විප්ලවය හා ආදරය අතර අතරමංවූ ගඩාපි


19_PAGE_05_RASA     

 

දෙහදක ආලය, ආදරය හට ගන්නේ නොසිතූ නොපැතූ පරිදිය. බොහෝ විට මේ ආදරය අවසන් වන්නේ ඛේදවාචකයකිනි. මෙසේ සිදුවන්නේ ආලය ඊර්ෂ්‍යාවකට පරිවර්තනය වීමෙනි. නව යොවුන් ආදරය තුළ අන්තර්ගත වන්නේ සදාතනික බැඳීමක්ද?

 


පවුල් දිවියක් සාර්ථක වන්නේ ජීවිතාන්තය තෙක් ජෝඩුව අතරේ ආදරය නොවෙනස්ව පැවතුනහොත් පමණකි. ආදරය පහු පහුවන විට කොහු කොහු වන්නේද? ලොව විවිධ රටවල පාලකයින් බවට පත්වූ පුද්ගලයන් බොහෝදෙනා තරුණ අවධියේ පේ‍්‍රමය හෙවත් ආලය පිළිබඳ අවබෝධයක් ලබාගත් අයයි. මොවුන් අතර ඒකාධිපති පාලකයින්ද සිටියහ. මේ ඒකාධිපති පාලකයන්ගෙන් කීපදෙනෙකුට වැරදුන තැන කුමක්ද? තම රට පාලනය කරනවා වෙනුවට අල්ලපු රටවල් ද අල්ලා ගැනීමට උත්සාහ කිරීමයි. ලෝකයම පාලනය කරන්න වෙර වීරිය දැරීමයි. පවුල පෝෂණය කිරීමයි. සල්ලි පස්සේ හඹා යාමයි.

 

19-Page-5-Rasa-04

 


කවුද මේ ගඩාපි


අවුරුදු 42 ක් ලිබියාව පාලනය කළ ගඩාපි මෙවැනි පාලකයන්ගෙන් එක් පුද්ගලයෙකි. අද අපේ කතානායකයා මේ කියන මුවම්මර් ගඩාපිය. සුරූපී තරුණියන් පිරිසක් තම ආරක්ෂාවට යොදවා ගෙන සිටි ගඩාපි ඇමෙරිකාවේ නොම්මර එකේ හතුරෙකු වූ ගඩාපිය. 2011 ඔක් 20 දා මහ මග ඝාතනය කර තිබූ ලිබියාවේ හිටපු පාලකයාය.


ඔහු යුද සෙනෙවියෙකි. රණ ශූරයෙකි. කිසිම ජගතෙකු ඉදිරියේ හිස නොනැමූ මිනිහෙකි. මම මේ ලියන්නේ ගඩාපිගේ නැගීම හා බැසීම පිළිබඳ විවරණයක් නොවේ. ඔහුගේ දිවියේ මෙතෙක් හෙළි නොවූ ඇතුල්පැත්ත පිළිබඳ කෙටි විවරණයකි මේ.

 

19-Page-5-Rasa-08

ගඩාපි තම මුල් බිරිඳ පතිහා සමග

 


ගඩාපිද සදාම් හුසේන් හා පිදෙල් කස්ත්‍රෝ මෙන්ම සාමාන්‍ය දිළිඳු ගොවි පවුලකින් පැවත එන්නෙකි. ජීවිතයේ 68 වැනි සැතපුම් කණුව පසුකරද්දී ඔහු මරා දමනු ලැබුවත් ඔහුගේ නාමය ලෝකවාසීන්ගේ සිත් සතන් තුල රැුඳී පවතිනු ඇත. ඔහු දිවියේ අවසානය තෙක් සටන් කළ සටන්කරුවෙකි.


මේ කියන ගඩාපිටද ලොව අනිකුත් සියළුදෙනාටම මෙන් ආලය, ආදරය නැතහොත් පේ‍්‍රමය එක සමාන විය. හිරිමල් වියේදී මෙන්ම හැඩි දැඩි පාලකයෙකු වූ පසු ද තරුණියන් සමග ඔහු ආදරයෙන් වෙලී සිටි අයුරු අපූරුය. සුන්දරය. මිහිරිය.


26 වැනි වියේදී ලිබියාවේ පාලනය සියතට ගෙන අවුරුදු 42 ක්ම ලිබියාව අල්ලේ රඳවා ගෙන සිටි මේ පුද්ගලයාට ඔහුගේ ජීවිතයේදී ආලය, ආදරය කරන්නට කාලයක්, වෙලාවක්, අවස්ථාවක් තිබුණාද කියා සැකයක්ද මෙහිදී ඇතිවේ. ඊට හේතුව වයස අවුරුදු 26 පිරෙන්නටත් සෑහෙන කාලයකට පෙර සිට ඔහු එවකට ලිබියාවේ පැවති ඉද්රිස් රජුගේ (IDRIS) පාලනය පළවා හැරීමට විප්ලවය සංවිධානය කරමින් සිටි නිසාය.

 

19-Page-5-Rasa-05

ගඩාපි තම දෙවැනි බිරිඳ සොෆියා සමග

 


ගඩාපිගේ විප්ලවය


තරුණ වියේදීම බෙන්ගාසි හමුදා පුහුණු පාසලට ඇතුළත්වී හමුදා පුහුණුව ලැබුවේය. ඔහුට බි‍්‍රතාන්‍යයටද ගොස් හමුදා පුහුණුව ලබාගැනීමට අවස්ථාවක් ලැබුණි. හමුදා කැරැුල්ලකින් ඉද්රිස් රජුගේ රාජ පාලනය පෙරලා දැමීමට එදා කර්නල් ගඩාපි අධිෂ්ඨාන කරගත්තේය. රජ පාලනය ඉවත් කර ඒකාධිපති පවුල් පාලනය ලිබියාවේ ස්ථාපිත කිරීම ගඩාපිට වැරදුන තැනද? ලෝක පොලිස්කාරයා සමග කැත්තට පොල්ල මෙන් සිටීම කර්නල්ගේ අවසානයට මුලද?
1970 වර්ෂයේ කර්නල් ගඩාපි ග‍්‍රීන්බුක් (GREEN BOOK) ‘‘කොළ පොත’’ ජනතාවට ඉදිරිපත් කළේය. මින් ඔහු ඉදිරිපත් කළේ ලිබියාවට නවෝදය උදා කිරීමේ තම සැලැස්මයි. ඔහුගේ ග‍්‍රීන් බුක් සැලැස්ම සාර්ථක වීදැයි විමංශනයක යෙදීමට මම උත්සාහ නොකරමි. තම අල්ලපු රටවල් දෙකවූ ටියුනීසියාවේ පෙරළියත් ඊජිප්තුවේ මුබාරක්ගේ වැටීමත් තදින්ම බලපෑවේ කර්නල් ගඩාපිටය. අරාබි වසන්තයට ගඩාපි ද ගොදුරුවීද? මේ කියන ගඩාපි ගිය ගමන අතිශයින්ම දුෂ්කරවූ චාරිකාවකි.


ගඩාපිගේ නම යළිත් ලෝක මාධ්‍යයන්හි පළ වන්නට පටන් ගත්තේ 2015 දෙසැම්බර් 12 දාය. ගඩාපිගේ එක් පුත‍්‍රයකුවූ හනිබල් ගඩාපි වසර කීපයකට පෙර ලෙබනනයේ කැරළිකරුවන් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබුණි. ගඩාපිගේ මෙම පුත‍්‍රයා ලෙබනන් කැරළිකරුවන් විසින් මුදා හරින ලද්දේ දෙසැම්බර් 12 දාය. මෙම පුවතට ලෝක ජනමාධ්‍ය පුළුල් ප‍්‍රචාරයක් ලබාදුන්නේය.

 

19-Page-5-Rasa-07

සොෆියා ගඩාපි

 


තුවක්කුව හා ආදරය අතර, අතරමංවූ ගඩාපි


ගඩාපිගේ මුල්ම පෙම්වතිය පතිහා අල් නූරිය. ඔහුට ඇය හමුවූයේ 1967 වර්ෂයේදීය. එවිට පතිහා පාසල් ගුරුවරියකි. ගඩාපි හමුදා පුහුණුව ලැබූ සොල්දාදුවෙකි. අහම්බෙන් හමුවූ මේ තරුණ යුවල අතර ආදරය ලියලා ගියේය. ඔහුගේ ප‍්‍රථම ආදරය රස ගුලාවක් නොවීය. 1967 වනවිට ගඩාපි 24 හැවිරිදි තරුණයෙකි. අගහිඟකම් වලින් යුතුව සුබ අනාගතයක් තකා සිහින මැවූ කඩවසම් තරුණයෙකි. තුවක්කුව හා ආදරය අතර අතරමංවූ විප්ලවවාදියෙකි.
මේ තරුණ පෙම්වතුන් යුවල ලිබියාවේ කාන්තාරයේ ඔටුවන් පිට නැගී ගිය ගමන් රිදී තිරයේ දිග හැරෙන පේ‍්‍රම ජවනිකාවලට සමාන විය. ඉස්කෝලෙ හාමිනේගේ තුරුණු රූ සපුවට එදා තරුණ ගඩාපි නැමති ‘‘ආමි’’ කාරයාගේ සිත වශීවී ගියේය. ඔහු ජීවිතය නැමති මුල්ම පාඩම මේ ගුරුවරියගෙන් ඉගෙන ගත්තාද? මේ යුවලට දාව එක් පුතෙකු බිහිවිය. ඔහුගේ නම මොහොමඞ් ගඩාපිය.


1967 වර්ෂයේදී හමුවී, 1968 වසරේ අවසාන භාගයේදී විවාහවී, විවාහයෙන් මාස 6 කට පසු පතිහාගෙන් වෙන්වී ගඩාපි ටි‍්‍රපොලියේ රජ මැදුරට පිය නැගුවේය. ගඩාපිගේ මුල් ආදරයේ හා මුල් විවාහයේ ආරම්භය සහ අවසානය මෙසේ ලඝු කොට දැක්විය හැක. පසු කලෙක ගඩාපි තම සමීපතම මාධ්‍යවේදියකුට පවසා තිබුනේ තමාගේ මුල් පේ‍්‍රමය හා විවාහය පිළිබඳ මතක සටහන් කිසිදාක අමතක නොවන බවය. විවාහ වන විට සොෆියාගේ වයස අවු. 28 කි. ගඩාපිගේ වයස අවු. 38 කි.

 


ගඩාපිගේ ප‍්‍රථම ආදරයේ අවසානය


බලය නැති කාලයේ ආදරය කළ සොඳුරිය, බලය සියතට ගත් පසු අමතක කර පළවා හැරීම ලෝකයම දන්නා මේ ගඩාපි කියන වීර චරිතයට එක්වුණ කළු පැල්ලමකි. ලොව බොහෝදෙනා බලය, ධනය, ශක්තිය, යස ඉසුරු ලැබෙද්දී අමුතුම සත්ව කොට්ඨාශයක් බවට පත්වන බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. බලය ලැබුන විට තම හත්මුතු පරම්පරාවම ලංකරගෙන පොදු ජනතාව අමතක කර ක‍්‍රියා කිරීම තුළින් ලොව බොහෝ පාලකයින්ට වැඩ වැරදුන බව නොරහසකි.


ගඩාපි 1969 වර්ෂයේ ලිබියාවේ පාලන බලය සියතට ගැනීමෙන් පසු බලවත් සේ රෝගාතුර විය. ඔහු රෝහල් ගතකරනු ලැබීය. ඔහුට උපස්ථාන කිරීමේ කාර්යය සිදුකළේ රෝහල් වාට්ටුවේ සිටි හෙදි තරුණියන් කීපදෙනෙකි. මේ හෙදියන් අතර සිටි සුරූපී සොෆියාගේ ආදර බැල්මට ගඩාපි නැමති ලිබියාවේ සේනාධිනායකයා වශී වුනේය. දිනක් රෝහල් ඇඳේ වේදනාවෙන් කෙඳිරිගාමින් සිටි කර්නල් ගඩාපි අනිකුත් හෙදියන් එහා මෙහා වනතෙක් බලාගෙන සිට නියම අවස්ථාව ලත් විගස සොෆියාගේ මුව මඩල සිප ගත්තේය. රෝහල් පරිසරය මේ තරුණ යුවලගේ පේ‍්‍රම පාරාදීසය බවට පත්වුනේ මෙසේය.

 


ගඩාපි සොෆියා ආදර කතාව


ඒ වන විට සොෆියා (SAFIA) හෙදියක් වශයෙන් ගත කළේ ඉතා දුෂ්කර ජීවිතයකි. හෙදියක් වශයෙන් ඇයට ලැබුණේ සොච්චම් වැටුපකි. ඇයගේ සම්පූර්ණ නම සොෆියා ෆර්කාශ් එල්බ‍්‍රාසිය. (SAFIA FARKASH ELBRASAI) බොහෝ මාධ්‍ය වාර්තාවන්හි සඳහන් වන්නේ මේ සුරූපී හෙදිය තම රූ සපුවෙන් රෝහල තුළදී ලිබියානු පාලකයා වසඟයට පත්කරගත් බවය. කෙසේ වෙතත් විප්ලවකාරී ගඩාපිගේ සිතට ගතට නව පණක් ලැබුණේ සොෆියාගෙනි.


මුල් බිරිඳගෙන් දික්කසාදවී සිටි ගඩාපිගේ සිතට සොෆියා අත්පත් කරගැනීමේ සිතුවිල්ල ඇතුල්වීම කෙළවර වුනේ 1970 දී දෙදෙනා අතර විවාහය සිදුවීමෙනි. ඊළඟ වසර කීපය තුළදී ගඩාපි සොෆියා සොඳුරු කැදැල්ලට පුතුන් 6 දෙනෙකු සහ එක් දුවක් එක්වූහ.

 


සොෆියාට හතර මහ නිධානය පහළ වූ හැටි


සොෆියා රෝහලේ හෙදි තනතුරට ආයුබෝවන් කියා ටි‍්‍රපොලියේ රජ මැදුරට ගිය ගමන අතිශයින්ම විශ්මයජනකය. ගඩාපි ජීවිතය ජය ගත්තාක්මෙන් සොෆියා ලිබියාවේ පාලකයාගේ (රජුගේ) අග මෙහෙසිය බවට පත්වීම අරුමයක් නොවන්නේද? උපතින්ම උරුම කරගත් රූ සපුව නිසා සොෆියාට මෙසේ හතර මහ නිධානය පහල විය. ගඩාපි අවසන් හුස්ම හෙළන තෙක්ම ඔහු අසල සෙවනැල්ලක් මෙන් සිටියේ මේ සොෆියාය.

 


සොෆියාගේ රත්රන් ටොන් 20 කෝ


ගඩාපිගේ මරණයෙන් පසු ඔහුගේ බිරිඳ සතුව තිබූ මහා ධනස්කන්ධය පිළිබඳව ලෝක ජනමාධ්‍යයන් විවිධ පුවත් පළ කර තිබුණි. සොෆියා සතුව ගුවන් සමාගමක් තිබුණි. මෙහි ගුවන් යානා ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා යොදවා ගනු ලැබීය. සොෆියා තමන්ට අයත් පෞද්ගලික ගුවන්යානා වලින් ලිබියාවේ හිත මිතුරු රටවල සංචාරය කළාය. ඇය සතුව තිබූ රත්රන් ප‍්‍රමාණය ටොන් 20 කි. ගඩාපිගේ මරණය සිදුවන විට විදේශ බැංකු ගිණුම්වල ඔහු තැන්පත් කර තිබූ මුදල් ප‍්‍රමාණය ඩොලර් බිලියන 80 කි. බිරිඳ සොෆියාගේ ගිණුම්වල තිබූ මුදල් ප‍්‍රමාණය ඩොලර් බිලියන 30 කි. මේ එම මාධ්‍ය වාර්තාවන්හි සාරාංශයක් පමණකි.


ගඩාපි ඝාතනය කිරීමෙන් පසු සොෆියා තම දියණියවූ අයෙෂා සමග විදේශීය රටකට පළාගියාය. ලිබියාවේ නව රජය මගින් ගඩාපි හා ඔහුගේ බිරිඳ සොෆියා සතුව විදේශ බැංකුවල හා ලිබියාව තුල තිබූ සියළු ධනය රාජසන්තක කිරීමට පියවර ගත්තේ 2013 වර්ෂයේදීය. වසර 42 ක් තිස්සේ ලිබියාව පාලනය කළේ ගඩාපි හා ඔහුගේ බිරිඳගේ පවුල්වල ඥාතීන් හා හිතවතුන් විසිනි.


ගඩාපිගේ එක් පුතෙකු වූ සාදි ගඩාපි ඇමෙරිකාවේ හොලිවුඞ්පුරයේ ජාත්‍යන්තර චිත‍්‍රපට නිපදවීමේ කටයුතුවල යෙදී සිටි මුල් පෙළේ ව්‍යාපාරිකයෙකි. කෝටිපති ධනපතියෙකි. තවත් පුතෙකු රූපවාහිනී ආයතන හා මාධ්‍ය ආයතන රැුසක හිමිකරුවෙකි. මේ ගඩාපිගේ වතගොතවලින් බිඳක් පමණකි. ඔහු තම ආරක්ෂාව තකා සුරූපී තරුණියන් යොදවා ගැනීම පිළිබඳ විවිධ කතාද පළවී ඇත. ගඩාපිගේ දෙවැනි බිරිඳ වූ සොෆියා සහ දුව අයෙෂා ජීවත්වන රට හා ස්ථානය තවමත් මාධ්‍යයන්හි රහසකි.

m