දුම්රිය වර්ජනය අතරතුර මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියක වහලය මත ගමන්ගත් සිසුවකු අනතුරට ලක් වීමේ සිද්ධිය මගීන්ගේ නොසැලකිලිමත් භාවය සේම ශ්‍රී ලංකා දුම්රිය සේවයේ පිරිහීම මූර්තිමත් කරන්නකි. එම සිද්ධිය පසුපස ඇති දුම්රිය වර්ජනය හා බැඳුණු එහි පිරිහීමට අදාළ ආයතනික තත්ත්වය විමසුමට ලක් කළ විට දුම්රිය සේවය පත්ව ඇති ඛේදනීය මට්ටම පැහැදිලි වේ. ජීවිතය නොතකා වහලය මත නැගී යන්නට තරම් මගී ජනයා උනන්දු වීම තුළ එම සේවාවට ඇති ඉල්ලුම පැහැදිලිය. වසර ගණනාවක් තිස්සේ දුම්රිය සේවය පාඩු ලබා ඇත්තේ නිතරම එතරම් ඉල්ලුමක් එකී සේවාවට මෙරට තිබියදීය.
1862 දී ලංකාව යටත් විජිතයක්ව පැවැති සමයේ ක්‍රවුන් නමැති ආයතනයක් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන්, දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ටෙන්ඩරය භාර ගත්තේය. සැතපුම් 73ක් දිග කොළඹ-නුවර යා කෙරෙන දුම්රිය මාර්ගය අදියර කිහිපයකින් ක්‍රියාත්මක කොට නිම කරන ලදී. 1924 දී උඩරට දුම්රිය මාර්ගය බදුල්ල දක්වා දීර්ඝ කිරීමේ කටයුතු නිමා විය.
ඊට පෙර 1880 දී මාතලේ දුම්රිය මාර්ගය ද, 1895 දී වෙරළ බඩ දුම්රිය මාර්ගය ද, 1905 දී උතුරු දුම්රිය මාර්ගය ද, 1914දී මන්නාරම කරා දිවෙන දුම්රිය මාර්ගය ද සාදා නිම කරන ලදී. මඩකලපු හා හා ත්‍රිකුණාමලේ දුම්රිය මාර්ග ඉදිකිරීම නිමා කරන ලද්දේ 1928 වසරේ ය.
ජපානයේ දුම්රිය සේවාව ආරම්භ කරන ලද්දේ මෙරට දුම්රිය සේවාව ආරම්භ කිරීමෙන් අනතුරුවයි. 1955 සහ 1970 අතර කාලයේ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ බී.ඩී. රම්පාල මහතාගේ කාලය තුළ, දුම්රිය සේවාව ගුණාත්මක අතින් ඉමහත් වර්ධනයක් ලැබීය. වාෂ්ප එන්ජින් වෙනුවට ඩීසල් දහනයෙන් ධාවනය වන දුම්රිය ඒ කාලය තුළ සේවාවට ආදේශ විය. දුම්රිය මාර්ග නවීකරණය ද එම කාලය තුළ සිදුවිය. දුම්රිය සේවාව නවීකරණය වෙමින් දියුණුවක් ලැබූ කාලයක් වශයෙන් එම යුගය හැඳින්විය හැකිය.
දුම්රිය සේවාව පරිහානියට යමින් පවතින අවධිය දැන් උදාවී තිබේ.
2018 සිට 2020 දක්වා දුම්රිය සේවාවෙන් රජය විඳි පාඩුව සලකා බැලූ විට මෙකී සේවාවේ පරිහානිය පැහැදිලි වේ. 2016 රුපියල් බිලියන 6.77 ක් පාඩු විඳි දුම්රිය සේවාව, 2017 දී රුපියල් බිලියන 7.6 ක් ද ,2018 දී රුපියල් බිලියන 6.96 ක් ද, 2019 යේදී රුපියල් බිලියන හතයි 7.56ක් ද, පාඩු ලබා ඇත. 2020 දී දුම්රිය සේවාවෙන් සිදු වූ පාඩුව රුපියල් බිලියන 10 කි.
ඉතිහාසය තුළ මෙරට යටිතල සංවර්ධන කටයුතු උදෙසා සිදුකළ ව්‍යාපෘතිවලින් වඩාත් ආදර්ශවත් ව්‍යාපෘතිය ලෙස ආර්ථික විද්‍යාඥයන් හැඳින්වූයේ බ්‍රිතාන්‍ය පාලනය අවධියේ සිදු කළ උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතියයි. එම ඉදිකිරීම් උදෙසා ලබා ගත් ණය වසර පහක් තුළ ගෙවා දමා එකල දුම්රිය සේවාව ලාභ ලබන තත්ත්වයට පත්කර ගනු ලැබීය. වතු හිමියන්ගෙන් ඒ උදෙසා අයකළ අමතර බදු මුදල ද දුම්රිය සේවාව ලාභ ලබන තත්ත්වයට පත්වූ පසුව අය කිරීම නවතා දමනු ලැබීය.
මේ වන විට ශ්‍රී ලංකා දුම්රිය සේවාවේ සේවක සංඛ්‍යාව 14885 කි. දුම්රිය මාර්ගවල දිග කිලෝමීටර් 1508කි. දුම්රිය සේවාවට අදාල වෘත්තිය සමිති 5 ක් පමණ තිබේ. දුම්රිය වැඩ වර්ජන නිසා වැඩට යන එන ජනතාව අවුරුද්දකට හත් අට වතාවක් දුක් විඳිති. දුම්රිය සේවකයන් වැඩ වර්ජනවල යෙදී සිටිද්දී තම රැකියාව බේරාගනු වස් දුම්රිය මගීහු දුම්රියේ වහලය මත හෝ ගමන් කරති. ජීවිත අවදානම නොතකා සිය රැකියාවට යන මගීහු මරුමුවට පත් වෙති.
අපටත් පසුව දුම්රිය සේවාව ඇරඹූ ජපානය ලෝකයේ වේගවත්ම දුම්රිය ධාවනයට හිමිකම් කියමින් දිනපතා කිලෝමීටර සිය ගණන් දුර සිට ජනයා සේවා ස්ථානවලට රැගෙන එයි. වසර දෙදහස් පන්සීයක අතීතය ගැන පුරසාරම් දොඩවන අපි, පිරිහෙන අනාගතයක් දකිමින්, අනාගතයට උචිත දේ නොකර මග හැර සිටින්නෙමු.
(***)