රටක ජීවත්වන ජනතාවට තම ජීවිත සම්බන්ධයෙන් උපරිම විශ්වාසය රැගෙන එන්නේ එරට සෞඛ්‍ය සේවය මගිනි. එහෙයින්ම සෞඛ්‍ය සේවය උපරිම උසස් තත්ත්වයෙන් මෙන්ම කාර්යක්‍ෂමව පවත්වාගෙන යාමට සෑම රටක්ම කටයුතු කරයි. එය එසේ වුවද අප රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වාර්තා වන්නේ ඉතා අනුවේදනීය එමෙන්ම ඇඟ කිළිපොළා යන තත්ත්වයකි. වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාමේ ප්‍රවණතාව මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට මාරාන්තික තර්ජනයක් එල්ල වී තිබේ.
අප පුවත්පත ඉකුත් දා වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ වයස අවුරුදු 63න් පසු විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් 500කට ආසන්න පිරිසක් ඔවුන්ගේ කැමැත්ත මත කොන්ත්‍රාත් පදනම යටතේ නැවත සේවයට බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළ බවය. මේ අනුව වෛද්‍යවරුන් පනහකට ආසන්න පිරිසක් කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කිරීමට දැනටමත් කැමැත්ත පළ කර ඇති බවය.
විශ්‍රාම ගිය වෛද්‍යවරුන් නැවත සේවයට බඳවා ගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි ද පවසා ඇති සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබුණේ මෙම ක්‍රියාමාර්ගය වෛද්‍ය හිඟයට එක් පිළියමක් පමණක් බවය. එමෙන්ම විදේශීය පුහුණුවට ගිය වෛද්‍යවරුන් 600ක් පමණ නැවත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද පවසා තිබිණි.
රට මෙබඳු බරපතළ ආර්ථික අර්බුදයකට ගොදුරු වීමට පෙර යුගයේ පවා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය පවත්වාගෙන ගියේ බොහෝ අර්බුද හා දුෂ්කරතා මැදය. ජනගහණයට සාපේක්‍ෂව සිටිය යුතු වෛද්‍යවරු මෙරට නොසිටියහ. කොවිඩ් වසංගතයත් සමග එන්නත්කරණය ප්‍රමුඛ වූ අතර සියලු මුදල් ඒ සඳහා වැය කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල දැඩි හිඟයක් නිර්මාණය විය. “බෙහෙත් නැතිව අපි ඉඳලා වැඩක් නෑ” වැනි මතයකට වෛද්‍යවරුන්ගේ මානසිකත්වය හැරවිණි.
ආර්ථික අර්බුදය උග්‍ර වීමත් සමග රජය එයට එක් පිළියමක් ලෙස නව බදු ක්‍රමයක් හඳුන්වා දුන්නේය. එය බොහෝ ක්ෂේත්‍ර කම්පනය කිරීමට හේතු විය. සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය ඉන් ප්‍රධාන විය. මෙම ක්ෂේත්‍ර දෙකට යම් පහසුකමක් සහිතව ජීවත් විය හැකි වුවද නව බදු ක්‍රමයත් සමග එය ද අභියෝගයට ලක් විය. වැටුපෙන් බදු කපා ගත් විට නිවාස ණය, වාහන ලීසිං ආදිය ගෙවා දැමීමෙන් පසුව දරු පවුල ආරක්‍ෂා කර ගැනීමට ප්‍රමාණවත් මුදලක් ඉතිරි නොවන බවට මෙම ක්ෂේත්‍රවලින් මැසිවිලි නැගිණි.
ඉහත තත්ත්වයට එම ක්ෂේත්‍ර දෙක නිර්දේශ කරගත් විසඳුම වූයේ උන්හිටිගමන් උන්හිටිතැන් අතහැර විදේශගත වීමය. “නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් අප, ජනතාව අතිශයින්ම පීඩාකාරී උවදුරකට මුහුණ පා සිටින මොහොතක මෙසේ ඔවුන්, රට අත්හැර දමා යාම අශිෂ්ටය” වැනි සිතීමකට මෙම පරිසරය තුළ ඉඩක් නොමැති වීම ද පිළිගත හැකි කාරණාවකි.
“රෝහලේ සිටි එකම නිර්වින්දන වෛද්‍යවරයාත් නොකියාම රට ගිහින්. සැත්කම් සියල්ල නවතී” වැනි සිරස්තලවලින් අර්බුදයේ දිග පළල මනාව පැහැදිලි වේ.
වයස අවුරුදු 63න් විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් කොන්ත්‍රාත් පදනම යටතේ නැවත සේවයට බඳවා ගැනීම වෛද්‍ය හිඟයට එක පිළියමක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ. එහෙයින් අර්බුදය තව තවත් උග්‍ර වීමට පෙර විසඳුම් සෙවීම බලධාරීන්ගේ වගකීමය. එතෙක් අපට ජනතාවට කීමට තිබෙන්නේ “ලෙඩ වෙන්න එපා, රෝහල් ලෙඩින්” යනුවෙනි.
(***)