විසඳුම් විසඳුමෙන් වැනසීම


මේ වනවිට රට නැවත වරක් විදුලි අර්බුදයක් අබියසට පැමිණ සිටී. ආණ්ඩුව පෞද්ගලික අංශයෙන් විදුලිය හදිසි මිල දී ගැනීම්වලට යන බව ද වාර්තා විය. විදුලි අර්බුදයට ස්ථිර විසඳුමක් ලබාගැනීමට රටක් ලෙස අපට තාමත් නොහැකි වී තිබීම අපගේ පැහැදිලි අසමත්කමකි. 2014න් පසු රට තුළ එකදු නව විදුලි බලාගාරයක් හෝ නිර්මාණය කර නැත. 2005ට පෙර අප සිටියේ දිවා රාත්‍රී පැය පහක් හෝ හයක් විදුලිය කපන පරිසරයක ය.

එවක එජාප ආණ්ඩුවේ විදුලි බල ඇමැතිවරයාට කළුවර ජයසූරිය යැයි නමක් ද පටබැඳුණේ මේ නිසා ය. කෙසේ වෙතත්, 2005 දී බලයට පත් රාජපක්ෂ ආණ්ඩුව මෙම ප්‍රශ්නය යළි නොඑන ලෙස විසඳීමට අවශ්‍ය කෙටි, මධ්‍ය හා දිගුකාලීන විසඳුම් රැසක් ගෙන ආවේ ය. ලක්විජය, නොරොච්චෝල, ඉහළ කොත්මලේ වැනි බලාගාර නිර්මාණය වන්නේ එම විසඳුම් යටතේ ය. මහින්ද ආණ්ඩුවේ වසර 9 තුළ ජාතික පද්ධතියට එකතු කළ මෙගාවෝට් සංඛ්‍යාව 1050ක් බව ගණන් බලා ඇත. එය ඉතිහාසයේ වැඩිම එකතු කිරීමයි.

එම ප්‍රමාණය එකතු නොවී තිබෙන්නට අපට මේ සියල්ල හදිසි මිල දී ගැනීම් හරහා අධික මුදලට ලබාගත යුතු වන්නේ පෞද්ගලික අංශයේ ඩීසල් බලාගාරවලින් ය. එම බලාගාරවල කල්ල මරේ වන්නේ මෙවන් ඉඩෝර කාල අතරතුර ය. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති එවැනි පෞද්ගලික ඩීසල් බලාගාරයක් පටන්ගෙන තිබුණේ 2003 වසරේ රුපියල් මිලියන 1676ක මූලික ආයෝජනයකිනි. එහෙත් අද වන විට එම බලාගාරය ලැබූ ශුද්ධ ලාභය රුපියල් මිලියන 14841 බව පසුගිය දා විශේෂ විගණන වාර්තාවකින් හෙළි වී තිබෙන බව වාර්තා විය. එම වැඩිවීම මූලික ආයෝජනය මෙන් සියයට 885ක් තරම් දැවැන්ත එකකි.

මහින්ද ආණ්ඩුවේ සැලසුම්සහගත බලශක්ති සාර්ථකත්වය උදාකර ගත්තේ පහසුවෙන් නම් නොවේ. එවක නොරොච්චෝල බලාගාරය ඉදිරිකරන විට ඊට සතර අතින් සුපුරුදු විරෝධය ආවේ ය. ආගමික නායකයෙක් එහි පෙරමුණ ගත්තේ ය. එහෙත් මහින්ද රාජපක්ෂ තම තීන්දුව තුළ නොසැලී සිටීමේ ප්‍රතිඵල අද අත්විඳින්නේ රට ය. අද රටෙන් අඩකට පමණ විදුලිය දෙන්නේ නොරොච්චෝල බලාගාරය නිසා ය. වෙනත් අයුරකින් කිවහොත් නොරොච්චෝල නැති නම් අද රටෙන් අඩක් අඳුරේ ය. මේ අතර ඉහළ කොත්මලේ බලාගාරය ප්‍රදේශයේ දේශපාලන බලවතුන්ගේ විරෝධය මත වසර ගණනාවක් නැවතී තිබුණකි. ගෝරනාඩුව වූයේ බලාගාරය හැදුවහොත් සෙන්ට්ක්ලෙයාර් දියඇල්ල සිඳී යන බවයි. එහෙත් මහින්ද ඊට ද මැදිහත් වී බලාගාරය නිර්මාණය කිරීමට විදේශ ආධාර ද ගෙන ඉතා ඉක්මනින් එහි වැඩ අවසන් කළේ ය. අද මෙගාවෝට් 150ක් පමණ ජාතික පද්ධතියට එකතු වන්නේ එමගින් ය. දිය ඇල්ල ද නිරුපද්‍රිතව ඇත.

උමා ඔය ව්‍යාපෘතියට ආවේ ඊටත් වඩා වැඩි විරෝධයකි. විශේෂයෙන් ම මාක්ස්වාදී පක්ෂයක පිරිස් විසින් ජනතාව කුලප්පු කොට මෙම ව්‍යාපෘතිය බරපතළ දේශපාලන ප්‍රශ්නයක් බවට පත් කරනු දැකගත හැකි විය. ඇත්තට ම එය ප්‍රශ්නයක් වූයේ ද මෙම දේශපාලකයන් නිසා ම බව මුලින් ම කිවයුතු ය. මහින්ද ආණ්ඩුව පටන්ගෙන  ඉරාන ආධාර යටතේ කරගෙන ගිය උමාඔය, 2015 දී නව ආණ්ඩුව ඒමත් සමගම අතරමග නවතා දැමුවේ ය. එහෙත් එය එසේ නැවතිය හැකි ස්වභාවයක ව්‍යාපෘතියක් නොවේ. නැවතුව සැණින් උමග තුළට ඉහළ ඇති ජලය කාන්දු වී ළිංවල ජලය සිඳී යයි. එය එලෙසම වූයේ ය. අවසානයේ ප්‍රශ්නය ව්‍යපෘතියේ බව කියමින් ඊට විරෝධය පා එය නැවැත්වීමට අපමණ වෙහෙස ගත්තේ ය. කෙසේ වෙතත්, මේ වන විට ව්‍යාපෘතිය සාර්ථකව අවසන් වී ජාතික පද්ධතියට මෙගාවෝට් 140ක් පමණ නුදුරේ දීම එකතු කරනු ඇත. 

රාජපක්ෂ ආණ්ඩුව මෙරට බලශක්තියෙන් ස්වයංපෝෂණය කිරීම එතැනින් නැවතුණේ නැත. සාම්පූර් සැලසුම් කොට අනාගත විදුලි අවශ්‍යතාවට තිරසාර විසඳුම සූදානම් කළේ කල් ඇතිවම ය. සාම්පූර් බලාගාරයේ පළමු පියවර තුළින් මෙගාවෝට් 500ක් ද දෙවැනි පියවර මගින් තවත් මෙගාවෝට් 500ක් ද විදුලිය ජනනය කොට ජාතික පද්ධතියට එකතු කිරීම සැලසුම විය. එහෙත් යහපාලන ආණ්ඩුව පැමිණි විගසම කඩාකප්පල්කාරීන් නැවතත් සක්‍රීය විය.  ප්‍රදේශයේ දෙමළ දේශපාලන පක්ෂ මෙම ව්‍යාපෘතියට මුල සිටම එරෙහි වෙමින් සිටියේ ය. ජනශූන්‍ය ප්‍රදේශයක් වූ මීට එරෙහි වීමට කිසිදු හේතුවක් ඔවුන්ට නොවී ය. තිබූ එකම හේතුව “තමන්ගේ නිජබිමේ ලංකාණ්ඩුව” බලාගාර හැදීම ය. මෙම විරෝධයට ඉහත උමාඔයට එරෙහි වූ දකුණේ මාක්ස්වාදි පක්ෂය ද එකතු වූ අතර ඔවුහු නඩු පැවරූහ. එම ආණ්ඩුවට ද අවශ්‍ය වූයේ තම මැතිවරණයට සහාය දුන් දේශපාලකයන් පිනවීම වන අතර, නඩු දැමූ සැණින් විදුලිබල අමාත්‍යාංශයේ එවක ලේකම්වරයා අධිකරණයට ගොස් ප්‍රකාශ කළේ ව්‍යාපෘතිය නවතා දමන බව ය. තවත් වසර 10කට ලංකාවට විදුලිය සැපයීමට අවශ්‍ය මෙගාවෝට් 1000ක් රටට අහිමි වන්නේ එසේ ය.

මෙහි බරපතළකම නම් මෙම ව්‍යාපෘතිය නැවතූ ආණ්ඩුව කළේ පෞද්ගලික අංශයෙන් වැඩි මිලට විදුලිය ලබාගැනීම ය. ඒ සියල්ල ඩීසල් බලාගාර වේ. මේ නිසා, 2014 සිට රටට අහිමි ව ගිය මුදල ඩොලර් බිලියන 6කට වඩා වැඩි බව ඇස්තමේන්තු කර තිබේ. ඊට අමතරව මෙහි ආවස්ථික පිරිවැය මිල කළ නොහැකි තරම් ය. රටේ ආර්ථික අර්බුදය පැන නගින්නට මෙය කළ බලපෑම අතිමහත් ය. 

2022 වසරේ දී ද සිදුවූයේ මෙවැනි ම විනාශයකි. ඩීසල්වලින් ක්‍රියාත්මක යුගදනවි බලාගාරය අඩු වියදම් හා පරිසර හිතකාමි LNG බවට පත් කිරීම සඳහා ඇමරිකාවේ නිව් ෆෝර්ට්‍රස් නම් සමාගමක් ලංකාවේ ආයෝජනය කිරීමට එකඟතාව පළ කර තිබුණි. මහින්ද යුගයේ ද විදුලි බල ප්‍රශ්නය විසඳීමට ඍජුව මැදිහත් වූ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ ගැන ඉතා උනන්දුවෙන් කටයුතු කළේ ය. කෙසේ වෙතත්, වසරක් තුළ ව්‍යපෘතිය නිම වන අතර, විදුලි බිල ද අඩු කළ හැකි විසඳුමක් වූ අදාළ ආයෝජනය සිදුකිරීමට ගත් උත්සාහය කඩාකප්පල් කිරීම ආණ්ඩුව තුළින් ම පටන් ගැනුණි. එහි ප්‍රතිඵලය වූයේ එම ආයෝජකයා වියට්නාමයේ මෙම ව්‍යාපෘතියම ක්‍රියාත්මක කරන තැනට පත් කිරීමෙනි. ඉන් රටට ලැබීමට නියමිත ව තිබූ ඩොලර් මිලියන 250ක් හා මෙගාවෝට් 300ක විදුලිය අහිමි විය. ජාතික සම්පත් ලේබලය යටතේ මීට මරලතෝනි දුන් පිරිස් අවම වශයෙන් මෙම බලාගාරය රජයේ පාලනයෙන් මේ නුදුරේ දීම ගිලිහෙන බව පවා දැන සිටියේ නැත.

කනගාටුවට කරුණ නම් පැය 24 පුරා තමාට විදුලිය සැපයිය යුතු බව සිතන ජනතාව පවා මේ විනාශකාරී විරෝධතා දේශපාලනයට උඩගෙඩි දෙනු මිස ව්‍යාපෘතිවල අගය තේරුම් ගෙන කටයුතු නොකිරීමය. අවසානයේ 2022 වන විට අද සේම නියඟය පැමිණි විට සියලු‍ දෙනා ගෝල්ෆේස් පිටියට ගොස් කළුවරේ සිටිය නොහැකි බව කියමින් විසඳුම් ගෙන ආ බැසිල්ට කපුටු කාක් කියා ගෙදර යන්නැයි කීවේ ය. මේ රට දියුණු කිරීමට නම් ජනතාවට ද විශාල වගකීමක් තිබෙන බව ඉහත නිදසුන්වලින් ම පැහැදිලි නොවේ ද? විසඳුම් ගෙන එන විට ඒවාට විෂ දුම් පොවා කඩාකප්පල් කර අඳුරට හෙළන්නේ කවුදැයි ඔවුන් තේරුම් ගැනීම මෙහි දී අනිවාර්යයෙන් විය යුත්තකි.

බලශක්තිය යනු නූතන ශිෂ්ටාචාරයේ පදනම ය. අද සියල්ල ක්‍රියාත්මක වන්නේ ඒ මතය. කොටින් ම රාත්‍රි කාලයේ විදුලි පංකාවක් හෝ නොමැතිව අවම නින්දක් හෝ ලැබිය නොහැකි තරම් ය. කර්මාන්ත සියල්ල විදුලිය මත රඳා පවතින අතර, ඒවා රැකුණහොත් පමණක් රැකියා ද රැකෙන්නේ ය.

මොවුන් එදා සිට අද දක්වාම කරමින් සිටින්නේ විදුලි බලාගාර නිර්මාණය කිරීමට යන සෑම අවස්ථාවකම ඒවා කඩාකප්පල් කොට විදුලි මාෆියාවෙන් විදුලිය අනිවාර්යයෙන් මිලට ගත යුතු තැනට ආණ්ඩුව පත්කිරීමයි. ඒ හරහා රටට එකවර විනාශ රැසක් වේ. පළමුවැන්න නම්, ජනතා බදුමුදල් අධික ලෙස වියදම් කොට වැඩි මිලට විදුලිය ගැනීමයි. දෙක වන්නේ මෙම බලාගාර ඩීසල් හෝ දැවිතෙල් මත ක්‍රියාත්මක වීම හරහා රටේ ඩොලර් විදේශයන්ට ඇදී යාමයි. අත්‍යවශ්‍ය ඖෂධ ටික පවා ආනයනය කිරීමට ඇති ඩොලර් පිටරට යන්නේ එසේ ය. අංක තුන නම්, කොතරම් පෞද්ගලික බලාගාර තිබුණ ද, ඒවාට රටට අවශ්‍ය තරම් විදුලි ජනනය කිරීමට හැකියාව නොමැති පසුබිමක විදුලිය කැපීමට සිදු වී රටේ කර්මාන්ත හා ජන ජීවිතය අඩාල වීමයි.

අප මේ ඉතිහාසය සිහිපත් කළේ අද රට හැදීමට තමන්ට විසඳුම් ඇතැයි කියන සහ ඊනියා ජාතික සම්පත් කෙරුමන් විසින් රටට කරනලද විනාශය තේරුම් ගැනීම සඳහා සහ මෙරට ඇතැමුන් රාජපක්ෂලාට දෙස් දෙවොල් තිබ්බද රටට තිරසාර විසඳුම් ගෙනැවිත් තිබෙන්නේ ඔවුන් බව කීමට ය. ඒ හරහා අනාගතයට හෝ පාඩමක් ඉගෙන ගැනීමට ය. පිදුරු පඹයන්ට පහර දීමෙක් පලක් නැත. ඇත්ත ප්‍රශ්නය හඳුනාගත යුතු ය. අප රට ඇතුළතින් විනාශ කරන මේ බලවේග හඳුනා නොගෙන මේ රට කිසිවකුට ගොඩ දැමිය නොහැකි බව අපි අවධාරණය කරමු. විශේෂයෙන් ම මෙරට ජනතාව මේ ප්‍රශ්නය ඇති සැටියෙන් තේරුම් ගැනීම අත්‍යවශ්‍ය දෙයකි. මන්ද, ඉහත විනාශකාරින් සැමවිටම තම යටිකූට්ටු වැඩ සඵල කරගත්තේ ජනතාව ගොනාට අන්දමින් කරන කුලප්පු කිරීම් හරහා ය.

(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ