විශ්ව විද්‍යාලවලින් ඇසෙන ඛේදවාචකවල සුළමුල බලමු


පේරාදෙණිය විශ්වවිද්‍යාලය පුවත් මවන ආකරයක් බවට පත්ව තිබේ. එක අතකින් සිසු ගැටුම්ය. ගැටුමකට අදාළ වීඩියෝ පටයක් අන්තර්ජාලය තුළ සැරිසරයි. ගැටුමට නිමිත්ත නවකවදය යැයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කියයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මැවෙන ඊළඟ පුවත සිසුන්ගේ දිවි නසා ගැනීම්ය.

ගෙවුණු මාස හයක කාලය තුළ සියදිවි නසා ගැනීම් තුනක් වාර්තා වී තිබේ. අලුත්ම පුවත මැවී තිබෙන්නේ විසිහය හැවිරිදි පුලස්ති ප්‍රමුදිත් පෙරේරා නමිනි. ඔහු ඉකුත් 2 වැනිදා සිට අතුරුදන්ව ඇති බව විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පොලිසියට පැමිණිලි කර තිබේ. ඔහු එම විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිව්වැනි වසර ශිෂ්‍යයෙකි. 

අප පුවත්පත වාර්තා කර තිබූ ආකාරයට අතුරුදන් සිසුවා නේවාසිකාගාරයෙන් පිටව යාමට පෙර සිංහල භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන් ලිපි දෙකක් ලියා තිබේ. එමෙන්ම මෙම ඉංජිනේරු ශිෂ්‍යයා කලක සිට සිත්තැවුලෙන් සිට ඇති බව පොලිසිය කළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බවද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

එක් විශ්වවිද්‍යාලයකින් මාස හයක කාලය තුළ සිසුන් තිදෙනකු සිය දිවි නසාගැනීම් හා එක් සිසුවකු අතුරුදන්වීම සරළ කාරණාවක් නොවේ. එමෙන්ම මෙය එම විශ්වවිද්‍යාලයට පමණක් සීමා වූ තත්ත්වයක් නොවන   බවද අවධාරණය කළ යුතුය. සිය දිවි නසා ගැනීම් කිසි විටෙකත් වීර ක්‍රියාවක් නොවේ. එය අතිශයින්ම අබල දුබල මනසක් ඇත්තකු ගනු ලබන අඥාන තීරණයකි. කවර හේතු සාධක තිබුණද අපමණ වෙර දැරිය යුත්තේ එම ප්‍රශ්න නිරාකරණය කර ගනිමින් ජීවත් වීමටය. වීර ක්‍රියාව වන්නේ එයය. එහෙත් අප රටේ අතිශයින්ම තරගකාරී විභාගයකින් ඉහළින්ම සමත්ව සරස්වතිය වැඩ ඉන්න පින්සාර සරසවි බිමට පැමිණි සිසුන් දිවි නසා ගැනීමට පෙළඹෙන්නේ නම් කල් නොයවා එයට හේතු සාධක විමර්ශනය කළ යුතුය.

සමාජයක ජීවත් වන පිරිස් විවිධාකාරය. සිතුම් පැතුම් විවිධය. අතිශයින්ම තරගකාරී විභාග වලින් සමත්ව වුවද එවැන්නකුගේ ජීවන දර්ශනය මෙන්ම ඔහු එළැඹෙන අවසන් නිගමනය විභාග ප්‍රතිඵලවලට සමගාමී නොවනු ඇත. එම විභාග ප්‍රතිඵලයට සාධාරණයක් ඉටු නොකරන්නක් විය හැකිය. ඒ ඒ මිනිසුන් වෙනුවෙන් වෙන වෙනම ඇගයීමක් කළ යුතුවන්නේ එහෙයිනි. අප රටේ මනෝ උපදේශන විෂය පවතින්නේ ඉතා දුර්වල හා දුප්පත් මට්ටමක බව අවිවාදිතය. බොහෝ අපරාධවලට එම තත්ත්වයත් බලපා තිබෙන බවද ඒකාන්තය. 

‘තරුණ අසහනය’ යනු අප සමාජයේ වැඩියෙන්ම ව්‍යවහාරයට ගැනුණු දෙපදයකි. 1971 කැරැල්ලෙන්  පසුව එම කැරැල්ලට හේතු පාදක වූ කරුණු විමසීමට තරුණ අසහන කොමිසමක්ද පත් කෙරුණි. තරුණ අසහනය තුරන් කිරීමට විවිධ ප්‍රගතිශීලී ක්‍රියා මාර්ගද ගැනුණි. එහෙත් එම ක්‍රියා මාර්ග මුළුමහත් සමාජයම පිරිපහදුවට  ලක් කිරීමට ප්‍රතිසංස්කරණයට ලක් කිරීමට හේතු වී නැති බව ඔප්පු වූ සත්‍යයකි. 87-89 තරුණ අරගලය එයට නිදසුනකි. 

87-89 අරගලය 1971 අරගලයට වඩා බෙහෙවින් කුරිරු විය. 1971 දී මරා දැමුණු තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව විසි දහසක් පමණ බව කියැවෙයි. 87-89 යුගයේදී මරා දැමුණු තරුණ තරුණියන්ගේ  සංඛ්‍යාව හැට දහසකට අධිකය. ලෙයින්, යකඩෙන් හා ගින්දරෙන් අරගලය මඩිනු ලැබුවද සමාජය නිස්කාංසුවට ලක්වේයැයි අනුමාන කිරීම වැරදිය. රටේ අද දවසේ තත්ත්වය එය වටහා ගැනීමට අවශ්‍ය ආධාර අනුබලය සපයනු ලැබේ.

මුළු සමාජයම අද සිටින්නේ ඉමහත් පීඩනයෙනි.  එමෙන්ම අවිනිශ්චිත භාවයෙහි නරා වළට වැටුණු රට කවදා කෙසේ ගොඩගන්නේද යන්න තරුණ පරපුරට තදින්ම බලපාන බව විශේෂයෙන්ම දත යුතුය. අද තරුණයා පවසන්නේ ඔවුන්ගේ ජීවිතයේ ලස්සනම කාලය කාලකන්ති කර ඇති බවය. එමෙන්ම රට මේ අපා දුකට ඇද දැමුවේ තමන් නොවන බව තරුණයා කියයි. අනුන්ගේ වැරැදිවලට තමන්ගේ ජීවිතයෙන් තමන්ගේ අනාගතයෙන් වන්දි ගෙවීමට සිදුව තිබෙන බව තරුණයා සිතයි.

මෙම සිතුවිල්ල බරපතළ සමාජ විරෝධයක් කම්පනයක් බවටත් තමන් සම්බන්ධ අපේක්ෂාභංගත්වයක් බවටත් පරිවර්තනය වේ. ජීවිත ජීවත් කරවන්නේ බලාපොරොත්තු නම් එකී බලාපොරොත්තු රඳවා ගත හැකි පරිසරයක් නොවේනම් එහි තාර්කික අන්තය බිහිසුණුවීම වැළැක්විය නොහැක. 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් තිදෙනකු දිවි නසා ගැනීමත් එක් සිසුවකු අතුරුදන්වීමත් එකී සිදුවීම්වලට පමණක් ලඝු නොකළ යුතුය. එය මුළු රටේ ස්වරූපය හඳුනා ගැනීමේ මානයක් බවට පත් කළ යුතුය. එසේ හඳුනාගෙන කඩිනම් විසඳුම් දිය යුතුය.

(***)