වෙනසක් වෙනුවෙන් ඉවසීම


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවට මේ දිනවල සිදුවී ඇත්තේ රට මුහුණ දී ඇති ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවක් නැතිව ඇමැතිවරුන් තුන් දෙනකුගේ කැබිනට් මණ්ඩලයකින් විසඳුම් සෙවීමට වඩා පරාජිත දේශපාලනඥයන් නඟන පදනමක් ඇති හා නැති විවිධ ප්‍රශ්නවලට පිළිතුරු දීමටය.

විටෙක  එම දේශපාලනඥයෝ ආණ්ඩුව අලුතින් ණය ගන්නා බව ප්‍රකාශ කළහ. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත්  මහතා එය ප්‍රතික්ෂේප කළේය. ඉන්පසු ශ්‍රී ලංකා මහ බැංකුවද එය ප්‍රතික්ෂේප කළේය. මහ බැංකුව උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත්පත පළ කළ  විස්තරාත්මක පුවතක් අනුවද එවැන්නක් සිදුවී නැත.

එහිදී සිදුවී තිබුණේ කල් පිරෙන බැඳුම්කර වෙනුවට අලුත් බැඳුම්කර විකිණීමත් බව එම පුවතේ සඳහන් විය. එම පුවත සමග මහ බැංකුවේ තොරතුරු පදනම් කරගෙන පළ කරනු ලැබ තිබුණු ග්‍රැෆික්  සටහනක් අනුව මෙම ක්‍රියාවලිය පසු ගිය ආණ්ඩුවද කරගෙන ආ එකකි. එසේම එම සටහන අනුව පසුගිය ආණ්ඩුව විසින් මෙසේ අලුතින් නිකුත් කරන ලද බැඳුම්කරවල වටිනාකම වත්මන් ආණ්ඩුව නිකුත් කළ බැඳුම්කරවල වටිනාකමට වඩා වැඩිය.

ඉන්පසු අලුත් ආණ්ඩුව මුදල් මුද්‍රණය කරන බවට තවත් පුවතක් ප්‍රචාරය විය. ආණ්ඩුව එයද ප්‍රතික්ෂේප කළේය. මහ බැංකුව ද එය ප්‍රතික්ෂේප කළේය. ඉන්පසු දෙපාර්ශ්වය අතර මේ කාරණය පිළිබඳ තාක්ෂණික සංවාදයක් ඇරඹිණි. එය කෙමෙන් වියැකී යමින් තවමත් සිදුවේ.

මේ කරුණු ඉදිරිපත් කරමින් ආණ්ඩුව විවේචනය කරනු ලැබුවේ ප්‍රධාන වශයෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකයන් පිරිසක් විසිනි. මේ අතර තවත් ප්‍රශ්නයක් ඇද ගනිමින් වික්‍රමසිංහ පැවසුවේ තමන් බලයේ සිටිය දී රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා මුදල් වෙන් කළ බවත් එහෙයින් වත්මන් ආණ්ඩුව එසේ වැඩිකළ මුදල් දැන් ලබාදිය යුතු බවත්ය.

ආණ්ඩුවට එය ප්‍රතික්ෂේප කරන්නට සිදුවිය. වික්‍රමසිංහ මහතා පවසන පරිදි ඔහුගේ ආණ්ඩුව රජයේ සේවකයන්ගේ වැටුප වැඩි කිරීමට තීරණය කළ බව සැබෑ නමුත් ඒ සඳහා එම ආණ්ඩුව මුදල් වෙන් කොට නැති බව විජිත හේරත් මහතා ජනමාධ්‍යවේදීන් හමුවේ පැවසීය. එහෙත් වික්‍රමසිංහ මහතා එය නෑසුණා සේ ආණ්ඩුව දැන් එම වැටුප් වර්ධකය ලබා දිය යුතු යැයි කියමින් සිටියේය. ඇත්ත වශයෙන්ම වික්‍රමසිංහ මහතා පසුගිය මැතිවරණ සමයේදී පැවසුවේ 2025 ජනවාරි මස සිට වැටුප් වැඩි කරන බවය.

වික්‍රමසිංහ මහතාට පිළිතුරු දීමේ දී පසුගිය ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය වැටුප් වැඩි කිරීමට තීරණය කළද ඒ සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගෙන නැතැයි අගමැතිනි අචාර්ය හරිනි අමරසූරිය වරක් පැවසුවාය. කටු අත්තක් සේ පැටලෙන්නට මෙය වික්‍රමසිංහ මහතාට හොඳ පොටක් පාදා දුන්නේය. කැබිනට් මණ්ඩලය නිලධාරීන්ගේ උපදෙස් මත තීන්දු නොගන්නා බවත් අගමැතිනිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොදන්නා බවත් අවශ්‍ය නම් තමාට එය ඉගැන්විය හැකි බවත් ඔහු කීවේය.

මැතිවරණ කල් දමන, අධිකරණ තීන්දු නොපිළිගන්නා, ව්‍යවස්ථා සභාවේ තීරණ නොපිළිගන්නා පුද්ගලයකු දන්නා ව්‍යවස්ථාවක් නැතැයි ද එවැන්නකුගෙන් තමන්ට ව්‍යවස්ථාව ගැන ඉගෙන ගැනීමට අවශ්‍යතාවක් නැතැයි ද මහ බැංකු බැඳුම්කර මගඩිය ද සිහිපත් කරමින්  ඊට අගමැතිනිය පිළිතුරු දුන්නාය.

 එවිට වික්‍රමසිංහ මහතා තවත් අලුත් මාතෘකාවක් ඇද ගත්තේය. ඒ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවයි. එහෙත් එම ප්‍රශ්නය මුලින් මතු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් පුද්ගලයෝය. යුද්ධය අවසන් කළ ජනාධිපතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව ඔවුහු පැවසූහ. එය ප්‍රතික්ෂේප කළ විජිත හේරත් අමාත්‍යවරයා රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදා භටයන් පිරිසකට අමතරව පොලිස් නිලධාරීන් 180 දෙනකු යොදවා සිටින බව සඳහන් කළේය.

 එහෙත් එය ගණන් නොගත් වික්‍රමසිංහ මහතා තමාගේ ආරක්ෂාව අහිමි කළත් හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ හා මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු නොකළ යුතු යැයි පවසමින් කුමාරතුංග මහත්මියගේ සැමියා වූ විජය කුමාරතුංග මහතා ඝාතනය කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් යැයි ද පැවසීය.

ඔහු මෙසේ අතොරක් නැතිව කටු අත්තක් මෙන් ආණ්ඩුව සමග පැටලෙන්නට යාම චිත්‍රනය කරමින් කාටුන් ශිල්පියෙක් අපුරු කාටුනයක් ඇද තිබිණි. එහි වික්‍රමසිංහ මහතා මැස්සකු සේ ඇඳ තිබු අතර එම මැස්සා අතොරක් නැතිව අනුර කුමාර දිසානායක මහතාගේ මුහුණේ, අතේ, කටේ, පිටේ හිසේ වසමින් වද දෙනු පෙන්නුම් කොට තිබිණි.

පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල මහතා  වික්‍රමසිංහ මහතා විසින් පාස්කු ඉරිදා දින සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට අදාළව පත් කරන ලද කමිටු දෙකක වාර්තා ප්‍රකාශයට පත් කරමින් ආණ්ඩුව අසිරුවට පත් කරන්නට උත්සාහ කළේද මේ අතරතුරය. රට දන්නා පරිදි මෙම වාර්තා දෙකද අවසාන වතාවට තිබුණේ වික්‍රමසිංහ මහතා අතේය.

 හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය යොදාගෙන වික්‍රමසිංහ මහතා දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරනවා විය හැකිය. එහෙත් එය  බැරෑරුම් කාරණයක්ය යන්න නම් ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඒ සඳහා අතීත සිදුවීම් දෙකක් ගෙන හැර දැක්විය හැකිය.

එකක් නම් විශ්‍රාමලත් හමුදා නිලධාරියකු වූ මේජර් ලකී අල්ගම කොටි සංවිධානය විසින් ඝාතනය කරනු ලැබීය. ඒ  වනවිට එනම් 1999 දී ඔහු එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයේ නිරත වී සිටියේය. තමන්ට කොටි සංවිධානයෙන් මරණ තර්ජන ඇතැයි ඔහු කොතෙක් කීවද එවක සිටි ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආණ්ඩුව ඔහුගේ ආරක්ෂාව  අවශ්‍ය තරම් තර කළේ නැත. අවසානයේ දී 1999 දෙසැම්බර් 18 වැනිදා ජාඇළදි රැස්වීමක් අමතමින් සිටියදී ඔහු බෝම්බ ප්‍රහාරයකින් මිය ගියේය.

එම සිද්ධියෙන් පැයකට පසු කුමාරතුංග මහත්මියද කොළඹ නගර සභා භූමියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්වී බරපතළ තුවාල ලැබ දිවි ගලවා ගත්තාය.

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ගේ කතාන්තදරයද එවැන්නකි. එජාප දේශපාලනයට බට පෙරේරා මහතා ආරක්ෂාව ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පවා ගියේය. එහෙත් එවක පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පැවසුවේ බුද්ධි අංශවල තක්සේරුව අනුව ඔහුට ආරක්ෂාව සපයා ඇති බවය. එසේ වුවද 2008 ඔක්තෝබර් 6 වැනිදා ඔහු අනුරාධපුරයේ රැස්වීමකට සහභාගි වෙමින් සිටියදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් තවත් 27 දෙනකු සමග ඝාතනයට ලක්විය. අතීත ජනාධිපතිවරුන් දේශපාලන ප්‍රතිවාදීන්ගේ ආරක්ෂාව  මෙසේ අනතුරට ලක් කළද දැන් එසේ විය යුතු නැත. එසේම එම කාරණය යොදාගෙන කිසිවකු දේශපාලන වාසි ලබා ගැනීමද නොකළ යුත්තකි.

මේ දිනවල බොහෝ දේශපාලනඥයන්ගේ තර්ක කුඩා ළමයින්ගේ තර්කවලට වඩා කිසිදු වෙනසක් නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන ඉදියට යන විට හා එමඟින් අපේක්ෂිත අතැම් ප්‍රතිඵල ලැබෙන විට හිටපු ජනාධිපතිවරයාගේ හිතවත්තු නව ආණ්ඩුවද වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්තිම අනුගමය කරන බව කියති. එහෙත් ඒ අතරම එම වැඩ සටහනට බැඳ දමා ඇති විදුලි බිල හා ඉන්ධන බිල අඩු නොකරන බවට ආණ්ඩුව දෝෂ දර්ශනයට ද ලක් කරති.

එසේම මෙම විදුලිය හා ඉන්ධන මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ නොයාම පෙන්වමින් සමගි ජන බලවේගය ආණ්ඩුව වික්‍රමසිංහ මහතාගේ ගමන් මඟම ගන්නා බව කියයි.

මේ කාරණයේදී ආණ්ඩුව අසීරුවට පත්වී සිටින බව සැබෑය. ඊට හේතුව තමන් බලයට පත්වූ සැණින් එම මිල අඩු කරන බව මැතිවරණයට පෙර එහි නායකයන් පොරොන්දු වීම නිසාය. වියදම පදනම් කරගෙන  මෙම භාණ්ඩවල මිල තීරණය කළ යුතුය යන කාරණාව  මූල්‍ය අරමුදලේ කොන්දේසියකි. ඒ ප්‍රශ්නයට ජාතික ජන බලවේගයේ නායකයන් මුහුණ දී සිටින්නේ දැන්ය.

කෙසේ වෙතත් මෙම කරුණුවලදී විශේෂයෙන්ම එජාපය අවධාරණය කොට ජනමතයක් ගොඩ නගන්නට යන්නේ ආණ්ඩුවට අත්දැකීම් නැතැයි යන්න හා පළපුරුදු පුද්ගලයන් ආණ්ඩුවේ නැතැයි ද යන්නයි. අත්දැකීම් ඇතැයි කියන නායකයන් පසුගිය කාලයේ කළ විනාශය සිහිපත් කරමින් ජාතික ජන බලවේගයේ නායකයන් ඊට ඉතා සාර්ථක පිළිතුරක් දුන්නද වික්‍රමසිංහ මහතාගේ හිතවත්තු එම චෝදනාව නොකඩවා නගමින් සිටිති. එකම බොරුව සිය වතාවක් කියන විට කියන්නාට ද  එය සත්‍යයකැයි සිතෙන බව හිට්ලර්ගේ ප්‍රචාරක ඇමැතිවූ ජොසන් ගොබෙල්ස් ඉදිරිපත් කළ න්‍යාය ඔවුන් පිළිපදින බව පෙනේ. 

කෙසේ වෙතත් පොරොන්දු වූ පරිදි වෙනසක් සිදුවන්නේ නැතැයි ආණ්ඩුවට එල්ල වන චෝදනාව එතරම් සාධාරණ නොවන්නේ නම් ජනාධිපතිවරයා බලයට පත් වී තවමත් මාස දෙක් හෝ ගතවී නැති වීමත් බොහෝ වෙනස්කම් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සහාය අවශ්‍ය වීමත් කාරණා නිසාය. වෙනසක් සිදුවන තෙක් කටයුතු කළ යුතු වන්නේ වෙනස් කළ යුතු පවතින ක්‍රමය තුළමය. ඒ සඳහා අඩු තරමින් යෝජිත අතුරු සම්මත ගිණුම නොව පූර්ණ අයවැයක් ඉදිරිපත් කෙරෙන තෙක් හෝ ඉවසා සිටිය යුතු වනු ඇත.

කෙසේ වෙතත් මාලිමා ආණ්ඩුව විශාල ගැටලුවකට  මුහුණ දෙනු ඇත්තේ එ.ජා. මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගවලට මුහුණ දීමේදීය. පසුගිය මාසයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එම කවුන්සිලයේ සම්මත වූ යෝජනාව ආණ්ඩුව මීට පෙර ආණ්ඩු කළා සේම ප්‍රතික්ෂේප කළේය. ඒ ගැන ආණ්ඩුවට හිතවත් රැඩිකල් මතධාරීන් තුළද ඇත්තේ අප්‍රසාදයකි. එහෙත් ආණ්ඩුව එසේ නොකළා නම් සමහර  විට ජාතික ජන බලවේගය මහ මැතිවරණයෙන් පරාජය වීමට වුවද එය ප්‍රමාණවත්ය. එසේ වුවහොත්  ඔවුන්ට වෙනසක් පිළිබඳ ඇති අපේක්ෂා ද අත් හැරීමට සිදුවනු ඇත. කොටින්ම මෙය ආණ්ඩුව පිළිබඳ විනිශ්චයක් කළ හැකි කාලයක් නොව සංක්‍රාන්ති කාලයක් පමණි.

(*** එච්.එස්.එම්.අයුබ්)