ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 22වැනි සැසිවාරයත් සමග බෙදුම්වාදී ජාත්‍යන්තරය ශ්‍රී ලංකාව නැවත වතාවක් දංගෙඩිය කරා ඇදගෙන යාමටත් ඒ මඟින් ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක පැනවීමටත් කිසියම් පිරිසක් උත්සාහ කරද්දී ශ්‍රී ලංකාවට විරුද්ධ චිත්‍රපට තුනක් එළිදැක්වීම සඳහා කටයුතු යොදා ඇති බව ලන්ඩන් වාර්තා කියයි.
එයින් එක චිත්‍රපටයක ප්‍රචාරක පටයක් දැනටමත් එළිදක්වා ඇත.
පැය එකහමාරක් දිග එම චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ කාලයක සිට තුන්වන ලෝකයේ විවිධ රටවල සිදුවෙතියි කියන, නිෂ්පාදක විසින්ම තීරණය කැර ගැනුණ තමන්ගේම සංකල්පයක් බව පෙනේ.
එම සිද්ධී ගෝචරකරගෙන මතභේදකාරී වාර්තා චිත්‍රපට නිර්මාණය කරනුයේ බ්‍රිතාන්‍යයේ ජීවත්වන කැලම් මැක්රේය. ඔහු හැදී වැඩී ඇත්තේ නයිජීරියාවේ සහ ස්කොට්ලන්තයේය.
මෙවන් චිත්‍රපට නිපදවා අලෙවිකිරීම ඔහුගේ ජීවනෝපායයි. ඒ ගැන ඔහුට වරදක් කිව හැකි නොවේ.
ශ්‍රී ලංකාව පිළිබඳව නිපදවා ඇති අලුත්ම චිත්‍රපටය මඟින් ඔහු ගෙනහැර දක්වන්නට උත්සාහ කර ඇත්තේද යල්පැනගිය කලින් පට්ටා ගැසු දැනට මළකඩ කා ඇති තර්ක විතර්ක රැසකි.
මැක්රේ අලුතින් පාටගන්වා ඉදිරිපත්කරන මේ පරණ තර්කවලින් පෙන්වන්නට දඟලන එක චෝදනාවක් වන්නේ ප්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන් ශ්‍රී ලංකා හමුදා අත්අඩංගුවේ සිටියදී ඝාතනය කරන ලද බවයි.
ඔහු කියන්නේ ඔහු ළඟ ඇති මේ සම්බන්ධ ඡායාරූප 2009 මැයි 19 වැනිදා ගත් බවයි. එහෙත් එම ඡායාරූප යොදාගනිමින් චෝදනාවක් නැඟිමට වසර තුනකට ආසන්න කාලයක් ගත්තේ මන්දැයි ඔහු පැහැදිලිකරන්නේ නැත.
මෙම ඡායාරූප පෙළ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා අපකීර්තියට පත්කිරීමටත් එමගින් ශ්‍රී ලංකාවේ දේශපාලන නායකත්වයට අභියෝගයක් එල්ලකැරැවීමටත් කාලාන්තරයක් සිට සංවිධානාත්මකව ක්‍රියාත්මකවන අමණ උත්සාහයකට අනුකුලව නිර්මාණය කරන ලද මුසාවක්, පට්ටපල් බොරුවක්, ලෙසට හොඳින්ම පෙනීයන බව මේ පිළිබඳව සොයා බැලූ බොහෝදෙනා පවසති.
කොටි නායක ප්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන්ට වෙඩි තබා ඇතිබව සනාථ කිරීම සඳහා මැක්රේ යොදා ගන්නා බ්‍රිතාන්‍යයේ වෛද්‍යවරයකු ලෙස දක්වන ඩෙරික් පෞන්ඩර් තම නිගමනයට එළඹෙන්නේ මියගිය අයගේ සිරුර දැක නොවේ. ඔහුට පෙන්වන පින්තුර දෙකක් තුනක් දෙස බලා ඔහු මෙම චෝදනාව නඟයි.
මෙම තර්කයම යොදාගනිමින් 2012 දී මැක්රේ විසින් බාලචන්ද්‍රන්ගේ පින්තුර ජිනීවා නුවරදී ඉදිරිපත් කැරුණේ වෙනත් කොටි ත්‍රස්තවාදීන් පස්දෙනෙකුගේ සිරුරු වල පින්තූරත් සමඟය. නමුත් මෙවර ඔහු යොදාගන්නේ බාලචන්ද්‍රන්ගේ පින්තූර පමණය. මෙසැරේ කලින් පෙන්වූ අනෙක් කොටි පස්දෙනාගේ සිරුරු වල පින්තුර ආගිය අතක් නැත.
මෙවර පෙන්වන පින්තුර වල හමුදා බංකරයක සිටිනවායි කියන බාලචන්ද්‍රන්ගේ මුහුණේ කිසිදු තැතිගැන්මක් පෙනෙන්නට නැත.
බංකරයද ඉතාම අලුත්ම වැලිගෝනි වලින් නිර්මාණය කරනලද ලස්සන එකකි. බංකරයේ ලස්සන බංකුවක්ද ඇත.
යුද පිටියක මෙවැනි ලස්සන බංකරයක් තිබිය හැකිද?
කොටි ත්‍රස්තවාදින් දෙමළ ප්‍රජාවගේ මනසේ නිර්මාණය කර තිබුණේ ශ්‍රී ලංකා හමුදාව යනු දෙමළ ජනයා දුටු දුටු තැන මරාදමන මේලේච්ඡ කුරිරු රෞද්‍ර හමුදාවක් බවයි. ශ්‍රී ලංකා හමුදාව පිළිබඳව ප්‍රභාකරන්ගේ පුතාගේ මනසේ මවා තිබෙන්නට ඇත්තේද එවැනි චිත්‍රයකි. ඒ ගැන අනුමාන කළ හැකි නොවේ.
එවැනි හැඟීමක් ඇති දෙළොස් වියැති දරුවෙක් දසතින් වෙඩිහඬ හා පිපිරීම් හඬ දෝංකාරදෙන භයංකර යුදපිටියක තම දෙමාපියන් නෑදෑ හිතමිතුරන් කිසිවකුට සිදුවූ දෙයක් නොදැන සතුරු හමුදාවන් අතට පත්වු හැටියේ මේ පින්තුරයේ පෙනෙන අන්දමට විස්කෝතු කමින් ඇල්වතුර බොමින් සතුරාගේම අලුත්ම අලුත් සරොමක් පොරවාගෙන නිවී සැනසිල්ලේ ඉන්න පුළුවන් මොන ලෝකයේද?
එම සරොමද දෙමළ මිනිසුන් අඳින වර්ගයේ අලුත්ම අලුත් ඉන්දියාවේ නිෂ්පාදිත අලුත්ම පලයකාට් සරමකි.
බාලචන්ද්‍රන්ගේ පපු පෙදෙසට වෙඩි පහක් තියා ඇති බවට මේ පින්තුර බලන පණ්ඩිතයෝ කියති. නමුත් පින්තුරයේ පෙනෙන අන්දමට ඒ එකම වෙඩි පහරකින්වත් ලේ ගැලීමක් සිදුවූ බවක් පෙනෙන්නට නැත. එක වෙඩි උණ්ඩයකින්වත් ලොකු තුවාල සිදුවී ඇති ආකාරයක් පෙනෙන්නට නැත.
ඒ වෙලාවේ මියගිය බාලචන්ද්‍රන්ගේ සිරුර නාවා පිරිසිදුකිරීමට මේ තරම් තීරණාත්මක බිහිසුණු සටනක නියලී ඉන්නා හමුදා භටයන්ට වෙලාවක් තියෙන්නට ඇත්ද?
කොටි නායක ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවට පැනගිය පසු ඔහුගේ ආරක්ෂාවට අලුත් බංකර් තනා තිබු බව එම පළාත අල්ලා ගත්පසුව හමුදාවන්ට සොයාගත හැකිවිය. බාලචන්ද්‍රන්ගේ පින්තුර ගෙන ඇත්තේ එවන් අලුතෙන් ඉදිකරනලද බංකරයක වියහැකි නොවේද?
බාලචන්ද්‍රන්ගේ යැයි කියන ඡායාරූපයේ හතර දෙනෙකුගේ පාද දක්නට ඇත. පරිගණක මෘදුකාංග යොදා කපා කොටා සකස්කර ඇති සමහර පින්තුර වල පෙනෙන්නට ඇත්තේ පාද දෙකකි.
එයින් කෙනෙකු රබර් සෙරෙප්පු පැලඳ සිටී. දැඩි විනය පාලනයක් සහිතව ක්‍රියාකළ වෘත්තිමය හමුදාවක් වන ශ්‍රී ලංකා හමුදාවේ කිසිවකු රබර් සෙරෙප්පු පැළඳ යුද්ධ කළේ නැත. මෙය කවුරුත් දන්නා සත්‍යයකි. එයට අමතරව පින්තුරයේ පෙනෙන අනෙත් පුද්ගලයා පැළඳ සිටින්නේද ශ්‍රී ලංකා හමුදා භටයන් පලදින වර්ගයේ සපත්තු නොවේ.
මේ කාලයේ හමුදාවේ හැර සාමාන්‍ය වැසියන් කිසිවෙකුටත් හමුදා බංකරයකට තබා ක්‍රියාන්විතයන් පැවතී අහලකටවත් යාමට ඉඩක් තිබුණේ නැත.
ඡායාරූපයේ පහළ කොටස දෙස බැලුව හොත් පින්තුරය ගත් තැනැත්තාගේ සෙවනැල්ල සිරුර මත වැටී තිබේ. එම සෙවනැල්ල කොණ්ඩය වවාගත් පුද්ගලයෙකුගේ බව පැහැදිලිය. ඉතාමත් තදබල යුදමය අවස්ථාවක වුවද දැඩි විනයක් යටතේ කටයුතු කරන ශ්‍රී ලංකා හමුදා සෙබළුන්ට කොණ්ඩය වවාගෙන යුදබිමට යාමට කිසිසේම හැකියාවක් තිබුණේ නැත.
මේ නිසා කැලම් මැක්රේ තම අලුත්ම චිත්‍රපටයෙන් උලුප්පා දැක්වීමට උත්සාහ කරන අඩපණ, දියාරු, දුබල තර්ක දුටුතැනම ලොප්වී යයි.
ශ්‍රී ලංකාවේ හුටපටය විකුණාගෙන කෑමේ අසික්කිත උත්සාහයක යෙදී ඉන්නා දේශීය සහ විදේශීය කණ්ඩායම් සියල්ලගේම උවමනාව ශ්‍රී ලංකාවේ නැවත වතාවක් අස්ථිර තාවයක් බිහිකිරීම මිස අද නිදහස්ව නොබියව සතුටින් සාමාන්‍ය ජීවිතයක් ගෙනයන උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ සුබ සාධනය නම් නොවේ.
ප්‍රභාකරන්ගේ පුතාගේ යැයි කියන ඡායාරූප පෙළ ඊලාම් ත්‍රස්තවාදි ඩයස්පෝරාවේ කොන්ත්‍රාත්තුව ඉටුකිරීමට කැපවී ඉන්නා සුළුතරයක් විසින් ශ්‍රී ලංකාව අපකීර්තියට පත්කිරීම උදෙසා නිර්මාණය කරන නරි නාටකයක එක කොටසක් පමණි.
දැන් අවශ්‍යව ඇත්තේ එම ව්‍යාජ පින්තුර තියුණු ලෙස නිරීක්ෂණය කොට ඒවායේ ව්‍යාජ බව ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ එළිදරව් කිරීමය.
මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ය, ත්‍රස්තවාදයට උඩගෙඩි දීමක්ය , කියමින් සිංහලෙන් කෑමොර ගසමින්, තානාපති කාර්යාල අසල පෙළපාළි යාම හෝ බකන් නිලා සිටීමෙන් හෝ නොවේ.