වෙළෙඳපොළ ගසාකන මාෆියාව


මේ දිනවල සමහර පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් වෙනස් වන ආකාරය ‌බොහෝ දෙනකුගේ විමතියට හේතුවී ඇති බව පෙනේ. රජය පත්වූ වහාම බිත්තරවල මිල ගණන් අසාමාන්‍ය ලෙස පහත වැටුණි. රුපියල් 50කට වැඩි මුදලකට අලෙවි වෙමින් තිබූ බිත්තරවල මිල රු. 32 දක්වා ක්ෂණිකව අඩුවිය. ඒ පිළිබඳව විවිධ අර්ථකථන ද රජයේ පාර්ශ්වයෙන් ඉදිරිපත් විය.

මේ දක්වා ලබාගත් කොමිස් මුදල අඩුවීම නිසා මිල ගණන් පහළ වැටුණු බව එක් ප්‍රකාශයකින් කියවිණි. එසේ වුවද පාරිභෝගිකයාට විශාල සතුටක් ගෙන දුන් එම තත්වය පැවතුණේ දින කීපයක් පමණි. දැන් නැවත වරක් බිත්තර මිල පෙර පැවති ගණනටම වැඩිවී තිබේ. මෙම සිදුවීම මෙන්ම තවත් භාණ්ඩවල මිල සම්බන්ධයෙන් මතුවී ඇති වෙනස්වීම්වලින් නව රජයට මෙන්ම පාරිභෝගිකයාට ද රටේ වෙළෙඳපොළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව විනිශ්චයකට එළඹීම සඳහා අවස්ථාවක් සැලසී ඇතැයි සිතමි.

නව රජයක් පත්ව සිටියදී, මහ මැතිවරණයකට රටේ ජනතාව මුහුණදී සිටියදී සහල් මිල ගණන් ආදියෙහි සිදුවන වෙනස්කම් ද විමර්ශනයට ලක්කළ යුතුව ඇත. සහල් මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබේ. ඒ අතරම සහල් හිඟයක් පවතින බවට ද කට කථා පැතිර ගොස් ඇත. රට තුළ දේශපාලනික වශයෙන් වෙනස්කම් ඇතිව තිබියදී සහ මහ මැතිවරණයක් පවතින අවස්ථාවකදී පවා මේ ආකාරයේ වෙනස්කම් ඇති වන්නේ කවර හේතු නිසාද යන්න පිළිබඳව වගකිව යුත්තන්ගේ අවධානය යොමුවිය යුතුව ඇත.

මේ අවස්ථාවේදී බිත්තර මිල සහ සහල් මිල ඉහළ යෑම ඉල්ලු‍මේ සහ සැපයුමේ වෙනස්වීමක් නිසා සිදුවන්නක් නොවන බව නිශ්චිතවම පෙනී යන කරුණකි. සැපයුමේ හෝ ඉල්ලු‍මේ ක්ෂණික වෙනසක් බිත්තර සම්බන්ධයෙන් සිදුවිය නොහැකිය. බිත්තර සැපයුම සම්බන්ධයෙන් පවත්වාගෙන යනු ලබන, ඇතැම් අය මාෆියාවක් ලෙස හඳුන්වන කතිපයාධිකාරය විසින් වෙළෙඳපොළ හසුරවමින් මිල ගණන් වෙනස් කරනු ලබයි. දින කීපයක් තුළ මිල ගණන් විශාල ලෙස පහත වැටීමටත්, ක්ෂණිකවම මිල ගණන් ඉහළ යෑමටත් හේතුවී ඇත්තේ එයයි. කොමිස් මුදල ඉහළ යෑම නිසා මිල අඩුවූ බවට කරන ප්‍රකාශත්, දැන් මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ එම කොමිස් මුදල නව රජයේ බලධාරියකු විසින් ලබාගන්නා නිසා ද යන ප්‍රශ්න කිරීමත් බිත්තර වෙළෙඳපොළේ හැසිරීම පිළිබඳ පවතින අනවබෝධය හේතුවෙන් ඉදිරිපත් වන ප්‍රකාශ ලෙස හැඳින්විය හැකිය. එවැනි ප්‍රකාශ නිසා බිත්තර වෙළෙඳපොළ ඉල්ලු‍ම සහ සැපයුම අනුව තීරණය වන තත්වයක් ඇති නොවීමට හේතුවී ඇති කරුණු යටපත් කරන තත්වයක් ඇතිවේ.

සහල් වෙළෙඳපොළේ ඇතැම් ව්‍යාපාරිකයන් විසින් තම ලාභයම පදනම් කරගෙන තමන්ට අභිමත පරිදි මිල හසුරවන ආකාරය අද වෙළෙඳපොළ තුළින් පැහැදිලි වනු ඇතැයි සිතිය හැක. කවුරුත් දන්නා පරිදි රටේ සහල් වෙළෙඳපොළ හසුරුවනු ලබන්නේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් කීප දෙනකු විසිනි. ඉන් දෙදෙනකු ප්‍රබල දේශපාලන සම්බන්ධතා ඇති හෝ දේශපාලනයේ නියුතු අය ය. අනෙක් ප්‍රධාන ව්‍යාපාරිකයන්ට ද එවැනි සම්බන්ධතා ඇති බවද පෙනේ. රටේ ප්‍රධාන සහල් ව්‍යාපාරිකයා මීට සති කීපයකට පෙර ප්‍රකාශ කළේ සහල් මිල පාලන මිලට වඩා අඩු මට්ටමකට ගෙන ඒමට කටයුතු කරන බවය. මීට පෙර කීරි සම්බා හිඟයක් පැවතුණ ද දැන් එය නිමවී ඇත. එහෙත් පාරිභෝගිකයන් වැඩි දෙනකු පරිභෝජනය කරන නාඩු සහ සුදු කැකුළු, රතු කැකුළු වැනි සහල් වර්ගවල  මිල ගණන් හදිසියේම ඉහළ ගොස් ඇත.

මිල ගණන් ඉහළ යෑම පිළිබඳව කුඩා පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ සංගම් සහ වී මෝල් හිමියන්ගේ සංගම් විසින් අදහස් ප්‍රකාශ කරනු ලැබ තිබුණි. ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදකයන් විසින් සහල් වෙළෙඳපොළට මැදිහත් වී මිල ගණන් ඉහළ දැමීම හේතුවෙන් එම වෙනස්කම් සිදුව ඇතැයි ඔවුහු ප්‍රකාශ කරති. ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් පාලන මිල ගණන්වලට වඩා අඩුවට සහල් අලෙවි කළ හැකි බව ප්‍රකාශ කරන නමුදු ඔවුන් සැබෑවටම ක්‍රියා කරන ආකාරය සිල්ලර වෙළෙඳුන්ගෙන් විමසා බලන විට පැහැදිලි වනු ඇත. රජය විසින් සහල් සඳහා පාලන මිලක් නියම කෙරෙන සෑම අවස්ථාවකදීම එය පවත්වාගෙන යෑමට නොහැකි වන්නේ ප්‍රධාන පෙළේ නිෂ්පාදකයන් විසින් අනුගමනය කෙරෙන පිළිවෙත හේතුවෙනි. ඔවුන් සිල්ලර වෙළෙඳුන්ට සහල් ලබා දෙන්නේ පාලන මිලට සමාන මිලකටය. එවිට ඊට වඩා වැඩි මිලකට සහල් අලෙවි කිරීමට සිල්ලර වෙළෙඳුන්ට සිදුවේ. පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍ය භාණ්ඩයක් බැවින් සහල් විකිණීමෙන් වැළකී සිටීමට ද සිල්ලර වෙළෙඳුන්ට හැකියාවක් නැත.

රජය සෑම අවස්ථාවකදීම විකුණුම් මිලට අදාළව පාලන මිලක් නියම කරන නමුදු කිසිදු අවස්ථාවක තොග මිලට අදාළව පාලන මිලක් නියම කරනු නොලැබේ. තොග සඳහා පාලන මිලක් නියම කිරීම සම්බන්ධයෙන් යම් යම් ගැටලුද පවතින නමුත් රජයට අවශ්‍ය නම් තොග සඳහාද  උපරිම පාලන මිලක් නියම කළ හැකිවේ. එහෙත් එසේ නියම නොකිරීම හේතුවෙන් ප්‍රධාන පෙළේ නිෂ්පාදකයන් පාලන මිලක් නියම කර තිබියදී පවා ලාභ ලබද්දී සිල්ලර වෙළෙඳුන්ට පාඩු ලබන අතරම දඩ ගෙවීමට සහ ඇතැම් විට සිර දඬුවම් විඳීමට ද සිදුවේ. මිල පාලනයේ දී සිල්ලර මිල පාලනය කරන අතරම තොග මිල ද පාලනය කිරීමට කටයුතු නොකරන්නේ නම් පාලන මිලක් පවත්වාගෙන යෑමට කිසි විටෙක හැකියාවක් නොලැබේ.

ඊටත් වඩා වැදගත් කරුණ වන්නේ පාලන මිලක් පවත්වාගෙන යෑමට රටේ නිෂ්පාදකයන්ගෙන්, තොග වෙළෙඳුන්ගෙන් සහ සිල්ලර වෙළෙඳුන්ගෙන් කිසිදු සහායක් නොලැබීමයි. කොවිඩ් වසංගතයෙන්  පසු රජය සහ පාරිභෝගික අධිකාරිය විසින් විවිධ අවස්ථාවලදී යම් යම් භාණ්ඩ සම්බන්ධයෙන් පාලන මිලක් නියම කරනු ලැබුව ද කිසිදු අවස්ථාවක ඒවා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකිවී නැති බව පෙනේ. මිල පාලනය කිරීම භාරව ඇති රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමතාව හා දූෂණ ද මිල පාලනය කිරීම නියාමනය කිරීමේ වගකීම පැවරී ඇති නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව සහ දූෂණ ද එයට හේතුවී ඇත. එවැනි තත්වයක් තුළ මේ දිනවල ක්‍රියාත්මක වන බිත්තර වෙළෙඳපොළ සහ සහල් වෙළෙඳපොළ නව රජයක් පත්වූ බව හා මැතිවරණයක් පැවැත්වෙන බව පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වා ක්‍රියාත්මක වන බව පෙනේ. එය මහා පරිමාණ ව්‍යාපාරිකයන් විසින් වෙළෙඳපොළ හසුරුවන ආකාරය පිළිබඳ හොඳම නිදර්ශනය රජයට ලබාදෙනු ඇත.

පෙරේදා නිකුත් කරනු ලැබූ රටේ උද්ධමනය පිළිබඳ සංඛ්‍යා දත්ත අනුව උද්ධමන වේගය සෘණ මට්ටමකට පත්වී තිබේ. සමස්ත මිල මට්ටම මෙන්ම ආහාර මිල මට්ටම ද, ආහාර නොවන භාණ්ඩවල මිල මට්ටමද පහළ වැටීම හේතුවෙන් උද්ධමනය සෘණ මට්ටමකට පත්වී ඇත. ඒ අතරම පසුගිය දිනවල රටේ විනිමය අනුපාතිකය ද විශාල ලෙස ඉහළ ගියේය. රුපියලේ අගය වර්ධනය වී ඩොලරයේ අගය පහළ වැටී ඇත. රුපියල් 300ක්ව පැවැති ඩොලරයේ අගය රුපියල් 288 දක්වා පහළ වැටී ඇත. ඊට පෙර සිටම විනිමය අනුපාතය දිගින් දිගටම හොඳ තත්වයකට පත් වුවද රටේ ආහාර සහ අනෙකුත් භාණ්ඩවල මිල මට්ටම් සම්බන්ධයෙන් සිදුවිය යුතු ආකාරයේ වෙනසක් ඇතිවී නැති බව පෙනේ. කොරෝනා යුගයට පෙර පැවති සහල්, කිරිපිටි, තිරිඟු‍ පිටි, සීනි, අල, ලූනු, කරවල ආදියේ මිල ගණන් සමහර අවස්ථාවලදී සියයට සියයටත් වඩා වූ ප්‍රමාණයකින් ඉහළ ගියේය. උදාහරණයක් ලෙස ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 300 පමණ සිට රුපියල් 900 පමණ වනතුරු ඉහළ ගියේය. එහෙත් විනිමය අනුපාතය 370 පමණ සිට 288 දක්වා අඩුවෙද්දී ඉන්ධන, ගෑස්, විදුලි බිල ආදී මිල ගණන් සැලකිය ප්‍රමාණයකින් අඩුවී නිෂ්පාදන පිරිවැය අඩුවෙද්දී ඒ හා සාපේක්ෂකව කිරිපිටි මිල ගණන් අඩුවී නැත. ඒ ආකාරයට සෑම භාණ්ඩයකම මිල ගණන් කොවිඩ් යුගයේදී අතිවිශාල ලෙස ඉහළ දැමුවද විදේශ වෙළෙඳපොළේ මිල ගණන් අඩුවී ඩොලරය අඩුවීම නිසා ගෙවීමට ඇති මුදල් ප්‍රමාණයද අඩුවී තිබියදී පවා මිල ගණන් අඩු කිරීමට ශ්‍රී ලංකාවේ භාණ්ඩ නිෂ්පාදකයන්, ආනයනකරුවන්, අතරමැදියන් සහ තොග වෙළෙඳුන් සූදානම් නැති බව පෙනේ.

සෑම ව්‍යාපාරිකයකුගේම බලාපොරොත්තුව වී ඇත්තේ රටේ කවර තත්වයක් ඇති වුවද උපරිම මට්ටමින් ලාභ රැස්කර ගැනීම බව පෙනේ. එබැවින් ඔවුහු පෞද්ගලිකව මෙන්ම සාමුහිකව ද අසීමිත ලාභ ලැබීම අරමුණු කරගෙන ක්‍රියාත්මක වෙති. කොවිඩ් සහ පශ්චාත් කොවිඩ් යුගයේදීත් රටේ පැවති ආර්ථික අර්බුදය අවස්ථාවේදීත් භාණ්ඩ මිල ගණන් අසීමිත ලෙස ඉහළ යෑමට හේතු වූයේ රුපියලේ අගය පහළ වැටීමත් නිෂ්පාදන පිරිවැය ඉහළ යෑමත්ය. දැන් රුපියලේ අගය වැඩිවී ඇත. නිෂ්පාදන පිරිවැය ද අඩුවී ඇත. ඒ හා සාපේක්ෂකව කොවිඩ් යුගයේ වැඩිකළ මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් අඩුවී නැති බව පෙන්වාදිය යුතුව ඇත. මිල අඩුවන විට පාරිභෝගියාගේ මිලදී ගැනීමේ හැකියාව (ක්‍රය ශක්තිය) වැඩිවේ. එවිට රටේ ඉල්ලු‍ම වැඩිවේ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩිවේ. සේවා නියුක්තිය වැඩිවේ. ආර්ථික වර්ධනය ඉහළ යයි. එබැවින් රුපියලේ වටිනාකම සම්බන්ධයෙන් සහ නිෂ්පාදන පිරිවැය සම්බන්ධයෙන් ඇතිවූ වෙනස්කම්වලට අනුකූල වන අයුරින් මිල මට්ටම් වෙනස් කිරීමේ ප්‍රතිපත්තියකට ප්‍රමුඛතාව ලබාදීම ඉතා වැදගත් වනු ඇත.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා
අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර