විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ


මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු  ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම  සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම  ස්ථානකි. නාලන්ද ගෙඩිගේ ශ්‍රී ලංකාවේ හරි මැද ලක්ෂ්‍යයේ පිහිටා තිබෙන බව පුරාතණයේ සිටම පැවත එන කරුණකි. බෝවතැන්න ජලාශයෙන් වටවී ඇති උස් බිමක ගෙඩිගේ පිහිටීම  හේතුවෙන් වඩාත් සුන්දර වටපිටාවක් නිර්මාණය වී තිබේ. නාලන්ද ගෙඩිගේ භූමියට නීල වර්ණයෙන් ඈතින් පෙනෙන රමණීය දුම්බර කඳුවැටිය හේතුවෙන් තවත් මනස්කාන්ත සිතුවම් රැසක් නෙත් අභියස සිතුවම් කිරීමට සමත්ව ඇත.

පුරාණ සම්පූර්ණ ගල් විහාරයක් ලෙස සැලැකෙන නාලන්ද ගෙඩිගේ සම්බන්ධයෙන් පළමුව වාර්තා වන්නේ  ඉංග්‍රීසි ජාතිකයන්ගේ වාර්තාවලය. රාවණා රජුගේ පුත් ඉන්ද්‍රජිත් ඔහුගේ යාග හෝම කටයුතු සඳහා මෙම ස්ථානය භාවිතා කරන ලද බවටත්, මෙම ස්ථානයේ විශ්ව ශක්තිය ගැබ්ව ඇති බවටත් විශ්වාසයන් පවතී.

වර්ෂ 1893 දී ප්‍රසිද්ධ වැඩ දෙපාර්තුමේන්තුව විසින් එකල කුඹුරු යායක මැද පිහිටා තිබු නාලන්ද ගෙඩිගේ නටබුන් සහිත ගොඩනැගිල්ල රජයට පවරාගෙන තිබේ. මුල්ම පුරා විද්‍යා කොමසාරිස් එච්.සී. බෙල් ද මහතා විසින් මෙම ස්ථානය ගවේෂණය කොට ඇති බවට වාර්තාවල සඳහන්ව ඇත.

බෙල් මහතා විශ්‍රාම යාමෙන් පසු නාලන්ද ගෙඩිගේ පිළිබඳව එතරම් අවධානය යොමු නොවුණු  අතර, පසුව ගෙඩිගේ ප්‍රතිසංස්කරණය  කටයුතු කඩිනම් වුයේ මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ඉඳි  කිරීමට පියවර ගත් බෝවතැන්න ජලාශය හේතුවෙනි. ගෙඩිගේ පැවැති බිම බෝවතැන්න ජලශයට යටවීමට නියමිතව පැවතීම  හේතුවෙන් එහි කොටස් සියල්ලම ගලවා සංකේත යොදා පුරාවිද්‍යා කාර්යාලයේ තැබීමට පියවර ගන්නා ලදි. මිසරයේ අස්වාන් වේල්ල ඉදි  කිරීමේදී අබු සිම්බල් දේවාලය ගලවා ඉවත් කොට යළි එය වෙනත් ස්ථානයක ඉඳි  කරන ලද අයුරින් නාලන්ද ගෙඩිගේද යළි සකස්  කිරීමට සැලැසුම් කෙරිණි.

එම ප්‍රදේශය ආශ්‍රිත කඳු  ගැටයක යළි ගෙඩිගේ ඉදි  කිරීමට මුලින්ම සැලැසුම් සකස් කෙරුණත්, පසුව එය එම ස්ථානයේම පෙර පරිදිම ඉඳි  කිරීමට පියවර ගන්නා ලදි. එවකට සංස්කෘතික කටයුතු අමාත්‍ය ඊ. ඇල්. බී. හුරුල්ලේ මහතාගේ තීරණයකට අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති මහාචාර්ය පී. එල්. ප්‍රේමතිලක මහතාගේ අධික්ෂණය යටතේ නැවත ඉදි  කිරීමේ කටයුතු සිදු කෙරිණි. ඒ අනුව නාලන්ද ගෙඩිගේ පිහිටි පැරණි ස්ථානයේම අඩි 23 ක් බිම උස්සා හතරැස් බිම් කඩක යළි පෙර පරිදිම නාලන්ද ගෙඩිගේ ස්ථාපිත කරන ලදි. ශ්‍රී ලංකාවේ මෑත යුගයේ සිටි ජ්‍යෙෂ්ඨතම පුරාවිද්‍යාඥයකු වූ මහාචාර්ය පී. එල්. ප්‍රේමතිලක ශුරීන්ගේ විශිෂ්ට මෙහෙවර නොවුණේ නම් ඇතැම් විට නාලන්ද ගෙඩිගේ මහවැලි ජලාශයට යටවී සඳහටම අපට අහිමි  වන්නට ඉඩ තිබිණි. සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කොට යළි සකස් කරන ලද මෙරට එකම පෞරාණික ගොඩනැගිල්ල වන්නේද නාලන්ද ගෙඩිගේ පමණී. එහෙත් මෙම ගොඩනැගිල්ල අද දකින අයකුට එය නැවත සකස් කරන ලද ගොඩනැගිල්ලක් බවට හඳුනා ගැනීමට පවා නොහැකි ලෙස අති විශිෂ්ට  ලෙස ප්‍රතිනිර්මාණය කොට තිබේ. පැරණි අයුරින් ඉද්‍ි  කරන ලද නාලන්ද ගෙඩිගේ 1985 වසරේ ජුනි 13 වැනිදා යළි විවෘත කෙරිණි.

කෙසේ නමුත් මෙම අපුර්වතම ගොඩනැගිල්ල කවුරුන් විසින් ඉඳි කරන ලද්දක්ද යන්න සම්බන්ධයෙන්  ඉතිහාසයේ සාක්ෂි කිසිවක් දැන ගන්නට නොලැබේ. එහෙත් නාලන්ද ගෙඩිගේ අවට ගැන සඳහන් ඉතිහාස මුලාශ්‍රවල මේ පිළිබඳව ඇතැම් දේ සඳහන්ව පවතී. මහාවංශයේ සඳහන් වන පරිදි පළමුවන පරාක්‍රමබාහු රජු බලය තහවුරු කර ගැනීමට  1153 ත් 1186 ත් අතර කාලයේදී ගජබාහු සහ මානාභරණ යන රජවරුන් සමග කරන ලද සටන්වලදී නාලන්දේ බලකොටුවක්  පිහිටුවාගෙන ඇති බවය.

එමෙන්ම වර්ෂ 1818 උඩරට කැරැල්ල පැවැති සමයේ බ්‍රිතාන්‍ය සේනාංකයක් මෙහි ස්ථාපිත කොට ස්ථාන ගත කොට තිබූ බව පැවැසේ. බ්‍රිතාන්‍යයන් විසින් බලකොටුව ඉදිකර තිබූ කඳුගැටය කොටුවේගොඩැල්ල ලෙස අදටත් හඳුන්වනු ලබයි.

මෙහි පුරා විද්‍යාඥයන් සිදු කරන ලද කැණීම්වලදී බොහෝ දුරට ගෙවීගිය ටැම් ලිපියක් හමුව තිබේ. එමගින් එවකට මෙම ස්ථානයේ විහාරයක් පැවැති බවට තොරතුරු  හෙළිව තිබේ. විෂමාචාර ලෙස හැසිරෙන විහාර කාර්මිකයන් විහාර භූමියෙන් නෙරපිය යුතු බවත්, මිනීමරුවන්, සොරුන් විහාර භූමියට වැද්ද නොගත යුතු බවත්, විහාරයේ සියලු‍ කටයුතු සංඝ සම්මුතියෙන් සිදු කළ යුතු බවටත්  එහි දක්වා ඇති බව සඳහන්ය.  එය ගෙඩිගේ අසල පිහිටි පුරාවිද්‍යා කෞතුකාගාරයේ තබා ඇත. එමගින් හෙළි වන්නේ එවකට මෙම ස්ථානයේ විහාරයක් පැවැති බවය. ක්‍රි. ව. නවවන හා දහවන සියවස්වලට අයත් බව අක්ෂර විකාශනය මත නිගමනය කර ඇති එම කරුණු පදනම් කොට ගෙන ක්‍රි. ව. අටත් දහයත් අතර කාලයේදී නාලන්ද ගෙඩිගේ නිර්මාණය කොට ඉඳි  කරන්නට ඇතැයි ඉතිහාසඥයන්ගේ මතය වී තිබේ.

ක්‍රි. ව. හයවැනි හා නවවැනි සියවස දක්වා වූ කාලය ඉන්දියාවේ පල්ලව අධිරාජ්‍ය සමයේ පැවැති මාමල්ලපුරම් පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුතම අවිධිය ලෙස සැලකෙන  නරසිංහවර්මන් රජුගේ කාලයේ ගෘහ නිර්මාණ ශෛලියට අනුව නාලන්ද ගෙඩිගේ නිර්මාණය වී තිබේ.  ශෛලමය වහල ශිඛරයක් ලෙසින් නිර්මාණ  කිරීම පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයේ අනන්‍යතාව දක්වන සලකුණකි. එම ලක්ෂණ හේතුවෙන් නාලන්ද ගෙඩිගේ පල්ලව සම්ප්‍රාදයට අයත් බව පිළි ගැනේ.  ඒ අනුව බලන විට දකුණු ඉන්දීය පල්ලව වාස්තු විද්‍යාවට අනුව ඉදි කොට ඇති මෙරට එකම ගොඩනැගිල්ල වන්නේද නාලන්ද ගෙඩිගේ පමණී. මෙහි වහලය ඇතුළු සම්පූර්ණ ගොඩනැගිල්ලම කලු‍ගල් භාවිතා කරමින් ඉදි  කොට ඇති අතර, ඒවා ඉතාමත්ම සියුම්ව එකිනෙකට වද්දවා  තිබේ. ගඩොල් භාවිත කරමින් ගොඩනැගිල්ල වටා ප්‍රාකාරයක් නිර්මාණය කොට තිබේ.

නාලන්ද ගෙඩිගේ නිර්මාණය කොට ඇති ආකාරයට දකුණු ඉන්දියාවේ පාලර් නදී මුවදොර මහාබලිපුරම්හි කඳු  ගැටයක් මත මාමල්ල ශෛලියේ නිර්මාණ සම්පූර්ණනේම කලු‍ගල් පමණක් භාවිතා කරමින් නිර්මාණ කොට ඇත. එකී ලක්ෂණ  හේතුවෙන්ද නාලන්ද ගෙඩිගේ පල්ලව සම්ප්‍රදායට අයත් බවට පිළි ගැනේ.

හින්දු සේම බෞද්ධ වාස්තු විද්‍යාත්මක ලක්ෂණද මෙහි දැකිය හැකි අතර, පිවිසුම බෞද්ධ විහාරස්ථානයක් මෙන් නිර්මාණය කොට තිබේ. ගොඩනැගිල්ල ප්‍රවේශයේ සඳකඩ පහණ, කොරවක්ගල, පියගැට පෙළ ආදියෙන් යුක්ත වන අතර, කොරවක් ගලෙහි ලියවැලකින් සමන්විත මකර රුවක්ද නිර්මාණය කොට ඇත. නාලන්ද ගෙඩිගේ ශිලා ස්තම්භ 24 කින් සමන්විත ආලින්දයක්, අන්තරාලයක් සහ මණ්ඩපයක් ඊට එකතු කොට ඇති අයුරු දැකිය හැක.

මෙම ගොඩනැලිල්ලේ කැටයම්  දෙස බැලීමේදී හින්දු කෝවිලක රුවක්සේ පෙනෙන අතර, එහෙත් මෙහි මැද්දේ ගර්භය තුළ අනුරාධපුර යුගයට අයත් ලක්ෂණ සහිත අභය මුද්‍රාවෙන්  ඇති බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණ කොට තිබේ.

නාලන්ද ගෙඩිගෙට ඇති පිවිසුමේ කලු‍ගල් උළුවස්සක් සවි කොට ඇති අතර, එය චාම් කැටයම් සහිත වේ. ගෙඩිගෙට ඇතුළු වූ විට එහි උතුරු දෙසින් ගඩොලින් කරන ලද වේදිකාවක් මත කුඩා ස්ථුපයක් ඇති අතර, එහි පේසා වළලු‍ තුනක්ද දැකිය හැකිය. ඊට යාබදව ඉදි කරන ලද බෝධි වෘක්ෂයක්ද  දැකිය හැක.

මෙම ස්ථානය නැරඹීමට දේශීය සංචාරකයන් මෙන්ම විදේශීය සංචාරකයන් විශාල පිරිසක් නිරන්තරයෙන් පැමිණෙති. එහෙත් එහි විවිධ දැනුම්දීම් සඳහන් නාම පුවරු වැඩි බහුතරයක් සිංහල බසින් පමණක් ප්‍රදර්ශණය කොට තිබීම හේතුවෙන් තමන් අපහසුතාවලට පත්වෙන බව විදෙස් සංචාරකයෝ පවසති.

නාලන්ද ගෙඩිගේ ප්‍රදේශයේ කරන ලද විවිධ කැණීම්වලින් හමු වූ පුරාවස්තු රැසක් ඒ අසල  ඇති කෞතුකාගාරයේ ස්ථාපිත කොට තිබේ. පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව මගින් පාලන වන මෙමගින් නාලන්ද ගෙඩිගේ සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ලබා ගැනීමට එහි යන නරඹන්නන්ට  හැකියාව ලැබී තිබේ.

බෝවතැන්න ජලාශයෙන් වට වූ උස් බිමක පිහිටි නාලන්ද ගෙඩිගේ වටා පවතින ගස්වැල් හේතුවෙන් වන මැද පිහිටි ආරාණ්‍ය සේනාසනයක් පරිද්දෙන් එය තව තවත් සුන්දර වී පවතී. දැඩි නිස්කලංක බවකින් හෙබි සිත සුවපත් කරන අසිරිමත් ස්ථානයක් ලෙස නාලන්ද ගෙඩිගේ හා ඒ ආශ්‍රිත කලාපය හැඳින්විය හැකිය.

(*** තලවාකැලේ ශාන්ත චන්ද්‍රසිරි හුළංනුගේ)