විශ්වාසය ගොඩනැගීමේ අභියෝගය


ආර්ථික ව්‍යුහය පිළිබඳව අලුත් කතිකාවතක් ආරම්භ වී ඇත. රට තුළ ප්‍රශ්න පැන නැගී තිබේ. සාමාන්‍ය ජනතාවට බලපාන කරුණු ගණනාවකි. එදිනෙදා ආදායම් මාර්ග අවහිර වී ඇත. ආහාර ද්‍රව්‍යවල පවා මිල ඉහළ ගොස් තිබේ. ජීවත්වීම අපහසු බවට මැසිවිලි නැගේ. ජනතාවට පමණක් නොවේ. රජයේ ආදායම සහ වියදම ද සංකීර්ණ තැනෙකය. රාජ්‍ය ආදායම පහත වැටී ඇත. වියදම පාලනය කරගත නොහැකි තරමට ඉහළ නැග තිබේ. විශේෂයෙන් සෞඛ්‍ය වියදම අපේක්ෂා නොකළ තරමට වැඩි වී ඇත. රට තුළ පවතින මුල්‍ය වාතාවරණය හා සමාන්තරව විදේශ විනිමය සම්බන්ධව එල්ල වී ඇති පීඩනය ද දරුණුය.

එක පැත්තකට විසඳුමක් නිර්මාණය කළහොත් අනෙක් පැත්ත සමබර නොවේ. දූරදර්ශී ක්‍රියාමාර්ග අවශ්‍ය බව පෙනේ. කෙටි කාලීන විසඳුමක් පමණක් නොව අනාගතය සලකා කෙරෙන දීර්ඝ කාලීන ස්ථිර සැලැස්මකට ද යා යුතුව තිබේ.

ආර්ථික ගැටලුවලට පදනම්ව ඇති හේතු පැහැදිලිය. කොවිඩ් වසංගත තත්ත්වයයි. ලෝක ආර්ථිකයට ද විශාල බලපෑමක් කර ඇත. නිෂ්පාදනය අඩාල වී ඇති අතර වෙළඳාම සීමා වී තිබේ. අලුත් වටයකින් සෑම අංශයකම පිරිවැය ඉහළ ගොස් ඇත. නිපදවීම, ප්‍රවාහනය හා අලෙවිය සඳහා බාධා මතු වී තිබේ.

අවසානයේ දී පාරිභෝගිකයා මත පැටවෙන අමතර බරකි. දරිද්‍රතාව තවත් වටයකින් ඉහළ නැගීම මෙහි ප්‍රතිඵලයකි. නිෂ්පාදනය, රැකියා උත්පාදනය හා ණය බර මැදි ආදායම් රටවල සැලකිය යුතු අර්බුද මතු කර ඇති බව දැක්විය යුතුය. පීඩනය හේතුවෙන් නැගෙන ජනතා හඬ රාජ්‍ය නායකයන්ගේ මෙතෙක් තිබුණ ජනප්‍රියත්වය අඩු කර ඇති බව පෙනේ.


විශ්වාසය, විනිවිදභාවය හා ආරක්ෂාව
අවධානය යොමු කළ යුතු පැති ගණනාවකි. ජනතාව ආරක්ෂා කරගැනීම, විශ්වාසය දිනාගැනීම හා විනිවිද භාවයකින් ක්‍රියාත්මක වීම අදට ගැලපෙන සංකල්ප බව දැක්විය යුතුය. අපහසුතා මැද ක්‍රියාත්මක කරන නැගෙන ආර්ථික වැඩපිළිවෙළ කෙරෙහි ජනතා විශ්වාසය දිනා ගැනීම වැදගත්ය. ආර්ථිකය නිසි මගට ගැනීම සඳහා ගන්නා තීරණවල විනිවිදභාවය ඉතාම තීරණාත්මක සාධකයකි. මෙම කරුණු දෙක අතර වැදගත්ම කාරණය ජන ජීවිත  ආරක්ෂා කරගැනීමය. මෙකී කුලුනු තුන පදනම් කරගතහොත් රටට ගමනක් තිබේ.

විශ්වාසය ගැන දක්වන විට විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් තිබේ. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රජය ගෙන යන එන්නත්කරණ වැඩසටහන ජනතා විශ්වාසය දිනාගෙන ඇත. රට පුරා සෑම කෙනෙක්ම එන්නත ලබාගැනීමට උනන්දු වෙමින් සිටිති. දිග පෝලිම්වල රැඳී සිටිමින් නිලධාරීන්ට දොස් කියමින් සෞඛ්‍ය ආරක්ෂාව ගැන අවධානයකය. මෙම විශ්වාසය ආර්ථික ක්‍රමය ගැන ද තිබිය යුතුය. ආණ්ඩු ගන්නා තීරණ ජනතාව තවත් පැත්තකට කරන හෝ සංවර්ධනය බැහැර කරන තීරණ නොවේ.

 කොවිඩ් එන්නත ගැන දූෂමාණ ආරංචි සහ විපක්ෂයේ අසත්‍ය චෝදනා ජනතාව නොපිළිගත් ආකාරයට රට ඉදිරියට ගෙන යන අලුත් ප්‍රතිසංස්කරණ ගැන ද උපේක්ෂා සහගත වීම ජනතාවගේ වගකීමකි. එයින් බැහැරවෙන තැන්වලදී ඇතිවන දුබලතා සීමිත කාලයක් තුළ ගත යුතු තීරණ ප්‍රමාද කරවයි. එය ලෝක තරගකාරීත්වය හමුවේ සෑහෙන බාධාවකි. ජනතාව හා සමාජය අතර තිබිය යුතු අන්‍යොන්‍ය බැඳීම ඉතාම වැදගත්ය. ආණ්ඩුව හා ජනතාව අතර සන්නිවේදනය මෙහිදී වැදගත් සාධකයකි. අද පවතින නව සමාජ මාධ්‍ය ව්‍යුහයට සෑහෙන බලයක් තිබේ. එකිනෙකට වෙනස් මත නිතර මතුවෙයි. කරුණු විකෘති කෙරේ. සාධනීය පියවර තුළ පවා සැකය සහ අවිශ්වාසය ඇති කරවයි. මධ්‍යස්ථ මතයට ඉඩක් නැත. ජනතාව තුළ ඇති වේදනාව හා අපහසුතා සමාජ මාධ්‍ය තුළින් මතු කෙරේ. එය විසඳුමක් ලබා දෙන ක්‍රමයක් ද යන්න කල්පනා කිරීම මධ්‍යස්ථ ජනතාවගේ යුතුකමකි.

ආර්ථික කළමනාකරණය අරමුණු කරගෙන යම් අවස්ථාවල රජය තාවකාලික විධිවිධාන පනවමින් සිටී. මිල පාලනය හා හදිසි නීති රෙගුලාසි එයින් එක පැත්තකි. විදේශ සංචිත ආරක්ෂා කරගැනීම අරමුණු කරගෙන ආනයන සීමා කර ඇත. සැකය හා අවිශ්වාසය ඇති කරන සාධක බව පෙනේ. අනවශ්‍ය තැති ගැනීම අවම කර වෙළඳපොළ ක්‍රියාකාරීත්වය තහවුරු කරන වෑයමක් තිබිය යුතුය. ඇති හැකි පිරිස මුදල් හා භාණ්ඩ රැස්කර ගනිමින් සිටින අතර එය වෙළඳපොළ තුළ අසාමාන්‍යතාවකි. භාණ්ඩ හිඟය ගැන සැකයක් ඇති කෙරේ. ඇතැම් සීමා බලපවත්වන නමුත් අනර්ථයක් ඇති නොවන බව ඒත්තු ගන්වන්නේ කෙසේද? සාධනීය පියවරකට යා යුතුය. එය කළ හැකි ක්‍රියාත්මක වන ආකාරයෙන් පමණකි. සැපයුම අඛණ්ඩව කරගෙන යෑම සහ තරගකාරීත්වයට ඉඩ දීම හැර අනෙක් පිළියමක් නැත. විවෘත ආර්ථිකයේ මූලික ලක්ෂණවලින් බැහැර විය නොහැකිය. පාරිභෝගික සමාජය ඉකුත් වසර හතළිහකට වඩා කාලයක් එහි ගත කර ඇත. අවශ්‍ය අවස්ථාවක රජයට මැදිහත් විය හැකිය. එහෙත් පෞද්ගලික අංශයේ ව්‍යවසායකත්වය හා සමග සමාන්තරව බව සඳහන් කිරීම වටී.


පැලැස්තර විසඳුම් නැත
ලෝකයේ පවතින රාමුව තුළ අලුත් ව්‍යුහ සකස් වෙමින් තිබේ. පසුබෑම තුළ ප්‍රතිසංස්කරණයක් ඇත. විවෘත ආර්ථික ක්‍රමයේ මූලධර්ම තවත් වටයකින් ශක්තිමත් වන බව අවබෝධ කරගත යුතුය. සැපයුම් චක්‍ර තාවකාලිකව අභියෝගයට ලක්ව ඇත. කොවිඩ් වසංගත තත්ත්වය පාලනය සමග නවීන ආර්ථික මූලධර්ම සහ තරගකාරී රටාව නැවත වටයකින් ඇරඹෙනු ඇත. බලශක්ති ප්‍රභවවල අලුත් මුහුණවර හා තාක්ෂණයේ වේගවත් දියුණුව එහි වැදගත් සාධක බවට පත් වේ. එයට අනුගතවීම හැර තාවකාලික විසඳුම් වලංගු නැත. අනාගතයට දොරටු විවෘත කරන ශක්තිමත් අලුත් සැලැස්මක් රටට අවශ්‍යය. ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගත යුතුය. අපට අත්දැකීම් තිබේ. ත්‍රස්තවාදය පැවැති කාල වකවානුවේ රටට වාණිජ ණය ලබාගත හැකි වූයේ නැත.

පසුගිය වසර දහය තුළ විශාල වශයෙන් වාණිජ ණය ලබා ගෙන ඇත. ඒවායේ පොලිය අධිකය. වාණිජ ණයවලින් වැඩි කොටසක් පරිභෝජනයට වෙන් කරන ලද බව පෙනේ. පාරිභෝජනය අලුත් ධනයක් උපදවන්නේ නැත. ආයෝජනය නැංවිය යුතුය. විවිධ හේතු මත ප්‍රමාද කරන ලද ආයෝජන රජයේ ණය හා ණය වාරික ගෙවීම දරුණු තැනකට කැඳවා තිබේ. දැනට ඇති කුණාටුව එහි ප්‍රතිඵලයකි. රජයේ සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වියදම අනෙක් අභියෝගයකි. රජය ලබා ගන්නා ණයවලින් පරිභෝජනය හැරුණුකොට තවත් කොටසක් අසාර්ථක රාජ්‍ය ව්‍යවසාය නඩත්තුවට වැය කරමින් සිටින බව දැක්විය යුතුය. එය පුන පුනා පෙන්වා දෙන කරුණකි. එයින් ගැලවෙන්නට රජය නිර්භීත නැත.

ණය බර ගෙවාගත හැකි තැනට රාමුව සකස් කරගැනීම මෙම අවස්ථාවේ දී වැදගත්ය. ණය නැවත ප්‍රතිව්‍යුහගත කරන සේ ණය හිමි රටවල්වලින් ඉල්ලා සිටිය හැකිය. සමහර ආයතනික හා වාණිජ ණය ගෙවිය නොහැකි බව දක්වන අතර තවත් ඒවා වෙනුවෙන් කල් ඉල්ලා සිටීම ප්‍රශ්නයක් නොවේ. සමහරවිට වසර දෙක තුනකට ශ්‍රී ලංකාවට වාණිජ ණය නොලැබෙන්නට එය හේතුවක් විය හැකිය. එවැනි ඉල්ලීමකට සමාන්තරව ජාත්‍යන්තර ප්‍රදානක ආයතන සමග අලුත් ණය සංචිත පහසුකම් ඇති කරගත හැකිය. මෙහිදී ප්‍රදානක ආයතන අමිහිරි යෝජනා කරන්නට ඉඩ තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය අධ්‍යයනය කරන පිරිස එහි වෙනස්කම් අවශ්‍ය බව දක්වනු ඇත. ප්‍රදානක ආයතන සමග සාකච්ඡා කිරීමට කලින් රටට කරගෙන යා හැකි ප්‍රතිසංස්කරණ කෙරෙහි එකඟතාව වැදගත්ය. සාකච්ඡාවක් මගින් රටට අනන්‍ය න්‍යාය පත්‍රයක් සකස් කරගත යුතුය. එවැනි ව්‍යුහාත්මක සීරුමාරුවලින් ආයෝජකයන්ට විශ්වාසයක් ඇති කෙරේ. ආර්ථිකය පුළුල් වන අතර රට තුළ අලුත් බලාපොරොත්තු ඇති කරවනු ඇත.


ඉතිහාසයෙන් ඉගෙන ගත යුතු පාඩම්
ගෝලීය ආර්ථිකයෙන් හුදෙකලා වීම, ඍජු තීරණ නොගැනීම හා තරගකාරීත්වයට ඉඩ නොදීම යනා දී කරුණු ඉදිරියේ ශ්‍රී ලංකාව හොඳම පාඩම් ඉගෙන ගෙන තිබේ. ලංකාවට අපනයන සම්බන්ධ කීර්තිමත් ඉතිහාසයක් තිබේ. රජවරු රටවල් සමග වෙළඳ කටයුතු කරගෙන ගොස් ඇත. ඉතිහාසයට අනුව අනුරාධපුරය වෙළඳ නගරයකි. තපස්සු භල්ලුක වෙළඳුන්ගේ සිට චීන සේද මාවත දක්වා පරාසයකට විහිදී තිබේ. බටහිර රටවල් පවා ලංකාව අපනයනයට සුදුසු තැනක් සේ දියුණු කරන ලද අතර ඔවුහු තෝරාගන්නේ ඔවුන්ට අවශ්‍ය වෙළඳ ද්‍රව්‍ය පමණකි. මේවා අමතක කළ යුතු නැත. අපනයනය වැදගත් සාධකයකි. නිෂ්පාදනය වැඩි කරන අතර උසස් තත්ත්වයේ හා අඩුම පිරිවැයකින් නිපදවන දේ ලෝක වෙළඳපොළ ඉදිරිපත් කිරීමට හැකි විය යුතුය.

රටට හොඳම සැලසුම් තිබේ. ආණ්ඩු මාරුවන අතර ඒවා ද වෙනස් කෙරේ. හැමදාමත් එකම පාඩම් ඉගෙන ගනිමින් සිටීම ඉතාම නරක තත්ත්වයකි. දැනටමත් ගත යුතුව ඇති තීරණ ප්‍රමාද කළහොත් ණය ගෙවා ගත නොහැකි රටක් බවට පත්වීම වැළැක්විය නොහැකිය. එය ඉතාම අවදානම් සහගතය. විදේශ සංචිත තවත් පිරිහෙන අතර විනිමය අනුපාතිකය තවත් දුර්වල වීමට ඉඩ තිබේ. උද්ධමනය ඉහළ නගින අතර පොලී අනුපාත වේගයෙන් වර්ධනය වන අවදානමක් ඇති කෙරේ. ඒවායේ ප්‍රතිඵල දරුණුය.

ජනතාව තවත් දුෂ්කර තැනකට තල්ලු වෙයි. තරගකාරීත්වය හීනවීම මත දෙස් විදෙස් ආයෝජන තවත් අඩුවනු නිසැකය. එහි ප්‍රතිඵලය අනිසි විපාක ඇති කරනු ඇත. රජයේ ආදායම සඳහා තව තවත් බදු පනවන්නට සිදුවනු ඇති අතර එවැනි වාතාවරණයක් තුළ වැළැක්විය නොහැකි වනු ඇත. ආර්ථිකය දුෂ්කර තැනකට පත්වන පීඩාව උහුලා ගත නොහැකි අතරවාරයේ ජනතාව පාරට බැස විරෝධය පළ කරන්නට ඉඩ තිබේ. ලෝකයේ සමහර රටවල එවැනි උණුසුමක් හටගෙන ඇත. ආර්ථික ක්‍රියාකාරීත්වය අඩු වී ධනය හිඟවන විට ප්‍රශ්න මතුවනු ඇති අතර දේශපාලන බලවේග හිස ඔසවන්නට ඉඩ තිබේ. ආණ්ඩු වෙනස් කිරීමෙන් හෝ ඇමැති මුහුණු වෙනස් කිරීම නිසි උත්තරයක් නොවේ. අලුත් ආණ්ඩුවකට පවා අද පවතින වහා පිළිතුරු සොයා ගත යුතු ආර්ථික ගැටලුවලට මැජික් විසඳුම් නැත. සමහරවිට අලුත් ආණ්ඩුවකට තවත් දුෂ්කර විය හැකි අතර එයට හේතුව දැන් පවතින ස්වභාවයට වඩා ජනතාව තුළ, තවත් බලාපොරොත්තු සෑහෙන ප්‍රමාණයක් වැඩි වීමය.

විපක්ෂ දේශපාලන පක්ෂවලට ද මෙම තීරණාත්මක ආර්ථික පසුබිම තුළ වගකීමක් තිබේ. පවතින ගැටලු හා අසංකීර්ණ ව්‍යුහයක් තිබිය දී බලය අල්ලා ගැනීම වාසිදායක නැත. මෑතක ග්‍රීසියේ මතු වූ ආර්ථික අර්බුදය එය සනාථ කළේය. කෙටි කාලයක් තුළ ආණ්ඩු කිහිපයක් පෙරලා අලුත් බලවේග පැමිණි නමුත් ආර්ථිකය හදන්නට වෙනස් පිළිවෙළක් තිබුණේ නැත. ජර්මනියේ හිටපු චාන්සලර් ෂෝඩර් ගේ ප්‍රතිසංස්කරණවල වාසිය අත්පත් කරගත්තේ ඇන්ජෙලා මර්කර් බව පෙන්වා දිය යුතුය. යුද්ධය දිනාගත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මුහුණ දුන්නේ ද ඒ හා සමාන ඉරණමකටය. ආර්ථිකය නිවැරදි මගට යොමු කරන තීරණ තෙක් ජනතාව බලා සිටියෝය. ඉනික්බිතිව බලයට පැමිණි යහපාලන ආණ්ඩුව ද ආර්ථිකය වේගවත් කරන නිසි ක්‍රියාමාර්ග අනුගමනය කළේ නැත. ජනතාවට අවශ්‍ය සැනසිලිදායක වාතාවරණයකි. දරුවන්ට යහපත් අනාගතයකි. ලෝකයේ සිදුවන දේ ගැන සාමාන්‍ය ජනතාවට අවබෝධයක් තිබේ.

ලෝකයේ පරිවර්තන අනුව රට තුළ දියුණුව අපේක්ෂා කරති. ආර්ථිකය තුළ පැන නැගෙන අවහිර ඉවැසිය හැකි සීමාවක් ඔවුන්ට තිබේ. දරුවන්ගේ අනාගතයට පසුබිමක් නැති බව දැනෙන පළමු අවස්ථාවේ දී ම වෙනස් වෙති. දියුණු රටකට ගොස් සාර්ථක වෙන්නට උත්සාහ කරති. ජාතික ප්‍රතිපත්ති සකස් කර උසස් පිළිවෙළකින් රට නැවත ඔසවා තැබීමට පියවර ගැනීම අවශ්‍යය. ඒ සඳහා වන විශ්වාසය, කැපවීම සහ නිසි වැඩපිළිවෙළ පැහැදිලිව හුවා දැක්වීම රජයේ වගකීමකි.


අවදානමක් විය හැකි තනි ගමන
ශ්‍රී ලංකාවේ ජීවත්වන වැඩි දෙනකුට ලෝකයේ අනෙක් රටවල පැවැත්ම ගැන අවබෝධයක් තිබේ. සාධාරණ අවස්ථා හා යුක්තිගරුක පිළිවෙළ ගැන අදහසක් ඇත. ඇමරිකාවට, බ්‍රිතාන්‍යයට, ඕස්ට්‍රේලියාවට හෝ අඩුම තරමින් කැනඩාවට හෝ සංක්‍රමණය වීම ගැන අදහසක් ඇති සියලුදෙනා එම රටවල නීති රීති, බදු ක්‍රම, සහනාධාර, රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් අවබෝධයක සිටින බව නිසැකය.

එහෙත් ශ්‍රී ලංකාවේ දී එවැනි පිළිවෙළ ඇති කර රට නගා සිටුවීම ගැන එකඟතාවක නොමැති ඇයි?
ජනතාව තුළ පවතින නොකැමැත්තට වඩා දේශපාලනඥයන්, දේශපාලන පක්ෂ ඉතාම නරක අන්දමට ජනතාව මුළා කරන බව සැක කළ හැකිය. ඉතිහාසයේ සිට බලයට පත් වූ පක්ෂ ජනතාවට සහන දෙන හා ජනතාව ජීවත් කරවන බව දක්වමින් ජනතාවගේ බදුවලින්ම අකාර්යක්ෂම ක්‍රමයක් ඉදිරියට ගෙනැවිත් තිබේ. විසිඑක් වැනි සියවසේ පශ්චාත් කොවිඩ් යුගයට එම පිළිවෙළ සාර්ථක වෙන්නේ නැත.

ලෝකයේ අනෙක් රටවල් පැත්තකට කර අපට අවශ්‍ය දේ අප නිපදවාගෙන අපට පමණක් අනන්‍ය ක්‍රමයකට අනුව පැවැතිය හැකි යැයි කල්පනා කිරීම වරදකි. සියලුම නිෂ්පාදනවලට අති විශාල වන්දියක් ගෙවන්නට සිදු වෙයි. එය පැටවෙන්නේ පාරිභෝගිකයාටය. වෙළඳපොළ විකෘතියක් සිදුවන අතර එහි නරක විපාකයකි. ලෝකයේ අනෙක් රටවල් සමග ගනුදෙනු කරන පිළිවෙළ පුළුල් නොකිරීම අවදානම් සහගතය. ශ්‍රී ලංකාව අනෙක් රටකින් යමක් මිල දී නොගන්නේ නම් එම රටවල් මෙරට නිෂ්පාදනයක් මිලදී ගැනීමට සාධාරණ හේතුවක් තිබේද? වෙළඳාම, සංචාරක කටයුතු, ආයෝජනය ඇතුළු සියලු අංශ සඳහා අලුත් මුහුණුවරක් අවශ්‍ය කෙරේ. එය ශක්තිමත් හා ලෝකයේ අනෙක් රටවලට වඩා අවස්ථා සම්පාදනය කරන එකක් විය යුතුය. ඉදිරියෙන් සිටින අවකාශය තුළ සමාජයේ අනවශ්‍ය තිගැස්ම අවසන් විය හැකි බව සඳහන් කළ යුතුය.

ශ්‍රී ලාංකේය පුරවැසියන්ට ආත්ම ශක්තිය ගැන විශ්වාසයක් තිබේ. ඉතිහාසයේ සිට දක්ෂතා පෙන්නුම් කර ඇති රටකි. ලෝකයේ සෑම තැනෙකම ඉතාම දක්ෂ ලෙස සේවය කරති. නොයෙක් අංශවල නිතරව ශ්‍රී ලාංකේය නාමය ඉහළින් ඔසවා තබා තිබේ. අපට ඇති ගැටලුව දේශපාලන ක්‍රමය බව පෙනේ. ඉතාම අධික පිරිවැයක් සහිත මැතිවරණ ක්‍රමය, ජනතාවට සමීප නැති මහජන නියෝජිතයෝ, ප්‍රතිපත්ති වෙනුවට පාක්ෂිකයන්ට පමණක් සලකන ක්‍රම යනාදිය රට අවදානම් තැනකට කැඳවාගෙන පැමිණ තිබේ. තීරණ ගැනීමට ඉඩ නොදෙන රාජ්‍ය ව්‍යුහය හා සීමාව ඉක්මවන ශ්‍රම බළකාය ඉතා වියදම් සහගතය. රජයේ වියදම නාස්ති කිරීමකි. රජයට අයත් අසමත් ව්‍යවසාය රටට ජවයක් සපයන්නේ නැත.

මෙම බැමි බිඳ හෙළීම අරමුණු කරගෙන, අලුතින් බලයට එන ජනතා නායකයෝ අවසානයේ දී පවතින විෂම ක්‍රමය තුළ කොටුවෙන අතර පටු සීමිත රාමුවකින් සෑහීමකට පත් වෙති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආර්ථිකය ශක්තිමත් කිරීමේ බලය අලුතින් පවරා තිබේ. ඉක්මන් තීරණ ගෙන පැහැදිලි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍යය.

මෙම අවස්ථාවේදී විපක්ෂ දේශපාලනඥයන්ට ද පණිවුඩයක් තිබේ. රට අසරණ කිරීමෙන් පසු බලය අල්ලා ගන්නා උපාය හැර රටට විකල්පය ඉදිරිපත් කර ජනතාව හමුවට යන ක්‍රියාමාර්ග විපක්ෂ දේශපාලනය අනුගමන කළේ නැත. ඉතිහාසයේ සිට සෑම විපක්ෂයක්ම අනුගමනය කර ඇති පොදු සාධකය එයයි. ආර්ථික හා සමාජ වශයෙන් එල්ල වී ඇති තියුණු අභියෝගය කිසිසේත් මගහැරිය නොහැකි එකකි. ආණ්ඩුවට පමණක් නොව ආණ්ඩුව පෙරළා බලය ගැනීමට අපේක්ෂාවෙන් සිටින දේශපාලන පක්ෂ ද අද පවතින ආර්ථික රාමුව වෙනස් කරන පිළිවෙළ ගැඹුරින් අධ්‍යයනය කළ යුතුය.

(***)

මෙම ලිපිය ගැන ඔබගේ අදහස [email protected] වෙත යොමු කළ හැකි නම් මැනවි.