වූහාන් නුවරුන්ගේ ළසෝව


'නිහඬ නුවරක හුදකලාවක' ලිපියේ දෙවන කොටස...


ජනවාරි 26 - අපි අපේ ම හඬට සවන් දෙමින්

වූහාන් නගරයේ විතරක් නෙමෙයි මිනිස්සු අතරත් කතාබහ නතරවෙලා.

වයිරසය නිසා නගරයේ සංචාරය කරන්නෙපා කියලා රජය දැනුම්දුන් පළවෙනි දවසෙදි මට සමාජ මාධ්‍යවලට කිසිවක් ලියාගන්න බැරිවුණා. ඒවෙද්දි අන්තර්ජාල වාරණය කරලයි තිබුණේ. අඩුම තරමේ ‘වීචැට්’ වලින්වත් මට මගේ අදහසක් පළකරන්න බැරිවුණා.  චීනය අන්තර්ජාල වාරණය පටන් අරන් ගොඩක් කල්. ඒත් මේ මොහාතෙදි ඒ දේ දැනුණෙ බොහොම නපුරු දෙයක් හැටියටයි.

මනුස්සයෙක්ගේ මුළු ජීවිතය ම උඩු යටිකුරු වුණාම, ආයෙමත් ඒක සාමාන්‍ය මට්ටමට රැගෙන එන එක අභියෝගයක්. මම හැම උදෑසනකම අමතක නොකර ශාරීරික අභ්‍යාසවල යෙදුණු බව ඇත්ත. ඒත් මගෙ හිතේ තිබුණෙ ඒක නෙමෙයි, නොපැහැදිලි සංකීර්ණ අදහස් ගොඩක් විතරයි.

මම අදත් පාරට බැහැලා ටිකක් එහා මෙහා ඇවිදින්න හිතුවා. එහෙම යද්දි පාර දිගට හමුවෙන මිනිස්සු එකින් එක ගණන් කරන්න පටන්ගත්තා. නිවාස සංකීර්ණයේ ඉඳන් නූඩ්ල්ස් වෙළඳසැල වෙනකම් මීටර් 500ක් දුරකට මට මුණගැහුනෙ 8දෙනායි.

ආයිමත් නිවාස සංකීර්ණයට යන්න හිතන්නවත් මට ඕනෙ වුණේ නැහැ. මං ආස කළේ එළියට බැහැලා තවදුරටත් මේ ගැන හොයාබලන්නයි. මම වූහාන්වලට ඇවිත් තවම මාස දෙකයි. ඒනිසා මේ නගරයේ ගොඩක් යාලුවො මට හිටියෙ නැහැ. මම තවම නගරය ගැනවත් හරියට දන්නෙ නැහැ.

අද මිනිස්සු 100දෙනෙක් විතර මගේ අවට ඉන්නවා මම දැක්කා. මම මීට වඩා මාව  සවිමත් කරගන්න ඕනේ කියලා මම දන්නවා. සියලු විලංගු බිඳින්න ඕනෙ.

වයිසරයෙන් මිදිලා නගරය පණගැහෙනකම් හැමෝම බලාපොරොත්තු සහගතව බලාගෙන ඉන්නවා. මින් ඉදිරි කාලෙකදි මට පුලුවන්වේවි යහලුවන් මුණගැහිලා ටිකක් කතා කර කර ඉන්න.

රෑ 8.00ට විතර මිනිස්සු නිවෙස්වල කවුළුවලින් පිටතට හයියෙන් කෑගහනවා මට ඇහුණා.

‘වූහාන්- ඉදිරියටම යමු!’

‘වූහාන්- ඉදිරියටම යමු!’

ඒ වචන මන්තරයක් වාගේ පටන් අරගෙන, ලොකු හඬක් බවට පත්වෙමින් හැමපැත්තෙන් ම ඇහෙන්න ගත්තා. ඒ වෙනකොටත් මිනිසුන්ගේ ආත්ම විශ්වාසය ගොඩනංවන්න ඒ වචන ලොකු දෙයක් කරමින් හිටියා.

ජනවාරි 28- අන්තිමේදී හිරුකිරණක්

වයිරසය නිසා ඇති වුණු කලබලය මිනිස්සු අතර කූඤ්ඤක් ගැහුවා වගේ හරහට හිටලයි තිබුණේ.

නගර ගණනාවක මිනිස්සු හිටියේ මුඛ ආවරණ පැළඳගෙන. ඔවුන්ට එහෙම ඉන්නයි උපදෙස් දී තිබුණේ.

ආවරණ පළඳින්නේ නැතිව පොදු ප්‍රවාහන සේවාවල ගිය මිනිස්සු කිහිපදෙනෙක්ව ම ඒවායින් එළියට ඇදලා දාලා ලු. මම දන්නෙ නැහැ ඇයි ඔවුන් ආවරණ පළඳින්නෙ නැතුව එහෙම ගියේ කියලා.  සමහරවිට ඒ අයට මිලදීගන්න බැරිවෙන්නැති. නැතිනම් ඒ අය ආවරණ නැතිව නොයායුතුයි කියලා තියෙන දැන්වීම් ගැන දන්නෙ නැතුව ඇති. ඒ කොහොම වුණත් අවම වශයෙන් බාහිර ලෝකයේ සැරිසරන්න  ඔවුන්ට තියෙන අයිතිය අහිමි වෙලා නැහැ.

සමහර මිනිස්සු තමන් හිටපු නිවාසවල දොරගුළුවලට මුද්‍රා තියලා. ඔවුන් ම කැමැත්තෙන් එක්තරා නිරෝධායන කාලයක් ගතකරමින් හිටියා.

හුබෙයි ප්‍රාන්තයේ මිනිසුන්ව ඔවුන්ගේ නිවාසවලින් පිටතට එලවලා. යන්න තැනක් නැතිව ඔවුන් අසරණව බලාහිටියා. ඇතැම් අය හුබෙයිවලින් ආව ඒ පිරිසට නවාතැන් පහසුකම් දෙන්න තරම් පරිත්‍යාගශීලී වුණා.

චීනවැසියන්ව නිවාසවල රඳවගන්න තරම් මානසිකත්වය ගොඩනංවන්න ආණ්ඩුවට අවශ්‍ය නම්, ඒ වෙනුවෙන් ඇතිතරම් ක්‍රම තිබුණා. ඔවුන්ට පුලුවන් හැම පුරවැසියෙකුට ම මුඛ ආවරණය බැගින් දෙන්න. අඩු තරමින් නිවාසවලට ම වෙලා ඉන්න මිනිසුන්ට යම් කිසි දිරි දීමනාවක් කරන්නවත්.

දවස් ගාණකට පස්සෙ අන්තිමේදී හිරු කිරණ වැටෙන්න ගත්තෙ, මගෙ හිතේ තියෙන දේවල් එළියට ගලන්නා වගේ. මං හිටපු නිවාස සංකීර්ණයේ මිනිස්සු බොහෝදෙනෙක් රැඳී ඉන්නවා මම දැක්කා. සමාජ සේවකයො කිහිපදෙනෙකුත්. ඔවුන් අනේවාසික මිනිසුන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කරමින් හිටියේ.

මුළු නගරය ම තිබුණෙ දැඩි බරකින් හෙම්බත් වෙලා. නගරයක් මේ වගේ තත්වයක තියෙද්දි, මිනිසුන් අතර බැඳීම්, විශ්වාසය ගොඩනංවන එක අමාරු දෙයක්.

මේ දේවල් පත්තියං වෙලා ම,  මම හිටියෙ හැමදෙයක් ගැනම සැලකිල්ලෙන්. ජීවිතේ ආරක්ෂාකරගන්න එක ගැන මගේ කාංසාව හෙමින් හෙමින් අතුරුදන් වෙමින් තිබුණා.

වූහාන්වල ඉන්න මිනිස්සු එක්ක මම බැඳීම් ගොඩනගාන්නෙ නැතිව නගරයේ ඇවිදින එක කිසිම තේරුමක් නැති දෙයක්. සමාජයේ කොටස්කරුවෙක් වීම හරිම වැදගත්. හැම කෙනෙක්ම සමාජය ඇතුළෙ තමන්ට හිමි භූමිකාව හොයාගන්න ඕනෙ. ඒවගේම තවත් කෙනෙකුගේ ජීවිතය අරුත්බර කරන්න උත්සාහගන්න ඕනෙ.

මේ හුදකලා වූහාන් නගරයේ, මමත් මගේ භූමිකාව හොයාගෙන යන්න ඕනෙ.

මතු සම්බන්ධයි

ඩිල්ෂානි චතුරිකා දාබරේ

 

 

(ලිපියේ පළමු කොටස සඳහානිහඬ නුවරක හුදකලාවක වෙත පිවිසෙන්න )