විහාරමහා දේවී උයන ලස්සන වෙන්නේ මෙහෙමයි


 

වැඩ අවසන් වූ පසු උයන දිස්වන අයුරු දැක්වෙන පරිගණක නිර්මාණයකි.

 

කොළොම් පුරේ ශි‍්‍රයා
කොළොම් පුරේ ශි‍්‍රයා
බොහොම ලස්සනයි කොළොම් පුරේ ශි‍්‍රයා ශි‍්‍රයා ...

අතීතයේදී කොළඹ නගරයේ ශි‍්‍රයාව මෙලෙස විචිත‍්‍රවත්ව වර්ණනා කෙරෙනුද පසුකාලීනව එහි වටිනාකම දියවී ගොස් තිබුණි.

අහස සිඹින කුණු කඳු, දුඟඳ හමන කාණු පද්ධති දින දින වැඩිවී වාහන දුමෙන් දුෂණයවන ලොව ප‍්‍රධානම දෙවැනි නගරය බවට කොළඹ නගරය පත්වූයේ දියුුණුවෙන ලෝකය තුළ ආකල්පමය වශයෙන් ආගාධයට යන මිනිසුන් නිසාද විය හැක.

මෙම කරුණුද අද වළපල්ලට යමින් තිබේ. කවුරුන් කෙසේ කිව්වද සංවර්ධනය කරා පියමනිනා රට තුළ මහා මාර්ග ඉදිවීම, අධිවේගී මාර්ග, රෝහල්, ව්‍යාපාරික ගොඩනැගිලි ඉදිවීම සේම නව නගර සැලසුම්ද සුවිශේෂිය. යටත් විජිත යුගයේදී ඉදිකළ පුරහල චතුරශ‍්‍රය ඉදිරිපිට ඇති වික්ටෝරියා පාක් හෙවත් විහාර මහා දේවි උද්‍යානයට අපි පිය මැන්නෙමු.

අලංකාර උද්‍යානයක් වෙනුවට එහි තිබුණේ භූමි වපසරිය වෙනස් කරමින් සිදුකරනා විපර්යාසයන්ය.

ඉංජිනේරුවන්, වාස්තු විද්‍යාඥයින්, ගෘහ නිර්මාණ ශිල්පීන්, කොන්ත‍්‍රාත්කරුවන් සහ අත් උදව්කරුවන් ඇතුළු මොළයෙන් ශරීර ශක්තියෙන් නව නිර්මාණයක් ගොඩනගනු වස් යුහුසුළුව කි‍්‍රයාකරනා එකම පිරිසක් එකම බිමකදී දුටුවෙමු.

අව්ව, වැස්ස නොතකා රෑ දහවල් නොබලා වෙහෙසවන සියලූ දෙනාගේම දහඩිය ශක්තියෙන් බිහිවන නව ව්‍යාපෘතියේ තොරතුරු අපි සොයා ගියෙමු.
කොළඹ මහ නගර සභාවේ ජ්‍යෙෂ්ඨ වාස්තු විද්‍යාඥ එස්. යූ. බී. දොලපිහිල්ල මහතාගෙන් අප තොරතුරු විමසා සිටියෙමු.

ලෝක බැංකු ණය ව්‍යාපෘතිය යටතේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූළික මඟපෙන්වීම යටතේ කොළඹ අග නගරය ආශි‍්‍රත සංවර්ධන ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කෙරේ. ඒ 2011 වසරේදී සිටය.

කොළඹ මහ නගර සභා භූමිය, විහාර මහා දේවි උද්‍යානය, සහ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මාවත, එෆ්. ආර්. සේනානායක මාවත, අනගාරික ධර්මපාල මාවත සහ නෙළුම් පොකුණ පාර යන පුරහල චතුරශ‍්‍ර භූමි භාගය මෙම ව්‍යාපෘතිය යටතේ නවීකරණය කෙරේ.  ලොව පුරා ප‍්‍රධාන නගරයන්හි ඉදි කෙරෙනා නාගරික පොදු මහජන උද්‍යානයන්හි මූළිකම කරුණක් වනුයේ තාප්ප, බැරියර්, ගේට්ටු, ආදිය යොදා ආවරණය නොකළ නිදහස් විවෘත වටපිටාවක පොදු මහජන උද්‍යාන බිහිවීමය.

එය ආදර්ශයට ගෙන අලූත්වැඩියා කටයුතු සිදු කෙරෙන විහාර මහාදේවි උද්‍යාන භූමි භාගය පුරාවටම ඇති යකඩ වැටවල් ඉවත්කර සීමා මායිම් නොමැති වටපිටාවක් සකසා තිබේ.

කොළඹ මහ නගර සභා භූමියත් විහාර මහාදේවි උද්‍යානයත් සහ ඉහතින් සඳහන් කළ ඒ අවට ඇති ප‍්‍රධාන මාර්ගත් එකම භූමියක් ලෙස නව සැලැස්මට අනුව ඉදි කෙරේ.

පෙර පැවැති භූමි භාගය තුළ එකම වර්ගයේ තණ පිඩලි අල්ලා පෙර පැවති විශාල ප‍්‍රමාණයේ ගස්, පඳුරු, ස්වරූපයේ ශාක විශේෂ කිසිවක් ඉවත් නොකර, මී, පළු, බුරුත ශාක අලූතින් එක්කර නව උද්‍යාන සැළැස්මට අනුව ප‍්‍රතිසංස්කරණය කෙරේ.

වාහන දුමෙන් මොහොතක් පාසා දුෂ්‍යවන පරිසරයට නව වාතාශ‍්‍රයක එක් කිරීමත් අවට පරිසරය පුරාවට සෙවණ, සිසිලස, සෞම්‍ය බව රඳා පවතින්නටත්, මෙලෙස ගස්, තුරුලතා වැඩි කිරීමට කටයුතු යොදා තිබේ.

බි‍්‍රතාන්‍ය යුගයේදී රෝම වාස්තු විද්‍යාඥයින්ගේ සැළසුම්වලට අනුව ඉදිකෙරුණු මෙම ඉදිකිරීම් සියල්ලෙහිම ආකෘතීන්ට හානියක් නොවනා පරිදි ජනහිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම මෙහි මූලික අරමුණය.

පුරහල, නිදහස් චතුරශ‍්‍රයත්, විහාරමහාදේවි උද්‍යානයත්, අවට පාරවල් සියල්ලත් එකම භූමියක පිහිටන අයුරකින් පෙනීමට නගර සැළසුම් කිරීමේදී යොදාගෙන ඇති තවත් ප‍්‍රධානම ක‍්‍රම වේදයක් වී ඇත්තේ ඒ සඳහාම විශේෂිත වීදි අලංකරණ ලාම්පු භාවිතයෙන් එම හෙක්ටයාර් හැටක පමණ භූමි ප‍්‍රමාණයකට ආලෝකය සැපයීමටය.

සීමා මායිම් වෙන් කිරීමට කොන්කී‍්‍රට් තාප්ප යොදනවා වෙනුවට වර්ණවත් මල් පූදින මල් ශාක සහ වර්ණ කිහිපයකින් යුතු පත‍්‍ර ඇති ශාක සිටුවීමට කටයුතු යොදා තිබේ.

පාරිසරික සහ සමාජීය වශයෙන් වටිනාකම් එකතුවන අයුරින් නිර්මාණය කෙරෙනා නව උද්‍යාන භූමිය පුරාවටම  ඕනෑම අයෙකුට නිදහසේ හිඳගෙන අවට සිරි නැරැුඹිය හැකි අලංකාර උද්‍යාන ආසන යෙදවේ. දෙදෙනෙකුට, තිදෙනෙකුට, සිව්දෙනෙකුට හිඳගත හැකි පරිදි මෙලෙස අලංකාර පුටු සකස්කර තිබේ.
තවත් ආකාරයට සකස් කළ උද්‍යාන කුඩ, තුරුගොමු ආකාරයෙන් සකස් කළ ආවරණ ආදියද උද්‍යානය තුළ ඉදිකෙරේ.

දිනයේ පැය විසිහතර පුරාවටම විවෘතව පවතින උද්‍යානයට  ඕනෑම අයෙකුට  ඕනෑම වේලාවකදී යා හැකි සේම එහි ආරක්ෂාව වෙනුවෙන්ද විශේෂ වැඩ පිළිවෙළක් ද යොදා තිබේ.

 දහවලදී සේම රාති‍්‍රයේදීත් ආලෝකය හොඳින් පවතින පරිදි විශේෂ සැළසුමකට අනුව විදුලි ආලෝකය ලබාදීමද ව්‍යාපෘතියෙහි කොටසකි. මීට පෙර පැවැති උද්‍යානයට විනෝදවීම පිණිස දරුවන් පැමිණියත් හුදෙකලාව පෙම්බස් දෙඞීමට පෙම්වතුන් පැමිණියත්, දුගී මගී යාචකයන්, සාස්තරකරුවන් සුළු  ව්‍යාපාරිකයන් තම ව්‍යාපාර කටයුත්ත කර ගැනීමක් හැර අහම්බෙන් අයෙකු විඩාව නිවා ගැනීමට තුරු ගොමුවක් යටට ගියත් ඉන් එහා ගිය ප‍්‍රයෝජනයක් ලබා ගැනීමට උද්‍යානයට ගොඩවූයේ නැත.

රුපියල් මිලියන හත්සියයක වියදමින් ඉදිවන නව උද්‍යාන භූමිය වටා දරුවන්ට විනෝදය පිණිස හෝ ශරීරික සුවතාවය වෙනුවෙන් පාපැදි (බයිසිකල්) පැදිය හැකි මං තීරුවක්ද ඉදිවේ.  ඕනෑම අයෙකුට ප‍්‍රයෝජනයට ගත හැකි ශාරීරික සුවතාවන්හි යෙදිය හැකි මං තීරුත් නව උද්‍යානය තුළදී දැකගත හැකිය.

සතුටු උද්‍යාන නව සැළැස්ම යටතේ ඉදි නොවුනත් දරුවන්ට සෙල්ලම් කිරීමට නිදහස් වටපිටාවකින් යුතු පිට්ටනියක් සේම දරුවන්ට ශරීරය පිරිසුදු කිරීමේ ජල පහසුකම් සහිත කාමර ඉදි කෙරේ.

නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත සුපිරි මට්ටමේ පොදු වැසිකිළි පද්ධතියක්ද උද්‍යානයේ ඉදිකිරීමට කටයුතු යොදා තිබේ.

කොළඹ අගනගර ආශි‍්‍රත සංවර්ධන ව්‍යාපෘතිය, නොවැම්බර් මාසයේ මෙරට පැවැත් වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට පෙර ජනතා අයිතියට පත් කිරීමට සියලූ දේ සූදානම්කර ඇත.

නව සැළසුමට අනුව කොළඹ මහ නගර සභා භූමියේ කටයුතු මෙම වසරේ අගෝස්තු මාසයේ මැද වනවිටත්, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මාවත, එෆ්. ආර්. සේනානායක මාවත, අනගාරික ධර්මපාල මාවත සහ නෙළුම් පොකුණ පාරේ නව ප‍්‍රතිසංස්කරණ කටයුතු අගෝස්තු අගභාගය වනවිටත්, විහාරමහා දේවි උද්‍යානයේ නව ඉදිකිරීම් කටයුතු ඔක්තෝබර් මස අවසන් වනවිටත් නිම කිරීමට සියලූ කටයුතුසම්පාදනය කෙරේ.

නගර අනන්‍යතාවයත් මිනිසුන්ට විවේක ගැනීමට හැකි වටපිටාවක් පරිසර හිතකාමීව සමාජීය වටිනාකමින් යුතු භූමි භාගයක් නිර්මාණය කිරීමේ පසුපස සිටිනා නියමුවන්ද බොහොමයකි. නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ කොමිසම, කොළඹ මහ නගර සභාව ඉන් ප‍්‍රධානය.

කොළඹ අවට කිලෝ මීටර් දහයක පමණ වපසරියක්  ඕනෑම පුද්ගලයෙකුට නිදහසේ ඇවිදගෙන යෑමට හැකි පරිදි මාවත් ප‍්‍රතිසංස්කරණය කිරීමටද කටයුතු යොදා තිබේ.

කොළඹ උතුරු ප‍්‍රදේශයේ පදිංචිව සිටිනා පිරිසගේ විනෝදය, නිදහස පිණිස ”කාකදුව” වෙරළ තීරුව වෙරළ බඩ උද්‍යානයක් (බීච් පාක්)  ලෙසින්ද කොල්ලූපිටිය, වැල්ලවත්ත දක්වා ඇති මුහුදු තීරුව වෙරළ බඩ උද්‍යානයක් ලෙසින්ද නවීකරණය කිරීමට නියමිතය.

 

සටහන - අසුන්තා එදිරිසූරිය