විසිඑකේ දේශපාලන රංගනය


ආණ්ඩු පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ මොළය ලෙසද. සැබෑ ලෙසම එම පක්ෂය මෙහෙය වන්නාද, එම පක්ෂයේ ජාතික සංවිධායකවරයා ද වූ බැසිල් රාජපක්ෂ මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව පක්ෂය මෙහෙය වද්දී එම පක්ෂයේ බහුතරයක් වූ මන්ත්‍රීවරුන් ඉකුත් 21 වැනිදා එම කෙටුම්පතට පක්ෂව පාර්ලිමේන්තුවේදී ඡන්ද දුන්නේ කුමන පදනමින්ද යන්න පැහැදිලි නැත.

මෑතක් වන තෙක්ම පොදුජන පෙරමුණේ සෑම කටයුත්තක්ම සැලසුම් කරන්නේත්, ක්‍රියාත්මක කරන්නේත් පක්ෂයේ මහ මොළකරු වන බැසිල් රාජපක්ෂ මහතා බව ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබිණි. වෙනෙකක් තබා මෙම කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය අනුව ඉකුත් ඔක්තෝබර් 6 වැනිදා හා 7 වැනිදා දිනවල පැවැත්වීමට නියමිතව තිබියදීත් අවසාන මොහොතේ එය නොපැවැත්වෙන තැනට කටයුතු කරන්නට බැසිල් රාජපක්ෂ මහතාට හැකි විය.

 ඉන්පසු මෙම කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවැත්වුණේ ඔක්තෝබර් 20 වැනිදා හා 21 වැනිදාය. මෙම කෙටුම්පත සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔක්තෝබර් 19 වැනිදා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයන් පිරිසක් සමඟ සාකච්ඡා කළේය. එහිදී ද ඔවුන්ගේ මතය වූයේ පනත් කොටුම්පතට ඡන්දය දිය නොහැකි බවය.

 එහෙත් පසුදින (ඔක්තෝබර් 20) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදය ආරම්භ වූ විට තත්ත්වය වෙනස් වී ගෙන එන බව පෙනෙන්නට තිබිණි. 21 වැනිදා සවස ඒ පිළිබඳ ඡන්ද විමසීම පැවැති අතර පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම හෙවත් ප්‍රධාන විවාදය අවසානයේදී ඊට ඡන්ද 179 ක් ලැබුණු අතර විරුද්ධ වූයේ හිටපු මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා පමණි.

 ඉන්පසු විවාදයේ කාරක සභා අවස්ථාව අවසානයේදී ඊට ඡන්ද 174 ක් ලැබිණි. ඒ කලින් ඊට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ගෙන් පස් දෙනකු සභාවේ නොසිටි නිසාය. එවරද පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය දුන්නේ වීරසේකර මහතා පමණි. 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සකස් කොට ඇත්තේ 2015 දී සම්මත කරන ලද 19 වැනි සංශෝධනය අනුව යමිනි. 2015 අප්‍රේල් 28 වැනිදා සම්මත වූ 19 වැනි සංශෝධනයට ඡන්ද 215 ක් ලැබුණු අතර එදා ද ඊට එරෙහිව ඡන්දය දුන් එකම මන්ත්‍රීවරයා වූයේ වීරසේකර මහතා පමණි.

22 වැනි සංශෝධනය සම්මත කළ අවස්ථාව වන විට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 25 දෙනකු පමණ කණ්ඩායම් දෙකක් වශයෙන් තමන් ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ කොට තිබිණි. පොදුජන පෙරමුණෙන් නෙළුම් පොහොට්ටුව ලකුණ යටතේ තරග කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු කුඩා පක්ෂ 10 ක පමණ මන්ත්‍රීවරුන් 30 දෙනකු පමණ ද තමන් ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ කොට තිබිණි. එසේ වුවද ඒ වන විටත් රාජපක්ෂවරුන්ගේ නායකත්වය පිළිගත් සියයකට ආසන්න මන්ත්‍රීවරු පිරිසක් පොදුජන පෙරමුණේ සිටියහ. ඉන් සුළු පිරිසක් හැර අන් සියලු දෙනාම පාහේ පක්ෂයේ මහ මොළකරුට පිටුපා 22 වැනි සංශෝධන කෙටුම්පතට පක්ෂව ඡන්දය දුන්හ.

22 වැනි සංශෝධනය විධායක ජනාධිපතිවරයාගේ බලතල තරමක් අඩුකොට පාර්ලිමේන්තුව තරමක් ශක්තිමත් කිරීම සඳහා වූ සංශෝධනයකි. එය තරමක් හෝ ප්‍රජාතන්ත්‍රවාදය වෙතට යොමු වූ සංශෝධනයකි. එහෙත් පොදුජන පෙරමුණේ මෙම මන්ත්‍රීවරුන් ඒ ගැන සලකා ප්‍රතිපත්තිමය පදනමින් ඊට පක්ෂව ඡන්දය දුන් බව සිතිය නොහැකිය.

 බදාදා ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී සාගර කාරියවසම් මහතා පැවසුවේ 20 වැනි සංශෝධනයට ඡන්දය දී වසර දෙකකදී (ඇත්ත වශයෙන්ම වසර දෙකක් පිරෙන්නට දිනක් තිබියදී) ඊට පටහැනි තවත් සංශෝධනයකට ඡන්දය දිය නොහැකි බවය. එහෙත් එවැනි ප්‍රතිපත්තිමය පදනමක් පොදුජන පෙරමුණ තුළ තිබුණේ නැත. එම පක්ෂයේ නායකයෝ පාර්ලිමේන්තුව තරමක් ශක්තිමත් කළ 17 වැනි සංශෝධනයටත් පාර්ලිමේන්තුවට පැවරුණු එම බලතල ඉවත් කළ 18 වැනි සංශෝධනයටත්, යළිත් පාර්ලිමේන්තුවට එම බලතල පැවරූ 19 වැනි සංශෝධනයටත් යළිත් එම බලතල ඉවත් කළ 20 වැනි සංශෝධනයටත් කිසිදු ලජ්ජාවක් හෝ හිරිකිතයක් නැතිව ඡන්දය දුන්නෝ වෙති. ප්‍රතිපත්ති හා සදාචාරය යනු ශ්‍රී ලංකාවේ දේශපාලනයට එතරම් වැදගත් දේවල් නොවේ.

 ඒ අනුව පොදුජන පෙරමුණේ බහුතරයක් දෙනා 22 වැනි සංශෝධනයට ඡන්දය දීමේ හේතුව ගැන විවිධ මත පළවේ. 22 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල තරමක් සීමා කරන්නක් වුවද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුද එම පනත් කෙටුම්පත සම්මත කිරීම සම්බන්ධයෙන් බැරෑරුම්ව සිතා කටයුතු කළේය. එය සකස් කිරීම ආරම්භ කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වුවද ඔහු එම කටයුතු ඉදිරියට ගෙන ගියේය. අවසානයේදී එය ඔහුගේ සංශෝධනයක් බවට පත් විය. ඔහු එය සම්මත කිරීම සඳහා සෑම පක්ෂයකම මන්ත්‍රීවරුන් පොළඹවන්නට උත්සාහ කළේය.

එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා සකස් කළ පනත් කෙටුම්පතට ඔහුගේම පක්ෂයේ ඇතැම් නායකයෝ පසුව විරුද්ධ බවක් පෙනී ගියේය. එසේ වුවද පොදුජන පෙරමුණේ බලය සිඳ දැමූ අරගලකරුවන්ට එරෙහිව රනිල් වික්‍රමසිංහ මහතා මර්දනයක් දියත් කිරීමත් සමඟ ඔහු එම පෙරමුණේ බොහෝ දෙනකුගේ සිත් දිනා ගැනීමට සමත් විය. ඔවුන් මෙම පනත් කෙටුම්පතට ඡන්දය දුන්නේ ඒ අනුව යැයි ඇතැමෙක් පවසති.

 පසුගිය සතිය දක්වා ක්‍රියාත්මක වූ 20 වැනි සංශෝධනය අනුව මැතිවරණයකින් පසු වසර දෙක හමාරක් ඉක්ම ගිය විට ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ලැබේ. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ලබන වසරේ පෙබරවාරි මාසයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇතැයි පොදුජන පෙරමුණේ පමණක් නොව අනෙක් පක්ෂවල මන්ත්‍රීවරු ද බියවූහ. විශේෂයෙන්ම නවක මන්ත්‍රීවරුන් ඒ ගැන බිය වූයේ එසේ වුවහොත් ඔවුනට මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි වන හෙයිනි.

ඒ නිසා ඔවුහු 20 වැනි සංශෝධනයට ඡන්දය දී තමන්ම අවලංගු කළ 19 වැනි සංශෝධනයේ සඳහන් පරිදි ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය වසර හතර හමාරකින් පසුව දිය යුතු යැයි කියා සිටියහ. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා කෙනකු තමන් වෙත පැමිණ බුලත් අතක් දී වැඳ ඉල්ලා සිටියත් ලබන වසරේ පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බව පැවැසී යැයි ජනමාධ්‍ය වාර්තා කොට තිබිණි.

මෙය ඔහු 22 වැනි සංශෝධනයට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දය ලබා ගැනීම සඳහා දුන් සහතිකයකි. එම සහතිකයේම අනතුරු ඇඟවීමක්ද තිබේ. එනම් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් එසේ 22 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය නොදෙන්නේ නම් තමන්ට අවශ්‍ය නම් තමන් ලබන වසරේ පාර්ලිමේන්තුව විසුරුවා හරින බවය. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඡන්දය දුන්නේ ඒ අනුවයැයිද මතයක් පවතී.

 ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාද පසුව පාර්ලිමේන්තුවේදී උපහාසාත්මකව ප්‍රකාශ කළේ ඇතැමුන්  රටේ මූලික නීතිය වෙනස් කිරීමේදී රටේ යහපත ගැන සිතා නොව තමන්ගේ විශ්‍රාම වැටුප ගැන සිතා ඡන්දය දුන් බවයි. අනෙක් අතට දැන් බලය ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතේය. තනතුරු, තානාන්තර, පහසුකම් ආදිය ලබා ගැනීමේදී ඔහුගේ හිතවත්කම ඉතාමත් ප්‍රයෝජනවත්ය. ඊළඟ මැතිවරණයේදී තමන්හට කුමක්වේදැයි කිව නොහැකිය. ඒ නිසා තිබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට නම් බැසිල් රාජපක්ෂ මහතා නොව වටින්නේ රනිල් වික්‍රමසිංහ මහතාය.

රාජපක්ෂ පවුලේ පිපිරීමක් ඇති බවක්ද පෙනෙන්නට තිබේ. ප්‍රබල රාජපක්ෂ කෙනකුට පාර්ලිමේන්තු වරම් නොලැබෙන අයුරින් සකස් කරනු ලැබූ ව්‍යවස්ථා සංශෝධනයකට චමල්, නාමල් හා ශෂීන්ද්‍ර යන රාජපක්ෂවරුන්  ඡන්දය දී ඇත. රාජපක්ෂ පවුලේ දේශපාලන තරුව හා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය දීමට පැමිණියේද නැත. රනිල් වික්‍රමසිංහ මහතාගෙන්  පසු බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වුවහොත් තම පුත්‍රයා වන නාමල් එතැනට එන්නට තවත් දශකයක්වත් බලා සිටින්නට සිදුවේ යැයි ඔහු සිතුවාද විය හැකිය. මේ නිසා මේ රාජපක්ෂවරුන් ඒ රාජපක්ෂට දොර වසන්නට සිතා ඒ අනුව මෙම පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමේදී කටයුතු කළාද විය හැකිය.

පසුගිය ජූලි 20 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැති ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේදී බැසිල් රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය දෙන ලෙස තම මන්ත්‍රීවරුන් පොළඹවා ගත්තේය. එහෙත් එසේ ජනාධිපති ධුරයට පත් වික්‍රමසිංහ මහතා හරියටම මාස දෙකකට පසු 22 වැනි සංශෝධනයට ඡන්දය දෙන ලෙසට එම මන්ත්‍රීවරුන්ම පොළඹවා ගත්තේය. එයින් බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ දොර වැසී  ගියේය.

කෙසේ වෙතත් මෙම කාරණයේදී ද්විත්ව පුරවැසියන් පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ වැඩි උනන්දුවක් තිබූ  බවක් පෙනුණේ නැත.  ඔහුගේ අවශ්‍යතාව ලෙස පෙනී ගියේ පනත් කෙටුම්පතේ හරය වූ පාර්ලිමේන්තුව තරමක් ශක්තිමත් කිරීමයි. එහෙයින් අවශ්‍ය නම් පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේ කාරක සභා අවස්ථාවේදී තමන්ට අවශ්‍ය දෑ සංශෝධන ලෙස ඉදිරිපත් කොට සම්මත කර ගන්නා ලෙස ඔහු 19 වැනිදා පොදුජන පෙරමුණේ නායකයන් සමඟ පැවැති සාකච්ඡාවේදී පවසා තිබිණි.

ඒ අනුව පොදුජන පෙරමුණට ද්විත්ව පුරවැසියන්හට පාර්ලිමේන්තු වරම් ලබාදීමටත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වූ ජනාධිපතිවරයාගේ බලය වසර හතර හමාරකට කල් දමා ගැනීමටත් උත්සාහයක් හෝ ගත හැකිව තිබිණි. එවැනි උත්සාහයකට තමන් සහාය නොදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබිණි. ඒ අනුව එවැනි උත්සාහයක් ගතහොත් කෙටුම්පත පරාජයවිය හැකිව තිබිණි. එහෙත් එය පොදුජන පෙරමුණට ප්‍රශ්නයක් නොවේ. එහෙත් එවැනි උත්සාහයක් හෝ ගනු ලැබුවේ නැත.

අනෙක් අතට පාර්ලිමේන්තුව ශක්තිමත් කරන පනත් කෙටුම්පතකදී ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය වසර හතරකට කල් දැමිය යුතුයැයි පොදුජන පෙරමුණේ නායකයන් ඉල්ලා සිටියද ජනාධිපතිවරයා ඒ ගැන උනන්දුවක් දැක්වූයේ නැත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 22 වැනි සංශෝධනය කෙටුම්පත්කොට 19 වැනි සංශෝධනයේ ප්‍රතිපාදන ගෙන එන ලෙසට පසුගිය අප්‍රේල්  මාසයේදී අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට උපදෙස් දුන්නේ ඒ වනවිට ‘‘සිස්ටම් චේන්ජ්’’ එකක් ඉල්ලා ආරම්භ වූ මහජන උද්ඝෝෂණ උත්සන්න වූ තත්ත්වයක් යටතේය. එහෙත්  21 වැනි සංශෝධනය ලෙසින් නාමකරණය වී සම්මත වී ඇති 22 වැනි සංශෝධනයෙන් 20 වැනි සංශෝධනයට පෙර පැවැති තත්ත්වය උදා වී නැති බවත් එදා තරම් ජනාධිපතිවරයාගේ බලය සීමාවී නැති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉකුත් බ්‍රහස්පතින්දා නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. එය සැබෑවකි.

සැබෑ තත්ත්වය නම් නීති කොතරම් වෙනස් කරනු ලැබුවද දේශපාලන නායකයන් තුළ ඒ නීතිවල පරමාර්ථ සම්බන්ධයෙන් සැබෑ කැපවීමක් නැත්නම් එසේම අදාළ නිලධාරීන්ට ඒ ගැන සැබෑ අවශ්‍යතාවක් නැත්නම් කිසිදු නීතියක හෝ නීති සංශෝධනයක ප්‍රතිඵල ලැබෙන්නේ නැත.

19 වැනි සංශෝධනය යටතේ ‘‘ස්වාධීන’’පොලිස් කොමිසමක් තිබියදීම, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වූ විගසම එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂව සිටි ශානි අබේසේකර මහතා දකුණේ උසස් පොලිස් නිලධාරියකුගේ සහායකයකු ලෙස ස්ථාන මාරු ලැබුවේ ඒ නිසාය. එසේම ‘‘ස්වාධීන’’ මැතිවරණ කොමිසමේ සාමාජිකයකු 2020 මහ මැතිවරණයේදී එක්තරා පක්ෂයකට ඡන්දය නොදෙන ලෙස සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කොට තිබිණි.

ජනතාව ප්‍රතිපත්ති ගරුක නොවන තාක් දේශපාලනඥයන් ඔවුන් රවටනු ඇත. එහෙයින් බැසිල් රාජපක්ෂ මහතා වුවද යළි රටට පැමිණ ඉදිරියේදී දිනෙක 22 වැනි සංශෝධනයද කණපිට හරවා යළි පාර්ලිමේන්තුවට පත්වුවහොත් ඒ ගැන පුදුම විය යුතු නැත. පසුගිය වතාවේද ඔහු පක්ෂය ගොඩනැගුවේ 19 වැනි  සංශෝධනය මඟින් පාර්ලිමේන්තු වරමට තහංචි වැටී තිබුණු තත්ත්වයකය. ඔහුට එම වරම ලැබුණේ 20 වැනි සංශෝධනයෙනි.

 

(*** එම්.එස්.එම්.අයුබ්)