සංයම නර්තනයේ පරිණත නූතනය දෑසින් දකින්න


‘‘ලෝක ළමා දිනය’’ අත ළඟටම ඇවිත් තිබේ. අද දවසේදී දරුවන්ගේ ලෝකය සහමුලින්ම බිඳ වැටී ඇත. කොරෝනා වසංගතයත් සමග අද වනවිට දරුවන්ට පාසල් අධ්‍යාපනය ‘‘ඔන්ලයින්’’ (මාර්ගගත) ක්‍රමයට හදාරන්නට සිදුවී තිබේ. මේ නිසා ඔවුහු නිවෙස්වල සිරවී සිටිති. වැඩිහිටියන් එසේ සිටියද දරුවන්ට එසේ සිටින්නට අපහසු බව අමුතුවෙන් කිවයුතු නොවේ.

මේ නිසා දරුවන් දැඩි පීඩනයකට ලක්ව තිබේ. ඔවුන්ගේ රසවින්දනය, ක්‍රීඩාශීලී බව, නිර්මාණශීලී බව, එකමුතුවී කටයුතු කිරීම ආදී සියලු කාරණා නැතිවී තිබීම කනගාටුවට කරුණකි. ඔවුන් අත අද ඇත්තේ දුරකතන, ලැප්ටොප් හා පරිගණකය. මේ තත්ත්වය හඳුනාගත් ඇය, එළැඹෙන ‘‘ලෝක ළමා දිනය’’ නිමිත්තෙන් මෙරට ප්‍රථම වතාවට අලුත් වැඩක් කරන්නට ලෑස්ති වන්නීය. ඒ දරුවන්ගේ සහජ හැකියාවන් ලොවට පෙන්වීමේ අරමුණින් ඔන්ලයින් (මාර්ගගත) ක්‍රමයට සජීවී නර්තන ප්‍රසංගයක් ‘‘ප්‍රාතිහාරි’’ නමින් ඔක්තෝබර් මස 01 හා 02 යන දෙදින තුළ පැවැත්වීමට ඇය සියලු කටයුතු මේ වන විට යොදා තිබේ.

ඇය නමින් ගයනි කරුණාරත්නය (මීමනගේ). මෙරට ප්‍රවීණ නර්තනාචාර්යවරයකු වූ කුලසිරි බුදවත්ත ගුරුපියාණන් යටතේ දස්කම් දැක්වූ ගයනි දක්ෂ නර්තන ශිල්පිනියක් මෙන්ම නර්තන ගුරුවරියකද වන්නීය. ඇය කලක් නුගේගොඩ ශාන්ත ජෝශප් පිරිමි විද්‍යාලයේ නර්තනාචාර්යවරිය ලෙසද කටයුතු කළාය. අද ඇය තමන්ගේ ‘‘ගයනි ඩාන්සින් ඇකඩමිය’’ හරහා මෙරට මෙන්ම පිටරට සිටින දූ දරුවන්ටද තම නර්තන දැනුම ලබාදෙන්නේ ඔන්ලයින් ක්‍රමයටය. ඇය ඉදිරිපත් කරන්න හදන මේ අලුත් වැඩේ කුමක්ද? මෙයින් ඇය බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? මේ හරහා ලොවට පෙන්වන ආදර්ශය කුමක්ද? යන්න පිළිබඳව නර්තනාචාරිනී ගයනි කරුණාරත්න දැක්වූ අදහස්වල සටහනයි මේ.

‘‘අද අපි ඉන්නේ ජීවිතය හැම අතින්ම සිරවුණු කාලයකයි. අවුරුදු එකහමාරක කාලයක් තිස්සේ අපි හිරවෙලා. ඒ අතරේ ලෝකය අනාගතයේ භාරගන්න ඉන්න මල් කැකුළුවන් දරුවන් ගෙවල් අස්සේ සිරවෙලා විතරක් නෙවෙයි විවිධ පීඩනවලටද ලක්වෙලා. වැඩිහිටියෝ වගේ නොවෙයි දරුවන් කියන්නේ. ඔවුන් මේ ලෝකයේ පියාසර කරනවා වගේ බොහොම නිදහසේ ඉන්න කොටසක්. එයාලට අපට වගේ සමාජ තත්ත්ව වැටහෙන්නේ නෑ. වෙන දේ බලාගෙන ඉන්නවා විතරයි.

අද දරුවන් තාක්ෂණයට හුරුවෙලා. සියල්ල අන්තර්ජාලය හරහා තමයි දරුවන් සිදුකරන්නේ. අද දවසේදී මම නර්තන පංති පවා පවත්වන්නේ බොහොම කැපවීමෙන් ‘‘ඔන්ලයින්’’ ක්‍රමයටයි. ඒ නිසා තමයි ‘‘ලෝක ළමා දිනය’’ නිමිත්තෙන් මම අලුත් දෙයක් කරන්න, දරුවන්ට අලුත් ජීවයක් ලබාදෙන්න, ඔවුන්ගේ පීඩනය නැතිකරන්න වැඩසටහනක් දියත් කරන්න හදන්නේ. මේ කරන අලුත් කටයුත්තේ නිර්මාණයේ බීජ මුලින්ම හටගත්තේ 2009 අවුරුද්දේ. ඒ මගේම කියා ‘‘ගයනි ඩාන්සින් ස්ටුඩියෝ’’ එක පටන් අරගත් දවසේ. මගේම කියන නර්තන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ මගේ ඇකඩමි එක හා මගේ සිසු පරපුරයි. දේපළ, මිල මුදල්වලට වඩා ආත්මීය සංතෘප්තියේ ඉහළම තැනට මම අද පත්වෙලා සිටිනවා. එය ලොකු සතුටක්.

මම මේ කියන්න හදන කටයුත්ත මට දැනෙන්න, හිතන්න පටන් ගත්තේ කොහොමද කියා වගේම එය ආරම්භ වුණේ කොතනින්ද කියලා මතක් කළ යුතුයි. මම අවුරුදු පහේදී තමයි නර්තනයට යොමුවුණේ. පාසල් යන්න ඉස්සෙල්ලා ප්‍රවීණ නර්තනාචාර්ය කුලසිරි බුදවත්ත ගුරුතුමා තමයි මට මුලින්ම මංඩිය තියන්න ඉගැන්වූයේ. ඒ පටන් ගැන්ම තමයි අද මම නර්තන කලාවේ මේ ඉන්න තැනට එන්න හේතුවුණේ.

මම පාසල් ගියේ කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයට. පාසල් යන කාලයේ සමස්ත ලංකා නර්තන තරගවලට සහභාගිවෙලා ජයග්‍රහණ ලබාගත්තා. නර්තනය මගේ ආත්මය වුණේ පාසල් යන කාලයේදීමයි. 2006 අවුරුද්දේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ගිහින් උපාධිය ලබාගන්නවා. මේ හැම තැනකදීම මොන විදිහේ ගුරුහරුකම් ලැබුණත්, මගේ පිටුපසින් ඉඳගෙන මට යෝධ ශක්තියක් වුණේ මගේ මුල් ගුරුතුමා වන කුලසිරි බුදවත්ත ගුරුතුමායි. එතුමා මට පියෙක් වගේ. එතුමාට පුළුවන් වුණා අපේ දක්ෂතා හඳුනාගෙන නර්තනය සහ අපි අතර ඇති ආත්මීය බැඳීම් අපට අවබෝධ කරගන්න උදව් කරන්න. ඒ පන්නරය තමයි අදටත් හෙටටත් මගේ ජීවිතේ කිඳාබැසගෙන පත්තියන් වෙලා තියෙන්නේ.

මේ සියලු දේ උකහා ගනිමින් තමයි අද මම මේ අලුත් කටයුත්ත දරුවන් වෙනුවෙන් දියත් කරන්නේ. ‘‘ප්‍රාතිහාරි’’ කියන්නේ සංයම නර්තනයේ පරිණත නූතනයයි. මෙය ලංකාවේ ප්‍රථම වතාවට ඔන්ලයින් ක්‍රමයට සිදුවන සජීවී ප්‍රසංගයක්. මෙය අලුත් අත්දැකීමක්. මම හිතනවා නැටුම් පංතිවලට සහභාගි වන දරුවෝ වගේම මේ වගේ දෙයක් දැකලා තමන්ගේ ඊළඟ අඩිතාලම ගැන සතුටුවෙන්න දරුවන්ට පුළුවන් වෙයි කියලා. වැඩිහිටියන් විදිහට අපිට අද මේ ගෙවල් ඇතුළේ ඉඳගෙන ඉන්න හිරවීම් දරාගන්න පුළුවන් වුණත්, එය දරාගන්න නොහැකි දරුවන්ට මේ කටයුත්ත ලොකු ආස්වාදයක් ගෙනදෙයි කියලා මම විශ්වාස කරනවා. මම හැමෝගෙන්ම ඉල්ලන්නේ මේ ප්‍රසංගය නරඹන්න කියලයි.

 ඒ වගේම පොළොව සමහර තැන්වල ඇදවුවත්, හරියට බෙර පදේට මංඩිය තියලා ඇදවුණු තැන් සමබර කරන්න, අපේ මේ අලුත් නර්තන පරම්පරාවත් එක්ක එකතුවෙන්න කියලා මම දෑත් දිගුකරලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.

 

(***)
 - සමන්ත යහම්පත්