විවාහයට දින පහක් තියෙද්දි අඟුල පෙරලී මරණයට පත් පෙම් යුවළ


මනුලොව මනුෂ්‍යයකු ලෙසට උපත ලැබීම අසීරු කාර්යයකි. බුදු දහමට අනුව ඒ සඳහා ආත්මයෙන් ආත්මයට බලපාන්නේ ජීවත් වන කාල පරාසයේ මිනිසා විසින් සිදු කරන්නට යෙදෙන කුසල් සහ අකුසල්ය. ඒ සියල්ලම ආත්මභාව සමඟ උපතේ සිට මරණය දක්වා ගමන් කරයි. මෙය බුදු දහමේ දී කර්ම චක්‍රය ලෙස හැඳින්වේ. කර්ම චක්‍රය ක්‍රියාත්මක වන්නේ කුමන මොහොතකද යන්න කිසිවිටෙකත් සිතා ගත නොහැකිය. මෙය ගොනු සමඟ යන ගැලෙහි සකරෝදය මෙනි. මිනිස් කයක් සැකසෙන්නේ කර්මානුකූල හේතුඵලයෙනි. එහෙත් එම කර්මය විසින්ම මනුෂ්‍ය ආත්මය කෙළවර කරන්නේද කර්මය විසින්මය. පහතින් පළවන කතාව එයට හොඳ උදාහරණයකි.

01-pg21dd--taks--pgs
මධ්‍යම පළාතේ කඳුපන්තිවලින් සමන්විත පරිසරයක උපත ලත් සඳවතී කුඩා කාලයේදීම කාගේත් සිත් දිනා ගත් දැරියකි. බහතෝරන වියේදී ඇය වෙනත් ප්‍රදේශයක තොරතුරු කියමින් මවගෙන් විවිධ ප්‍රශ්න අසන්නට වූවාය. ඒ ප්‍රශ්න අතර ලොකු ගංගාවක් පිළිබඳවත් ගංගාවේ සැඩපහර පිළිබඳවත් අසන්නට විය. මේ තත්ත්වය මත මව දියණිය පිළිබඳව විමසිල්ලෙන් පසු වූවාය. මේ ආකාරයෙන් අවුරුදු දහයක් ගෙවී ගියේය. සඳවතීගේ පාසල පිහිටියේ නිවසින් මඳක් දුරකය. ඇය පාසලට ගොස් පැමිණෙන විට මවට නිරන්තරව කියන්නට වූයේ වෙනත් මාවතකින් පාසලට යාමට අවශ්‍ය බවය. ඒ පිළිබඳව විමසුවහොත් ඇය කිසිත් නොකියා නිහඬව සිටින්නට වූවාය. දිනපතා මෙය සිදුවන නිසා මේ පිළිබඳව මව පියාට සැල කළාය. විමසීමේදී දියණිය කියා සිටියේ ඇලෙන් එගොඩ වී යා නොහැකි බවයි. තම දියණියට යම් කිසි මානසික ප්‍රශ්නයක් පවතිනවාද යන්න මාපියන්ට මතු වූ ප්‍රශ්නයකි. එහෙත් දියණියගේ වයස අනුව ප්‍රතිකාරයක් කිරීමට නොහැකි නිසා සඳවතීගේ අදහස අනුමත කරමින් ගඟ මගහැර වෙනත් මාවතකින් පාසලට රැගෙන ගියේය. සඳවතී මෙතරම් ගංගාවලට බියක් දක්වන්නේ ඇයිද යන්න නොවිමසීමට මාපියන් තීරණය කළේ ද ඇය කුඩා වයසේ පසු වූ බැවිනි. කාලය වේගයෙන් ගෙවී ගියේය. සඳවතී වැඩිවියට පත්වීමෙන් පසු මෙම තත්ත්වය වෙනස් විය හැකිය යන්න බොහෝ දෙනාගේ අදහස විය. ඥාති නිවසක මංගල උත්සවයට යන අතරමග මාර්ගයේ විශාල ගංගාවක් උඩින් ඇති පාලමක් මතින් පිරිසට යාමට සිදු විය. මෙහිදී දියණිය එක හෙළාම යාමට නොහැකි බව පවසමින් අඬන්නට වූයෙන් මාපියෝ දැඩි සේ අසරණ වූහ. කුමක් කළ යුතුද යන්න ඔවුන්ට ප්‍රහේලිකාවක් වූයෙන් යළිත් දියණියගෙන් ගඟින් යාමට නොහැක්කේ ඇයිද යන්න විමසීය.


මට බයයි. මම ගඟට වැටුණේ මේ ගඟින් එගොඩ වෙන්න ගිහින්. දුවට පිස්සුද ඒ ගඟ නොවෙයි මේ. 


නැහැ අම්මා මේ ඒ ගඟ තමයි. 


දෙමව්පියන්ට සිදුවූයේ දියණියගේ අකමැත්ත නිසා වෙනත් මාවතකින් මඟුල් ගෙදරට යාමටය. එතැන් සිට මේ පිළිබඳව දෙමාපියෝ වඩාත් සැලකිලිමත් වූහ. සඳවතීගේ පෙර ආත්මයේ සිදුවීමක තොරතුරු ඇයගේ මනසේ පැවතීම නිසා මෙවන් තත්ත්වයට පත් විය හැකි බව සිතූ මාපියන් සඳවතීගෙන් තොරතුරු විමසීම සිදු කෙරිණි. එහිදී පෙර ආත්මයක තොරතුරු ඇය මනාව හෙළි කළාය. ඇය එහිදී විස්තර කළේ තමා ගඟට වැටුන බවයි. එහිදී මරණයට පත් වූවාද යන්නට පැහැදිලි පිළිතුරක් නොලැබිණි. මේ පිළිබඳව සඳවතීගෙන් තොරතුරු විමසීමට පර්යේෂකයන්ට අවස්ථාව උදා විය. 


දුව කියන ගඟ තියෙන්නේ කොහේද?
ඇයි අපි මඟුල් ගෙදර ගියේ ඒ ගඟ උඩින්


දුවට හොඳට විශ්වාසද ගඟට වැටුනා කියලා?
මට විශ්වාසයි මම වැටුන ගඟ කියලා


කොහොමද ගඟට වැටුණේ?
ගංඟාවේ සැඩ පහර සැර දවසක අපි ගියා ගඟින් එගොඩ වෙන්න


විශ්වාසයිද ගඟට වැටුණා කියලා?
ඇය කල්පනාවක නියළිනි
මට මතකයි


තව විස්තර කරන්න 
අපි දෙන්නම ගියා පාරුවේ


දෙන්නම කිව්වේ?
අයියා 


අයියත් ගඟට වැටුනද?
දෙන්නම


සඳවතීගේ තොරතුරු පිළිබඳ නිවරදිතාව දැනගැනීම සඳහා පර්යේෂකයන්ට මේ පිළිබඳව තවදුරටත් කරුණු සොයා බලන්නට අවශ්‍ය විය. සඳවතීට වසර 14 වන විට පෙර ආත්මයේ තොරතුරු පැහැදිලිව කියන්නට හැකි විය.


ගඟ පිළිබඳ තව විස්තරයක් කරන්න
අපේ ගෙදර ඉඳලා ටිකක් දුරින් තොටුපළ පිහිටා තියෙන්නේ ගඟ හරිම ගැඹුරුයි. වහින කාලයට බලන්නත් බයයි. සැඩ පහර සැරයි


විස්තරයක් කරන්න
පොඩි පාරුවක් තියනවා පාරුව පදින්නේ සීයා කෙනෙක්


හැමදාමත් පාරුවෙන්ද එගොඩ මෙගොඩ වෙන්නේ?
ඔව් ඉස්කෝලේ යන්නේ එන්නේ පාරුවෙන්


පාරුව නැතිනම් යන්න බැරිද?
සැතපුමක් විතර පයින් යන්න වෙනවා


කොපමණ කාලයක් පාරුවෙන් ගියාද?
පුංචි කාලෙ ඉඳලා


ඒ දවස පිළිබඳ විස්තරයක් කරන්න
මම බඳින්න ඉන්න අයියා ආවා. අපි දෙන්න පොළට ගියා බඩුගන්න


තව විස්තර කරන්න එම සිදුවීම
විස්තර කරන්න මට බයයි මතක් කරන කොටත් මට බයයි


ඇය දෑස් වසාගෙන සිටියාය


ඇය කියූ තොරතුරු ඔස්සේ පර්යේෂකයන් එම ප්‍රදේශය සොයා ගියහ. එහිදී විශාල තොටුපලක් සහ මිනිසුන් එගොඩ මෙගොඩ කරන පාරුවක්ද දක්නට ලැබිණි. වයසක පුද්ගලයෙකුගෙන් කරුණු විමසුවද පැහැදිලි තොරතුරක් අනාවරණය නොවීය. ඔහුගේ මහප්පා මීට අවුරුදු හතරකට පෙර පාරුව පැද්ද බව ඔහු හෙළි කළේය. ඒ කාලයේ පාරුව කිහිප විටක සැඩ පහරට පෙරළී ගිය බවත් මරණ කිහිපයක් සිදු වූ බවද ඔහු හෙළි කළේය. මනාලියක් වීමට සිටි දැරියක් මරණයට පත් වූ බවක් ඔහුගේ මතකයේ පැවතිණි. එහෙත් එම දැරිය පිළිබඳ විස්තරයක් කීමට ඔහුට නොහැකි විය. ඒ පිළිබඳ හෝඩුවාවක් ලබා ගත හැකි කිහිප දෙනකු ගම්මානයේ සිටින බව පැවසීය. පාරුවෙන් එගොඩ මෙගොඩ වන ස්ථානයේ සිට සඳවතී පැවසූ ආකාරයට ගිය පර්යේෂකයන් සඳවතීගේ මරණය තොරතුරු පිළිබඳව සොයා බලන්නට විය. පෙර අඟුල පැද වූ තොටියාගේ ඥාති පුත්‍රයකුගේ තොරතුරුවලට අනුව වසර තුන හතරකට පෙර එවන් සිදුවීමක් පිළිබඳව සීයා කියූ බවත් සැඩ පහර සැර අවස්ථාවක අඟුල පෙරළී කිහිප දෙනකු මරණයට පත් වූ බවද එහි මනාලියක් වීමට සිටි එගොඩ පිටියේ දැරියක් මරණයට පත් වූ බවද ඔහු පිහිනා ජීවිතය බේරාගත් බවත් හෙළි කොට තිබිණි. පර්යේෂකයන්ගේ උත්සාහය වූයේ එගොඩපිටිය සොයා යාමටය. එම ගම්මානය පිහිටා තිබුණේ තොටුපළේ සිට සැතපුමක් පමණ දුරකිනි. උත්සාහය සාර්ථක වූයේය. එම සිදුවීම පිළිබඳ තොරතුරු දත් කාන්තාවක් හමු විය. ඒ වන විට ඇයගේ වයස අවුරුදු පනහක් පමණ විය. මට යන්තම් මතකයි ඔය සිදුවීම අඟුල එදා පැදලා තියෙන්නේ වයසක කෙනෙක්. සැඩ පහර දැක්කම මනුස්සයා බය වෙලා. ගඟේ සැඩපහර සැර දවසක්. උඩහට වැහැල. ඔය ළමයා බඳින්න ඉන්න ළමයත් එක්ක ඇවිල්ලා තියෙනවා. අඟුල පෙරලුනාම දෙන්නම ගිලිලා තියෙනවා. එදා මුළු ගමම දුක් වුණා. ඔය සිද්ධිය දවසේ අඟුලේ ගොස් දිවි බේරාගත් කාන්තාවක් පිළිබඳ තොරතුරු දැන ගැනීමේ අවස්ථාව හිමි වූයෙන් එය වඩාත් වැදගත් සිදුවීමක් විය.


ඒ වන විට ඇයගේ වයස අවුරුදු පනහ ඉක්මවිය. ඇයගේ මතකයේ හැටියට එදා අඟුලේ ගිය පිරිස අතර ඇයගේ ඥාති දියණිය වශයෙන් හැඳින්වෙන මනමාලියක් වීමට සිටි දැරියද ඇයගේ අතගැනීමට සිටි තරුණයාද සිටි බව ඇය සඳහන් කළාය.


මට හොඳට මතකයි. මෙයට අවුරුදු හතරකට පහකට පෙර ඔය සිදුවීම සිද්ධ වුණේ. මතක් වෙනකොටත් ඇඟ සීතල වෙනවා. අඟුල පැද්දේ පීටර් සිංඤෝ. මනුස්සයා හැම වේලෙම බීල ඉන්නේ. ගඟේ සැඩ පහර සැරකමට අඟුල හරවන්න බැරි වුණා. වක්කලමෙදී අඟුල පෙරළුනා. මම යන්තම් පීනන්න දන්න නිසා ගොඩට ආවා. තුන්දෙනෙක් බේරුණා. හතර දෙනෙක් ගිලිලා මැරුණා. ඥාති දුවයි පුතයි ඒ අතර හිටියා. දවස් දෙකකට පස්සේ පහළ තොටුපලෙන් මිනී දෙක ගෙනාපු දවසෙම එගොඩපිටියේ කනත්තේ මිනී දෙකම යට කළා. ඔය අවාසනාවන්ත සිදුවීමට පූරුවේ පවක් කරලා තියෙනවා එකට මැරෙන්න. මගුල් ගෙදර අවමඟුල් ගෙදරක් වුණා. මුළු ගමම දුක් වුණා. ඊළඟ පියවර වූයේ සඳවතීගේ දෙමාපියන් පිළිබඳව සොයා බැලීමය. කෙල්ලගේ අම්මට අපි කියන්නේ සුදු නෝනා කියලා. කෙල්ලගේ තාත්තා නැති වුණේ කෙල්ල කුඩා කාලේ. සුදු නෝනා කෙල්ල හදාගත්තේ දුක් විඳලා. මරණයෙන් පස්සේ පිස්සු වැටිලා වගේ අඬ අඬ ඉඳලා ලෙඩ වෙලා මැරුණා. එගොඩ කනත්තේ දුව ළඟින්ම අම්මත් යට කළා. සඳවතීගේ පෙර ආත්මයේ තොරතුරු සත්‍ය බව මින් පැහැදිලි විය. තෙවන පියවර වූයේ සඳවතී තොටුපළට ගෙනවිත් හඳුනාගැනීමය. නියමිත ආකාරයට ඇය කිසිදු මග පෙන්වීමකින් තොරව තොටුපළට පැමිණි අතර ඇය පැහැදිලිව තොටුපළ හඳුනාගත්තාය. ඇය එහි සිට ගඟ දෙස බලා සිටියේ දැඩි කල්පනාවෙනි. 


තොටුපළ වෙනස් වෙලා. එදා කොටන් දාලා තොටුපළ හදලා තිබුණේ අඟුල බැදලා තිබුණ ලොකු කුඹුක් ගහ දැන් නැහැ. සඳවතී හාත්පස විපරමින් බලන්නට විය. 


දැන් තොටුපළ හදල වෙනස් වෙලා. කලාන්තරයක් තිස්සේ සිදු වන සිදුවීම පිටුපස කෙතරම් සිදුවීම් ගොනු වී ඇද්ද. යළිත් සඳවතී නිහඬව තොටුපළ දෙස බලා සිටියාය. ගමට යන පාර වැඩි වෙනසක් නැහැ. ගල් පඩි පෙළ වෙනස් වෙලා නැහැ සඳවතී පැවසීය. තවමත් පාරුව එගොඩට මෙගොඩට යනවා ඇයගේ මනස තුළ. පෙර භවයේ තොරතුරු යළිත් මතු වන්නට ඇත. එහෙත් කිසිවක් ඇය හෙළි නොකළාය. 


ඔබට මොනවද මතක් වෙන්නේ, ප්‍රශ්න කළ විට ඇය සෙමින් හිස සැලුවා මිස කිසිවක් නොකීවාය. එහෙත් දෑස් පුරා කඳුළු පිරී ගොස් තිබිණි. එම කඳුළුවල කෙතරම් දුක් වේදනාවක් ගැබ් වී ඇද්ද යන්න සිතා ගැනීමට නොහැකිය. සඳවතීගේ පෙර ආත්මයේ කතාව සත්‍ය වූවද ඇය මරණයට පත් වූ වසර පැහැදිලි නොවීය. සොයාගත් තොරතුරුවලට අනුව මරණයට පත් වසරත් සඳවතී උපන් වසරත් අතර පරතරය සැක සහිත ලෙස වසර හතකි. එතරම් කාල පරාසයක් ඇයගේ මනෝමය කය සැරිසරා ඇත්තේ අන්තරා භවයේය යන්න පැහැදිලිය.


මෙම සිදුවීමෙන් පැහැදිලි වන්නේ කර්මයට නියමිත ආකාරයට නියමිත වේලාවට ක්‍රියාත්මක වන බවයි. ඒ සඳහා සුදුසු කාල පරාසයක් නොමැත්තේය. කර්මය එතරම්ම ප්‍රබලය. මෙම කතාවේ සඳවතීගේ පෙර ආත්මයේ ඇය මනාලියක් වීමට සතියකට පෙර ගඟේ ගිලී මරණයට පත් වීම සහ ඇයගේ සහකරු සමඟ එකට මිය යාම කර්ම විපාකයේ ප්‍රතිඵලයකි. එය කිසිදු ආකාරයකින් වැළැක්විය නොහැකිය.


මෙම කතාවේ නාමයන් සියල්ලම කතාංගය සඳහා පමණක් යොදාගෙන ඇත. කිසිවකුටත් එය අදාල නොවේ.

m