උද්ගත වූ සමාජ ආර්ථික අර්බුදය පසුගිය කාලයේදී ක්‍රමයෙන් වැඩෙන්නට විය. රටේ ජනතාවට අත්‍යවශ්‍ය වන ආහාර, ඉන්ධන සහ ඖෂධ හිඟ වීමෙන් ආරම්භ වූ මේ අර්බුදය රටේ සුළු පිරිසකට නොව සැලකිය යුතු පිරිසකට බලපා තිබේ. ඉතා ධනවත් හා වරප්‍රසාදලාභී සුළු පිරිස හැරුණු කොට සමාජයේ අන් සියලු දෙනාට මෙහි බලපෑම අඩු වැඩි වශයෙන් දැනේ. සමාජ ස්ථර වශයෙන් ගත් විට පහළ සමාජ ස්ථරයට මේ ආර්ථික අර්බුදයේ පීඩනය ප්‍රබල ලෙස බලපා ඇත.
එබැවින් අප කළ යුත්තේ මෙම අර්බුදය හමුවේ වඩාත්ම පීඩනයට පත්ව සිටින පිරිස ගැන අවධානය යොමු කිරීමයි. ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ ක්‍රමය ඇතුළත දුප්පතුන් හැටියට හඳුනා ගත් පිරිසට සමෘද්ධිය වැනි සමාජ ආරක්ෂණ ක්‍රම ක්‍රියාත්මක කෙරිණි. දැන් ඒ වෙනුවට අස්වැසුම වැඩසටහන පැමිණ තිබේ.
එහෙත් මේ ආර්ථික අර්බුදය හමුවේ එකී දුප්පතුන් පමණක් නොව තවත් විශාල පිරිසක් පීඩාවට පත්ව සිටිති. ජනගහනයෙන් සියයට 50 කට වැඩි පිරිසක් තමන්ගේ ජීවිතය පවත්වා ගෙන යෑමේ අභියෝගයට අමතරව අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම අතින් බරපතළ අර්බුදයකට මුහුණ පා සිටිති.
මේ අසහනකාරී තත්ත්වයත් සමග ප්‍රචණ්ඩත්වය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවක් දැකිය හැකිය. එයින් ද පෙන්නුම් කෙරෙන්නේ ඉහළ යමින් තිබෙන සමාජ අසහනයයි. උග්‍ර වෙමින් තිබෙන මේ සමාජ පීඩනය තුරන් කිරීම අරබයා රාජ්‍ය මට්ටමින් කළ හැක්කේ කුමක්ද යන්න ගැන වහා අවධානය යොමු විය යුතුය. සාමාන්‍ය පරිදි ජීවිත පවත්වා ගෙන යෑම සඳහා උපකාරී වන දේවල් කළ යුතුය. එහෙත් ඒ ගැන සාකච්ඡා වන බවක් නොපෙනේ.
දිළිඳු ප්‍රජාවට ආරක්ෂණය සැලසීම සඳහා ආණ්ඩුව අස්වැසුම වැඩසටහන ඉදිරිපත් කළේය. මේ වන විට එම වැඩසටහන යටතේ මූල්‍යාධාර ලැබීමට සුදුසු පිරිසක් ද තෝරා ගෙන තිබේ. එහෙත් ඉහතදී සඳහන් කළාක් මෙන් මේ සමාජ ආර්ථික අර්බුදය හේතුවෙන් සමාජයේ බහුතරයක් දෙනා පීඩාවට පත්ව සිටිති. ඒ සියලු දෙනාට සහන සැලීසීම සඳහා අස්වැසුම ප්‍රමාණවත් නොවේ. මූල්‍යමය සහන සැලසීමෙන් පමණක් මේ ප්‍රශ්නය විසඳිය නොහැකිය. පීඩනයට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා ප්‍රමුඛතා පදනමක් යටතේ කළ යුත්තේ මොනවාද යන්න ගැන සිතා බැලිය යුතුය. ඊට අදාළ සාකච්ඡාවක් මේ දක්වා ආරම්භ වී නොමැත.
මේ ජනතා පීඩනයට බලපා තිබෙන හේතු හඳුනා ගැනීමත් ඒවා සමනය කිරීම පිණිස ගත හැකි ක්‍රියාමාර්ග හඳුනා ගැනීමත් වැදගත් වේ. එය පහසු කර්තව්‍යයක් නොවේ. ඊට හේතුව රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක රජයට මැදිහත්වීම සඳහා පවතින ඉඩ ප්‍රස්ථා සීමා සහිත වන හෙයිනි. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අසීමාන්තිකව ණය ලබා ගෙන ඒවා යළි ගෙවා ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී සිටියි. එවැනි සන්දර්භයක රජයට සිය වියදම් සීමා කිරීමට සිදු වේ. එසේ වියදම් කිරීමට නොහැකි බව සත්‍යයක් වුවද අපි මේ ප්‍රශ්නයට විසඳුමක් සෙවිය යුතු වෙමු.
විවිධ අවශ්‍යතා වෙනුවෙන් දරන්නට සිදු වන වියදම් ඉහළ ගොස් ඇති බැවින් අද වන විට ජීවත් වීම පහසු දෙයක් නොවේ. ආර්ථික අර්බුදය පැමිණීමට පෙර තමන් ඉපැයූ ආදායමෙන් වියදම් පිරිමසාගෙන දිවිපෙවත ගැටගසා ගත් මිනිසුන්ට තවදුරටත් එසේ කිරීම දුෂ්කර කටයුත්තක් වී තිබේ. භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඒ තරමටම ඉහළ ගොස් තිබේ.
ආහාර සඳහා කෙරෙන වියදම් හැරුණු විට තවත් මූලික වියදම් තුනක් කිරීමට ජනතාවට සිදු වේ. එකක් අධ්‍යාපනයට කරන වියදම්ය. ශ්‍රී ලංකාව නිදහස් අධ්‍යාපනය සහිත රටක් යැයි ප්‍රකාශ වුවද දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුදල් වියදම් කිරීමට සෑම පවුලකටම සිදු වේ. ඊට හේතුව නම්, අධ්‍යාපන ක්‍රමයේ පවතින අසමානතා නිසා රජයේ පාසල් පද්ධතියෙන් ලැබෙන අධ්‍යාපනය සම්බන්ධයෙන් බහුතරයකට සෑහීමකට පත්විය නොහැකි හෙයිනි.
මෙවැනි සන්දර්භයක සිය දරුවන්ට ලැබිය යුතු අමතර අධ්‍යාපනය ලබා දීම සඳහා උපකාරක පන්තිවලට දරුවන් යොමු කිරීමට මවුපියෝ පෙළඹී සිටිති. උපකාරක පන්ති වෙනුවෙන් ඔවුහු විශාල වියදමක් දරති. මේ තත්ත්වය ග්‍රාමීය ප්‍රදේශවලදී තවත් උග්‍ර වේ. බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල උපකාරක පන්ති නොමැති නිසා දරුවන්ට ළඟම තිබෙන නගරවලට යෑමට සිදු වේ.
ප්‍රවාහන වියදම් සඳහා තවත් අමතර වියදමක් දරන්නට මවුපියන්ට සිදු වේ. මේ ප්‍රශ්නය ගැන අප මේ දක්වා කතා කළේ නැත. මෙය ඉතාම බැරෑරුම් ප්‍රශ්නයක් බව මේ වන විට ඔප්පු වී අවසන්ය. අප මේ ගැන කල්පනා කළ යුතුව තිබුණේ මීට බොහෝ කාලයකට පෙරය. රටේ අධ්‍යාපන ක්‍රමය ශක්තිමත් නම් රජයේ පාසලකට යන දරුවන්ට උපකාරක පන්තිවලට යෑමට අවශ්‍ය නොවේ. එහෙත් ලංකාවේ සිදු වූයේ පාසල් පද්ධතියට සමාන්තරව උපකාරක පන්ති පද්ධතිය ද වර්ධනය වීමය. මේ තත්ත්වය වත්මන් සමාජ පීඩනයේ එක් පැතිකඩකි.
මේ ප්‍රශ්නය දවසින් දෙකෙන් විසඳිය හැකි එකක් නොවේ. මේ සම්බන්ධ රාජ්‍ය ප්‍රතිපත්තිය විය යුත්තේ කුමක්ද යන්න ගැන අපි කල්පනා කළ යුතු වෙමු. අමතර පන්තිවලට නොයා විභාග සමත් විය නොහැකිය යන මතය මේ වන විට සමාජයේ මුල් බැසගෙන තිබේ. අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලදී මේ තත්ත්වය දැඩිව දැකිය හැකිය.
දෙවැන්න, සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්නයයි. නිදහස් සෞඛ්‍ය සේවයක් පවතින බව ප්‍රකාශ වුවද සෞඛ්‍ය සේවා ලබා ගැනීම වෙනුවෙන් ජනතාවට විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබේ. රජයේ රෝහල් පද්ධතියක් පැවතියද බොහොමයක් ඖෂධ හා පරීක්ෂණ පිටින් සිදු කර ගැනීමට සිදුව ඇත. ඇතැම් වෛද්‍යවරුන් මුණගැසීමට ද පෞද්ගලික රෝහල් වෙත යෑමට සිදු වේ. මෙය ද ජනතාව පීඩාවට පත් කරන කාරණයක් බවට පත්ව තිබේ.
තුන්වැන්න, ප්‍රවාහන වියදම්ය. පොදු ප්‍රවාහන පද්ධතියක් රටේ ක්‍රියාත්මක වුවද එහි පවතින දුර්වලතා හේතුවෙන් පෞද්ගලික රථ වාහන භාවිතයට මිනිස්සු හුරුව සිටිති. ඒ සඳහා විශාල පිරිවැයක් දරන්නට සිදු වේ. ආර්ථික අර්බුදයත් සමග සෑම රථ වාහනයකම මිල ගණන් වැඩි විය. සාමාන්‍ය ජනතාව වැඩි වශයෙන් භාවිත කරන යතුරුපැදි ද ඒ අතර විය. ඊට අමතරව ත්‍රිරෝද රථ වැනි කුලී රථ ගමන් බිමන්වලට ගැනීමේදී ද ඒ සඳහා වැඩි මුදලක් ගෙවන්නට සිදුව තිබේ. මේ ආකාරයට ප්‍රවාහන වියදම් ඉහළ යෑම නිසා ජනතාව පීඩනයට පත්ව සිටිති.
තමන්ගේ ආදායම් මාර්ග අහිමි වී ඇත්නම් හෝ අඩු වී ඇත්නම් හෝ මූලික අවශ්‍යතා සපුරා ගනිමින් ජීවත්වීම පහසු දෙයක් නොවේ. ඒ අතරින් ආහාර පිළිබඳ ප්‍රශ්නය විශාල ගැටලුවක් බවට පත්ව තිබේ. දරුවන්ට මනා පෝෂණයෙන් යුත් ආහාර ලබා දිය යුතුය. එහෙත් අද වන විට රටේ ජනතාවගෙන් බහුතරයකට තමන්ගේ දරුවන්ට හොඳ ආහාර වේලක් ලබා දිය නොහැකිය. දරුවන්ට නිසි පෝෂණයෙන් යුත් ආහාර නොලැබුණ හොත් ශක්තිමත් ඉදිරි පරම්පරාවක් ගොඩ නැගිය නොහැකිය.
ආහාර, අධ්‍යාපන, සෞඛ්‍ය සහ ප්‍රවාහන යන මේ ක්ෂේත්‍ර තුනම ජනතාව මත අතිරේක පීඩනයක් පටවන අංශ බවට පත්ව තිබෙන්නේ ඒවා නිසි පරිදි නියාමනය කිරීමට අප අපොහොසත් වූ බැවිනි. මේ අංශවල උද්ගතව තිබෙන මූලික ප්‍රශ්න විසඳීම අරමුණු කර ගනිමින් ප්‍රතිපත්ති සකස් කළ යුතුය.
ශ්‍රී ලංකාව දේශීය හා විදේශීය මූලාශ්‍රවලින් ලබා ගෙන ඇති ණය කන්දරාව කෙටි කාලීනව ගෙවිය හැක්කක් නොවේ. එය සෑහෙන කාලයක් පුරාවට ඇදෙමින් යන ප්‍රශ්නයකි. එසේම ගත් ණය කෙසේ හෝ පියවීමෙන් පමණක් මේ අර්බුදයෙන් ගොඩයා නොහැකිය. ආර්ථික අර්බුදයත් සමග ජනතාව මත ඇති කර තිබෙන පීඩනය අවම කිරීම සඳහා කටයුතු කළ යුත්තේ කෙසේද යන්න ගැන සිතිය යුතුය. ඒ ගැන කතා කළ යුත්තෝ ජනතාව වන අපට වඩා රට හැදීමට ජනතාවගෙන් බලය ලබා සිටින දේශපාලන නායකයෝය. දේශපාලන නායකයන් මෙන්ම ඒ ඒ ආයතන භාරව සිටින නිලධාරීන් එකතු වී වහාම මේ පීඩනය අවම කිරීම සඳහා ප්‍රයෝජනවත් වැඩපිළිවෙළක් සකස් කළ යුතුය.
නිෂ්පාදන කටයුතු ප්‍රවර්ධනය සඳහා පහළ මට්ටමින් වැඩපිළිවෙළවල් සකස් කිරීම ද වැදගත් වේ. එමගින් අපට විශාල තාක්ෂණික භාණ්ඩ නිපදවීමට නොහැකි විය හැකි වුවත් මිනිසුන්ගේ එදිනෙදා කටයුතුවලට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කිරීමට හැකි වනු ඇත.
ආහාර ප්‍රශ්නය අපට විසඳාගත හැකිය. අවශ්‍ය වන්නේ ඊට අදාළ පුළුල් වැඩපිළිවෙළකි. ආහාර නිෂ්පාදනය වැඩි කර ජනතාවට පහසුවෙන් හා අඩු මිලට ආහාර ලබා ගත හැකි ක්‍රමවේද එහි ඇතුළත් විය යුතුය. ගෘහ මට්ටමින් වගා කිරීමට ඉඩම් නැත්නම් පොදු ඉඩම්වල ප්‍රජා ගොවි ව්‍යාපෘති ආරම්භ කළ යුතුය. මෙය නාගරික මට්ටමින් ක්‍රියාත්මක කිරීමට ද පුළුවන.
ඉහත සාකච්ඡා කළ සියලු අංශ ආවරණය වන ආකාරයේ ක්‍රියාත්මක වැඩසටහනකට කඩිනමින් අවතීර්ණ විය යුතුය. එවැනි ජාතික වැඩපිළිවෙළක් වෙනුවෙන් බලධාරීන් එකතු වී වැඩ කළ යුතුය. එසේ නොකළොත් විය හැක්කේ මේ ආර්ථික අර්බුදය ක්ෂණිකව විසඳිය හැකි එකක් නොවන නිසා තවත් විශාල කාලයක් මිනිසුන්ට දුක්විඳීමට සිදු වීමය. එබැවින් කෙටි කාලීනව කළ හැකි සියලු දේවල් කළයුතු වේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය සිරි හෙට්ටිගේ
සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ