1996 මැදින් මහේ 16 වැනිදා ශ්‍රී ලංකාව ලෝක ක‍්‍රිකට් කුසලානය දිනා ගත්තේය. එදා සියලූ ලක්වැසියෝ කඳුළින් මේ මාතෘ භූමිය තෙත බරිත කළෝය. ඒවා දුක් කඳුළු නොවීය. සතුටු කඳුළුම වීය. ඒ සතුට මොන තරම් නම් ආශ්චර්යවත්වීද? මොන තරම් නම් හැඟුම්බරවීද?
ලෝක ජයග‍්‍රහණයක උරුමයේ හැටි එහෙමය. ඊටත් වඩා සමස්ත ශ්‍රී ලාංකිකයින් ක‍්‍රිකට් ක‍්‍රීඩාව තම ආත්මයට බද්ධ කරගෙන තිබීම ඊට හේතුව වීය. එලෙසින් ජයග‍්‍රහණයක අසිරිය රිසිසේ බුක්ති විඳි අප එතැන් සිට තව තවත් ලෝක කුසලාන ජයග‍්‍රහණ අපේක්ෂා කළ බව රහසක් නොවේ. 2015 වසරේ තවත් මැදින් මහක් උදාවුණි. ශ්‍රී ලංකා පිල අර්ධ අවසන් පූර්ව වටයට මුහුණ දුන්නේ පසුගිය 18 වැනිදාය. මව්බිමෙහි මෙන්ම ලෝකය පුරා විසිරී සිටින ආදරණීය ශ්‍රී ලාංකීය ක‍්‍රිකට් ලෝලීහු මෙදින තරම් වික්ෂිප්තවූ, මෙදින තරම් අතිශයින්ම හැඟුම්බර වූ පපුවට දරාගත නොහැකිවූ වේදනාවක් අත්විඳි දිනක් තවත් නැති තරම්ය. ඒ දකුණු අප‍්‍රිකානුවන් හමුවේ ප‍්‍රතාපවත් සිංහයා අන්ත පරාජයකට පත්වීම සිදුවූ හෙයිනි.
2015 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව අවතීර්ණ වූයේ ඊට පෙර මුහුණදුන් අමිහිරි පරාජ රැුසක් කරපින්නාගෙනය. එම පරාජයන්ට අමතරව ශ්‍රී ලාංකීය ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් පරිපාලනය හා ගැටුණු විවේචන වලට මුහුණදුන් අවස්ථාද තිබිණි. සියල්ල කෙසේ වෙතත්, 2015 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව සූදානමකින් කණ්ඩායම පෙළ ගැස්වුවාද යන්න විමසා බැලූ විට පෙනී යන්නේ නැත, යන්නය. ලෝක කුසලානයකට කණ්ඩායමක් පෙළ ගැස්වීම එක් දිනෙකින්, එක් රැුයකින් කළ යුතු දෙයක් නොවේ. ඒ සඳහා නිසි සැලසුමක්, දැක්මක්, ක‍්‍රමයක් තිබිය යුතුය. නමුත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය වෙතින් එවැනි සැලසුමක්, දැක්මක්, ක‍්‍රමයක් සකසා තිබුණාදැයි යන්න නිකම්ම ප‍්‍රශ්නයකට වඩා හෘද සාක්ෂියෙන් විමසිය යුතු ප‍්‍රශ්නයක් වන්නේය.
ලෝක කුසලාන තරගාවලියකට මුහුණ දිය හැකි සමබර කණ්ඩායමක් නිර්මාණය කිරීම වෙනුවට ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය වෙතින් පසුගිය කාලය පුරාවට දක්නට ලැබුණේ නොයෙකුත් ගැටළුකාරී තත්ත්වයන්ය. විටෙක නිත්‍ය සභාපතිවරයකු නොමැති විය. බොහෝවිට සභාපති පුටුවට පැවැති ආණ්ඩුව විසින් පත් කරනු ලැබුවේද තම හිතෛෂිවන්තයෙකි. නමුත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට අවශ්‍යව තිබුණේ හොඳ පරිපාලකවරයකු මිස තවත් දේශපාලන හෙංචයියකු නොවේ. අපි මොහොතකට මෙවර අර්ධ අවසාන තරගයට මුහුණදුන් ශ්‍රී ලංකා කණ්ඩායම දෙස බලමු. මේ කණ්ඩායම සමබර එකක් වුණාද? කිසිසේත්ම එසේ නොවිණි. එය ක‍්‍රිකට් ගැන දන්නා ඕනෑම පොඩි එකෙකුට පවා තේරුම්ගත හැකිව තිබූ දෙයකි. කණ්ඩායම වෙනුවෙන් කළ ක‍්‍රීඩක ආදේශ කිරීම දෙස බලද්දී එය සනාථ වෙයි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියට පිටත්ව ගියේ නිත්‍ය ආරම්භක පිතිකරුවකු නොමැතිවය. ඩිල්ෂාන් සම`ග අනෙකුත් ආරම්භක පිතිකරු භූමිකාව සඳහා ආදේශ කොට තිබුණේ, පසුගියදා නවසීලන්තය සමග තරග වැදි කණ්ඩායමට ඇතුළත්වූ දිමුත් කරුණාරත්නය. නමුත් දිමුත් එලෙසින් ආදේශ කර තිබියදී ඔහු ලෝක කුසලානයේ ආරම්භක පිතිකරු භූමිකාවට යොදා ගත්තේ නැත. ඒ වෙනුවට ලහිරු තිරිමාන්න යොදා ගත්තේය. දිමුත් ආබාධයකට ලක්වීම නිසා මව්රටට ගෙන්වා ගත් අතර ඔහු වෙනුවට ආදේශ කළේ සීක්කුගේ ප‍්‍රසන්නය. ජීවන් මෙන්ඩිස්ද ආබාධයකට මුහුණදී නැවත ආවේය. ඔහු වෙනුවට පිටත්කර හැරියේ කුසල් ජනිත්වය. මේවා මහා පුදුමාකාර ආදේශ කිරීම්ය. මේ අතර වාරයේදී ඩිල්ෂාන් හැරුණු කොට ආරම්භක පිතිකරු භූමිකාවේ යෙදී පළපුරුද්ද ලබා සිටි උපුල් තරංගද ගෙන්වා ගත්තේය. හරි නම් මේ තේරීම් කමිටු නිලධාරීන් කළ යුතුව තිබුණේ උපුල් තරංගව මුලින්ම ලෝක කුසලාන සංචිතයට නම් කිරීමය. නමුත් ඔවුන් බොහෝ දේ කරන්නේ හිටි හැටියේය. නැතිනම් මුලදීම කළ යුතුව තිබුණු දේ ඔවුන් කරන්නේ අවසානයේදීය. ඒ වන විට සියල්ල සිදුවී හමාරය.
වඩා තීරණාත්මක වූ තරගයේදී ඒ වන විටත් ආරම්භක පිතිකරුවාගේ පළපුරුද්ද සහ විශ්වසනීයත්වය ලබා සිටි ලහිරු තිරිමාන්න වෙනුවට කුසල් ජනිත්ව ආරම්භක පිතිකරු හැටියට යොදා ගත්තේය. එනිසා ශ්‍රී ලංකා පිලට මුහුණදීමට සිදුවූයේ ඛේදවාචකයකටය. කුසල් ජනිත් යනු ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියකදී මෑත කාලයේදී යොදාගත් අතිශ්‍යයින්ම අසාර්ථක චරිතය වන්නේය. එය ඔහුගේ වරදක් නොවේ. ඔහු දේශීය තරග බිමේ දක්ෂයකු විය හැකිය. නමුත් ජාත්‍යන්තර තරග බිමේදී ක‍්‍රීඩා කළ යුතු මානසික ශක්තිය සහ කණ්ඩායමක ආරම්භක පිතිකරුවාගේ භූමිකාවේ වගකීම ඔහු තේරුම්ගෙන සිටියාද යන්න නම් බරපතල ප‍්‍රශ්නයකි.
එක් ශ්‍රී ලාංකීය විචාරකයෙක් පැවසුවේ ඔහු උඩ පන්දුව දී දැවී ගියේ හොඳ පන්දුවකට කියාය. එය මහා පුදුම ප‍්‍රකාශයකි. හොඳ පිතිකරුවකු නම් හොඳ පන්දුව තේරුම් ගෙන එයින් ආරක්ෂා විය යුතුය. සංගා - මහේල හොඳ පිතිකරුවන් වූයේ එවැනි දේ තේරුම් ගෙන ක‍්‍රීඩා කළ නිසාය. කෙසේ වෙතත් මේ හොඳ පන්දුව හමුවේ දැවී ගිය කුසල්ගේ දැවීයාම ශ්‍රී ලංකා පිලට ඇති කළේ මහා පීඩනයකි. ඩිල්ෂාන් ද එතරම්ම හොඳ නොවූ පන්දුවක් හමුවේ දැවී ගියේය. පීඩනය තවත් දෙගුණ තෙගුණ වී ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුව පවා වෙනස් කිරීමට ඊලඟට සිදුවිණි.
”මම ආරම්භක පිතිකරුවාගේ භූමිකාවට ආසයි” එලෙසින් කියා සිටි විශ්වාසවන්තයා ලහිරු ඔහු තුළ වූ විශ්වාසනීය බව යම්තාක් දුරකට සනාථ කළේය. ඒ හැරෙන්නට කිසිවෙකුට හෝ ස්ථාවර වීමට නොහැකි විණි. සංගාගේ උර මත මහා බරක් පැටවී තිබිණි. තීරණාත්මක තරගයකදී උහුලා ගත නොහැකිවූ ඒ බර හමුවේ ඔහු අසරණ වන්නට ඇත.
කාසියේ වාසිය හිමිකරගෙන වුවද ශ්‍රී ලංකාව මහා අකුසල කර්මයකට මුහුණ දුන්නේය. නිත්‍ය දඟපන්දු යවන්නා වූ හේරත් නොමැති කල ඒ අඩුව පිරැුවීමට සිටි සචිත‍්‍ර සේනානායක හෝ සීක්කුගේ කණ්ඩායමට ඇතුළත් නොවුණි. කෝඩුකාර තරිඳු කෞෂාල්, අත්දැකීම් අඩු චමීර මෙවැනි මහ තරගයකට මුහුණ දෙන්නේ කෙසේද? ඔවුන් ගැන එච්චරටම විශ්වාසය තැබුවේ නම්? දකුණු අප‍්‍රිකාවට ප‍්‍රථමයෙන් පන්දුවට පහරදීමට ආරාධනා කළ යුතුව තිබිණි. ඉහළ වේගයක් රඳවාගෙන පන්දු යැවූ සුරංග ලක්මාල් පවා කණ්ඩායමට ඇතුළත් නොවුණි. තරංග තරග නරඹන්නාම විය.
යම්කිසි විටෙක මෙලෙසින් කණ්ඩායමක් තෝරන්නට ඇත්තේ මීළඟ ලෝක කුසලානයට පෙරහුරුවක් ලෙස විය හැකිය. මක්නිසාද යත් මේ කණ්ඩායම එහෙව් එකක් වූ බැවිනි. ඩිල්ෂාන්, සංගා, මහේල ත‍්‍රිත්වය අසාර්ථක වුණි නම්? යැපෙන්නට වෙනත් ක‍්‍රීඩකයකු නොමැති විය. ශ්‍රී ලංකාව පසුගිය කාලය පුරාම විශේෂයෙන් යැපුණේ මේ පිතිකරු ත‍්‍රිත්වය වෙතිනි. විටෙක තිසර පෙරේරා ඒ කණ්ඩායමට නම් කළේ යැයි කියා ඔහු චෝදනා කළේය. එය ඔහුගේ අභිමානය විය හැකිය. නමුත් ඒ අභිමානයට ඔහු ගෙනදුන් ගෞරවය කුමක්ද? මාලිංග විටෙක මාධ්‍යයට බැණ වැදී සිටියේය. එහෙව් මාලිංග කළ දේ කුමක්ද? ගියවර ලෝක කුසලාන අවසන් මහ තරගයේදී අසාර්ථක පන්දු යවන්නාවූ කුලසේකර මේ තීරණාත්මක තරගයට යොදා ගත්තේ ඇයි? ඒ සියලූදේ එම ක‍්‍රීඩකයින්ගේ වරදක් නිසා සිදුවූ දෙයක් නොවේ. ක‍්‍රීඩක ආදේශ සඳහා ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩකයින් නොමැති වීමය. මාලිංගට අභියෝගයක් වන්නේ මාලිංග වැනි තවත් ක‍්‍රීඩකයකු බිහිකිරීම වෙතිනි. ඉන්දියාව එය අපූරුවට සිදු කළද ශ්‍රී ලංකාව සෑම විටෙකම යැපෙන්නේ එක් ක‍්‍රීඩකයකු මතය. මුරලි විශ‍්‍රාම යන විට තව මුරලිලා දෙන්නෙක් වත් නිර්මාණය කළ යුතුව තිබිණි. පරිපාලනයත් සහ පුහුණුකරුවන් වෙතින් සිදුවිය යුත්තේ එයමය. නමුත් 1996 ලෝක කුසලාන ජයග‍්‍රහණයෙන් පසුව වත් එවැනි දැක්මකින් ක‍්‍රිකට් ක‍්‍රීඩාව සංවර්ධනය වූයේ නැත.
පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාවද, අන්තර් සමාජයීය ක‍්‍රිකට් ක‍්‍රීඩාවද පවතී. නමුත් ඒවා පවතින්නේ ඇල්මැරුණු ස්වභාවයෙනි. මේ සියලූ දේ හමුවේ ශ්‍රී ලංකාව බොහෝ විට යැපුණේ ක‍්‍රීඩකයින් කීපදෙනෙකු මත පමණකි. ඒ ක‍්‍රීඩකයින් බොහෝවිට මහා ආඩම්බරකාරයින්, ඔළු උදුම්මා ගත් චරිත ලෙස පෙනී සිටියේ ඔවුනට තරගකාරිත්වයක්, අභියෝගයක් නොතිබූ නිසාය. යනවා මනුස්සයෝ යන්න වැඩක් බලාගෙන කියා මාධ්‍යයට බැණ වැදුණේද ඒ නිසාය.
ලෝකයට තරඟ කාරිත්වයක් දීමට පෙර රට ඇතුළෙ පවතින ක‍්‍රිකට් අතර තරඟකාරී බවක් තිබිය යුතුය. අභියෝගාත්මක චරිත සිටිය යුතුය. සැබෑ සටන්කාමී කණ්ඩායමක් බිහිවෙන්නේ එසේ වුවහොත් පමණෙකි. එසේ සිදුවිය යුතුව, සිදුකළ යුතුව තිබුණද ලංකාව ඇතුළෙ ක‍්‍රිකට්වල තිබුණේ ජරාජීර්ණ වූ දේශපාලනයයි. සංගා මහේල ඩිල්ෂාන් මාලිංග එක්දින පිටියෙන් සමුගත් පසු කවුද ආදේශ කළ හැක්කේ? ඔඩුදිවූ ක‍්‍රිකට් පරිපාලනයට ඊට දිය හැකි පිළිතුරක් නැත.
ක‍්‍රිකට් දැනුමින් කෙතරම් පරිපූර්ණවූ පොහොසත්වූ තැනැත්තෙකු වුවද, ඔහු දේශපාලනයට සම්බන්ධ නම් ක‍්‍රිකට් පරිපාලනයේ අහලකටවත් වද්දා ගත යුතු නැත. එය සනත්, හෂාන් හෝ අර්ජුන හෝ දේශපාලනයට සම්බන්ධ වූ ඕනෑම අයෙකුට බලපෑ යුතු බල පැවැත්විය යුතු දෙයක්ම වන්නේය. මේ ඕනෑම කෙනෙක් කරන්නේ තම දේශපාලන න්‍යාය පත‍්‍රයට අදාළ දේ බව තිත්ත ඇත්ත ලෙසම ගෙන හැර දැක්විය හැකිය. නැතිනම් සිදුවන්නේ ජයග‍්‍රහණයක ඵලය නිසිලෙස අරුත්බර කරගත නොහැකි වීමය.
අද මේ පරාජයේ වගකීම බාර ගන්නේ කවරුන්ද? ශ්‍රී ලංකා ක‍්‍රිකට් වත්මන් සභාපති, ලේකම් සහ සියලූ වගකිව යුතු පාර්ශවයන් මේ පරාජයේ වගකීම බාර ගත යුතුය. තේරීම් කමිටුව වහා ඉල්ලා අස්විය යුතුය. (ලැජ්ජාවක් තිබේ නම්) ඔවුන් වගේම පසුගිය කාලය පුරාවටම මේ සෙල්ලම කළ දේශපාලනඥයින් බලධාරීන් සහ සියලූදෙනාම මේ වගකීම බාරගත යුතුය.
හදවතින්ම ක‍්‍රිකට් ආත්මයට සමීපකොට ගත් සුවහසක් ක‍්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු ප‍්‍රාර්ථනා සුන්නද්දූවිලි කිරීමට ඔවුනට කිසිදු අයිතියක් නැත. මේ රටේ ක‍්‍රිකට් වලට අතිශයින්ම ආදරය කරන්නේ ඒ ජනතාව පමණක්මය. දැන් ඒ ජනතාවගේ අවදිවීම නැගිටීම සිදුවිය යුතු කාලය එළැඹ තිබේ.