මෙරට රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමභාවය, අවිධිමත් බව හා වගකීම් විරහිත බව අනාවරණය කෙරෙන පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. රෝගීව සිට මියගිය තම සැමියාගේ විශ්‍රාම වැටුප පුරා වසර හයක් තිස්සේ ලබා ගැනීමට දුෂ්කර ව්‍යායාමයක යෙදෙන තිදරු මව තමන්ගේ අවනඩුව රටට කියා හෝ සාධාරණය ඉටු කර ගැනීමට ප්‍රයත්නයක් දරන්නීය.
ගලේවෙල, බෙලිගමුව ඔය දෙකකැලේ 60 බී නිවෙසේ පදිංචි තේජාවතී ආරියදාස මහත්මිය තම අවනඩුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, සමෘද්ධි සංවර්ධන අධිකාරිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙන්ම වර්තමාන ජනාධිපතිවරයාටද ලිඛිතව දැනුම් දී ඇතැයි පවසන්නීය. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එම ලිපියට ප්‍රතිචාර දක්වමින් අදාළ අංශ වෙත දැනුම් දී ඇත්තේ ඇයට සාධාරණය ඉටු කරන ලෙසය. එහෙත් සමෘද්ධි සංවර්ධන අධිකාරිය හෝ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හෝ ජනාධිපති ලේකම්වරයාගේ ලිපිය තුට්ටුකට මායිම් කර නොමැති බව ඇය පවසන්නීය.
දියණියන් තිදෙනකුගේ මවක වන තේජාවතී ආරියදාස මහත්මිය මේ වන විට ලී මෝල්වලට ගස් කොටන් ලොරිවලට පැටවීමේ කුලී වැඩ කරමින් යම්තම් දිවි ගැටගසා ගන්නීය. ලොරි රථයකට ‘කොට ලෝඩ්’ එකක් පැටවූ විට ඇයට ලැබෙන රුපියල් 500ක මුදල උසස් පෙළ හදාරණ දියණිය ජීවත් කරවීම සඳහා යොදන්නීය. අගහිඟතා නිසාම තම වැඩිමල් දියණියන් දෙදෙනාම විවාහ කර දුන් බවත් එසේ කළේ පවුල නඩත්තු කිරීමට ආදායමක් නොමැති නිසා බවත් ඇය කියන්නීය.
මේ වූ කලී තේජාවතී ආරියදාස මහත්මියගේ කතාව පමණක් නොවේ. මෙබඳු ඉරණම්වලට ගොදුරු වූ හඬක් නැති මිනිසුන් කෙතරම් සංඛ්‍යාවක් මෙරට සිටින්නේද? තේජාවතී ආරියදාස මහත්මිය ඉල්ලා සිටින්නේ සහනාධාරයක් නොවේ. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගලේවෙල ප්‍රදේශයේ සේවය කරමින් සිටියදී හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය ඩබ්ලිව්.ඩී. ලයනල් සෝමතිලක යන සැමියාට අයිති විශ්‍රාම වැටුප වේ.
විශ්‍රාම වැටුප රජයේ සේවකයාගේ අයිතියකි. ඔහුගෙන් පසුව බිරියට, ස්වාමියාට එම විශ්‍රාම වැටුප් හිමිවේ. එය ලබා ගැනීමට රජයේ සේවකයන්, නිලධාරීන් ඉදිරිපිට දණින්වැටිය යුතු නැත. යාදිනි, අඳෝනා, කන්නලව් කළ යුතු නැත. දොළ පිදේනි, සංතෝෂම් ලබා දිය යුතු නැත. ඇඟ මස දන් දිය යුතු නැත. එහෙත් ඒවා බලාපොරොත්තු වන මජරයෝ මේ රාජ්‍ය සේවයේ සිටිති. ඒවා ලැබෙනතුරු ඔවුහු රාජකාරිය නොකරති.
රජයේ සේවකයන්ට, නිලධාරීන්ට වැටුප් ගෙවනු ලබන්නේ රටේ මහ ජනතාවය. ඒ ජනතාව වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කිරීමේ පරම වගවීමක් ඔවුන් සතුව පවතී. එහෙත් මාසේ අන්තිමට ලැබෙන පඩිපත දෙස බලාගෙන වගකීම කර අරින රාජ්‍ය නිලධාරීහු සේවකයෝ සිටිති. මුළු රාජ්‍ය සේවයම ගඳගස්සනු ලබන්නෝ ඔවුහු වෙති.
සැමියාගේ විශ්‍රාම වැටුප ගැනීමට හය වසක් පුරා දුක් විඳින තේජාවතී ආරියදාස මහත්මියගේ කඳුළු කතාවෙන් මෙරට රාජ්‍ය සේවයේ ඇත්ත ඇතුළාන්තය නිරූපණය වන්නේ යයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. වර්තමාන සමෘද්ධි සංවර්ධන අධිකාරියේ, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ලිපි හුවමාරුවලින් දන්වා ඇත්තේ මෙම ආයතන දෙක අතර මනා සබඳතාවක් නොමැතිකම හා ලිපිගොනු නඩත්තුවේදී සිදු වූ අඩුපාඩුවක් නිසා මෙම ප්‍රමාදය සිදු වී ඇති බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.
රාජ්‍ය ආයතන අන්තර් සබඳතාව ඉතා ඉහළින් තිබිය යුතුය. එහෙත් නැත්තේද එයමය. මහා මාර්ග දෙපාර්තමේන්තුව මහ මාර්ගය කාපට් කර ගිය පසු ජල සම්පාදන මණ්ඩලයේ සේවකයෝ එම මාර්ගය හාරා ජල නළ එළති. යළිත් මාර්ගය අලුත්වැඩියා කළ පසු විදුලි බල මණ්ඩලයේ සේවකයෝ එම මාර්ගයේ වළවල් කපා කණු සිටුවති. මේ නාස්තිකර දමන්නේ මහජන මුදල්ය. ආයතන අතර මනා සම්බන්ධතාවක් තිබේ නම් මහජන මුදල් මෙසේ කාබාසිනියා වන්නේ නැත. නිදහස ලබා වසර හැත්තෑ දෙකක් ගෙවෙමින් තිබුණ ද පරිපාලන තන්ත්‍රයේ මෙම අඩුපාඩුව සම්පූර්ණ කර ගැනීමට අපට නොහැකි වී තිබේ. රටක් වශයෙන් අප රට තිබෙන්නේ කොතැනදැයි යන්න එමගින් පැහැදිලිය.
රජයේ සේවකයකු විශ්‍රාම ගිය පසු හෝ මියගිය පසු විශ්‍රාම වැටුප යැපෙන්නන්ට ලැබීමේ නිශ්චිත විධිමත් ක්‍රමයක් තිබිය යුතුය. එබඳු නිශ්චිත ක්‍රමයක් තිබුණද උදාසීන නිලධාරීන්ගේ වරදින් එය ක්‍රියාත්මක වන්නේ නැත. තේජාවතී ආරියදාස වැනි අම්මලාගේ ඉරණම මෙසේ කඳුළෙන් ලියැවෙන්නේ නැත මෙරට රාජ්‍ය සේවයට හොඳ මොළයක් තිබේ. ඒ සම්බන්ධයෙන් ‘විවාදයක් නැත. එහෙත් මොළය පමණක් ප්‍රමාණවත් නැත. හොඳ හදවතක් ද තිබිය යුතුය. එළැඹ ඇත්තේ මෙරට රාජ්‍ය සේවයට හොඳ හදවතක් බද්ද කළ යුතුම පැය වේ.
(***)