විසිදෙක සුබද? අසුබද?


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83  ආ  ව්‍යවස්ථාවේ “වසර හයක්”  යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න  ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීමට  අමාත්‍ය  මණ්ඩලය  සිය අනුමැතිය ලබා දී තිබේ. දැඩි ජනතා විරෝධය හමුවේ, ජනාධිපතිවරයා සමග එක්ව අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අත්සන් තැබූ අධිකරණ අමාත්‍යවරයා,  යෝජිත සංශෝධනය ජනාධිපතිවරණය පැවැත්වෙන තුරු ක්‍රියාත්මක නොකරන බවට ජුලි 18 වැනි දින මහනුවරදී මහනාහිමිවරුන් හමුවේ සහතික විය.

සංශෝධනය  ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කිරීම වළක්වන ලෙස තම අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළ බවද අධිකරණ ඇමැතිවරයා  මාධ්‍යයට ප්‍රකාශ කළේය. අධිකරණ අමාත්‍යවරයා නොදැනුවත්වම, ඔහු විසින්  මෙම වගකීම් සහගත  සහතික කිරීම  නාහිමිවරුන් හමුවේ සිදු කරනු ලබමින් පවතින අවස්ථාවේ දීම, ජනාධිපතිවරයා විසින්  තම අමාත්‍යවරයාගේ ප්‍රකාශය නිර්දය ලෙස ප්‍රතික්ෂේප කරමින්, වහාම ජූලි 18 දින ගැසට් පත්‍රයෙහි එකී සංශෝධනය  ප්‍රකාශයට පත් කරන ලෙස නියෝග කළේය. සාමූහික වගකීම පිළිබඳ හා මූලධර්මය පිළිබඳ  විකාරරූපී  චිත්‍රයක් වන මෙම සිදුවීම් මාලාව, රජයේ කටයුතු  තුළ  පැහැදිවම  දක්නට ලැබෙන  අවුල් සහගත බව  පිළිබඳ මනා පිළිඹිබුවකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන කිහිපයක් අතර පවතින ගැටුමක් විසඳීමේ අවශ්‍යතාව සඳහා මෙම සංශෝධනය අවශ්‍ය වන බව මෙහි ඇති තර්කය ලෙස ගෙනහැර දක්වයි. රජයට අනුව මෙම ගැටුම එක් අතකින් 30 (2) සහ 62 (2) ව්‍යවස්ථා අතර සහ අනෙක් අතට  83 (ආ) ව්‍යවස්ථාව අතර  දක්නට ලැබෙන්නකි.

2015 වර්ෂයේ දී එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතා විසින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ දා සිට මේ ප්‍රතිපාදන එකිනෙක   අභිමුඛව පැවතී ඇත. වසර නවයක් පුරා, ජනාධිපතිවරණයක් පවත්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයකු බලයට පත් වූ කාලය තුළ කිසිදු අවස්ථාවක, කිසිදු සන්දර්භයක් තුළ කිසිදු ආකාරයක ගැටලු‍වක් පිළිබඳ අංශු මාත්‍රයක් හෝ යෝජනා නොවීය.

මේ සඳහා හොඳ හේතුවක් බලපා ඇත. ගැටුමක් ඇති බව කියනු ලබන ව්‍යවස්ථාමය ප්‍රතිපාදන අතර කිසිදු අනනුකූලතාවක් නොමැත. 30 (2) සහ 62 (2) ව්‍යවස්ථා මගින් ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තු ධුර කාලය පිළිවෙළින් වසර පහක් ලෙස අර්ථ දක්වා ඇත. ඊට පටහැණිව, 83 (ආ)  ව්‍යවස්ථාව, මෙම  ධුර කාල  දෙකම  බල පවත්වන  කාලය සම්බන්ධයෙන් කිසිදු අදාළත්වයක්  නොමැත. එහි අරමුණ සම්පූර්ණයෙන්ම වෙනස් ය. එනම්  ජනාධිපති හෝ පාර්ලිමේන්තු ධුර කාලය දීර්ඝ කිරීමට ව්‍යවස්ථාදායකය විසින්  කිසියම් සැලසුමක් සකසනු ලබන්නේ නම්  ඒ සඳහා  සුදුසු ක්‍රියා පටිපාටියක්  පෙන්වා දීමය. මෙම විධිවිධාන සහමුලින්ම වෙනස් වූ  විෂය කරුණු සම්බන්ධයෙන්  අදාළ වන හෙයින්  ඒවා අතර ගැටුමක් දක්නට නොලැබේ . හරයාත්මකව  සහ අවස්ථානුකූලව  ඒවායේ  අරමුණු සම්පූර්ණයෙන්ම වෙනස් වේ.

වර්තමානය වන විට එනම් දශකයකට ආසන්න කාලයකට පසුව ඇත්ත වශයෙන්ම නොපවතින එහෙත් තිබෙන්නේ යැයි කියනු ලබන පරස්පර විරෝධයක් විසඳීමේ හදිසි අවශ්‍යතාවක් ඇති බව සොයාගෙන තිබේ. මෙම ප්‍රයත්නයට පාදක වන පෙළඹවීම දුෂ්ට, ද්‍රෝහී සහ පටු, පක්ෂග්‍රාහී අරමුණු මුදුන්පත් කර ගැනීම පිණිස සැලසුම් කර ඇත.

රජය යෝජනා කරන සංශෝධනය සාර්ථක ලෙස බලාත්මක කිරීමට කොන්දේසි දෙකක් සම්පූර්ණ කිරීම අවශ්‍යය.

සංශෝධනයට පක්ෂව පාර්ලිමේන්තුවේ සමස්ත මන්ත්‍රීවරුන්  සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක බහුතරයක් ලබාගැනීම එක් කොන්දේසියකි. ජනමත විචාරණයක දී ජනතාව විසින් අනුමත කිරීම දෙවැන්නය. පළමුවැනි කොන්දේසිය සම්පූර්ණ කර ගැනීමෙන් අනතුරුව දින 30 ක් ඇතුළත අනිවාර්යයෙන් ම ජනමත විචාරණයක් පැවැත්විය යුතු ය. ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන මෙම වික්‍රමය, ස්වාධීන වූ, සමාන්තර ක්‍රියාවලි දෙකකින් සමන්විත වන අතර, එම එක් එක් ක්‍රියාවලිය අනිවාර්ය ව්‍යවස්ථාමය නියමයන් ප්‍රකාරව කාලානුරූප වේ.

22 වැනි සංශෝධනය බලාත්මක කිරීම සඳහා වන ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය

සංශෝධන ඇතුළත් පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කිරීම ක්‍රියාවලියේ පළමු වැනි පියවර වේ.

ජූලි මස 18 වැනි දින එම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කරන ලදී. එක් සතියක කාලයක් ගත වන තුරු ඒ සම්බන්ධයෙන්  වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීමට අවසර නැත. පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි (පළමු වර කියවීම සඳහා) මුල්ම දිනය ජූලි 25 වැනිදාය. ඉන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීම සඳහා සති දෙකක කාලයක් ලබාදිය යුතුය. එම කාලය අගෝස්තු 8 වැනිදායින් අවසන් වේ.

උපරිමය සති තුනක කාලයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය ස්වකීය තීරණය කථානායකවරයාට දැන්විය යුතුය. දළ වශයෙන් සති දෙකකින් පමණ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම ප්‍රශ්නය පිළිබඳ විනිශ්චය අවසන් කරනු ඇති බව මෙතෙක් තිබෙන අත්දැකීම අනුව සාධාරණ අපේක්ෂාව වේ. මෙය අවසන් වන විට අගෝස්තු 22 පමණ වනු ඇත. මේ අනුව පාර්ලිමේන්තුවට 22 වැනි සංශෝධනය පිළිබඳ විවාදය ආරම්භ කර දෙවැනි වර කියවීමේ ඡන්දය විමසීමට හැකියාව ලැබෙනු ඇත්තේ අගෝස්තු මස අග භාගයේ දීය.

සංශෝධනයට පක්ෂව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක බහුතරයක් ලැබුණහොත්, ව්‍යවස්ථාපිත නියමයක් ලෙස පැවැත්විය යුතු ජනමත විචාරණය සැප්තැම්බර් අග භාගයේ  බොහෝ විට සැප්තැම්බර් 20 සහ 27 අතර කාලයේදී පැවැත්වෙනු ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 122(3) ව්‍යවස්ථාවේ අඩංගු විශේෂිත විධිවිධාන හේතුවෙන් මෙම සංශෝධනය සඳහා හදිසි පනත් කෙටුම්පත් ක්‍රියා පටිපාටිය අදාළ නොවන බව සඳහන් කළ යුතුය.

 

ජනාධිපතිවරණයේ  ගමන් පථය

ජනාධිපතිවරණයේ ආසන්න බව පිළිබද ප්‍රකාශය නිකුත් කිරීමට මැතිවරණ කොමිසමට බලය පැවරුණේ ජූලි 17 වැනිදාය. ජූලි මස 22 වැනි දිනෙන් ආරම්භ වන සතිය තුළ මෙම ප්‍රකාශය කිරීමට අදහස් කරන බව කොමිසම දැනුම් දී ඇත. මීළඟ පියවර වන්නේ නාමයෝජනා භාරගැනීමේ දිනය නියම කිරීමයි. මේ සඳහා අවස්ථාව උදාවන්නේ 16 වැනි දින සහ 21 වැනි දින අතර කාලයේදීය: එනම් (ආසන්න වශයෙන්) අගෝස්තු 11 ත් 16 ත් අතර කාලයේදී ය.

ඡන්ද ව්‍යාපාරයේ කාලසීමාව අවමය දින 28 ක් සහ උපරිමය දින 42 ක් දක්වා වේ. නීතියෙන් නියම කර ඇති මෙම කාල රාමු අනම්‍ය වේ. මින් අදහස් කෙරෙනුයේ සැප්තැම්බර් අවසන් සතියේ හෝ ඔක්තෝබර් මුල් සතියේ මැතිවරණ කොමිසම තීරණය කරනු ලබන දිනයක ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බවයි.

මෙහිදී සමාන්තර ක්‍රියාවලි දෙකක් පවතින අතර ඒවා පහත ප්‍රතිඵලයෙන් අවසන් වේ.

(අ) ආසන්න වශයෙන්, සැප්තැම්බර් 20 ත් සහ 27 ත් අතර  ජනමත විචාරණය පැවැත්විය යුතුය.

(ආ) ආසන්න වශයෙන්, සැප්තැම්බර් 27 ත් ඔක්තෝබර් 7 ත් අතර ජනාධිපතිවරණය පැවැත්විය යුතුය.

මෙහිදී ප්‍රස්තුත ප්‍රශ්නය ප්‍රකාශ කළ යුතුව ඇත්තේ මින් අත්වන ප්‍රතිඵලයෙහි විකාරරූපී තත්වය පැහැදිලි ලෙස  පෙන්වාදීම පිණිසම  පමණි. ආණ්ඩුවේ උපාය මාර්ගය බාධාවකින් තොරව ඉදිරියට පවත්වාගෙන යාමට ඉඩ ලැබෙන්නේ නම් දින 10ක් වැනි කාලයක් තුළ ජාතික මැතිවරණ දෙකක් පැවැත්වීමේ ප්‍රතිඵලය අත්‍යවශ්‍යයෙන්ම අත්වනු ඇත.

(i) සාමාන්‍යයෙන් රට පුරා උනන්දුව හා උද්‍යෝගය කේන්ද්‍රගත වූ ජනාධිපතිවරණය.

(ii) කිසිදු පාර්ශ්වයක්  සුළු හෝ උනන්දුවක් නොදක්වන ජනමත විචාරණයක්.

ආසන්න කාල සීමාවකදී පැවැත්වීමට නියමිත මෙම මැතිවරණ දෙකෙහි සමගාමී බව ඒකාන්ත වශයෙන්ම ජන මනසේ  ව්‍යාකූලත්වයට තුඩු දිය හැකි නමුත් එය අනපේක්ෂිත තත්වයක් හෝ අහම්බයක් හෝ නොවන අතරේ එය මැකියාවෙලි කියූ පරිදි  කූට රාජ්‍යෝපාය මුල පිරීමක සැලසුම් සහගත අරමුණකි.

මෙම උත්සාහය සැබවින්ම නින්දිත වන්නේ  කිසිදු වටිනාකමක් හෝ උපයෝගීතාවක් හෝ නොමැති ජනමත විචාරණයක් පැවැත්වීම අරමුණු කරගනිමින් පීඩාකාරී බදුකරණයේ ඉපැයීමක් ලෙසින් ලබාගත් රුපියල් මිලියන 10,000 ක දැවැන්ත මුදලක නාස්තිකාර වියදම අනුකම්පා විරහිත ලෙස නොසලකා හැරීමයි.

මැතිවරණ පැවැත්වීම සඳහා ප්‍රමාදයකින් තොරව මුදල් නිදහස් කරන ලෙසට මුදල් අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අමතමින්  කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණයේ පැහැදිලි නියෝගය ද,  නීතිය ද නිර්ලජ්ජිත ලෙස නොසලකා හරිමින්, රටේ පුරවැසියාට “උත්පත්තියේ සිට මරණය දක්වා”‍ අත්‍යවශ්‍ය වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් සංලක්ෂිත කාර්යයන් ඉටු කරන පළාත් පාලන ආයතන 343 කට අදාළ මැතිවරණය සම්පත් හිඟතාව නිසා යැයි කියාගනිමින් දින නියමයක් නොමැතිව කල් දමා ඇති පසුබිමක මෙලෙස කටයුතු සිදුවීම දැඩි ‍ලෙස හෙළා දැකිය යුතුමය.

මෙම ප්‍රයත්නය විමර්ශනය කළ යුත්තේ හුදෙකලා සිද්ධියක් වශයෙන් නොව සිද්ධිදාමයක තවද එක් විෂයක් එනම් නිසි කලට මැතිවරණ පැවැත්වීම නිසා තම මූලික අයිතිවාසිකම් කඩවන්නේ යැයි පාර්ශව විසින් පෙරකළැසි නීතිකෘත්‍ය ඉදිරිපත් කිරීම් මෙන්ම, නීතිපතිවරයාගේ අනිවාර්ය විශ්‍රාම යෑම යෙදී තිබුණු දිනය වුවමනාවෙන්ම දීර්ඝ කිරීමට අඛණ්ඩව උත්සාහ දරමින් එම නීතිපතිවරයා තනතුරේ රඳවා ගැනීමට ක්‍රියාකරමින්, වසර 76 ක් පුරා එම තනතුරේ පැවැති සම්ප්‍රදාය බිඳ දැමීමට ප්‍රයත්න දැරීමේ සන්දර්භය ද සැලකිල්ලට ගනිමිනි.

මෙහිදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සිද්ධාන්ත සහ ප්‍රජාතන්ත්‍රවාදයේ මුඛ්‍ය සම්ප්‍රදායන් නමැති අපගේ ජාතික උරුමය පිළිඹිබු කරන්නා වූ ඉතා ආදරයෙන් රැකබලා ගතයුතු හර පද්ධතිය අවසන් හෝරාවේ දී රැකගැනීමට අප්‍රතිහත කැපවීමෙන් ඉදිරිපත් වූ,  ශ්‍රේෂ්ඨාධිකරණය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත, ජාතියේ ස්තූතිය හා ප්‍රශංසාව හිමි වේ.

මෙකී වාතාවරණය තුළ අවසාන හෝරාවේ දී පවා ආණ්ඩුව උත්සාහ කරන ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වූ මානසිකත්වය පිළිබිඹු කරන මෙම කූට උත්සාහය පරාජය කිරීමේ වඩා ඵලදායී වූත් වඩා සරල වූත් හොඳම ක්‍රමය වන්නේ ඊට අවශ්‍ය තුනෙන්-දෙකේ බහුතරය ලබා නොදීමයි.

එකී  තුනෙන් - දෙකේ බහුතර බලයක් ලබා ගත නොහැකි තැන එම උත්සාහය ලත් තැනම ලොප් වන බැවින් අඟලකින්වත් ඉදිරියට යා නොහැකි වනු ඇත. මේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන්-දෙකේ  බහුතර බලයක් නොමැති හෙයින් වෙනත් පක්ෂයක් හෝ විපක්ෂයේ කණ්ඩායමක් විසින් අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය යටිතල ව්‍යුහය තිරසාර ලෙස රැක ගැනීමට උදවු දෙන ගුණධර්ම කාබාසිනියා කිරීමට තුඩු දෙන කිසිදු ප්‍රයත්නයක් දරනු ඇතැයි සිතීම පවා උගහටය.

 

(***)