ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව


හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිලක මහමුදලිවරයා උපන්නේ මෙම වලව්වේය. එසේම එම වලව්වේ උපත ලැබූ අනිත් ශ්‍රේෂ්ඨතමයා වන්නේ නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිකරණ ඇමැතිවරයා වූ ශ්‍රීමත් ලලිත අභය රාජපක්ෂ මහතාය. හාරඹ වලව්ව අද මාපිය සෙනෙහස අහිමි දරුවන්ට සෙවණ ලබාදෙන නිවහනකි. මේ හාරඹ වලව්වේ ඉතිහාසය හා අද තත්වය සොයාගිය ගමනක කෙටි සටහනකි. ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිලක මහමුදලිතුමා උපත ලැබුවේ 1816 වසරේදීය. ඒ ඓතිහාසික බලපිටිය හාරඹ වලව්වේදීය.

ගාල්ල - කොළඹ මහාමාර්ගයේ බලපිටිය රේවත ජාතික පාසල දක්වා දිවෙන මාර්ගයේ ටික දුරක් ගොස් දුම්රිය හරස් මාර්ගය පසුකොට ඉදිරියට යන විට දිස්වන්නේ මෙම වලව්වය. ගල්මන්ගොඩ පිහිටි හාරඹ වලව්වට අප පිවිසිය යුත්තේ පිවිසුම් මග දෙපස පිහිටි නාගස් වියන යටිනි. මෙම දැවැන්ත නාගස් වසර සියයකට වඩා පැරැණිය. හාරඹේ ද සොයිසා ජයතිලක මුදලිතුමාගේ පුතකු ලෙස මෙලොව දුටු ලු‍වී ද සොයිසා අකුරු කරන්නේ එවකට වැලිතොට (බලපිටිය) මරදාන පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙනි. සංසාර පුරුද්ද අනුව උපතින්ම ගෙන ආ දක්ෂතාවයේ ප්‍රතිඑලය වනුයේ උපන් ගමට පමණක් නොව උපන් රටට ද අග්‍රගණ්‍ය පඬිවරයකු බිහිවීමය.

රජ්ජුරුවන්ගේ කන්තෝරුවේ ‘මුහන්දිරම්’ පදවියෙන් පමණක් නොව ලු‍වී ද සොයිසා ජයතිලකයන් රජයේ භාෂා පරිවර්තක තනතුරින්ද පිදුම් ලැබුවේය. ඔහුගේ රජයේ මුල්ම පත්වීමය. ඒ 1845- වසරේ ජුනි මස 01 දා වැනි දිනකය. එසේ ඇරඹුණ රාජ්‍ය සේවයේ දැක්වූ නිසඟ දක්ෂතාව නිසා රුපියල් එක්දහස් අටසීයක වාර්ෂික වැටුපක් සහිතව සිංහල තෝල්ක මුදලි හා ප්‍රධාන භාෂා පරිවර්තක තනතුරට උසස්වීම් ලබාගැනීමට සමත්විය. 1867 වසරේදී බෙන්තර වලල්ලාවිට කෝරළයේ මුදලි පදවිය හා වාසල මුදලි පදවිය මෙන්ම සමස්ත ලංකා සාම විනිසුරු පදවියෙන්ද පිදුම් ලැබුවේය.

එකල ස්වදේශිකයකුට ලබාගත හැකි උසස්ම පදවිය වූ මහමුදලිකම ලු‍වි ද සොයිසා මුදලි වෙත පිරිනමනුයේ 1879 වසරේදීය. අශ්වගාලක් , ඇත්ගාලක් මෙම මහමුදලිවරයාට තිබූ බව පැරැන්නෝ කියති. සාමාන්‍ය මිනිසකුගේ හිසට වඩා මෙම මහමුදලිතුමාගේ හිස විශාල බව ද කියති. කොස්ගොඩ දෙවැනි වලව්වේ මුහන්දිරම්ගේ දියණියවූ සොපායා ද සිල්වා ගුණසේකර අභය ශ්‍රී වර්ධන මෙනෙවිය සමග යුගදිවිය ඇරඹූ මහමුදලි ලු‍වී ද සොයිසා වියතාණන් විවාහයෙන් පසුව කොස්ගොඩ කුඩාගොඩගම මහවලව්වේ ජීවත්වූ බවද කියවේ.

භාෂා දැනුමට අමතරව ජ්‍යොතිෂය ගැන මෙන්ම වෙදකම ගැනද දැනුමක් මෙම මහමුදලිවරයාට තිබී ඇති බව කියැවේ. මෙම මහමුදලිවරයාට පුතුන් දෙදෙනෙකු හා දියණියන් දෙදෙනෙක්ද වූ බවත් මෙතුමා කලක් බලපිටිය ගොඩගෙදර පිහිටි ‘ගජේරුව”‍ වලව්වේ ජීවත් වූ බවද සඳහන් වේ. ලංකාවේ පැරැණි ලිපි ලේඛන සොයා ගැනීමේ වගකීම සුදු පාලකයන් පැවරුවේ ලු‍වී ද සොයිසා මහමුදලිතුමාටය. රටපුරා විහාරස්ථාන කරා ගොස් විහාර පොත්ගුල් පරීක්ෂා කොට පුස්තක (පුස්කොළ) නාමාවලිය සකස් වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

1885 වසරේ දී එය මුද්‍රණයෙන් පළකෙරුණි. වැදි ජනයාගේ සම්භවය ගැන පර් යේෂණ කළ මෙම වියත් මහමුදලිවරයා සත්කෝරලයේ පර් යේෂණ කටයුතුවලදී රිදී විහාරයේ තිබී “පදසාධන ටීකාව”‍ සොයාගත්තේ 1873 වසරේදීය. මුල්කිරිගල විහාරයෙන් හමුවූ මොග්ගල්ල යන විත්ති සන්නස මෙන්ම යටපත්ව තිබූ ජාතක කතා වස්තු කීපයකම සැඟව තිබූ නම් සොයා කළ ගවේෂණයේ අවසන් ප්‍රතිඵලය වූයේ පන්සිය පනස් ජාතක පොත අද පවතින මට්ටමට සකස්වීමය. ඊට පුරෝගාමී වූයේ මහවියත් ලු‍වී ද සොයිසා මහමුදලිතුමාය. දැනට අප රටේ පවතින පළාත් මායිම් සීමා නිර්ණය කිරීමේ දී අවශ්‍ය කඩයිම් ඉංග්‍රීසී ආණ්ඩුවට ලබා දී තිබෙන්නේද මේ මහා මුදලිවරයාය. විවිධ පැතිකඩ ඔස්සේ ලිපි හා ග්‍රන්ථද රචනා කරමින් ශාස්ත්‍රීය මෙහෙවරක ද නිරත වීය. රාජකීය ආසියාතික සංගමයට අනුබද්ධ ලංකා ආසියාතික සංගමයේ සාමාජිකත්වය 1845 වසරේදී ලබාගත් අතර ඉන් ටික කලකදී එහි කාරක සභාවට ද පත් විය.

1866 වසරේදී පුස්තකාලයාධිපති තනතුර හෙබවූ මේ මහ මුදලිවරයා කොළඹ කෞතුකාගාරයේ ප්‍රථම පුස්තකාලයාධිපති ලෙසද පත්විය. 1884 වසරේදී මාර්තු 2 වෙනිදා කොස්ගොඩ මහ වලව්වේදී මහවියත් ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිලක මහමුදලිතුමා සිය දිවියෙන් සමුගත්තේ ශාස්ත්‍රීය ජාතික මෙහෙවරක් කරමින් උපන් රටට සිය යුතුකම ඉටු කරමිනි. මහ වියත් ලු‍වී ද සොයිසා මහමුදලිතුමාගේ මුනුබුරකු වූ නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිකරණ ඇමති ධුරයට පත් ශ්‍රීමත් ලලිත රාජපක්ෂ මහතා උපන්නේද මෙම බලපිටිය හාරඹ වලව්වේදීය. එංගලන්තයට ගොස් නීතිය පිළිබද ආචාර්ය උපාධියක් ලබාගත් ලලිත රාජපක්ෂ මහතා ජාතික ධජය නිර්මාණය කිරීමේ කමිටුවේ සාමාජිකයකු ද විය.

එසේම බලපිටියේම උපත ලැබූ වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමියන්ද බෞද්ධ ධජය නිර්මාණය කිරීමේදීද පුරෝගාමී නායකත්වයක් දුන් බව මෙහිදී කෘතවේදීව සිහිපත් කළ යුතුය. රාජ නීතීඥවරයකුද වූ ලලිත රාජපක්ෂ මහතා බලපිටිය රේවත ජාතික පාසලේ ආදි කතෘවරයාය. රේවත ජාතික පාසලේ ප්‍රාථමික අංශය ආරම්භ කළේද අක්කර 4 කින් සමන්විත මෙම ඉඩමේ පිහිටි හාරඹ වලව්වට යාබදවය.

මෙතුමා බලපිටිය ගුරු විදුහල තැනීමට ද අක්කර 20 වඩා යුත් තම ඉඩකඩම් පරිත්‍යාග කළේ ජාතියේ දරුවන්ගේ අනාගතය වෙනුවෙනි. බලපිටිය තරුණ බෞද්ධ සංගමයේ ආරම්භ සභාපතිවරයකු වූ රාජපක්ෂ මහතා එය බිහි කිරීමේදී පුරෝගාමී නායකත්වයක් දුන්නේය . ඩී. එස්. සේනානායක යුගයේදී බලපිටිය හාරඹ වලව්ව එකල රටේ ප්‍රබල දේශපාලන නායකයන් හා ප්‍රභුන් ආගිය තැනක් විය.

රාජපක්ෂ මහතාගේ දෙටු සොහොයුරිය විවාහ වූයේ කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු වූ ඊ. ඇම්. විජේරාම නැතහොත් එඩ්වින් මැන්ඩිස් විජේරාම මහතා සමගින්ය. සිංහල විශ්වකෝෂයේ වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ වැදගත් විස්තරාත්මක ලේඛන සැපවූයේ විශේෂඥ වෛද්‍ය විජේරාම මහතාය. කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු තම උපන් ගම වූ බලපිටිය කොස්ගොඩ බෙහෙත් ශාලාවක් තනවා රජයට පරිත්‍යාග කළේය.

එපමණක් නොව විජේරාම යුවළ දිවි ගෙවූ කොළඹ කුරුදුවත්තේ  ‘හංස ශ්‍රී’ දෙමහල් නිවස 1964 වසරේ කොළඹ වෛද්‍ය විද්‍යාලයට පරිත්‍යාග කළ අතර තම බිරිඳට දායාද ලෙස ලැබුණු බලපිටිය හාරඹ වලව්ව ද 1974 වසරේදී සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට පරිත්‍යාග කළේ මාපිය සෙනෙහස අහිමි දියණියන්ගේ සෙවණ වෙනුවෙනි. ඒ අනුව ආරම්භ කළ අනුලා විජේරාම ළමා නිවාසය බලපිටියට ඥාති සබඳකම් ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරයා වූ ශ්‍රීමත් විලියම් ගොපල්ලව ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් පරිත්‍යාග කරනුයේ අදට 50 වසරකට පෙරය.

කොළඹ විජයරාම මාවත නමින් නම් වන්නේ වෛද්‍ය විජයරාම මහතා කළ සේවයට උපහාර ලෙසිනි. වසර 200 කට වඩා පැරණි හාරඹ වලව්වේ බිත්ති ගොබලු‍ කහට, බෙලිලාටු මී පැණි හා ගස්වල කහට යුෂ මිශ්‍ර කර ඇති බදාමයකින් ඉදිකර ඇති බව පැරැන්නෝ කියති. ආලින්ද දෙකකින් යුත් මෙහි ඉහළ මාලයේ මුදලිවරුද දෙවන මාලයේ ආරච්චි, විදානේ, කම්කානම්වරු හා සුළු මුලාදෑනිවරුන්ට ආසන පනවා තිබූ බව කියවේ. මෙම ආලින්දය වරෙක අධිකරණ ශාලාවක් ද වී තිබේ. මෙහි ප්‍රධාන උළුඅස්ස ද වසර දෙසීයක් පැරැණි ය. තොරණ ආකාරයෙන් සකස් වූ මෙය මිල කළ නොහැකි වටිනා නිර්මාණයකි. අනුලා විජේරාම ළමා නිවාසය ආරම්භ කිරීමෙන් පසු මෙම වලව්වට යාකර දෙමහල් ගොඩනැගිල්ලක් හා ඒ අවට ගොඩනැගිලි කිහිපයක්ද ඉදිකර තිබේ.

පැරැණිම වලව්වක් ලෙස සැලකෙන මෙම ජීවමානව පවතින වලව්ව පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස සංරක්ෂණ කොට මතු පරපුරට උරුම කර දීම වර්තමානයේ බලධාරීන් සතු යුතුකමක් මෙන්ම වගකීමකි. එසේම ලලිත රාජපක්ෂ ශ්‍රීමතුන්ගේ දියණියක වූ නීතීඥ රමණී රාජපක්ෂ මෙනවිය ද තම දිවංගත පියාණන් අනුස්මරණය කරමින් සිදුකරන නිහඬ සේවාව ද කෘතවේදීව සිහිපත් කළ යුතුය.

(*** අම්බලන්ගොඩ - හේමන්ත ද සිල්වා)