිදීමට යම් යම් පියවර ගනු ලැබුව ද එහි සාර්ථක ප්‍රතිඵල මෙතෙක් ලැබී නැත.
ආණ්ඩුවක් ණය ගැනීම ඕනෑම රටක සිදුවන්නකි. එහෙත් මෙරට ආණ්ඩු, වෙළෙඳපොළේ පවතින ඉහළ පොලී අනුපාත යටතේ ණය ගැනීම කලක් තිස්සේ කර තිබේ. පසුගිය කාලයේ රාජ්‍ය ණය විශාල වශයෙන් වැඩි වීමක් දක්නට ලැබුණේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි. මේ ණය ගෙවීමට මහ බැංකුව සතුව සංචිත තිබිය යුතුය. අද වන විට සංචිත අර්බුදයකය. 2022 වසරේ ණය වාරික සහ පොලී ගෙවීමට ඩොලර් බිලියන 6.8ක් අවශ්‍යය. ඒ, ණය වාරිකවලට ඩොලර් බිලියන 5.4ක් සහ පොලී ගෙවීමට ඩොලර් බිලියන 1.4ක් වශයෙනි. මෙතරම් ණය ගෙවීමට තිබුණ ද මහ බැංකුව සතුව ඇත්තේ ඩොලර් බිලියනයක් හෝ ඊට මඳක් වැඩි ගණනකි. භාණ්ඩ ආනයනයට මෙන්ම ණය ගෙවීමට ද මේ මුදල ප්‍රමාණවත් නැත. මෙයින් පෙනෙන්නේ රට දැඩි විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී ඇති බවය.
ආනයන සංයුතිය කෙරේ ද මෙහිදී අවධානය යොමු කළ යුතුය. මෙරට ආනයන සංයුතියෙන් සියයට 57ක් අන්තර් භාණ්ඩය. ආයෝජන භාණ්ඩ සියයට 22කි. පරිභෝජන භාණ්ඩ සියයට 21කි. මේ රටේ විවිධ නිෂ්පාදන කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය යනාදිය අන්තර් භාණ්ඩවලට අයත්ය. මේවා පාලනය කළ නොහැක.
මේවා පාලනය කළොත් දේශීය නිෂ්පාදනය බිඳවැටිය හැකිය. තව තවත් අපනයන පහළ යාමට එය හේතුවකි. එමෙන්ම ආයෝජන භාණ්ඩ පාලනයකින් ද වන්නේ දිගු කාලීනව නිෂ්පාදනය කඩා වැටීමකි. එය පාලනය ද කළ නොහැක. පරිභෝජන භාණ්ඩ ආනයනය සීමා කිරීම කෙසේ වෙතත් ඉදිරියේදී තව තවත් වැඩි වන්නට පුළුවන. එයට ප්‍රධාන හේතුව පසුගිය කාලය පුරා වත්මන් ආණ්ඩුව අනුගමනය කළ පිළිවෙත්ය. මේ පසුබිම යටතේ රට තුළ ගැටලු රාශියක් නිර්මාණය වී තිබේ. අන්තර්ජාතික වශයෙන් ගනුදෙනු කිරීමේදී ඇති වුණා වූ මේ කියන ගැටලු සමග ආණ්ඩුව ගත් යම් පියවර හේතුවෙන් දේශීය ආර්ථිකය ඇත්තේ අර්බුදයකය.
රට තුළ ඇතැම් භාණ්ඩ හිඟ වී ඇත්තේ, භාණ්ඩ හා සේවාවල ගුණත්වය පහත වැටී තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ගෑස් ටැංකි කාන්දු සහ පිපිරීම් එයට එක් උදාහරණයකි.
ඒ වගේම භාණ්ඩ හා සේවා මිල ගණන් විශාල වශයෙන් ඉහළ යමින් තිබේ. එය ජනතාව පීඩාවට පත් කිරීමට හේතු වී ඇති බව සැමවිටම පෙනෙන්නට තිබෙන්නකි.
සමස්ත ආර්ථිකයේ වෙළෙඳපොළ දෙකකි. එනම්, භාණ්ඩ වෙළෙඳපොළ සහ වත්කම් වෙළෙඳපොළය. මේ වන විට පරිභෝජන වියදම දැඩි ලෙස ඉහළ පහළ යමින් තිබේ. පෞද්ගලික අංශයේ ආයෝජන විශාල වශයෙන් පහළ ගොසිනි. ආර්ථික අවිනිශ්චිතතාව එයට හේතුවය. රාජ්‍ය අංශයේ ආයෝජන හැකි තරම් පවත්වාගෙන යාමට උත්සාහ කළ ද එය ද අවශ්‍ය අරමුදල් සම්පාදනය සිදුවන්නේ අනාගතය ගැන නිවැරැදි දැක්මකින් නොවේ නම් ආර්ථිකයට සුබදායක නැත. භාණ්ඩ වෙළෙඳපොළේ පවතින මේ ප්‍රධාන කාරණා යථා තත්ත්වයට පත්කිරීමට පැහැදිලි සහ සැලසුම් සහගත ප්‍රතිපත්තියක් ආර්ථිකයේ ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත.
ලබන වසරේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1,556ක් ලෙසත්, රාජ්‍ය වියදම රුපියල් බිලියන 2,274ක් සහ අයවැය හිඟය රුපියල් බිලියන 718ක් ලෙස දක්වමින් ආණ්ඩුව පසුගියදා අයවැය හරහා සැලසුමක් ඉදිරිපත් කළේය. රට මුහුණ දී ඇති ගැටලු නිවැරැදිව හඳුනාගෙන එයට අවශ්‍ය විසඳුම් නිවැරැදිව ඉදිරිපත් කිරීමක් මෙමගින් වූවා දැයි ගැටලු සහගතය.
වත්කම් වෙළෙඳපොළේ මුදල් වෙළෙඳපොළ ප්‍රධානය. මුදල් වෙළෙඳපොළ සහ අනෙකුත් වත්කම් වෙළෙඳපොළ අතර ඇත්තේ ඍජු සම්බන්ධයකි. රටක් ඉදිරියට ගෙන යාමට මේ වෙළෙඳපොළේ තුලනයක් අවශ්‍යය.
ලංකාවේ මුදල් වෙළෙඳපොළේ පටු මුදල් සැපැයුම 2018 දී රුපියල් බිලියන 830කි. 2019 වන විට එය රුපියල් බිලියන 865 දක්වා සියයට 4ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. මුදල් සැපැයුමේ මේ වර්ධනය සාමාන්‍යය. රටක භාණ්ඩ හා සේවා තොගයේ වර්ධනයට සාපේක්‍ෂව මුදල් සැපැයුම ද මෙලෙස වර්ධනය විය යුතුය. එහෙත්, 2019න් 2020ට එන විට රුපියල් බිලියන 865 සිට රුපියල් බිලියන 1,177 දක්වා සියයට 36කින් රටේ මුදල් සැපැයුම වර්ධනය වී තිබේ. 2020 සිට 2021 දක්වා ආණ්ඩුව ආර්ථික කටයුතු නඩත්තු කළේ මුදල් අච්චු ගැසීමෙන් බව නොරහසකි. මේ කාලය තුළ අවම වශයෙන් රටේ මුදල් සැපැයුම සියයට 30ත් සියයට 40ත් අතර ප්‍රතිශතයකින් ප්‍රසාරණය වී ඇති බව මගේ තක්සේරුවයි. මුදල් සැපැයුමේ මේ වර්ධනයට සමගාමීව භාණ්ඩ නිෂ්පාදනයේ වර්ධනයක් සිදු වෙනවා නම් ප්‍රශ්නයක් නැත. එහෙත්, පසුගිය කාලයේ එවන් වර්ධනයක් දක්නට ලැබුණේ නැත. නිෂ්පාදනය වැඩි නොවී මුදල් සැපැයුම වැඩි වීමෙන් ඍජුවම සිදු වන්නේ මිල මට්ටම් ඉහළ යාමය. එනම්, උද්ධමනකාරී තත්ත්වයකි. අද වන විට මුළු සමාජයම අත්දකිමින් සිටින්නේ එම තත්ත්වයයි. මේ පසුබිම තවදුරටත් ඉදිරියට පැවැතියහොත් අවදානම් අඩියකට වැටෙන්නට පුළුවන.
ආර්ථිකය ක්‍රමයෙන් අර්බුදයකට ගමන් කරන බව මේ කාරණාවලින් පැහැදිලිය. ආණ්ඩුව කරන්නේ මේ අර්බුදය ටිකෙන් ටික ප්‍රමාද කිරීමය. ඒ, විවිධ පැලැස්තර ඔස්සේය. පවත්නා තත්ත්වය නිසා දේශීය නිෂ්පාදනය පහත වැටී තිබේ. සේවා වියුක්තිය ඉහළ ගොසිනි. උද්ධමනය පියවරෙන් පියවර ඉහළ නගිමින් තිබේ. ඉතිරි කිරීම්, ආයෝජන ක්‍රමයෙන් පහළ ගොසිනි. රාජ්‍ය ආදායම් හා වියදම් අතර විශාල අසමතුලිතතාවක් ගොඩනැගී තිබේ. ඒ වගේම විදේශ ගනුදෙනුවල ද දක්නට ඇත්තේ අසමතුලිතතාවකි. නැති නම් විදේශ ගනුදෙනුවලින් තවදුරටත් සිදු වෙමින් පවතින්නේ අවාසියකි.
මේ පසුබිම යටතේ සමස්තය දෙස බලන විට අනෙක් රටවල් සමග සහයෝගයෙන් කටයුතු කර මේ ප්‍රශ්න විසඳාගත හැකි බව ආණ්ඩුවේ විශ්වාසය වී තිබේ. තාවකාලිකව මුදල් හුවමාරු ආදිය එහි ප්‍රතිඵලයකි. ඒ වගේම සංචාරක ව්‍යාපාරය ඉක්මනින් යථා තත්ත්වයට පත්කර ඩොලර් ඉපැයීම ද ආණ්ඩුවේ අපේක්‍ෂාවකි. තව ටික දිනකින් විදේශ ප්‍රේෂණ වැඩි වශයෙන් රටට ලැබීම හරහා විදේශ විනිමය අතිරික්තයක් ඇතිවේය යන අපේක්‍ෂාව ද ආණ්ඩුවට තිබේ. ඒ සමග රාජ්‍ය දේපළ විකුණා හෝ බදු දී හෝ විදේශ මුදල් උපයා ගැනීමේ අරමුණක් ද ආණ්ඩුව සතු බව පෙනෙන්නට තිබේ. රට මුහුණ දී ඇති ඩොලර් අර්බුදය ජය ගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇත්තේ එලෙසය.
එහෙත්, ආණ්ඩුවේ මේ පියවර හතර බලාපොරොත්තු පමණක් වන්නට පුළුවන. මේවා යථාර්ථවාදී සාර්ව ආර්ථික දැක්මක් ඔස්සේ අනුගමනය නොකරන ප්‍රතිපත්ති වීම එයට හේතුවය. රටට අවශ්‍ය වන්නේ ව්‍යුහාත්මක ගැළපුම් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමය. එවැන්නකට ඇති හොඳම ප්‍රවේශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සහයෝගයෙන් කටයුතු කර නිවැරැදි දර්ශනයක් ඔස්සේ විසඳුම් සෙවීමට උත්සාහ කිරීමය. මේ සම්බන්ධව ඇත්තේ විවාදාත්මක තත්ත්වයකි. කවුරු කුමක් කීව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යම් රටකට හානියක් වන නිර්දේශ ඉදිරිපත් කරන්නේ නැත. ඔවුන් කරන්නේ යම් රටක පැවැතෙන දිගු කාලීන ව්‍යුහාත්මක ගැටලු මගහරවා ගැනීමට අවශ්‍ය ආර්ථික නිර්දේශ ඉදිරිපත් කිරීමය. කටයුතු කළ යුත්තේ ඒවාට යටත්වය. රාජ්‍ය ආදායම වැඩි කරගැනීම, රාජ්‍ය වියදම් අඩු කරගැනීම, අනවශ්‍ය රාජ්‍ය වියදම් කපා හැරීම, යල් පැනගිය ගිණුම් ක්‍රමයෙන් ඉවත් වී නිවැරැදි ගිණුම් ක්‍රමයකට අනුගත වීම, අලාභ ලබන රාජ්‍ය ආයතනවලින් ආණ්ඩුව ක්‍රමයෙන් ඉවත් වීම, රාජ්‍ය අංශයෙන් අකාර්යක්‍ෂමතාව නැති කිරීමට සැලසුම් සැකසීම, අනවශ්‍ය සහනාධාර කපා හැරීම, අල්ලස් දූෂණ වංචා පිටුදැකීම යනාදී නිර්දේශ මූල්‍ය අරමුදලෙන් ඉදිරිපත් වන්නට පුළුවන. රටකට නොගැළපෙන මෙවන් කාරණාවලින් ඉවත් වීමක් මිස රටක් අගාධයට ගෙන යාමට හේතු වන ප්‍රතිපත්ති, නිර්දේශ මූල්‍ය අරමුදලෙන් ඉදිරිපත් වන්නේ නැත.
එහෙත්, ආණ්ඩුවත්, තවත් ඇතැම් අයත් සිතන්නේ මේවා දේශපාලනික වශයෙන් අවාසි සහගත බවය. මේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් අත්වන කෙටි කාලීන දේශපාලන අවාසි ප්‍රමුඛ කොට කතා කළ ද මේ රටට අවශ්‍ය ඉහත කී ආකාරයේ ව්‍යුහාත්මක ගැළපුම්ය. අද රට අර්බුදයට ගමන් කර ඇත්තේ එවැන්නක් නොමැති නිසාය. කාලයක් තිස්සේ අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්ති අසාර්ථක බව වටහාගත යුතුය. නිවැරැදි ආර්ථික දර්ශනයකට යා යුතු බව ද අවබෝධ කරගත යුතුය. ළිං මැඩි මනසකින් සියල්ල දකින තැනට පත්ව ඇත්තේ එසේ අවබෝධ කරගැනීමට අපොහොසත් නිසාය.
ලෝකයම අර්බුදයකය. එවන් අවස්ථාවක මුදල් අච්චු ගසා හෝ ඉහත කී ක්‍රම කිහිපයෙන් අර්බුදයෙන් ගොඩ යාමට සිතන්නේ නම්, එය ඉතාමත් භයානකය. එවන් ක්‍රමවලින් විසඳුම් දිය නොහැකි තැනකට අර්බුදය තල්ලු වී තිබේ. පැවැති සෑම පාලනයක්ම මෙයට වගකිව යුතුය. යම් යම් තීරණ ගෙන ක්‍රියාත්මක කිරීමේ පැහැදිලි ප්‍රතිපත්ති නැත. ඒ නිසාම ඒවායේ ප්‍රතිවිපාක අතිශය බරපතළය. ඒ වගේම එම හානියේ විශාල පිරිවැයක් තිබේ. එයට වග කියන්නෝ කවරහු ද? අවසානයේ ඒ බර පැටවෙන්නේ ද ජනතාවගේ කර මතය. ආණ්ඩුව ගන්නා ඕනෑම තීරණයකදී එයට සැලසුමක් තිබිය යුතුය. එසේ නොවන තැන රටට ජනනය වන්නේ අනවශ්‍ය බරකි. ආනයන පාලනයේදී සැලසුමක් තිබුණා ද? මෙයින් ඇති විය හැකි ආර්ථික ප්‍රතිවිපාක සම්බන්ධව නිසි විග්‍රහයක් පැවැතියා ද? එසේ නොවූ බව පසුගිය කාලයේ ආර්ථික හැසිරීමෙන් තහවුරු කරගත හැකිය.
ආර්ථිකයේ බොහෝ අංශ මේ වන විට ඇත්තේ කෘත්‍රිම පාලනයකය. එය දිගු කාලීනව අතිශය නරකය. මේ කෘත්‍රිම පාලනයෙන් විශාල පිරිවැයක් දිනපතා ආර්ථිකයට එකතු වේ. මේ එකතු වන පිරිවැය ආර්ථිකයට දරා ගැනීමට නොහැකි වන දිනකට ආර්ථිකය කඩා වැටෙනු ඇත. එය ඇරැඹෙන්නේ එක්වරම ඉහළ උද්ධමනයක් ඇති වීම හරහාය. ආර්ථිකය හසුරු වන අය ගන්නා තීරණ වැරැදි නම් ඒවායේ පිරිවැයට වගකියන්නෝ කවුරහු ද? ආර්ථික වගවීමක් මේ රටේ නොමැති වීම මේ සියලු ප්‍රශ්නවලට හේතු වී තිබේ.
(*** සටහන – චමින්ද මුණසිංහ)