ශ්‍රී මහා බෝධිය ළඟ වෙඩි තිබ්බේ පුතයි රාසයියගෙ පුතයි වල්ලිපුරම්ගෙ පුතයි


 7_SLT_P_7

 

1985 මැයි 14 වැනිදා එල්.ටී.ටී.ඊ සංවිධානය ජය ශ්‍රී මහා බෝධිය සමීපයට ප්‍රහාරයක් එල්ල කර වන්දනාකරුවන් සිය ගණනක් මිලෙච්ඡ ලෙස ඝාතනය කළේය. එම ප්‍රහාරයෙන් දිවිගලවා ගත් අය අද ද පූජා භූමිය අසල වෙති. මේ ඔවුන්ගේ මතකය සිහිපත් කිරීමකි.

 


1985 ශ්‍රී මහා බෝධි ප්‍රහාරය.
එල්.ටී.ටී.ඊය අපට මතක හිටින පහරවල් දෙකක් ගැසුවේය. ඒවායින් අපේ කන් අඩි පමණක් නොව ඉහමොළද රත්වීය. එයින් එකක් ජය ශ්‍රී මහා බෝධියට එල්ල කළ ප්‍රහාරයයි. අනෙක දළදා මාළිගාවට කළ ප්‍රහාරයයි. මේ තැන් දෙක ඔවුන් ඉලක්ක කරන්නට බොහෝ හේතු තියෙන්නට ඇත. කොහොම වුණත් එයින් අපේ ජාතිය - ආගම දෙකටම රිදුණු බව නොකියා බැරිය. එබැවින් අමාරුවෙන් නිවාගත් ත්‍රස්තවාදය ආයෙත් රටේ ඇති නොවේවා යන්න අපේ අදහසයි. ජාතිවාදී ගින්නක් නැවත ඇවිලෙනවා යනු ඔවුන්ට වගේම අපටද රිදෙන බොහෝ දේ සිදුවීම නැවතිය නොහැක.


අනුරාධපුර ශ්‍රී මහා බෝධි ප්‍රහාරය අස්සේ එතෙක් - මෙතෙක් කාටවත් හෙළි නොවූ ඇත්තක් අපි මුල්වරට මාධ්‍යයෙන් හෙළි කරමු. එය හුදෙක් ජාතිවාදී ගින්නේ එක පැත්තක් ගැන කාගේත් ඇස් ඇරවීම පිණිසය. ජාති කීපයක් රටේ සිටීම තුළ අප අතර යම් යම් ප්‍රශ්ණ තිබිය හැක. රිද්දා, කොණිත්තා, බැන වැදී පමණක් නොව ගසා - මරා ප්‍රශ්න බේරා ගත් නීතියක් කොහේවත් නැත. බුද්ධ දේශනාවේද නැත. ප්‍රශ්නයක් ඉදිරියේ ඉහත ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් වේ නම් එය සටනකට අර ඇදීමකි. සටනින් දිනිය යුත්තකි. නමුත් තිස් අවුරුදු යුද්ධයක් හෙම්බත් වී ඉවරකර ගත් අපට ආපසු ත්‍රස්තවාදී අරගල උවමනා නැත. තිස් අවුරුදු යුද්ධය අතරේ තවත් අරගලයක් සඳහා අර ඇද්දා නම් අපට ඒ දෙකකින්ම බැට කන්නට සිදුවේ. එකක් ඉවර කරන් අනික ගැනීම නොව කවුරුත් එකතු වී රට හැඳීමට මේ කාලයයි.

5
එදා ශ්‍රී මහා බෝධියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ඇසින් දුටු, මුළු පවුලම ත්‍රස්ත වෙඩි ප්‍රහාරයට ලක්වුණු පවුලක් අදත් ජය ශ්‍රී මහා බෝධිය අසළ ජීවත් වේ. අවුරුදු 60ක් තිස්සේ මහ බෝ සෙවන අසළ දිවි ගෙවන කේ. අල්විස් මහතා (ගුණපාල) (70) බොහෝ වයෝවෘදය. කෙස් ඉදි, කොණ්ඩය වවා, ඉදුණු කොණ්ඩයෙන් ගැටයක් ගසා ගත් ඔහු පූජා නගරයටම ගෙවී ගිය තම ජීවිතයේ අත්දැකීම් අතර තවම ජීවත් වෙන්නෙකි. එදා ශ්‍රී මහා බෝධි ප්‍රහාරයත් ඊට පසුබිම් හේතුත් තමන්ගේ ජීවන අත්දැකීම් අතරින් ගුණපාල අපට සිහියට නැගුවේය.


‘මහත්තයෝ... අපි පුංචි කාලෙ අනුරාධපුර පරණ ටවුම තමා මේ..’ ගුණපාල මහතා ශ්‍රී මහා බෝධිය අසළ සිට මට කියයි..


“ඒ කාලෙ පුත්තලම් පාර තිබුණෙ ශ්‍රී මහා බෝධිය ළඟින්මයි. එහෙම ගිහින් තමයි කුරුණෑගල හන්දියට වැටුණෙ. මට මතක හැටියට ශ්‍රී මහා බෝධිය ළඟින් පුත්තලම් පාර ඉවත් කරන යෝජනාව ආවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙ කාළේ.


එතකොට විජේන්ද්‍ර හෝල් එක තිබුණෙ දැන් උඩමළුව පොලිසිය තියන ඉඩමෙ. ශ්‍රී මහා බෝධියට මීටර් 100 ක් නෑ. සිත්තම්පලම් හෝල් එක තිබුණෙත් මේ ළඟ. ඒක අයිති දෙමළ මහත්තයෙකුට. පූජා නගරෙ ඇතුළෙම රා තැබෑරුම්, අරක්කු තැබෑරුම් තිබුණා. මම දැකලා තියෙනවා සමහරු බීගෙන ශ්‍රී මහා බෝධිය ඉස්සරහ වැටිලා ඉන්නවා. බීගෙන මෙතැනින් කෑගහගෙන යනවා. ඔන්න ඔහොමයි 1950-60 කාලයේදී තිබුණේ. මේ පූජා නගරයේ තිබුණු කුඹුරු, ඉඩම්, කඩ හුඟක් අයිතිය තිබුණේ දෙමළ මිනිස්සුන්ට. දැන් ටවුමේ තියන කදිරේසන් කෝවිල තිබුණේ ශ්‍රී මහා බෝධියට මීටර් 100 ක් දුරින්. පූජා නගර සංකල්පය එක්ක තමයි පරණ නගරේ වෙනස් වෙලා ගියේ...


“1985 මැයි 14” වෙනිදා කොටි ශ්‍රී මහා බෝධියට ගහන්න ආවා. ගුණපාල මදක් කල්පනා කරයි...


“කලින් ආරංචි වුණේ නැද්ද” මම විමසීමි. 


“මම ඔරලෝසු කණුව ළඟ (ශ්‍රී මහා බෝධිය අසළම) මල් තට්ටුවක් තියාගෙන හිටියෙ. ඒ කාළෙ විනී අයියා කියල කෙනෙක් හිටියා. එයා වෑන් එකේ ශ්‍රී මහා බෝධිය ළඟ ඉඳන් ටවුමට සෙනඟ අදිනවා. එයා තමයි ඉස්සෙල්ලම මේ පූජා නගරෙ වාහන සර්විස් එකක් කරපු පළවෙනි කෙනා. කීයද දන්නවාද ගාණ? ගුණපාල මදෙසට හැරෙයි.


එය මට සිතා ගත නොහැක.

6
“ශ්‍රී මහා බෝධිය ළඟ ඉඳන් ටවුමට රුපියලයි. අද කීයද බස් එකේ රුපියල් 20යි, ත්‍රිවිල් එකේ 100යි.


විනී අයියා ටවුමේ ඉඳන් බෝධිය දිහාට වේගෙන් ආවා. අයින් වෙයල්ලා. ටවුමෙ කොටි ගහනවා. කිව්වා. එහෙම කියාගෙන විනී අයියා වාහනේම ගියා.
එයාගේ වාහනේට පිටිපස්සෙන් ජර්නි බස් එකක් ආවා. අපි හිතුවෙ වන්දනා නඩයක් එනවා කියලා. මොන නඩයක්ද මහත්තයො. මැෂින් තුවක්කු අරන් තුන් දෙනෙක් බැස්සා. වෙඩි තියාගෙන ඉස්සරහට දිව්වා.


“බස් එකේ හිටපු අනික් අය” 20 ක් විතර හිටියා වෙන එකෙක් වත් බැස්සෙ නෑ. මේ අය අ’පුරේ ටවුමට ඇවිත් තිබුණෙ සී.ටී.බී බස් එකක. ඒකෙ රියදුරුයි කොන්දොස්තරයි මරලා ඒ දෙන්නත් දාගෙන ඇවිත් තිබුණෙ. අනුරාධපුරේ ටවුමට ගහල ටවුමෙ තාත්තයි පුතයි වැඩකරපු ජර්නි බස් එකක් යටත් කරගෙන තමයි ශ්‍රී මහා බෝධියට ආවේ.


“එතකොට තුන් දෙනාද ප්‍රහාරයට බැස්සෙ”


“ඔව්, ඒ තුන් දෙනාම අපි අඳුර ගත්තා”


“අඳුර ගත්තා” පුදුම කතාවකි. කොටි අදුරගන්නේ කොහොමද මගේ හිත මටම කියයි.


“ඔව්.. ඒ බැස්ස තුන් දෙනාගෙන් එක් කෙනෙක් වල්ලිපුරම්ගෙ පුතා. වල්ලිපුරම් කියන්නේ පරණ ටවුමෙ හිටපු පැරණිම මුදලාලි කෙනෙක්. රත්තරන් බඩු කඬේ එයාගේ. ඊළඟට රාස අයියගෙ පුතා. රාස අයියා කුඹුරු කළේ. මේ පූජා නගරෙ ඇතුළෙම තිබිච්ච කුඹුරු කීපයක් එයාගෙ. අනික් කෙනා මට මතක නෑ. රාස අයියගෙ පුතා තට්ටෙ ගාලා හිටියා. මේ තුන් දෙනා දැක්ක ගමන් අඳුරන අය එයාලගෙ නම් කියලා කෑ ගැහුවා. හැබැයි ඒ පරණ අයට මෙයාලා වෙඩි තිබ්බේ නෑ. මම හිතනවා අපිත් නොමැරී බේරුණේ සමහර විට අඳුරගෙන නිසා කියලා.


ඒත් අපට වෙඩි වැදුණා. මේ බලන්න.


ගුණපාල සුදු කමිසය ඉවත් කොට පිට පල්ල පෙන්වයි. මගේ නෝනගේ අතට වැඳුණා. මගෙ පුතාගෙ කුකුලට වෙඩි වැදුණා. අදටත් අඟල් එකහමාරක් කුකුල කොටයි.


“බෝධිය ඇතුළට ගියාද”


“මළුවට ගියේ ඔය තුන් දෙනා. උළුවස්සටත් වෙඩි වැඳුණනෙ. සේරම මැරුවා. මරලා ඇවිත් බස් එකට ගොඩවෙලා යන්නත් ගියා. අපි කරපු දේ බිම බුදියගෙන හිටියා. බිම බුදියා ගත්ත අය බේරුණා”


“ඇයි ඒ කාළෙ ඉඳන් එකට හිටපු රාස අයියගෙ, වල්ලිපුරම්ගෙ පුතාලා මේ වැඬේ කළේ? එයාල පුංචි කාළේ ඉඳන්ම හැදෙන්න වැඩෙන්න ඇත්තේ මේ ශ්‍රී මහා බෝධිය අවටනෙ.


“අන්න කතාව. ඔව්. වල්ලිපුරම්ගෙ, රාස අයියගෙ ළමයි සේරම ජීවත් වුණේ මේ පූජා භූමියෙ. මෙතන හිටපු සේරම ඔය පොඩි කොල්ලන්ව දන්නවා. උනුත් මේ පරණ ටවුමේ වෙච්ච සමහර දේවල් බලාගෙන හිටියා.”


“මොනවද?” මම විමසීමි.


“මහත්තයෝ.. ඔය ප්‍රශ්නෙ දී මට හිතෙන හැටියට එදා රටේ පාලකයොත් වැරදියි. එයාල ජාතිවාදි ප්‍රශ්න විටින් විට මතු කළා. 1957 අවුරුද්දෙ ඉඳන් මම මේ අනුරාධපුරේ සිංහල - දෙමළ ගැටුම් දැක්කා. හර්තාල් දැක්කා. අවුරුදු පහෙන් පහට වගේ දෙමළ මිනිස්සුන්ට විරුද්ධව මොකක් හෝ කැරැල්ලක් රටේ ආවා. එහෙම වෙච්ච ගමන් අපේ සමහර චණ්ඩි කීප දෙනෙක් (හැමෝම නොවෙයි) දෙමළ අයට ගහනවා. ඒ ගහන්නෙ ඇයි? දෙමළ මිනිහගෙ දේ කොල්ල කන්න. සල්ලි ටික උදුරගන්න. කඬේ බිඳින්න. ගෑණු ළමයි දූෂණය කරන්න. ඔය චණ්ඩි ජීවත් වුණේ රටේ මේවගේ ප්‍රශ්නයක් ආවම, බොර දියේ මාළු බානවා වගේ දෙමළ මිනිහගෙ දේ මංකොල්ල කාලා.


‘සිත්තප්පලම් දෙමළ හෝල් එක ගිනි තිබ්බා. රාස අයියලට, වල්ලිපුරම්ලට හුඟක් කරදර වුණා. අනුරාධපුරේ ඔය වැඩ කළේ ඇල්බට්, විල්බට්, රොබට් වගේ චණ්ඩි කීප දෙනෙක්. සමග එයාලගෙ කණ්ඩායමක්.


සමහර දෙමළ ගෑණු ළමයි හිතක් පපුවක් නැතුව දූෂණය කළා. එතකොට මමත් තරුණයි. දවසක් දෙමළ තරුණියක් දූෂණය කරන්න හදනකොට මම එතනින් යනවා. මම කරපු දේ අපේ එවුන් එක්ක ගහගෙන ඒ කෙල්ලව බේරලා යැවුවා. මාත් එක්ක රණ්ඩු වුණ එක කොල්ලෙක්ගෙ අතක් මම ගහපු පාරකින් කැඩුණා. ඒ වගෙ දෙමළ ගෑණු ළමයි කී දෙනෙක් මම බේරලා යැව්වද? මේ ළමයි මට වඳිනවා. අදටත් අනුරාධපුරේ ආවම ඒ දෙමළ අය මාව බලන්න ඇවිත් වැඳල යනවා. දැන් වයසයි. ඒත් මම කරපු දේවල් සිහිපත් කරනවා.


මහත්තයෝ. ජාතිවාදයක් ඕනැනම් කැපුවා - මැරුවා ඉවරවෙන්න ඕනෑ. නමුත් කොල්ල කනවා, දූෂණය කරනවා කියන එක ජාතිවාදය නොවෙයිනෙ. රත්තරං බඩු මුදලාලිට වටකරගෙන රත්තරං බඩු ඉල්ල ඉල්ල ගහනවා. රත්තරං බඩු බඩ පල්ලෙ හංගන් ඉන්නවා. ඉතින් දෙනකම් ගහනවා. දැන් මේ වැඩ දැක්කෙ කවුද? ඒ දෙමළ අයගෙ ළමයි. පුංචිවුන්. තාත්තට ගහනවා, බඩු සල්ලි කොල්ල කනවා. කඩගිනි තියනවා, අක්කා, අම්මා දූෂණය කරනවා. පොඩි කාලේ ඉඳන් මේවා දැක්කා. ඊට පස්සෙ ඔය හුඟක් ළමයි අනුරාධපුරේ කාලයක් පේන් නැතුව ගියා. පස්සෙ එල්.ටී.ටී.ඊයට බැඳිලා ඒ කරපු දේවල්වලට පළිගන්න මෙතෙන්ට ගහන්න ආවා. ඒවාට වගකියන්න ඕනෑ ඔය අවුරුදු 5න් 5ට ජාතිවාදය ඇති කරපු සමහර පාලකයෝ.


ඒ වගේම ඒ ජාතිවාදය අස්සෙ ජහ ජරා වැඩ කරපු ඇල්බට්, රොබට්, විල්බට් වගේ චණ්ඩි කොටසක්. ඒ මිනිස්සු එහෙම නොකළා නම් රාස අයියගෙ පුතාලා, වල්ලිපුරම්ගෙ පුතාලා මේ ශ්‍රී මහා බෝධියට ගහන්න එන්නෙ නෑ. එයාලා දැකපු, දන්න තැනට, වගේම තමන්ගෙ අයට වදදීපු අය හොයාගෙන ඇවිත් සේරටම ගැහුවා. ඒකයි වුණේ.


‘ජාතිවාදී ප්‍රශ්න රටට වුවමනා නෑ. මේවා තුළින් බොරදියේ මාළු බාන කොටසක් ඉන්නවා. ඒ බව පාලකයෝ දැනගන්න ඕනෑ. මොකද මම මේ කියන්නෙ 1957 ඉඳන් දැකපු දෙයින් ’ගුණපාල මහතා කියයි.


එදා කුඩා මල් තට්ටුවක් කළ ගුණපාල අද මල් කඩ හිමියෙකි. මහ බෝ වඳින්නට එන අයට මල් පූජා භාණ්ඩ දෙන ගුණපාල මහා ඉතිහාසයක් දරාගෙන ඒ පින්බිමේ ජීවත්වෙයි. නමුත් ඔහු දකින මහා ජීවන හා සමාජ දර්ශනය අපේ රටේ සමහර භික්ෂූණ්ට උගතුන්ට පාලකයන්ට තවමත් දැකිය හැකිද යන්න අපට ප්‍රශ්නයකි.

m