විල්පත්තුවේ දින හතරක්...


විල්පත්තුව බොහෝ සංචාරකයන්ට අමතකවී ගොසිනි. කොටි ත‍්‍රස්තවාදීන් විල්පත්තු වනෝද්‍යානයේ නිරන්තරවම සැරි සැරීම හේතුවෙන් ඔවුන් එහි පැමිණෙන අයට තර්ජනයක් විය හැකි බවටත් ඇති මතය ලෙහෙසියෙන් බැහැර කළ නොහැකි බැවින්ම මෙලෙස සිදුවී තිබේ.  

රුක්ෂාන් ජයවර්ධන

ඒ 2004 වර්ෂයයි. වනජීවී දෙපාර්තමේන්තුවට අයත් විල්පත්තු බංගලා රාශියක් විනාශ කැර තිබිණි. සංචාරකයන්ට නවාතැන් ගත හැක්කේ කොක්මොටේ බංගලාවේ පමණි. වන සත්ත්ව ඡායාරූප ගනිිමින් වනෝද්‍යාන තුළ සැරිසරන රුක්ෂාන් ජයවර්ධන කොක්මොටේ බංගලාව දින හතරක කාලයකට වෙන්කැර ගත්තේය.

ඔහු සමග තවත් මිතුරෙක් එක්වූවේය. සංචාරකයන් ඉතාමත් අඩු වශයෙන් පැමිණෙන වනෝද්‍යානයක් බැවින් හොඳින් සත්තු නැරඹීමටත් ඡායාරූප ගැනීමත් හැකිවනු ඇතැයි යන්න රුක්ෂාන් ගේ අපේක්ෂාව වූවේය.

ඔවුන් දෙදෙනා එහි ගිය පළමු දින රාති‍්‍රය බංගලාවේම ගෙවී ගියේය. පසු දා උදෑසනම වන සතුන් නැරඹීමේ සංචාරයට වනජීවී නියාමක වරයා ද එක්වූවේය. ජයවර්ධන මහතාගේ ඩිෆෙන්ඩර් රථය පදවන්නේ ඔහුගේ මිතුරා විසිනි. ඉදිරිපස අසුනේ වනජීවී නියාමක මහතා අසුන්ගත්තේය. කැමරා ආම්පන්න සහිතව ජයවර්ධන මහතා මැද අසුනට බරවූවේය. මේ ගමනට තවත් අමුත්තෙක් එක්වූයේය. ඒ ඔවුන් නැවතී සිටි බංගලාවේ සහය පාලක වරයෙකි.

අනුර නම් වූ ඔහු වන සතුන් බැලීමට යන අයකු නොවේ. නිවාඩුවක් ගෙන සිය ගම්බිම් බලා යාමට සිටි ඔහුට බංගලාවේ සිට කිලෝමීටර 40 ක් පමණ දුර ගෙවා මාර්ගයට පැමිණීමේ හැකියාවක් නැත. ඒ නිසා ඔහු උත්සාහ ගත්තේ ජයවර්ධන මහතා ඇතුළු පිරිස ගමන් කරන ජීප් රථයේ ගොස් වනෝද්‍යානයේදී හමුවන වෙනත් රථයක නැගී මහ කැලයෙන් එළියට යා ගැනීමයි. ඔහු ජීප් රථයේ පිටුපස අසුනට බරවූවේය.

සිව්දෙනා රැුගත් ජීප් රථය සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදෙයි. මාර්ගය සෘජුව ඉදිරියට පෙනෙන්නට තිබේ. වනජීවී නියාමක වරයා එකවරම අත දික්කැර ඉදිරියෙන් ඇති යමක් පෙන්වූවේය. මාර්ගය දෙපස ඇත්තේ විල්ලූ දෙකකි. ඒ අතර කළු පැහැති යමක් පාරේ අයිනට වන්නට පැහැදිලිව දක්නට ලැබේ. ඒ වලසෙකි.

‘‘වලහෙක් පාර අයිනේ නිදාගෙන වගේ’’

ජයවර්ධන මහතාගේ මිතුරා පවසයි. රථය වලහා දෙසට සෙමෙන් සෙමෙන් ල`ගා වුව ද වලහා නැගිටින බවක් පෙනෙන්නට නැත. පුදුමයකි. වලහා නිසොල්මන්ව සිටී. වලහා නැගිට යන ආකාරය රූපයට නැගීමට රුක්ෂාන් කැමරාව අමෝරාගෙන සිටියි.

‘‘ඒ වලහා මැරුණු එකෙක් වගේ.’’ වනජීවී නියාමක නිවැරදිය. වලහා මියගොසිනි. පිටෙහි විශාල තුවාලයක් ද තිබේ.

‘‘පහුගිය දවස්වල වෙන තැනකින් වලහෙක් ගෙනත් දැම්මා. මේ එයා වෙන්න ඇති. අනිත් වලස්සු පහරදීලා මැරෙන්න ඇති’’ වනජීවී නියාමකවරයා සිය අදහස කියා සිටියේය. එයට කිසිවෙකු වෙනත් මත ප‍්‍රකාශ කළේ නැත.

වලහා පසුකොට ජීප් රථය ඉදිරියට ඇදෙමින් තිබේ. ඔවුන්ගේ බලාපොරොත්තුව කාලි විල්ලූව නම් ස්ථානය වෙත ගමන් කිරිමයි. මේ සඳහා මාර්ග දෙකක් ඇත. ඉන් ඔවුන් තෝරාගන ඇත්තේ විජය රජුට ලක්දෙරණ පාවා දුන් කුවේණි විසුවේ යැයි විශ්වාස කරන කුවේණි මාළිගය නමින් හඳුන්වන ස්ථානය හරහා යන මාර්ගයයි.

ළගදී වැටුණු වැස්සෙන් සියලූ ගස් සහ තැනි තලා කොළ පැහැති වී දිදුලමින් තිබෙන්නේ නව ප‍්‍රාණයක් ලැබූ පරිද්දෙනි. කුරුල්ලෝ ඒ මේ අතර පියඹා යති. හදිසියේම රථය ඉදිරියෙන් සාවකු පැන ගියේය. ඈතින් හමන සුළග තවමත් ගත සනසාලන සිසිල් බවකින් යුක්තය.

‘‘දැන් දැන් වගේ වැටුණු අලි බෙටි තියෙනවා. අලි රංචුවක්ම ගිහින් වගේ. මේ ළගම ඇති. මහත්තයලට හොඳ ෆොටෝ ටිකක් ගන්න පුළුවන් වේවි.’’ ඉදිරි අසුනේ සිටින වනජීවී නියාමක රුක්ෂාන් ට පවසයි.

‘‘කොහොමත් විල්පත්තුවේ අලි බලන එක නම් සෑහෙන අමාරු වැඩක්නේ.’’ රුක්ෂාන්ගේ මිතුරා පිළිවදන් දුන්නේය.

ජීප් රථය ගමන් කරන මාර්ගයේම ඔවුන් යාමට මොහොතකට පෙර ගිය අලි රංචුව එහි බොහෝ සළකුණු තබා තිබේ. දින කිහිපයකට පෙර වැටුණු වැස්සත් සමග සැකසී ඇති මාර්ගයේ ඔවුන්ගේ අඩි සළකුණු පැහැදිලිව දක්නට ලැබෙයි. උස් ගස් වලින් කොල කඩා කද්දී ඒවායින් කොටස් තැන තැන වැටී ඇත. මාර්ගය පුරාම විසිරී ඇති අලි බෙටි කියාපාන්නේ  අලි රංචුවේ ලොකු කුඩා අලි විශාල පිරිසක් සිටින බවයි.

මාර්ගයේ එක් ස්ථානයකින් අලි රංචුව වනාන්තරය තුළට වැදී තිබේ. රුක්ෂාන්ගේ බලාපොරොත්තුව ඉටුවන බවක් පෙනෙන්නට නැත. ඔවුහු ජීප් රථය නැවතූහ. එහි එන්ජිම සියුම් ශබ්දයක් නගමින් පන ගැන්වෙයි. වනාන්තරයේ ඇති නිහ`ඩතාවට එය බාධාවක් නොවේ.

මාර්ගයත් වනාන්තරයේ ගස් පේලියත්් අතර මීටර 20 ක පමණ එළිමහන් බිම්කඩක් පිහිටා ඇත. නිහැඩියාව අතරින් රුක්ෂාන් ජයවර්ධන මහතාට වනාන්තරයේ අතු බිඳෙන හ`ඩ ඇසුණි. එය විටින් විට ඇසෙද්දි එම ස්ථානයේ අලි සිටින බව තහවුරු වූවේය.

‘‘මේ ශබ්දය ආවේ අපේ ජිප් එකට වම් පැත්තෙන්. මම වම් පැත්තේ දොර ළගටම ගිහින් කැමරාවත් එල්ල කරගෙන බලාගෙන හිටියා. ඒත් අපිට අලි පෙනෙන්නේ නැහැ. එම ස්ථානයේ තිබෙන කැලෑව තරමක් ඝනව පිහිටා තිබෙනවා. මටවත් රියදුරු අසුනේ සිටි මගේ මිත‍්‍රයාටවත් වනජීවී නියාමකටවත් මේ කිසිම අලියෙක් පෙනුනේ නැහැ. නමුත් බංගලාවේ අනුර කිව්වා අන්න අලියෙක් ඉන්නවා කියලා. වම් පැත්තේ කැලෑවේ යම් ඉඩක් තිබුණු තැනකින් විශාල අලියෙක් එකපාටම ඔළුව එලියට දැම්මා. හරිම ලස්සනයි. හො`ඩ වැලෙත් කන් වලත් කබර තිබුණා. තත්පර කිහිපයකින් මේ අලියා තමන්ගේ ඔළුව ඇතුළට ගත්තා.’’

ජීප් රථයේ සිටි හතර දෙනාගේ අදහස වූයේ අලියා වනාන්තරය තුළට යන්නට ඇති බවයි. අනෙක් අලි රංචුව ද ඒ සමග ටිකෙන් ටික ඈතට ඇදෙන්නට ඇතැයි යන්න ඔවුන්ගේ සිතිවිල්ල වී තිබිණි. අලි රංචුවක් ඡායාරූපයට නැගීමේ රුක්ෂාන්ගේ බලාපොරොත්තුව බොඳ වෙමින් තිබිණි.

‘‘ ඒත් තවත් තත්පර කිහිපයකින් මම එකපාරටම ඇස් කෙලවරෙන් වගේ දැක්කා ජීප් එකේ මම හිටපු පැත්තේ පිටිපස්සෙන් අලියෙක් අපේ ජීප් එක පැත්තට එනවා වගේ. පිටුපස හැරිලා බලන කොටම මෙයා දුවිලි අවුස්සගෙන කිසිම ශබ්දයක් නොනගා අපේ පැත්තට දුවනවා. මම හයියෙන් කෑ ගැහුවා. වන ජීවී නියාමක වරයාත් කෑ ගැහුවා. සාමාන්‍යයෙන් අලියෙක් මිනිසුන් ඉදිරියට දුවගෙන එනවිට කෑ ගසනවානම් අලියා එකවිටම නතර වෙනවා. නමුත් අපේ කෑ ගැසීමට මේ අලියා නතර වුනේ නැහැ. යන්තම් එයාගේ වේගය බාල වුණත් කෙලින්ම එනවා. මම යමු යමු කියලා කෑ ගසමින් ම ජීප් එකේ අනිත් පැත්තට ගිහින් ඔළුවට අත තියලා ඔලූව කකුල් දෙක අතර රඳවා ගත්තා. ඒ සමගම මගේ මිතුරා ජීප් එක ඉදිරියට ධාවනය කළා. අපිට පැයට කිලෝ මීටර 10 ක වේගයක්වත් ගන්න බැරිවෙන්න ඉස්සෙල්ලා හරියට බෝම්බයක් පිපිරුවා වගේ මහා ශබ්දයක් එකක් ජිප් එකේ පැත්තක් උඩගියා. මම හිතුවෙනම් ජිප් එක පෙරලෙන්න ඇති කියලා. නමුත් ඉදිරියට ධාවනය වෙමින් තිබූ නිසා ජිප් එක පෙරළුනේ නැහැ. උඩ ගිහින් නැවත බිම වැටුණා. මේ වෙලාවේ වාහනයේ වීදුරු ඇරලා තිබුණේ. ඒ නිසා අපව එළියට ඇද ගැනීමේ හැකියාවත් අලියට තිබුණා. අලියා සිටි පැත්තට විරුද්ධ පැත්තෙන් බැහැලා දිවගිහින් ගහකට නගින්නත් හිතුනා. ඒත් ඒක ආරක්ෂිත නොවෙන්නත් තිබුණා. ලොකු ගසකට නැග ගන්න බැරිවුනොත් අලියා අපිට පහර දෙනවා. ජීප් එක දිගටම ඉදිරියට ඇදුණා. ටික දුරක් ගිහින් අපි ජීප් එක නවත්තලා බලන විට අපේ පස්සෙන් එලවාගෙන ආපු අලිය කකුල් පළල් කරගෙන පාර මැද දුවිලි ගොඩක් මැද නතර වෙලා අපේ දිහා බලාගෙන ඉන්නවා. ’’

රුක්ෂාන් මහතා පවසන්නේ ඒ අවස්ථාව වනවිට අලියා මද කිපී සිටින්නට ඇතැයි තමන්ට විශ්වාස බවයි. ඒ මොහොතේ අලියාගේ ශරීරයෙන් මද කිපුණු අලින්ගේ මෙන් දු`ගදක් වහනය වූ බව ද හෙතෙම වැඩිදුරටත් කීවේය.

ඔවුන් ඉදිරියට ගිය බැවින් අවාසනාවන්ත දෙයක් වූයේ නැත. අලින්ගේ හැසිරීම් හා ප‍්‍රහාර පිළිබඳ පළපුරුද්දක් තිබුණේ රුක්ෂාන් මහතාට පමණි. වනජීවී නියාමක වරයා ද හෝර්ටන් තැන්නේ සිට විල්පත්තුවට ඊට සති කිහිපයකට පෙර මාරුවක් ලැබ පැමිණි අයෙකි. අනුරටද එතරම් අත්දැකීමක් තිබුණේ නැත.
මීටර 300 ක් පමණ ගිය ජීප් රථය නතර කැරුණි. එයින් බැස බලන විට ජීප් රථයේ වහළ කඩා වැටුණු කූඩාරමක් මෙන් තිබිණි. වීදුරු සියල්ල කැඞී ගොසිනි. රථයේ වහළේ තහඩුව එක් තැනකින් කැඞී ගොසිනි. වැස්ස වැටුණහොත් රථය ජලයෙන් පිරෙනු ඇත. එක් දොරක් මැදින් අංශක අනූවකට පමණ නැවී විවෘතව ඇත. තවත් දොරක් කිසිසේත්ම වසා දමන්නට හැකියාවක් නැත.

‘‘අනේ මහත්තයෝ මටනම් මෙහෙම දෙයක් කවදාවත් වෙලා නැහැ. මම මුල්ලටම වෙලා හිටියේ. මම හොඳින්ම දැක්කා අලියගේ ඔළුව අඩි දෙකක් විතර ජිප් එක ඇතුළට එනවා.’’ බංගලා සහායක අනුර එසේ කීවේය.

මේ ජීප් රථයේ කැමරා සවිකිරීමට සකස් කළ ලී කොටසක් තිබිණි. එය අලියාගේ හිසේ වැදී කැඞී ගොස් එම ලී කොටස රුක්ෂාන්ගේ හිසට උඩින් විසිවීගොස් පිට මතට වැටී තිබේ. වාහනයට සිදුවූ අලාභය සුලූ පටු නොවේ. රුක්ෂාන් මහතා පවසන්නේ අලියා වාහනය පිටුපස එළවාගෙන පැමිණීම අතහැර දමන්නට ඇත්තේ හිසින් කරන ලද මේ ප‍්‍රහාරයෙන් අලියාගේ හිසට ද රිදුම් දීම හේතුවෙන් විය හැකි බවයි.

ලබන සතියේ....
පහරදුන් අලියා මහ රාති‍්‍රයේ යළි ඔවුන් සොයා පැමිණෙයි.


 

වේරගොඩගේ සජීව විජේවීර