පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉකුත් දා නිකුත් විය. අතිශයින්ම තරගකාරී විභාගයකින් ඉහළ ලකුණු ලැබ ඉහළින් ම සමත් වූ දුවා දරුවන්ට අපගේ උණුසුම් සුබපැතුම් පළමුව පිරිනමමු. අපේක්‍ෂිත ඉලක්කය ඒ අයුරින්ම සපුරා ගැනීමට අසමත්වූ දුවා දරුවන්ට මේ ගිලිහී ගියේ එක් අවස්ථාවක් පමණක් බවත් ඉදිරියේ තව බොහෝ අවස්ථා ඇති බවත් එම අභියෝග ජය ගැනීමට හැකි බවත් සිහිපත් කරමු. එම අභියෝග ජය ගැනීමට ඇවැසි ශක්තිය දිරිය නොඅඩුව ලැබේවායි අපි ප්‍රාර්ථනය කරමු.
පාසල් භූමිය තුළ තිබූ අනාරක්‍ෂිතව ඉදිකළ ජල කරාම සහිත සිමෙන්ති කණුවකට යටවී පළමු වසරේ ඉගෙනගත් සිසුවියක අකාලයේ ජීවිතයට සමුදුන්නේ ඉකුත් සතියේදීය. එම සිදුවීමත් සමග හඬ අවදි කළ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ මෙරට පාසල් 74 ක අවදානම් ගොඩනැගිලි තිබෙන බවය. එයින් කියැවෙන්නේ එම පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන් සිටින්නේ හිසට ඉහළින් ළඹදෙන මරණීය අනතුරක් යට බවය.
මරණීය අනතුර සහිත පාසල්වල ඉගෙන ගන්නා දරුවන්ගේ දක්‍ෂතා හා පහසුකම් සපිරි පාසල්වල ඉගෙන ගන්නා දරුවන්ගේ දක්‍ෂතා එකිනෙකට සන්සන්දනය කිරීම සාධාරණ නැත. එසේ සන්සන්දනය කරන්නේනම් එය මරණීය අනතුර යට අකුරු කරන දුවා දරුවන්ට සිදුකරන තවත් අසාධාරණයකි.
පාසල් භූමිය තුළ තිබූ අනාරක්‍ෂිතව ඉදිකළ ජල කරාම සහිත සිමෙන්ති කණුවට යටවී මියගිය දැරිය ජීවත්වූයේ පියා සහ අත්තම්මාගේ සෙවණේය. ඒ, එම දියණියගේ මව දුරු රටක රැකියාවකට ගොස් ඇති බැවිනි. ඉගෙන ගන්නා දරුවකුට මවු සෙනෙහස කෙතරම් අවශ්‍යද යන්න තේරුම් ගැනීම අසීරු නැත. එහෙත් මෙම ශාපලත් ආර්ථික පරිසරය තුළ වින්දිතයන් වීමට දරුවන්ට සිදුවී තිබේ.
මව, පියා දෙදෙනාම අහිමිව ඥාතීන් සෙවණේ වැඩෙන දරුවෝ මෙන්ම මව්පියන් දෙදෙනාම සිටියද නොසලකා හැරීම්වලට ලක්වූ දරුවෝද පවුල් ආරවුල් නිසා පීඩනයෙන් කල දවස ගෙවීමට සිදුව ඇති දරුවෝද, ළමා නිවාසවල, අනාථ නිවාසවල වැඩෙන දරුවෝද සිටිති. එහෙයින් මේ සියලු දරුවන්ගෙන් සමාන ප්‍රතිඵල යමකු අපේක්‍ෂා කරන්නේනම් එය යුක්ති සහගත නැත.
අප බොහෝවර අවධාරණය කර ඇති පරිදි මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ තරම් පන්ති බේදය ඇති වෙනත් ක්ෂේත්‍රයක් නැත. ජනප්‍රිය පාසල්, සුපිරි පාසල් යනුවෙන් පාසල් වර්ගයක්ද ගමේ පාසල් යනුවෙන් පාසල් වර්ගයක්ද වේ. එමෙන්ම පාසලක් යනුවෙන් හැඳින්වුවද එසේ හැඳින්වීමට තරම් මානව හා භෞතික පහසුකම් නැති පාසල් ද තිබේ. මෙවන් පන්ති බේදයක් සහිත අධ්‍යාපනයක් තුළින් සමාන ප්‍රතිඵල අපේක්‍ෂා කිරීම අසාධාරණය.
ඉහත දැක්වූ පරිසරයට ආදේශ වී ඇති පිළිතුර වන්නේ ජනප්‍රිය හා සුපිරි පාසල්වලට දරුවන් ඇතුල් කිරීමය. එය ළමා හිංසනයක් යැයි හැඳින්විය හැකි තරමේ අමානුෂික පොරයක් බවට පරිවර්තනය වී තිබේ.
පහ වසර ශිෂ්‍යත්ව විභාගය අම්මාවරුන්ගේ විභාගය ලෙස හැඳින්වෙන්නේද එහෙයිනි. පහ වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දරුවා වසර තුන හතරක් අප්‍රමාණ ලෙස දුක් විඳිති.
නීතිය මෙන්ම අධ්‍යාපනය ද සැමට සමාන විය යුතුය. එවිට නිදහස් මනසින් යුතුව අධ්‍යාපනයේ නියැලීමට දරුවාට අවකාශය සැලසේ. මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය. පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත්වීමත් සමග ඇතිවන සංවාද සම්බන්ධයෙන් බලධාරීන් අවධානය යොමු කළ යුතු ය.
(***)