ශාසනික කටයුතු කරගෙන යාමේදී භික්ෂූන්ට විවිධ බලපෑම් එල්ලවෙනවා


(*** නාලක සංජීව දහනායක)

අතීතයේ දී මෙන්ම වර්තමානයේදීත් ශාසනික කටයුතු සිදු කරගෙන යාමේ දී භික්ෂූන් වහන්සේලාට විවිධාකාරයෙන් බලපෑම් එල්ල වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ මහාචාර්ය කිවුලේගෙදර නාරද හිමියෝ පෙරේදා (08) පැවැසූහ.

එහෙත් ඉතිහාසය විසින් මහා සංඝරත්නයට උරුම කර දෙන ලද වගකීම් සමුදායෙන් මිදීමට වත්මන් භික්ෂු පරපුරට හැකියාවක් නැතැයි ද උන්වහන්සේ කීහ.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය බිහිකර වසර 218ක් පිරීම නිමිත්තෙන් පෙරේදා (08) පැවැති අමරපුර දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ගුණ සමරු දේශනය පවත්වමින් උන්වහන්සේ එසේ පැවසූහ.

ගල්කිස්ස ධර්මපාලාරාමාධිපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් අමරපුර සැමරුම් දින උළෙල පෙරේදා (08) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණ.

වැලිතර, මහකරාවේ ඥානවිමලතිස්ස නාහිමියන් විසින් 1803 වර්ෂයේ දී පිහිටු වනු ලැබූ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සියලුම ආදි කර්තෘවරුන් වහන්සේලා සිහිපත් කරමින් උන්වහන්සේලා වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වීම ද එහිදී සිදු විය.

මාධ්‍යවේදී උපාලි සමරසිංහ මහතා විසින් රචිත කොටුගොඩ ධම්මාවාස මහ නාහිමි චරිතාපදානය ජනාධිපතිවරයා විසින් එහිදී මහ නාහිමියන්ට පිළිගන්වනු ලැබීය.

අමරපුර මහා නිකායට අයත් සියලුම විහාරස්ථානවල තොරතුරු ඒකරාශී කොට ලියන ලද අමරපුර විහාරස්ථාන නාමාවලිය ග්‍රන්ථය ද එහිදී එළිදැක්විණි.

කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන් හා ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර නාහිමියන් විසින් එහිදී ජනාධිපතිවරයාට සිහිවටන තිළිණයක් ද පිරිනමනු ලැබීය.

කිවුල්ගෙදර නාරද හිමියෝ මෙසේ ද පැවසූහ.

වර්තමානයේ දී භික්‍ෂූන් වහන්සේලාට ශාසනික කටයුතු සිදුකරගෙන යාමේ දී සමාජය ඇතුළු නොයෙකුත් පාර්ශ්වයන්ගෙන් බලපෑම් එල්ලවෙනවා. එහෙත් මහා සංඝරත්නය දිනපතාම දිවා රාත්‍රී නොබලා ශාසනික සේවයේ නිරත වෙනවා. අද වගේම අතීතයේ වැඩසිටි භික්‍ෂූන් වහන්සේලාටත් විවිධ ගැටලුවලට මුහුණදීමට සිදුවුණා. එහෙත් ඉතිහාසය විසින් මහා සංඝරත්නයට උරුම කරදුන් වගකීම් සමුදායක් තිබෙනවා. ඒ වගකීම්වලින් මිදෙන්න අපිට බැහැ.

1815 දී අපේ රට ඉංග්‍රීසීන්ට යටත්වීමත් සමඟ රට පුරාම මීසම් ගොඩක් ආරම්භ වුණා. ඒ තුළ බුද්ධාගමට අභියෝග රාශියකට මුහුණදීමට සිදුවුණා. බුද්ධාගමේ තිබුණ මූලික ඉගැන්වීම හාස්‍යයට ලක්වුණා. නමුත් බුද්ධාගම වෙනුවෙන්ම කැපවී කටයුතු කළ භික්‍ෂූන් වහන්සේලා කිහිප නමක්ම ඒ යුගයේ ජීවත් වුණා. ඒ යුගයේ ජීවත් වූ භික්‍ෂූන් වහන්සේලාට විවිධ භාෂාවන් ඉතාම හොඳින් කතා කළ හැකි පිරිසක්. මෙම භික්‍ෂූන් වහන්සේලා ත්‍රිපිටකය හොඳින් ඉගෙන ගත්තා. බුරුමයේ ධර්ම ග්‍රන්ථ පිළිබඳව මෙන්ම ධර්ම විනය ගැනත් උන්වහන්සේලාට ඉතාම හොඳ අවබෝධයක් තිබුණා. උන්වහන්සේලා විසින් ඒ ධර්මය ඉතාම ශ්‍රේෂ්ඨ ආකාරයට සමාජයට දායාද කළා.

වර්තමානයේ දී බෞද්ධ ධර්මයට ලොකු අභියෝගයක් තිබෙනවා. මොහොට්ටිවත්තේ ගුණානන්ද වැනි ඒ යුගයේ වැඩ සිටි භික්‍ෂූන් වහන්සේලා තමන්ගේ වගකීම නිවැරැදිව ඉටු කළා. මේ සඳහා වෙනත් නිකායන්වල භික්‍ෂූන් වහන්සේලාත් සම්බන්ධ වුණා. එවැනි යුග පුරුෂයන් නිකම්ම බිහිවෙන්නේ නෑ. රටට ජාතියට බලපාන ප්‍රබල සමාජ සාධක බලපාන බව ද උන්වහන්සේ සඳහන් කළහ.
ශ්‍රී ලංකා ප්‍රාචීන භික්‍ෂු විද්‍යාලයේ මහෝපාධ්‍යාය දර්ශනපති බළපිටියේ සිරි සීවලී හිමියෝ මෙසේ පැවසූහ.

වර්තමානයේ දී ධර්ම විනය විනාශ කරන පිරිස් බලවත්වෙලා. ශාසන ශෝධනය වෙනුවෙන් ධර්ම සංගායනාවක් පවත්වන්නට දැන් කාලය එළඹිලා. ඒ සඳහා සුදුසු රාජ්‍ය නායකයා දැන් පහළ වී සිටින බව ද උන්වහන්සේ පැවැසූහ.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී කොළඹ - 08 සාරිපුත්තාරාමාධිපති මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර හිමියෝ ද මෙහිදී අදහස් දැක්වූහ.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති සාහිත්‍යශූරී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ගන්තුනේ අස්සජි නා හිමියෝ ස්තුති කතාව පැවැත්වූහ.

මහා සංඝරත්නය ප්‍රමුඛ විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.