සෑම වර්ෂයක් පාසාම නවම් මාසයේ අමාවක දිනයේ දී මහා ශිවරාත‍්‍රිය එළැඹෙන බව අපි දනිමු. මහා ශිව රාත‍්‍රිය හින්දු ලෝකය කෙසේ පහළ වූවාදැයි බැලීම යුක්ති යුක්තය. මන්ද පාර්වතී දේවිය රාත‍්‍රී නවයකට ප‍්‍රියකරන බව පුරාණ ග‍්‍රන්ථ පෙන්වා දෙයි. නමුත් ශිව දෙවියන් ප‍්‍රිය කරන්නේ ශිව රාත‍්‍රිය පමණය. මෙසේ ශිව රාත‍්‍රිය ඇති වූ ආකාරය ගැන කන්ද පුරාණයේත් ශිව පුරාණයෙත් නොයෙක් දේව කතා ආශ‍්‍රයෙන් පැහැදිලි කර දී ඇත.
හින්දු දේව කතා
උමා දේවියගේ සෙල්ලම
එක්තරා කාලයක පාර්වතී දේවිය (උමා දේවිය) සෙල්ලමට ශිව දෙවියන්ගේ ඇස් දෙකම තම දෑත්වලින් වැසුවාය. එම නිසාවෙන් ලොව පුරාම ඝන අන්ධකාරයෙන් වැසී ගියේය. එම නිසා සියලූම ජීවින් පීඩාවට පත්විය. එවිට දේවතාවන් ප‍්‍රධානත්වයෙන් එකොළොස් කෝටියක දේවතාවෝ ශිව දෙවියන්ට පුදපූජා පැවැත්වූවෝය. එම සිදුවීම සිහිගන්වනු පිණිස ශිව රාති‍්‍රය උත්සවාකාරයෙන් හින්වෝ සමරන්නෝය. තවද හින්දු පුරාණයේ තවත් කතා පුවතක් මෙසේ ගෙන හැර පාන්නේය.
ශිව දෙවියන්ට විෂ පෙවීම
එක්තරා සමයක ශිව දෙවියෝ කිරි මුහුදේ මතු වූ විෂ බීම නිසා සිහිසුන් වූ සෙයක් විද්‍යමාන කරමින් තෙළෙස්වක දිනවල සන්ධ්‍යාවේදී ”සන්ධ්‍යා” නමැති නැටුම නැටූහ. ඒ හා සමග බැඳුනු දුස්වක තිථි රැයේ හතරයාමයේම, දෙවියෝ ශිව දෙවියන්ට පූජා පවත්වා ස්තෝත‍්‍ර ගායනා කළෝය. එම දිනය ශිව රාති‍්‍රය බව හින්දුන් විශ්වාස කරති. මෙම උත්සවය ආදි කාලයේ සිට උත්සවාකාරයෙන් සමරති. හින්දුන් මෙදින සතරයාමයේම ශිව දෙවියන්ට නිදිවර්ජිතව පුද පූජා පවත්වති.
පාර්වතී දේවිය ඇතිකරන ලද ශිව රාති‍්‍රය
එක්තරා කාලයක ලෝකය විනාශ වී ගියේය. සෑම දෙයක්ම ශිව දේවියන්ගේ යටතට පත්විය.
ඝන අන්ධකාරයෙන් වට වූ ඒ රාති‍්‍රයේ පාර්වතී දේවිය ශිව දෙවියන්ට පුද පූජා පවත්වා යාඥා පැවැත්වූ බව අහමහෙල පුරාණ කෘතිය සඳහන් කරයි. එම කෘතියේ සඳහන් වන ආකාරයට පාර්වතී දේවිය කාල හතරක්ම යාඥා කළාය. එම සිදුවීම සිහිගන්වනු වස් ශිව රාති‍්‍රය සැමරේ. එම රාති‍්‍රයේ අඳුර මැදින්ම පාර්වතී දේවිය ශිව දෙවියන් කරා ගොස් මෙසේ ඇයද සිටියාය. ”දේවයන් වහන්ස මේ රාත‍්‍රියේදී ඔබවහන්සේට පුද පූජා පවත්වා මා යාඥා කළේ කෙසේද? ඒ අයුරින් ශිව රාත‍්‍රියේදී යාඥා කරන බැතිමතුන්ට මේ භවයේදී ඉසුරත් මතු භවයේදී දිව්‍යලෝකයත් අවසානයේදී මෝක්ෂයත් ලබාදෙනු මැනවි. ශිව දෙවියෝද ඒ අයුරින්ම ඇය විසින් අයැද සිටි වරයට අනුකම්පා කළහ. එදින සිට ශිව රාත‍්‍රිය මහා උත්සවාකාරයෙන් හින්දුහු සමරති.
ශිව රාත‍්‍රිය ගත කළ යුතු ආකාරය
ශිව රාත‍්‍රි දිනයේදී හිමිදිරියේම අවදි විය යුතුය. සිතේ සතුට ඇති කර ගෙන තම නිවැසියන් සහ අසල්වැසියන් සමග මෙම රැය ඉතා යහපත්ම ගත කිරීමටත් ධ්‍යාන උපවදවා ගැනීම සඳහා උපවාස කිරීමට සියල්ලන්ම පොලඹවා ගත යුතුය.
පුණ්‍ය කාලයේදී ජලස්නානය කර දෛනික සියලූ කටයුතු සියල්ලක්ම නිම කර ගැනීමෙන් අනතුරුව උපවාසය ඇරඹිය යුතුය. පුණ්‍ය කාලය අයත් වන්නේ ශිව දෙවියන්ට බව පුරාණ ග‍්‍රන්ථ සඳහන් කරයි. එම නිසා මෙම පුණ්‍ය කාලයේදී ශිව දෙවියන් ගැනම සිතා භාවනා කළ යුතුය. ශිව දේව පූජා සිදු කරන අය ශිව දේවාලවලට ගොස් ඒවා කළ යුතුය.
ශිව දෙවියන් උදෙසා ශිව මන්ත‍්‍ර ගායනා කළ යුතුය. ඉන් පසු ශිව පූජාව සඳහා පූජා භාණ්ඩ සකස් කර ශිව ලිංගය කිරිවලින් නැහැවිය යුතුය. මෙම පූජාව කරන අතරතුරේදී ශිව දෙවියන්ගෙන් තමාට කරුණාව දැක්විය යුතු බව ඉල්ලීමක් කළ යුතුය. ශිව මහා පුරාණයත්, ලිංග පුරාණයත්, කන්ද පුරාණයත් පෙන්වා දෙන ආකාරයට උපවාස අටක් ගැන කියැවේ. මේ අනුව ශිව රාත‍්‍රිය කොටස් තුනකට බෙදා ඇත. එනම් උත්තම ශිව රාත‍්‍රිය, මත්තම ශිව රාත‍්‍රිය, අදම ශිව රාත‍්‍රිය වශයෙනි.
ශිව රාත‍්‍රි තුනේදීම බැතිමතුන් උපවාසය අඛණ්ඩව කළ යුතුය. කෙසේ නමුත් හින්දු මූලධර්මවලට අනුව භාවනාව කළ යුතුය. මෙසේ භාවනා කරන අවස්ථාවේදී ශිව දෙවියන් සිහි කර ගැනීමෙන් මහත් ඵල මහත් ආනිසංස ලැබෙන බව පුරාණ ග‍්‍රන්ථ සඳහන් කරයි.
මීට අමතරව සියලූම හින්දු බැතිමත්හු ශිව රාත‍්‍රි දිනයේදී ශිව දේවාලවල නිදිවර්ජිතව නොයෙක් සංස්කෘතික වැඩසටහන්වල ද නියැලෙති. මෙම සංස්කෘතික වැඩසටහන් පැවැත්වන්නේද ශිව දෙවියන්ගේ රංගනයට අනුකූලවය. මෙම සංස්කෘතිකාංග ගැන ”ශිවානන්දලහිරි” කෘතියත් ”සාහිත්‍ය රත්නකාරය” නැමති කෘතියත් පෙන්වා දෙයි.
මෙම නර්තන අංගවලින් ප‍්‍රධාන එකක් ලෙස ගණන් ගන්නේ ”නඩරාජන්” නර්තනයයි. ”නඩරාජන්” නර්තනාංගය ”සාහිත්‍ය රත්නකාරය” විස්තර කරන්නේ මෙසේය.
”ග‍්‍රීස්ම සෘතුව නිමා වී වස්සාන සෘතුව එළැඹෙන සමයේ ගගන කුස කළු පැහැගැන්වී මේ කුළු එක්තැන් වෙන මොහොතේ විදුලි කොටා අකුණු සැර වැදෙන ස්වරූපයක් ගෙන දෙන්නේය. එවිට සිහින් පොද වැස්සක්ද වැටුණේය. මේ ස්වභාවික සෞන්දර්ය උද්වීපනය කරන අවස්ථාවේ මොණරා සෙබඩට ප‍්‍රථම ”විදහම් සිකිපිල්” යනුවෙන් තනි පාදයකින් සිට රැඟුම් පා ආනන්දයක් ඇති කරගත්තේය”
මෙම ස්වරූපය සිහිගන්වමින් නඩරාජන් නර්තනාංගය ”සිවානන්ද ලහිරි” කෘතියත් ගෙනහැර දක්වයි. හින්දු සංස්කෘතියත් හින්දු දර්ශනයත් හින්දු කලාවත් එකට බද්ධ වූ අවස්ථාවක් හැටියට ”නඩරාජන්” නර්තනය පෙන්වා දිය හැකිය. එම නිසා හින්දු සංස්කෘතික අංග සවිමත් වීමට වැදගත් වන්නේ මහා සිව රාත‍්‍රි දර්ශනයයි. මේ අනුව බලන විට මහා ශිව රාත‍්‍රී දර්ශනයෙන් හින්දු සංස්කෘතිය පෝෂණය වෙයි.
මෙපමණක් නොව මෙම නර්තනාංගයට පාර්වතී දේවියද එක්වන්නීය. මේ නිසා නර්තනය තව තව අලංකාර වේ. හින්දු කලාව පෝෂණය වී ඇත්තේ ශිව පාර්වතී රංගනයෙනි. මෙම රැයෙහි උපවාස කිරීමෙන් මරණයෙන් පසු දිව්‍ය සම්පත් ලබා දීමත්, වත්මන් ජීවිතයට ආරක්ෂාවත්, දියුණුවත්, සතුටත් ලබාදෙන බව හින්දුහු විශ්වාස කරති.
ශිව රාත‍්‍රි දිනය අර්ථවත් ලෙස කිරීම මගින් අවසානයේදී මුක්තිය ලැබෙන බව හින්දුහු විශ්වස කරති. ඒ බව හින්දු ග‍්‍රන්ථ බොහෝමයක් සනාථ කරයි. එසේ නම් හින්දු දර්ශනයට අනුව මුක්තිය (මෝක්ෂය) ලැබීමට සිව රාත‍්‍රිය අර්ථාන්විතව ගත කළ යුතුය.
ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරු
ශාස්ත‍්‍රපති දෙමළ පණ්ඩිත්
පන්මොළිවිත්තහර් මඩුළුගිරියේ විජේරත්න