සංචිත අර්බුදය කෙසේ විසඳේද?


චීනයෙන් සහ ඉන්දියාවෙන් ලැබෙන විදේශ සහායත් සමඟ ආහාර, ගෑස්, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල ඇති හිඟය නිසා ඇති වී තිබෙන දරුණු අර්බුදය විසඳී යනු ඇත. කෙසේ නමුත් රටේ විදේශ ණය ප්‍රමාණය ඉහළ යමින් තිබෙන අතර එය ප්‍රධාන සහ බරපතළ කරුණකි. 

විදේශීය සහාය 

මුදල් හුවමාරු, ණය දාම/මාර්ග පහසුකම්, චීනයෙන් ත්‍යාග වශයෙන් මෙට්‍රික් ටොන් මිලියනයක සහල් ලැබීම යනාදිය මඟින් රට මුහුණ දෙන දරුණු අර්බුද තරමක් දුරට විසඳෙනු ඇත. කෙසේ නමුත් රටේ විදේශ ණය ප්‍රමාණය ඉහළ යමින් තිබෙන අතර මේ වසර තුළ දී ඇමෙරිකානු ඩොලර් බිලියන හයකට වැඩි මුදලක් ගෙවීමට නියමිතව තිබේ.  

ආඩම්බර වාර්තාව 

ජනවාරි 18 වැනිදාට කල්පිරුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය ගෙවා දැමූ බව මහ බැංකු අධිපතිවරයා ඉකුත් දා පැවැසීය. ඔහු ඒ සම්බන්ධයෙන් ආඩම්බරයට පත්වූ අතර ණය නැවත ගෙවීම් පැහැර නොහැරීමේ වාර්තාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට ද සමත් විය. 

අනුවණකම 

කෙසේ නමුත් අපට ඇති සීමිත සංචිත(ප්‍රමාණවත් නැති සංචිත තොගය) යළි ව්‍යුහගත කිරීම වෙනුවට එය භාවිත කරමින් ණය ගෙවීම නුවණක්කාර ක්‍රියාමාර්ගයක් නොවේ. ව්‍යාපාරික නායකයෝ, කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෝ මෙය කිසිදු ප්‍රයෝජනයක් නොමැති නුවණක්කාර නොවන ක්‍රියාමාර්ගයක් යැයි පෙන්වාදුන්හ. ණය ගෙවීම වෙනුවට අප කළ යුතුව තිබුණේ ණය නැවත ගෙවීම් ප්‍රතිව්‍යුහගත කිරීමට ය. එමඟින් අපේ විදේශ සංචිත දුර්වල වීම වළක්වා ගත හැකිව තිබිණි. අප සතුව මේ මොහොතේ ඇති සංචිත ප්‍රමාණය අත්‍යවශ්‍ය ආනයනය ගෙන්වා ගැනීමට ද ප්‍රමාණවත් නොවේ. 

විදේශ සංචිත

මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙරට විදේශ සංචිත ප්‍රමාණය පහළ යමින් තිබේ. අත්‍යවශ්‍ය ආනවන අයිතමවල හිඟයත් ආහාරවල මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යෑමත් නිසා ජනජීවිතය දරාගත නොහැකි සහ ඉතා අමාරු දුෂ්කර එකක් බවට පත්ව තිබේ. ආහාර පිසීම සඳහා, ගෑස් සහ භූමි තෙල් හිඟ වී තිබේ. විදුලි විසන්ධි කිරීම් ඉදිරියේදී තවදුරටත් දීර්ඝ වනු ඇත. පෙට්‍රල් සහ ඩීසල් හිඟයක් ද ඇති වනු ඇත. 

විදේශ සහාය 

ඉන්දියාවෙන් සහ චීනයෙන් ලැබෙන විදේශීය සහායත් සමඟ මෙම දරුණු තත්ත්ව මඟ හැරී යනු ඇත. ඉදිරියේදී ජපානයෙන් ද සහාය ලැබෙනු ඇතැයි පැවසෙන අතර මිත්‍ර රටවලින් සහ බහුපාර්ශවීය සංවිධානවලින් සහනදායී ක්‍රම යටතේ ණය ලබාගැනීම් සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සිදුවනු ඇතැයි අපේක්ෂිත ය. 

මුදල් හුවමාරු (විනිමය හුවමාරු) 

මේ අඳුරු අවස්ථාවේ රිදී රේඛාවක් ලෙස පවතින්නේ ඉන්දියාවෙන් සහ චීනයෙන් ලැබෙන මුදල් හුවමාරු හෙවත් විනිමය හුවමාරු පහසුකම් ය. චීනය යුවාන් මුදල් ඒකකයෙන් මුදල් හුවමාරු ගිවිසුමකට එකඟතාව පළ කර තිබේ. එහි අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 1500කට සමාන වේ. එමෙන්ම ඉන්දියාවෙන් භාණ්ඩ ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මාර්ග පහසුකමක් හිමි වේ. 

සහල් ත්‍යාගය

එවකට ලංකාව (සිලෝන්) සහ චීනය රබර්-සහල් වෙළෙඳ ගිවිසුමට (ීසබද-ක්‍ැහකදබ ඍසජැ-ඍමඉඉැර ඔර්ාැ ඡ්ජඑ) අත්සන් තබා වසර 70ක් පිරීම නිමිත්තෙන් චීනය, ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් මිලියනයක් ත්‍යාග කළේ ය. මෙම සහල් තොගය මාර්තු මාසය වනවිට මෙරටට ලැබෙනු ඇත. පොහොර අර්බුදය නිසා මෙරට සහල් නිෂ්පාදනය පහත වැටුණු අතර එම අර්බුදයෙන් ගොඩ ඒමට චීනයෙන් ලැබෙන මෙම සහල් තොගය විශාල පිටිවහලක් වනු ඇත. 

ඉන්දීය සහාය 

ඉන්දියාව සමඟ ද මේ ආකාරයේ එකඟතා ඇති කරගෙන ඇත. ඊට මුදල් හුවමාරු ගිවිසුමක් සහ ණය මාර්ග පහසුකම් දෙකක් ඇතුළත් ය. එම ණය මාර්ග පහසුකම් දෙකම ඇමෙරිකානු ඩොලර් මිලියන 500 බැගින් වේ. එක් ණය මාර්ග පහසුකමක් ආහාර සහ ඖෂධ ආනයනය කිරීමට ලැබෙන අතර අනෙක ඉන්දියාවෙන් ඉන්ධන ආනයනය කිරීම සඳහා හිමි වේ. 

ඉතා වැදගත්

රටේ විදේශ සංචිත ප්‍රමාණය ආහාර, ඖෂධ සහ ඉන්ධන යනදී කඩිනම් අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවන බැවින් මෙම ණය මාර්ග පහසුකම් දෙක ඉතා වැදගත් වේ.  අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල තිබෙන මෙම කඩිනම් අවශ්‍යතා සපුරාගැනීම සඳහා ඉන්දියාවෙන් ලැබෙන ණය මාර්ග පහසුකම් භාවිත කළ හැකි ය. කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපුරාගැනීමට, ඒවා චීනයෙන් ගෙන්වා ගැනීමට චීනයෙන් ලැබෙන ණය මාර්ග පහසුකම් භාවිත කළ හැකි ය. 

ණය මාර්ග පහසුකම් 

මෙම ණය මාර්ග පහසුකම් විදේශ සංචිතවල මේ වනවිට පවතින හිඟ මඟහරවා ගැනීමටත් රටට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා ගැනීමටත් ඉතා වැදගත් වේ. කෙසේ නමුත් එමඟින් රටේ ණය සහ නැවත ගෙවීමේ වගකීම් ඉහළ යයි. මේ නිසා ඉතා ඉක්මනින් හෝ පසුව හෝ මෙම ණය මාර්ග පහසුකම් පියවීමට විදේශ විනිමය මූලාශ්‍ර සොයාගත යුතු වේ. 

මුදල් හුවමාරු එසේත් නැතිනම් විනිමය හුවමාරු මීට වඩා තරමක් වෙනස් වේ. ඒවා මඟින් සංචිත ඉහළ යන අතර භාවිත කළ පසු නැවත ගෙවිය යුතු වේ. රටේ විදේශ වත්කම් සපුරාගැනීම සඳහා එය තරමක උපකාරයකි.

ඉල්ලීම් 

අපගේ ණය නැවත ගෙවීම් කල්දමන්නැයි ජනාධිපතිවරයා චීනයෙන් ඉල්ලීමක් කර ඇත. එමෙන්ම සහනදායී කොන්දේසි මත ජපානයෙන් ණය ඉල්ලා ඇත. රටේ අත්‍යවශ්‍ය ආනයන අවශ්‍යතා සපුරාගැනීමටත් ගෙවුම් ශේෂයට එල්ල වී තිබෙන පීඩනය අඩු කරගැනීමටත් අවශ්‍ය ඉඩකඩ මෙවායින් ලැබෙනු ඇත. ඉතා සරලවම සඳහන් කරන්නේ නම් හුස්මක් ගැනීමට ඉඩකඩ මෙවායින් ලැබෙනු ඇත. 

නිෂ්පාදනය වැඩි කිරීම 

රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි කිරීම සඳහා මෙම ණය මාර්ග පහසුකම් භාවිත කිරීම ඉතා වැදගත් වේ. එසේ නොමැති නම් විදේශ විනිමය උපයා ගැනීමට හෝ ආනයන වියදම් ඉතිරි කරගැනීම සඳහා මේවා භාවිත කළ යුතු වේ. වෙළෙඳාම් කළ නොහැකි භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කරන පිරිවැය අධික යටිතල පහසුකම් සඳහා මේවා භාවිත නොකළ යුතු ය. 

මේ වනවිට රට හමුවේ තිබෙන නැතිනම් වත්මන් ණය උගුලට එක් ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇත්තේ ඉහත කී ආකාරයෙන් විවිධ ව්‍යාපෘති සඳහා ලබාගත් අති විශාල ද්විපාර්ශවීය ණය ය. එලෙස ණය ලබාගෙන ඇත්තේ සංවර්ධනය වීමට විශාල කාලයක් ගත වන ප්‍රතිලාභ නොමැති ව්‍යාපෘති සඳහා හෝ වෙළෙඳාම් කළ හැකි භාණ්ඩ හෝ සේවා හෝ නිෂ්පාදනය නොකරන ව්‍යාපෘති සඳහා ය. ඇතැම් ඒවා විදේශ ආයෝජන ලෙස ද ලබාගෙන ඇත. මෙයින් සිදුව ඇත්තේ රටේ විදේශ ණය ප්‍රමාණය වැඩි වීම පමණි.  

සාරාංශය 

අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ සහ ඉන්ධන යනාදී අත්‍යවශ්‍ය අවශ්‍යතා චීනයෙන් සහ ඉන්දියාවෙන් ලැබෙන ණය මාර්ග පහසුකම්වලින් සපුරා ගත හැකි ය. ආණ්ඩුවේ විද්‍යාත්මක නොවන කෘෂිකාර්මික ප්‍රතිපත්ති හේතුවෙන් මේ වසරේ සහල් නිෂ්පාදනය පහත වැටෙන අතර එම අඩුපාඩුව චීනයෙන් ත්‍යාග වශයෙන් ලැබෙන සහල්වලින් පුරවා ගත හැකි ය. ජනතාව මුහුණ දී තිබෙන දරුණු හිඟ මේවා මඟින් තරමක් දුරට විසඳා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. 

ජපානයෙන් සහනශීලි කොන්දේසි යටතේ ලබාගන්නා ණයත් චීනයට ගෙවීමට ඇති විදේශ ණය නැවත ගෙවීම් ප්‍රතිව්‍යුහගත කිරීමත් මඟින් යම් සහනයක් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත. ශ්‍රී ලංකාව මේ වසරේ දී ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5කට ආසන්න වේ. 

කෙසේ නමුත් මේවා කෙටිකාලීන සහන ක්‍රියාමාර්ගය මේවා මඟින් රටේ විදේශ ණය වගකීම් අඩු වීමක් සිදු නොවේ. ඇත්ත වශයෙන්ම රටේ විදේශ ණය වැඩි වෙමින් තිබේ. ගෙවුම් ශේෂයේ තත්ත්වය ඉහළ නංවන, එහි තත්ත්වය වර්ධනය වන ආර්ථික ක්‍රියාමාර්ග අවශ්‍ය කර තිබේ. 

නිගමනය

විදේශ සහාය ඇති, අප විසින් ගෙවීමට ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් අපේ විදේශ සංචිත අර්බුදය විසඳාගත යුතු වේ. යථාර්ථවාදී සහ වෙළෙඳපොළ මඟින් නියම කෙරෙන විනිමය අනුපාතිකයක් මඟින් විදේශ විනිමය ලැබීම්, විදේශ ප්‍රේෂණ ඉහළ නංවා ගත හැකි ය. 

අපට ඉදිරියට යා හැක්කේ දේශීය භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය මඟින් පමණි. එමඟින් දීගු කාලීන ගෙවුම් ශේෂයේ අර්බුදය විසදා ගත හැකි ය. එම නිසා දේශීයව කෙරෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි කිරීම ඉතා වැදගත් ය. 

ආචාර්ය  නිමල් සඳරත්න විසිනි