අද අපට තිබෙන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ විදේශ සංචිතය ඉතිහාසයේ නොවූ විරූ ආකාරයට අවම මට්ටමට වැටීමය. මේ නිසා රටට අවශ්‍ය දෑ ආනයනය කිරීමට නොහැකි වී තිබේ. ආහාර ද්‍රව්‍ය, ඖෂධ, ඉන්ධන යනාදියේ හිඟයක් නිර්මාණය වූයේද මේ සංචිත අර්බුදයේ ප්‍රතිඵලයක් වශයෙනි.
ජාත්‍යන්තර මුල්‍ය ආයතන මත යැපෙන රටක තත්ත්වයට දැන් ලංකාව පත්ව තිබේ. එහෙත් රට පත්ව ඇති ඛේදනීය තත්ත්වය හේතුවෙන් එකී මූල්‍ය ආයතනවලින් ණය ලබාගැනීමට නොහැකි පසුබිමක් නිර්මාණයවී අවසන්ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මේ වනවිට යම් යම් එකඟතාවලට එළැඹෙමින් සිටිය ද ඒවා සිදුවූයේ නිසි කලට නොවේ. බොහෝ ප්‍රමාදවය. කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට පැමිණ සිටියද මෙය ආරම්භයක් පමණි.
මෙවන් ගිවිසුමකදී මූලිකවම අප කළයුතු දේවල් පෙන්වා දී තිබේ. ලංකාව ලබාගෙන ඇති විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කළයුතු බව ප්‍රධාන වශයෙන් කියා තිබේ. ලංකාව විදෙස් ණය ලබාගෙන ඇති ප්‍රධාන රටවල් වන්නේ චීනය ඉන්දියාව සහ ජපානයයි.
මේ කාරණයේදී ඉන්දියාව, ජපානය යම් ආකාරයක මෘදු පිළිවෙතක කටයුතු කළත් චීනයේ අදහස මේ දක්වා ප්‍රකාශවී නැත. ඔවුන් යෝජනා කරන ක්‍රම දෙකකි. ලබාගෙන ඇති ණය පොලිය ගෙවීමට තවත් ණයක් ලබාදීම ඉන් එකකි. චීනයෙන් ණය ගෙන කළ ව්‍යාපෘති ඔවුන්ට පවරාදීම දෙවැන්නය. එහෙත් මේ ගැන සමාජයේ එතරම් කතාබහක් නැත. එසේ වුවත් මේ කාරණය සිතට ගතයුතුය. ඒ වෙනත් රටවල එසේ සිදුව ඇති නිසාය.
ආසියා, අප්‍රිකා සහ ලතින් ඇමෙරිකා රටවලට චීනය ඩොලර් ට්‍රිලියනයකට වඩා ණය දී තිබේ. එනිසා ණය ප්‍රතිව්‍යුහගතකරණයක දී චීනය අපට සහාය දැක්වුවොත් අනෙක් රටවලට ද එම සහනය දීමට සිදුවනු ඇත. මේ නිසා විශේෂ සහනදායී පියවරකට චීනය එකඟ වන්නේ නැත. එනිසා ඔවුන් සූදානම් වන්නේ පොලිය ගෙවීමට තවත් ඩොලර් බිලියනයක පමණ ණයක් දීමට ය. එහෙත් එවන් පියවරක දී ලංකාව තවත් බැරෑරුම් තත්ත්වයකට මුහුණපානු නියතය. එසේ නම් රට මුහුණදෙන අර්බුදයේ පරිමාව වටහාගත හැකිය. මේ ප්‍රශ්නය විසඳා නොගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගත නොහැක.
ජාත්‍යන්තර මට්ටමේ සාකච්ඡා පවත්වන සෑම අවස්ථාවකදීම විදෙස් රටවල් අවධාරණය කරන කරුණක් තිබේ. එනම් මේ රටේ කටයුතු විනිවිදභාවයෙන් සිදුවිය යුතු බවය. අප්‍රිකාවේ රටවල්වලට අමතරව ලංකාවද මේ මාතෘකාවට මෑතක පටන් ඇඳී තිබේ. අසල්වැසි ඉන්දියාවට මෙවන් ප්‍රශ්න මතුව නැත. නේපාලයට, බග්ලාදේශයට මෙවන් චෝදනා නැගෙන්නේ නැත. අපේ රට මුදල් අවභාවිත කරන බව ලෝකයේ බොහෝ රටවල් මෙන්ම ආයතන දන්නා කරුණකි. මේ රටේ සංවර්ධනයට ලබාදෙන මුදල් හොරකම් කිරීම හෝ කොමිස් වශයෙන් ගැනීම සිදුවන බව තවදුරටත් රහසක් නොවේ. එනිසා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ රටවල් ලබාදෙන ආධාර යනාදිය ඍජුවම ලැබිය යුතු පිරිස්වලට දියයුතු බව ඔවුන්ගේ ස්ථාවරයවී තිබේ. ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ ඇතිවී තිබෙන මෙම මතය හිතකර වන්නක් නොවේ.
ලංකාවේ දේශපාලන ස්ථාවරත්වයක් තිබිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතා පැහැදිලිව පෙන්වාදී තිබේ. අද මේ රටේ එවන් දේශපාලන ස්ථාවරත්වයක් දක්නට නැත. ජාතික සභාවක් පිහිටෙව්වද ප්‍රධාන පක්ෂ කීපයක් එය නියෝජනය කරන්නේ නැත. මෙරටින් දමන සෑම ඇමක්ම ජාත්‍යන්තරය ගිලීවි යන අදහසක් පාලකයන්ට තිබේ. එහෙත් එය එසේ නොවේ. ඔවුන් තීරණ ගන්නේ තානාපති කාර්යාල, කෙරෙන සමීක්ෂණ යනාදිය මත පදනම්වය. මේ රටේ කටයුතු පාරදෘෂ්‍යභාවයෙන්, විනිවිදභාවයෙන් වියයුතු බව මෙරට සිටින විදෙස් රාජතාන්ත්‍රිකයන්ගේ අදහස්වී තිබේ. මෙය ඉතා කනගාටුදායක තත්ත්වයකි. ඒ වගේම මෙයින් ගම්‍ය වන්නේ මෙරටට ලැබෙන මුදල් භාවිතය සම්බන්ධයෙන් සැකයක් ජාත්‍යන්තරයේ තිබෙන බවය. එනිසා මේ මොහොතේ පටන් මේ තත්ත්වය වෙනස්කර ගැනීමේ දිශාවට රට මෙහෙයවිය යුතුය.
මෙවන් අභියෝග හමුවේ අද උද්ධමනය බරපතළ ආර්ථික කාරණයක් වී තිබේ. ආහාර උද්ධමනය සියයට අනූව ඉක්මවීම යනු ඛේදනීයම තත්ත්වයකි. සාමාන්‍ය ජනයාට එදිනෙදා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම පවා අර්බුදයකට ලක්ව අවසන්ය. මේ නිසාම ජනතාව ආහාර ගැනීම අඩුකර තිබේ. වේල් අතහැර තිබේ. මේ කාරණයේදී කුඩා දරුවන් මුහුණ දී සිටින අර්බුදය අමුතුවෙන් කිව යුත්තක් නොවේ.
මන්දපෝෂණයට ලක්වන ළමා පරපුර දිනෙන් දින ඉහළ යමින් පැවතීමෙන් මෙහි තිබෙන බරපතළකම වටහාගත හැකිය. ළමා මන්දපෝෂණය සම්බන්ධයෙන් විවිධ අය විවිධ ප්‍රකාශ කළද ඇත්තටම අප මේ සම්බන්ධව ලජ්ජා විය යුතුය. අැස්පනාපිට ඇති කාරණයක් තවදුරටත් වසන් කිරීමට උත්සාහ කිරීම අර්ථ විරහිතය. එනිසා කළයුත්තේ තර්ක ගොඩනගමින් සිටිනවා වෙනුවට ප්‍රශ්නයට විසඳුම් සෙවීමය. පවතින වාතාවරණය යටතේ ජාත්‍යන්තරයෙන් ආහාර ආධාර ඉල්ලා සිටීමට සිදුවනු ඇත. ඒ වගේම ඒවා ඉලක්කගත කොටස්වලට බෙදීයන ක්‍රමවේද අවශ්‍යය.
රුපියල්වලින් ලබාගන්නා මුදල්වල වටිනාකමක් නොමැති තැනට තල්ලුවී තිබේ. ඩොලරයේ අගය ඉහළ යාම මෙයට ප්‍රධාන හේතුවකි. ඖෂධ මිල ඉහළ ගොස් ඇත්තේ පුදුමාකාර ලෙසය. සෑම භාණ්ඩයක්ම පාහේ මිලට ගැනීමට මීට පෙර ගෙවූ මිල මෙන් දෙතුන් ගුණයක මිලක් ගෙවීමට අද සිදුව තිබේ. මේ සෑම ප්‍රශ්නයක් සමගම දේශපාලන අස්ථාවරභාවය තවතවත් වර්ධනය වෙමින් තිබේ.
වෙනත් රටවල මෙවන් අර්බුද නිර්මාණය වූ විට සියලු දෙනා එකමුතුව කටයුතු කර විසඳුම් සොයා ගෙන තිබේ. තායිලන්තයේ ආර්ථික අර්බුදය ඇතිවූ අවස්ථාව එයට උදාහරණයකි. එහෙත් අපට අද සියලු දේශපාලන පක්ෂ එක්වී විසඳුමක් සෙවීමට නොහැකිවී තිබේ. තමන් ගැනම පමණක් සිතන ස්ථාවරය මෙයට හේතු වී තිබේ. තමන්, තමපක්ෂය, බලය ගැනම සිතන ස්ථාවරයෙන් වෙනස්වන තෙක් මේ රටට ගොඩයාමක් තිබේයැයි සිතිය නොහැක.
ජාතික මෙන්ම ජාත්‍යන්තරව ද රට ඇත්තේ සුබදායක තැනක නොවේ. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ලංකාව සම්බන්ධයෙන් සමම්මත වූ යෝජනාවෙන් ඒ බව තවදුරටත් තහවුරුවී තිබේ. මීට පෙර එම කවුන්සිලයේ දී ලංකාවට ලැබුණු ඡන්ද ගණනවත් මෙවර ලැබී නැත. අපේ රාජතාන්ත්‍රික සම්බන්ධතා ඉතා පහත් මට්ටමකට වැටී තිබීම මෙයට හේතුවකි. ජපානයෙන් පටන්ගත් විට ඇමෙරිකාව දක්වා රටවල් සමග ලංකාව කුමන හෝ ප්‍රශ්නයක් ඇති කරගෙන තිබේ.
මානව හිමිකම් ප්‍රශ්න, පොරොන්දුවූ ආකාරයට කටයුතු නොකිරීම යනාදිය මෙයට හේතු වශයෙන් දැක්විය හැකිය. දේශපාලන අස්ථාවරභාවයද මෙලෙස උදව් නොකිරීමට හේතුවකි. එ.ජා. මානව හිමිකම් කවුසිලයේ යෝජනාව අනුව ‘ආර්ථික අපරාධ’ සම්බන්ධ කාරණය අලුතෙන් එක්වූවකි. මේ යටතේ ප්‍රශ්න රාශියකට මුහුණදීමට ලංකාවට සිදුවන බව පෙනේ.
මේ සම්බන්ධව සෙවීමේ කාර්යාලයක් පිහිටුවීම අනිවාර්යයෙන් සිදුවන්නකි. ඇමෙරිකාව ආදී රටවල් ඒ වෙනුවෙන් මූල්‍ය පහසුකම් සැපයීමට පසුබට වන්නේ නැත. එනිසා මේ කාරණය ලංකාවට මුහුණදීමට සිදුවන බරපතළ ප්‍රශ්නයක ආරම්භය බව කිව හැකිය. මේ සම්බන්ධ නිල ස්ථාවරයක් ලංකාව පැත්තෙන් තවම සිදුව නැත. ලංකාවේ ආර්ථික අපරාධ තිබෙන බව ඒ අනුවද ලංකාවම පිළිගෙන තිබේ. මෙයින් පෙනෙන්නේ ප්‍රශ්නවලට නිසි පිළියම් නොයෙදුවහොත් එකී ප්‍රශ්නවල අවසානයක් නොවන බවය.
යුක්රේන යුද්ධයත් සමග ලෝක දේශපාලන වාතාවරණය වෙනස් වෙමින් තිබේ. රුසියාව අපේ ප්‍රශ්න විසඳීමට උදව් කරාවි යැයි සිතා සිටින්නේ නම් එය සිදුවන්නේ නැත. එයට හේතුව රුසියාව ද මේ වනවිට ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටින නිසා ය. බොහෝ රටවල් තම තමන්ගේ ප්‍රශ්න කෙරෙහි වැඩි අවධානයක් යොමුකරමින් සිටින පරිසරයක අපට උදව් කිරීමට එතරම් උනන්දුවක් නැත. ඊට අමතරව අපට බෙහෙවින් මිත්‍ර රටවලට ද කුමන හෝ ප්‍රශ්නයක් අපම ඇති කර තිබේ. කලක් ගතවී ප්‍රශ්න විසඳා ගැනීමට ගන්නා උත්සාහයක්ද තිබේ. ජපානය, චීනය, ඉන්දියාව සමග මෑතක ඇතිකරගත් ප්‍රශ්න එයට උදාහරණයි. එසේ බලනවිට ලංකාව හැසිරෙන්නේ පුදුමසහගත ආකාරයෙනි. මෙවන් පසුබිමක දූරදර්ශී ප්‍රතිපත්තියකින් තොරව රට ඉදිරියට ගෙනයාම අපහසුය. ඇමැති මණ්ඩලය වැඩි කළාට මේ ප්‍රශ්න විසඳෙන්නේ නැත.
ජාත්‍යන්තරය ඒවා පිළිගන්නේ නැත. ඇතැම් විට මවනා චිත්‍ර රට අභ්‍යන්තරයට ගැළපෙන්නට පුළුවන. ඩොලර් මිලියන දහය පහළොවේ ආධාර, ණය හැරුණු විට ලොකු ප්‍රමාණයෙන් ආධාර, ප්‍රදාන, ණය නොලැබෙන්නේ ඉහත කී කාරණා නිසාය. පසුගිය කාලයේ ඉන්දියාව ඩොලර් බිලියන ගණනක ණය දුන්නේය. ඒ පිළිබඳව ඉන්දියාවට ස්තුතිවන්ත විය යුතුය. වෙනත් කිසිදු රටක් එලෙස උදව් කළේ නැත. ඒ නිසා අපේ ප්‍රතිපත්ති, ක්‍රියා පිළිවෙත් වෙනස් කරගත යුතුය. එසේ නැතිව ලංකාවට ගොඩයාමක් පෙනෙන්නට නැත.
ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යටපත් කිරීමෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැත. ලංකාවේ ගෙනයන වැඩපිළිවෙළ සම්බන්ධව විවිධ රටවල් වෙන් වෙන්ව පවා අදහස් පළකර තිබේ. මෙයින් පෙනෙන්නේ රට සම්බන්ධව ජාත්‍යන්තරය සිටින තැනයි. දේශපාලනිකව ස්ථාවරභාවයක් ඇතිකර ගත්තා නම් ඒ ඔස්සේ සමාජ ස්ථාවරත්වය ගොඩනැගෙනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලැබූ පමණින් මේ රටේ ආර්ථික ප්‍රශ්න විසඳෙන්නේ නැත. එනිසා වෙනත් රටවලින් ණය ලබාගත හැකිද යන්න ඍජුව සාකච්ඡා කිරීමටද සිදුවේ. එවන් ක්‍රියාවලියක් වන බවට කිසිදු හෝඩුවාවක් මේ දක්වා නම් නැත. රට තිබෙන්නේ කුමන තත්ත්වයකදැයි මේ අනුව සිතාගන්නට පුළුවන.
මෙතරම් අසීරු වාතාවරණයක පවා අපනයන වර්ධනයක් වී තිබේ. පසුගිය මාසයේ ඩොලර් බිලියන 1.2 ක් දක්වා අපනයන වර්ධනයක්වී තිබීමෙන් පෙන්නුම් කරන්නේ හරියාකාර ක්‍රමයක් මේ රටේ තිබේ නම් අපට ඉහළම තලයකට යාමට හැකි බවය. එනිසා මේ මොහොතේ බලධාරින් අවධානය යොමුකළ යුතු වන්නේ සිල්ලර දේශපාලන කාරණාවලට නොවේ. රටට අවශ්‍ය ආයෝජන ලබාගෙන ඒ ඔස්සේ තමතමන් නිෂ්පාදන කර ආර්ථිකය නැංවීමටය. අපනයනය තව තවත් වර්ධනය කෙරෙන ක්‍රියාමාර්ග තැනීමට ය. රට කොතරම් අර්බුදයක පැවතිය ද බොහෝ අය තුළ තම දේශපාලනය අංක එක වී තිබීම කනගාටුදායක තත්ත්වයකි.
ලංකාව මෑත කාලයේ දී රටට වැදගත් ව්‍යාපෘති සම්බන්ධයෙන් පවා අනුගමනය කර තිබෙන්නේ දෙබිඩි ස්වරූපයේ ප්‍රතිපත්තියකි. ජපානය සමග ඇති කරගත් එකඟතාවක් අනුව ක්‍රියාත්මක කිරීමට ගිය සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඊට හොඳම උදාහරණයකි. රටට ආයෝජනයක් වශයෙන් පැමිණෙන මෙම ව්‍යාපෘතිය පසුගිය ආණ්ඩුව නවතා දැම්මේය. මේ නිසාම ලංකාවට ඉතාම මිත්‍රශීලි රටක් වූ ජපානය සමග තිබූ සබඳතා පළුදුකරගත්තේය. දැන් යළිත් එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම් කරන බව දැනගන්නට තිබේ. ඒ වගේම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ සහ ජපානයේ එක්වීමෙන් සංවර්ධනය කිරීමට එකඟතාවලට පැමිණ තිබුණි. එහෙත් පටු දේශපාලන අරමුණ වෙනුවෙන් මතු වූ විරෝධතා හමුවේ එම එකඟතාද බිඳ දැම්මේය. එහි ප්‍රතිඵලය වූයේ එකී දෙරට සමග තිබූ හොඳහිත පළුදුවීමය.
චීනය සමග ද ඒ ආකාරයේ ප්‍රශ්න ඇතිකර ගත්තේය. මේවායෙන් අප එම රටවල් තරහ කරගත්තා පමණක් නොව ජාත්‍යන්තරයට ගෙනගියේ ද වැරැදි පණිවිඩයකි. ආයෝජකයන්ට දුන්නේ වැරැදි පණිවිඩයකි. අපට හරි විදේශ ප්‍රතිපත්තියක් තිබුණා නම් මධ්‍යධරණී රටවල්වලින් අපේ ඉන්ධන ප්‍රශ්නය විසඳා ගැනීමට තිබුණි. එහෙත් රට තුළ සිදුවූ ඇතැම් ජාතිවාදී ක්‍රියා ඒවාට හරස් කැපුවේය. එනිසා තිබෙන්නේ දුර දැක්මකින් තොරව කළ වැඩවල ප්‍රතිඵලය. රට ගැන සිතා කටයුතු නොකිරීමේ ප්‍රතිඵලය. ඉදිරි කාලයේ නොබැඳි පිළිවෙතක් නැතිව අපට ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමට හැකි වන්නේ නැත. ජාතික අවශ්‍යතා අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාව දැඩිව දැනෙමින් තිබේ. ජනප්‍රිය තීන්දු ගැනීමෙන් මේ රටේ අර්බුදය විසඳිය නොහැකි බව සැවොම වටහාගත යුතු ය.
සටහන – චමින්ද මුණසිංහ
රුසියානු සමූහාණ්ඩුවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ