නිදහසින් පසු රටේ ඉතිහාසය තුළ මුහුණදුන් දරුණුම ආර්ථික අර්බුදය සැලකිය යුතු මට්ටමකින් පාලනය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවී තිබේ. ජනතාව අතිවිශාල පීඩනයකට පත්වු අවස්ථාව හා සංසන්දනය කිරීමේදී අද වනවිට බොහෝ දේවල් වෙනස් වී තිබේ. ජීවිතයට යළිත් වරක් සතුට, ප්‍රබෝධය, සැහැල්ලුව ගෙන එන තත්වයක් දක්වා වර්ධනය වීම සඳහා වූ පසුබිමක් සැකසෙමින් පවතී.
වෙසක් උත්සවයට දුන් දන්සල් සංඛ්‍යාවට වඩා වැඩි දන්සල් ගණනක් පොසොන් උත්සවය වෙනුවෙන් පැවැත්වීම ආදියෙන් පවා පැහැදිලි වන්නේ තත්වය වෙනස් වෙමින් පවතින ආකාරයයි. එය එක් උදාහරණයක් පමණි. පැවති හා පවතින අවධි දෙක හා සසඳන විට ඒ ආකාරයට බොහෝ දේවල් වෙනස්ව ගොස් ඇති ආකාරය බොහෝ දෙනකුට අවබෝධ වනු ඇත.
ආර්ථික අර්බුදය සමනය වනවිට බොහෝ දෙනකු සිතන්නේ ඉතා පහසුවෙන් ප්‍රශ්න විසඳාගත හැකි බවය. මෑතකදී එවැනි අදහස් සමහර දේශපාලනඥයන් වෙතින් පිටවූ බව පෙනේ. කවුරු බලයේ සිටියත් ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට හැකිව තිබූ බවත්, රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාට එම වගකීම පැවරුණේ නම් ඔහු විසින් ද එම ප්‍රශ්න විසඳනු ඇති බවත් එක් දේශපාලනඥයකු ප්‍රකාශ කර තිබුණි. ඒ ආකාරයට ඉතා සරල ලෙස මේ ප්‍රශ්න විසඳිය හැකිව තිබුණු බවට මතයක් ගොඩනැගීමට සමහරුන් උත්සාහ කරන බව ද පෙනේ. එයට හේතුව රට සහ මහජනතාව මුහුණදුන් මහා ව්‍යසනයෙන් මුදා ගැනීම මෙම ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයේ ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබීමයි. එය නොඉවසන විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට සහ ජනතාව මුහුණදුන් පීඩාවෙන් මුදා ගැනීම එතරම් භාරදූර කාර්යයක් නොවන බව පෙන්වීමට උත්සාහ කරති.
පසුගිය කෙටි කාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා අනුගමනය කළ ප්‍රතිපත්ති කොතරම් ඵලදායී වී තිබේද යන්න නිගමනය කළ හැක්කේ අනෙක් රටවල් සමග සැසඳීමකින් පමණි. අතීතයේ බොහෝ රටවල් ණය ගෙවීමට නොහැකිවී බංකොලොත්භාවයට පත්වීම වැනි තත්වයන්ට මුහුණදුන් අතර නැවත යථා තත්වයට පත්වීම සඳහා බොහෝ කැපකිරීම් කිරීමට එම රටවලට සිදුවිය. එවැනි තත්වයන් වටහා ගැනීමට එකී සැසඳීමක දී හැකිවනු ඇත. පැරණි උදාහරණවලට වඩා ශ්‍රී ලංකාව බංකොලොත්භාවයට පත්වු අවස්ථාවේදී හෝ ඒ ආසන්නයේදී ආර්ථික අර්බුදවලට මුහුණදුන් රටවල තත්වය සමග සැසඳීමෙන් එය වඩාත් හොඳින් වටහා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.
ශ්‍රී ලංකාව බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කරන ලද්දේ 2022 අප්‍රේල් මාසයේදී ය. ලෙබනනය 2020 මාර්තු මාසයේදී ද, සැම්බියාව 2020 ජූලි මාසයේදී ද, සුරිනාමිය 2020 නොවැම්බර් මාසයේදී ද, ඝානාව 2020 දෙසැම්බර් මාසයේදී ද, චාඩ් 2021 ජනවාරි මාසයේදී ද ශ්‍රී ලංකාව මෙන් ණය ගෙවීම අත්හිටුවන බව ප්‍රකාශයට පත්කරන ලදි. එම අර්බුදවලින් අත්මිඳීම සඳහා එම රටවලට කෙතරම් දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවූයේ ද යන්න එම රටවල් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග අනුව වටහා ගැනීමට අවස්ථාවක් සැලසේ.
ශ්‍රී ලංකාව 2022 අප්‍රේල් මාසයේදී ණය නොගෙවන බව ප්‍රකාශ කළ අතර ඉන් වසරක්වත් ඉක්මයෑමට පෙර 2023 මාර්තු මාසයේදී විස්තීරණ ණය පහසුකම් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලබා ගැනීමට හැකිවිය. 2020 දෙසැම්බර් මස බංකොලොත්භාවයට පත් ඝානාවට ණය ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලැබුණේ ඉන් වසර දෙකහමාරකට පසු 2023 මැයි මාසයේදී ය. සැම්බියාව 2020 ජුනි මාසයේදී ණය අත්හිටවූ අතර එරටට ණය ලබා ගැනීම සඳහා අයිඑම්එෆ් අනුමැතිය ලැබුණේ ඉන් වසර දෙකකුත් මාස දෙකකට පසු 2022 අගෝස්තු මාසයේදීය.
මෑතකදී ණය ගෙවීම අත්හිටවු රටවල ජනතාව බඩු මිල ඉහළයෑම වැනි ප්‍රශ්නවලින් ක්ෂණයකින් අත්මිදුණේ නැත. ලෙබනනය ණය අත්හිටවු අවස්ථාවේ සිට වසර 03 ක් ගතවෙද්දී සියයට 268 ක උද්ධමනයකට මුහුණ දුන්නේය. 2024 වසරේ මැයි මස වනවිට එරට උද්ධමනය සියයට 51.6 ක මට්ටමේ පැවතුණි. ඝානාවේ උද්ධමනය 2022 දෙසැම්බර් මාසයේදී සියයට 54.1 ක් විය. මේ වසරේ මැයි මාසයේදී එය සියයට 23.1 ක් විය. සුරිනාමයේ උද්ධමන අනුපාතය 2021 සැප්තැම්බර් මාසයේදී සියයට 69.5 ක් වූ අතර 2024 මැයි මාසයේදී සියයට 18.6 ක් විය. සැම්බියාවේ 2022 ජුනි මස උද්ධමනය සියයට 29.8 ක් වූ අතර 2024 ජුනි මාසයේදී සියයට 15.2 ක් විය. චාර්ඩ් හි උද්ධමනය 2020 අගෝස්තුවේදී සියයට 8.5 ක් වූ අතර 2024 මාර්තු මාසයේදී සියයට 6.4 ක් විය. ශ්‍රී ලංකාවේ ඉහළම උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේදී වාර්තා වූ අතර එය සියයට 69.8 ක් විය. 2024 ජුනි මාසයේදී එය සියයට 1.7 ක් විය. මෑතකදි ණය ගෙවීමට නොහැකි බව ප්‍රකාශ කළ රටවල් අතරින් උද්ධමන අනුපාතය ඉතා ප්‍රශස්ත මට්ටමකින් පාලනය කළ එකම රට ශ්‍රී ලංකාව බව මෙම විග්‍රහයෙන් පැහැදිලි වනු ඇත.
ඉහත කී රටවල් දරුණු ආර්ථික අර්බුදයකට ගොදුරුවීම සඳහාත්, ණය ගෙවීම නැවැත්වීමටත් හේතු වූයේ විදේශ විනිමය සංචිත ක්‍රමයෙන් ක්ෂය වී යාමය. ඒ හේතුවෙන් එම රටවල දේශීය මූල්‍ය ඒකක විශාල ලෙස අවප්‍රමාණය වූ අතර එම රටවල් තවමත් එකී තත්වයෙන් අත්මිඳි නැති බව පෙනේ. 2022 දෙසැම්බර් මාසයේදී ලෙබනන් පවුම් 1500 ක් ඩොලරයකට සමාන වුවද, පසුගිය මාසය වනවිට එය එක් ඩොලරයක් සඳහා ලෙබනන් පවුම් 89,500 ක් දක්වා දේශීය මුදල් අවප්‍රමාණ වී තිබුණි. 2022 සැප්තැම්බර් මාසයේදී චාඩ්ප්‍රාන්ස් 676.9 ක් වූ ඩොලරයක වටිනාකම පසුගිය මාසය වනවිට චාඩ්ප්‍රාන්ස් 611.6 දක්වා අඩුවී තිබේ. 2021 ජුලි මාසයේ ක්වාචා 22.5 කට ඩොලරයක් මිලදී ගත හැකි වුවද පසුගිය මාසය වනවිට එය ඩොලර් 24.0 ක් විය. 2022 නොවැම්බර් මාසයේදී ඩොලරය ශ්‍රී ලංකා රුපියල 367.4 ක් වුවද පසුගිය මාසය වනවිට එය රු. 305.7 දක්වා අඩුවී තිබේ. ඒ අනුව අනෙක් රටවල් හා සසඳන විට ශ්‍රි ලංකාව විනිමය අනුපාත කළමනාකරණය සම්බන්ධයෙන් ද විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇති බව පැහැදිලි වනු ඇත.
ඉහත සඳහන් රටවල අත්දැකීම් ඉතා වැදගත් වන්නේ ඒ සියලු රටවලට වඩා ඉතා ඉක්මනින් වැටුණු තත්වයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවට නිසි මගට යොමුවීමට තිබු හැකියාවයි. අත්දැකීම් බහුල නායකයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් IMF ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් නිම කිරීමට අවශ්‍ය කටයුතු මෙහෙය වූයේය. එහි තුන්වැනි වාරිකයත් ලබා ගැනීමට හැකිවන ආකාරයෙන් නියමිත කාලසීමාව තුළදී අයිඑම්එෆ් සමග ඇතිකරගෙන තිබූ එකඟතා ක්‍රියාත්මක කළේය. ඒ අතරම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකර විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගත්තේය. තවමත් නිම කිරීමට ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳ පොළෙන් ලබාගත් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පමණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (ජුලි 02) විශේෂ ප්‍රකාශයක් කරමින් ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය පැහැදිලි කළේය. රටේ ණය ප්‍රමාණය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ විසින් සමාජගත කර තිබෙන ඉතා විශාල බොරුවක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරුණු හෙළිදරව් කළේය. එම පෙරමුණේ අනුගාමිකයකු විසින් මුහුණු පොතේ පළකර ඇති පෝස්ටුවක “ආරංචිය සුබයි. පිනා රට ගන්නකොට සමස්ත විදේශ ණය ඩොලර් බිලියන 71 යි. දැන් 100 යි”. ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ රටේ සමස්ත විදේශ ණය ඩොලර් බිලියන 37 ක් බවයි. ඩොලර් බිලියන 100 ක් දක්වා රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය විසින් ණය ලබාගෙන ඇති බව ඉතා අපහාසාත්මකව මෙම පෝස්ටුව පෙන්වා දෙයි. ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම පෝස්ටුව දිගින් දිගටම ප්‍රචාරය කරන බවක් පෙනේ.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළේ රට ණය ආපසු ගෙවීම නැවැත්වීමෙන් පසු කිසිඳු රටක් ශ්‍රී ලංකාවට ණය දීම සඳහා ඉදිරිපත් නොවූ බවයි. එවැනි තත්වයක් තුළ විදේශ ණය ඩොලර් බිලියන 71 සිට ඩොලර් බිලියන 100 දක්වා ඉහළ නැංවෙන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය. දැනටත් යළි යළිත් ප්‍රචාරය කෙරෙන මේ පෝස්ටුවේ ඇති කරුණු සත්‍ය නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඩොලර් බිලියන 29 ක විදේශ ණය ලබාගෙන තිබේ. බංකොළොත් රටකට ඩොලර් බිලියන 29 ක ණයක් ලබා ගැනීමට හැකි නම් ඒ විශ්වකර්ම වැඩක් නොවන්නේද?
මෙවැනි බොරු ප්‍රචාර දිගින් දිගටම පතුරුවා හැරීමෙන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම සමගි ජනබලවේගයේ ද අරමුණ වී ඇති බව පෙනේ. ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී මුල් ණය මුදල කපා හැරීමට ද තවත් පහසුකම් ලබා ගැනීමට ද ඉඩ තිබු බව සමගි ජනබලවේගයේ ඇතැම් අය ප්‍රකාශ කර තිබේ. එසේ වුවද ණය ගෙවීම නවත්වා ඉන්පසු ආපසු ණය ගෙවීමට යෑමේදී ණය ගැතියාට කොන්දේසි පැනවීමට හැකියාවක් නැති බව මෙම පක්ෂ විසින් නොදන්නා බවක් පෙනේ. ආර්ථික විද්‍යාව පිළිබඳව එම පක්ෂ දෙකේම අයට ඇති නොදැනුවත්කම ඉන් පැහැදිලි වේ. ණය ගෙවීමට සිදුවන්නේ ණය හිමියන්ගේ කොන්දේසි අනුවය. තමන් බලයට පත්වු විට ණය කොන්දේසි වෙනස් කරගෙන වඩාත් සහන සලසන බවට වේදිකාවලදී පොරොන්දු දෙන නායකයන්ට ජනාධිපතිවරයා අභියෝගයක්ද කළේය.
ණය ප්‍රතිව්‍යූහගතකරණය හෝ අයිඑම්එෆ් ණය ලබා ගැනීම පිළිබඳව මේ වනවිට රජය විසින් එකඟවී ඇති කරුණුවලට වඩා වාසිදායක කොන්දේසි ඇත්නම් ඒවා තමන් වෙත වහාම ලබාදෙන ලෙස ජනාධිපතිවරයා ද ඉල්ලා සිටියේය. එවිට එම කොන්දේසි අයිඑම්එෆ් වෙත ඉදිරිපත් කරන බවත් ඒවා වහාම ක්‍රියාත්මක කිරීමට හැකිනම් එසේ කිරීමට ඉන් අවස්ථාව සැලසෙන බවත් ඔහු ප්‍රකාශ කළේය. මීට පෙරද අයිඑම්එෆ් සමග ගිවිසුම් ඇතිකර ගැනීමේදී විපක්ෂයේ දේශපාලන පක්ෂවලට වෙනත් වැඩපිළිවෙළක් ඇත්නම් ඒවා තමන් වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් කිසිවෙක් එකඳු හෝ යෝජනාවක් ඉදිරිපත් කළේ නැත. ජනාධිපතිවරයාගේ අභියෝගයට මෙවරද පිළිතුරු ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. ජනාධිපතිවරයා ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව අයිඑම්එෆ් සමග ක්‍රියාත්මක වුවත් ජනතා විමුක්ති පෙරමුණ හා සමගි ජනබලවේගය ණය ප්‍රතිව්‍යූහගතකරණයට එළඹ ඇත්තේ තම දේශපාලන වේදිකාවලදී පමණක් වන නිසාය.
(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර