උතුරේ යුද්ධය අවසන් කොට කඩිනමින් සංවර්ධන ක්‍රියාදාමයක් ආරම්භ නොකොට දේශපාලනික වශයෙන් දිගින් දිගටම සාකච්ඡා කළා නම් උතුරේ ජනතාවගේ සිත් දිනා ගැනීමට හැකිවූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් කඳවුරුවල රඳවා තබාගෙන සංවර්ධන කටයුතු මන්දගාමීව සිදු කිරීමට කිසිසේත් තමන්ට අවශ්‍ය නොවුන නිසා උතුරේ ජනතාවගේ සිත් දිනා ගැනීමට නොහැකි වූ බවත් එය පසුගිය ජනාධිපතිවරණයට බලපෑ බවත් ඔහු පැවැසීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ ප්‍රථමවරට දෙමළ මාධ්‍යවේදීන් සමඟ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
මෙහිදී දෙමළ මාධ්‍යවේදීන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා මෙසේද කීවේය.
ප්‍රශ්නය - “දෙමළ මාධ්‍යවේදීන්ට මෙවැනි අවස්ථාවක් ලබාදීම ඉතා වැදගත්. දෙමළ ජනතාව අතරට සත්‍ය සිද්ධිය මේ තුළින් ලබාදෙන්න පුළුවන් මේ වගේ විවෘත සාකච්ඡාවලදී.”
පිළිතුර - ඔව්. මට දෙමළ මාධ්‍යවේදීන් එක්ක ඍජුවම සාකච්ඡා කරන්න බැරිවෙච්ච එක ගැන මම කණගාටු වෙනවා. මම බලයේ ඉන්නකොට කිව්වා මෙවැනි සාකච්ඡාවක් කරන්න ඕනේ කියලා. ඒත් ඒ වෙලේ හිටිය මාධ්‍ය ඔස්තාර්ලා ඒකට හරස් වුණා. ඇත්තටම ඒ ගැන කනගාටු වෙනවා.
ප්‍රශ්නය - “හිටපු ජනාධිපතිතුමනි මේ වගේ විවාත සාකච්ඡාවක් තිබීම ගැන සතුටු වෙනවා. ඕනෑම දෙයක් අපිට අහන්න පුළුවන්.”
පිළිතුර - ඔව් ඒක පැහැදිලියි. ඕනෑම ප්‍රශ්නයක් අහලා නිරාකරණය කරගන්න පුළුවන්.
ප්‍රශ්නය - “අවසන් සටනේදී ඔබ එල්.ටී.ටී.ඊ. නායකයාගේ සිරුර දැක්කද? ඒ වෙලේ සතුටු වුණාද?
පිළිතුර - මම ඔහුගේ සිරුර හීනෙකින්වත් දැක්කේ නෑ. ඒක අමූලික බොරුවක්. අනික මම ඒ වගේ මානසික තත්ත්වයක නෙමෙයි ඉන්නේ. මළමිනී දැකලා සතුටුවෙන, වේදනා විඳින මිනිස්සු දැකලා සන්තෝස වෙන මානසිකත්වයක් මට නෑ. අපි ප්‍රභාකරන්ද වෙනත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක්ද කියලා මට වෙනසක් නෑ. අපි කිසිදු පුද්ගලයකුට එරෙහිව කළ සටනක් නෙමෙයි මේක. මේක ත්‍රස්තවාදීන් එක්ක කළ සටනක්.
ප්‍රශ්නය - “අවසාන යුද සමයේ බාරවූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ඔබතුමාගේ රජය යටතේ පුනරුත්ථාපනය කරලා නිදහස් කළා. දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරනවාට ඇයි ඔබතුමන්ලා විරුද්ධ වෙන්නේ?”
පිළිතුර - අපි කිසිම විරුද්ධත්වයක් පළ කරන්නේ නෑ. දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ගැන අපේ රජය කාලයේ ඔය කට්ටිය පුනරුත්ථාපනය කරන්න හදනකොට සමහර නීතිඥ මහත්වරු ඔය දැන් එයාලා වෙනුවෙන් කෑ ගහන අය මේ අය උසාවියට ඉදිරිපත් කරන්න කියලා. ඒ අනුව තමයි අපි ඔවුන්ව නඩුවලට ඉදිරිපත් කළේ. නැත්නම් අපේ බලාපොරොත්තුව වුණේ ඔවුන්වත් පුනරුත්ථාපනය කරලා නිදහස් කරන්න. නීතිඥ මහත්වරුන්ගෙන්, දේශපාලන පිටියෙන් තමයි ඔවුන් උසාවි ඉදිරිපත් කරන්න කියලා බලපෑම් ආවේ. ඊට පස්සේ උසාවි දැම්මම ඔවුනට චෝදනා එල්ල වුණා. උසාවියෙන් චෝදනා තියෙනවා නම් අපිට ඊට මැදිහත් වෙන්න බෑ. එහෙම උසාවියට ඉදිරිපත් කරන්න කියලා බලපෑම් ආවේ නැත්නම් අපි ඔවුන්වත් පුනරුත්ථාපනය කරලා නිදහස් කරලත් ඉවරයි. පුනරුත්ථාපනය උනාද නැද්ද කියන එක මම දන්නෑ. පුනරුත්ථාපනය වෙලා තියෙනවා. අපිට ඒක ප්‍රශ්නයක් නෙවෙයි.
ප්‍රශ්නය - අතුරුදන් වූවන් සෙවීමේ කටයුත්තට විදෙස් විනිසුරුවන් ගේන්න ඕනේ නැහැ කියලා ආණ්ඩුව කියනවා. එහෙත් ඔබ කියන්නේ එහෙම වෙන්නෑ කියලා. ඒක ඔප්පු කරන්නේ කොහොමද?
පිළිතුර - දැන් බොහොම පැහැදිලිව විදේශ ඇමැතිවරයා කියනවා ලෝකෙට ගිහිල්ලා එක විදිහකට විදෙස් විනිසුරුවන් ගෙන්වනවා කියලා. ජනාධිපති හා අගමැතිවරයා කියනවා ගෙන්වන්නේ නෑ කියලා. ඉතින් කෝකද ඇත්ත? කවුරු කියන එකද පිළිගන්නේ. ජිනීවා සම්මුතියටත් එකඟවෙලානේ. අනික විදේශ ඇමැති කියන්නේ ඔහුගේ පුද්ගලික මතය නෙමෙයිනේ. සමස්ත රජයේ මතය ඒක.
ප්‍රශ්නය - අවසන් යුද්ධයේදි ඇතිවූ සිද්ධි පිළිබඳ ජනතාව විවිධ ප්‍රශ්න මතු කරනවා අතුරුදන් වූවන් ගැන.
පිළිතුර - මෙතනදි පැහැදිලිවම කියන්න ඕනේ මේක “යුද අපරාධයක්” නෙමෙයි. “යුද අපරාධ” කියන එක මම පිළිගන්නේ නෑ. යම් සිද්ධීන් ඇතිවුණා. උදාහරණයක් වශයෙන් මනම්පේරිගේ සිද්ධිය. එවකට හිටිය රජය ඒ ගැන පරීක්ෂණ කරලා විමර්ශනයක් කළා. ඒ වගේ සිද්ධීන් පිළිබඳ පරීක්ෂණ කරානේ. ඔන්න හිට්ලර් කළේ “යුද අපරාධ.” නමුත් ඒ වගේ දෙයක් අවසන් යුද්ධයේදී කිසිසේත්ම උණේ නෑ. අපි පැහැදිලිවම කියලා තිබුණා අතුරුදන් වූවන් ගැන සොයා බලන බව. අපි ඒකට කොමිසමක් පත් කළා. නමුත් ඒවා ගණන් ගත්තේ නෑ, කොළඹට වෙලා කාමර ඇතුළේ හිටියේ. ඊට පස්සේ තවත් කොමිසමක් ගෙනාවා. ඒකටත් විවේචන එල්ල වුණා. මම කියන්නේ මේවා ගැන මීට වඩා සුහදව බලන්න ඕනේ. ප්‍රශ්න තියනවා නම් ඒවට සුදුසු විසඳුම් සොයන්න ඕනේ විවිධ ක්‍රම ඔස්සේ. ඒත් ඒවා විවේචනය කරන්න නරකයි. දැන් බලන්න අපේ කාලයේ අපි 12500ක් මම එළියට දැම්මේ මාස 6ක් පුනරුත්ථාපනය කරලා. අවුරුදු 16ක් යුද්ධ කරපු මානසිකත්වය මාස 6න් වෙනස් කරලා එළියට දානවා කියන්නේ ලොකු වගකීමක්.
ප්‍රශ්නය - ඔබතුමා යුද්ධය දිනුවත් උතුරේ ජනතාවගේ සිත් දිනාගන්න බැරි වුණා නේද?
පිළිතුර - ඇත්තවශයෙන්ම යුද්ධය දිනලා ඉවර වුනායින් පස්සේ උතුරේ ජනතාවට සහන ලබාදෙන්න. ඔවුන් හිටිය යුද මානසිකත්වයෙන්. ඒ තත්ත්වයෙන් මුදවා ගන්නයි මම වැඩ කළේ. මට තිබුණා ලොකු වගකීමක්. උතුරේ ආර්ථිකය බිමටම සමතලා වෙලා තිබුණේ. රටේ අනෙක් පළාත් එක්ක බලනකොට ආර්ථිකය සම තත්ත්වයට ගන්න උත්සහ කලා. ආර්ථිකය ගොඩනඟලා ජනතාවට ඒ සහන ලබාදෙන්න ඕනේ. බිම්බෝම්බ තිබුණා. කුඹුරු පාළුවෙලා, නිවාස නෑ. විදුලිය, මංමාවත්, පාසල්, රෝහල් නෑ. ඕවා ඔක්කොම හදන්න ඕනේ. ඊළඟට උතුරේ කඳවුරුවල ඉන්න අය නැවත පදිංචි කරන්න ඕනේ. ඕවට තමයි මම මුල්තැන දුන්නේ. දේශපාලනය ගැන හිතා හිතා හිටියානම් මට ඔවුන්ගේ හිත් දිනාගන්න තිබුණා. දැන් බලන්න යාපනයේ තියෙන දියුණුව. විනාශවුණු දුම්රිය මාර්ගය හැදුවා. මංමාවත් කාපට් කළා. රෝහල්, විදුලිය, ජලය ඇතුළු සියලු පහසුකම් ලබා දුන්නා. නොකරපු දෙයක් නෑ. මම ඉන්න කාලේ කරපු සංවර්ධනවලින් පස්සේ කිසිම සංවර්ධනයක් කරලා නෑ. මට වඩා ඕගොල්ලන්ට පැහැදිලිවම පේනවා ඇති යාපනයේ සංචාරය කරන නිසා. මම නම් පැරදුණාට පස්සේ උතුරේ සංචාරය කළේ නෑ. ලයිට් නැතුව, ළමයින්ට ගෙවල් දීලා බෑ. බඩ ගින්නේ ඉන්න අයට කෑම නොදී වෙනත් දේවල් දීලා වැඩක් නෑ. මම ඔවුන්ගේ විනාශවූ දේපළ යළි ගොඩනගන්නයි උත්සාහ ගත්තේ. මෙතැනදී මට වැරදුණු කාරණයක් තියෙනවා. අපි දේශපාලන වශයෙන් ඔවුන් එක්ක සංවාදයකට ගියේ නෑ. සම්බන්ධ වුණේ නෑ. මොකද, මමත් එක්ක අනිකුත් දේශපාලන නායකයන්ටත් ගිහිල්ලා එම ප්‍රදේශවල ජනතාව හම්බවෙලා ඔවුන් සමඟ මීට වඩා සම්බන්ධ වෙන්න තිබුණා. මම හිතන්නේ ඒක අපෙන් වෙච්ච ලොකු අඩුපාඩුවක්. මොනවද මේ ජනතාවට මේ රජය කෙරුවේ. එකක් කියන්න. ඔක්කොම මම කරපු දේවල් තමයි මේගොල්ලෝ විවෘත කරන්නේ. මොවුන් හිතන්නේ දෙමළ ජනතාව ගැන නෙමෙයි. දේශපාලන වශයෙන් වාසිගන්න. මේ ගොල්ලන්ට ඕනේ සුහන්දිරන්වයි, සම්පන්දන්වයි සන්තෝෂ කරන්න. මම බය නැතුව කියනවා මම හදපු දේවල් තමයි මේ ගොල්ලෝ විවෘත කරන්නේ. ඒක තමයි ඇත්ත.
ප්‍රශ්නය - ඔබ උතුරු පළාත් ඡන්දය තිබ්බ එක ගැන කනගාටු වෙනවාද?
පිළිතුර - නෑ. නෑ. කිසිම අවස්ථාවක එහෙම වෙන්නෑ. මම බොහොම සන්තෝෂ වෙනවා. මොකද එහෙම වෙන්න ඕනේ. ඒක ජනතාවට තිබෙන අයිතියක්. ඔවුන් ඒවා බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පළාත් සභාවත් ඒ සඳහා ඡන්දයක් ඔවුනට ලබා දෙන්න ඕනේ. මට බොහෝ දෙනෙක් කිව්වා ඕක දෙන්න එපා කියලා තාම වෙලා වැඩියි. මම දන්නවා ඡන්දෙන් පරදිනවා කියා. නොදැන කරපු දෙයක් නෙමෙයිනේ. නමුත් ඔවුන්ගේ අයිතීන් මම දුන්නා.
ප්‍රශ්නය - උතුරු පළාත් ප්‍රධාන ඇමැතිවරයාගේ ක්‍රියාකලාපයට විවේචන එල්ල වෙනවා. ඔබ හිටියා නම් මෙවැනි දේකට ඉඩ දෙනවාද?
පිළිතුර - මම දන්නවා මහ ඇමැතිතුමා ජාතිවාදියෙක් නොවන බව. එයා කරන්නේ දේශපාලනය. එයාට මේ ආණ්ඩුව සමඟ ගනුදෙනු කරන්න බෑ. දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බෑ. ඒ ළමයින්ට රක්ෂා දීලා තියෙනවද? පාරක් හදලා තියෙනවද? ධීවර ජනතාවට සහන ලබා දීලා තියෙනවාද? අවුරුදු 30 ක් ධීවර කටයුතුවල නිරතවෙන්න බැරිවුණා. ඒවාට පහසුකම් දීලා තියෙනවාද. යාපනයේ ගොවීන්ගේ ගැටලු විසඳලා තියෙනවාද? රජයේ සේවකයන්ගේ ගැටලු විසඳලා තියෙනවාද? ඉතින් රජය එක්ක ගනුදෙනු කරන්න බැරි නිසා මෙවැනි දේවල්වලින් ඒ ගැටලු මගහරින්න හදනවා. හැබැයි මම හිතන් නෑ ඔහු ජාතිවාදියෙක් කියලා.
ප්‍රශ්නය - ඔබ පාලන සමයේ නැති නිදහසක් උතුරේ අද තිබෙන නිසයි මෙවැනි උද්ඝෝෂණවලට ඉඩ ලැබිලා තියෙන්නේ. ප්‍රසිද්ධියේ මෙවැනි දේවල් කරනවා. ඔබ හිටියා නම් මේවට ඉඩ දෙනවාද?
පිළිතුර - මෙහෙමයි. රටේ නීතිය එකක් වෙන්න ඕනේ. රටේ ජාතිවාදිය ඇවිස්සීම හරි කියලා පිළිගන්නවා නම් එතකොට ඕක හරි. නැත්නම් ඒක වැරදියි. මගේ කාලයේ ඒක ජාතිවාදී ස්වරූපයෙන් ආවා නම් මම කියනවා බෑ කියලා. වරදවා හිතන්න එපා. මේක ජනමතය නොවෙයි. දෙමළ ජනතාවගේ ඉල්ලීම් වහගන්න කළ උද්ඝෝෂණයක් මේක. ගොවීන්ගේ වී ටික, ලූනු ටික විකුණගන්න බැරි ගොවීන් මෙතනට ආවා. උපාධිධාරී තරුණ තරුණියන්ම රැකියා නොමැති නිසා ඔවුන් මෙතනට ආවා. රජයේ සේවකයන්ට ජීවත්වෙන්න බැරි නිසා මෙතනට ආවා. ඒ නැතුව ඔවුන් ජාතිවාදය අවුස්සන්න ආපු කට්ටිය නෙමෙයි. ඒ නිසා ඔවුන්ගේ ප්‍රශ්න අමතක කරන්නයි ඒ ගැන වෙන පැත්තකට හරවන්නයි ආණ්ඩුවට ඕන වුණේ. ඒකයි මෙතන ජාතිවාදී ප්‍රශ්නයක් මතු කළේ. ඉතින් විග්නේෂ්වරන් මහත්තයා කළේ වෙන දෙයක්. ජාතිවාදය මතු කළේ ආණ්ඩුවයි.
ප්‍රශ්නය - උතුරේ ජනවාර්ගික ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔබතුමා පිළිගන්නවාද?
පිළිතුර - රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් තියෙනවා කියලා ජාතීන් අතර බෙදීමක් ඇතිකරන්න බෑ. හැමෝටම ප්‍රශ්න තියෙනවා. ඒවා විසඳගන්න ජාතීන් අතර බෙදීමක් වෙලා බෑ. හැමෝම සහයෝගයෙන් එක්වෙලයි ප්‍රශ්න විසඳගන්න ඕනේ. සමහරු උතුරු - නැගෙනහිර වෙන් කරන්න කියනවා. ඒත් ඇතැම් මුස්ලිම් මන්ත්‍රීවරුන් ඒකට එකඟ නෑ. විරුද්ධ මත ගෙනියනවා. ඉතින් එහෙම බෙදීමක් උණාම ප්‍රශ්නවලට විසඳුම් ලබා ගන්න බෑ.
ප්‍රශ්නය - වත්මන් රජයේ ව්‍යවස්ථාවට ඔබතුමා එකඟද?
පිළිතුර - අපි දන්නේ නෑනේ මොනවද ව්‍යවස්ථාවේ තියෙන විසඳුම් කියලා. ඒ විසඳුම් මොනවද කියලා පැහැදිලි නැතුව ඒ ගැන මුකුත් කියන්න බෑ.
ප්‍රශ්නය - විමල් වීරවංශ මන්ත්‍රීතුමා කියනවා විරුද්ධයි කියලා.
පිළිතුර - මේකයි. ව්‍යවස්ථාව හදන්න පත්කරලා තියෙන්නේ ලාල් විජේනායක කියන එක්කෙනානේ. එයාගේ කතාවලට එකඟ වෙන්න බෑ. ඒක හින්දා වෙන්න ඇති ඔහු මේකට විරුද්ධයි කියලා කියන්න ඇත්තේ. මගේ අදහස නම් මේක විසඳගන්න ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නෑ කියලා. මොකද ව්‍යවස්ථාවේ ඇතැම් කරුණු සංශෝධනය කිරීමෙන් මේක පහසුවෙන් විසඳගන්න පුළුවන්. අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය නෑ. මේකට තියෙන ව්‍යවස්ථාවේ සංශෝධනවලින් විසඳගන්න පුළුවන් දේ ව්‍යාකුල වන තත්ත්වයක් තමයි මේකෙන් වෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. හැබැයි මේ ප්‍රශ්න විසඳගන්න රට බෙදිලා නම් විසඳගන්න බැහැයි කියන එක පැහැදිලියි.
ප්‍රශ්නය - ඔබතුමාට ආණ්ඩුව පෙරලන කුමන්ත්‍රණයක් කළා කියලා චෝදනාවක් තියෙනවා නේද?
පිළිතුර - කුමන්ත්‍රණය කළා නම් තවමත් මම එතනනේ ඉන්නේ. ඒක අමූලික බොරුවක්. මේක දේශපාලන වාසි ගන්න හදන කතා.
ප්‍රශ්නය - ඔබතුමා හා රනිල් වික්‍රමසිංහ අතර සංවාදයක් එදා පැවැත්වූවාද?
පිළිතුර - මෙහෙමයි. මම දන්නවා මෙතනදි පරාජය වනවා කියලා. අපිත් වාර්තා මගින් අධ්‍යයනය කරනවනේ. අපිත් දේශපාලනය අතින් අත්දැකීම් තියෙන අය. අපි පරාජය වෙන නිසා මම කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඔයගොල්ලෝ මේක භාරගෙන ආණ්ඩුවක් පිහිටුවන්න කියලා. පරාජය බාරගන මම උදේ 6 වෙනකොට මම පිටත් වුණා අරලියගහ මන්දිරයෙන්. එච්චරයි එතන වුණේ.
ප්‍රශ්නය - ඔබතුමා ඡන්දය පරාජය වීමට ප්‍රධාන හේතු මොනවාද?
පිළිතුර - බොරු ප්‍රචාර ගෙන යාම තමයි මූලික හේතු වුණේ. බොරු ප්‍රචාර ගියා. ජාතීන් අතර බෙදීමක් ඇති කළා. ඒකයි මම දකින්නේ පරාජයට හේතුව. ඒකට කියන්නේ “ගොබෙල්ස් න්‍යාය” කියලා.
ප්‍රශ්නය - මේ ආණ්ඩුව ආර්ථික වශයෙන් ණය ලබා ගනිමින් සිටිනවා. ඔබ පාලන කාලයේ ගත් ණය ගෙවලත් නෑ. මේ ආකාරයෙන් ණය ගත්තොත් ආණ්ඩුව තවත් උගුලකට හසුවෙනවා. ඊට ඔබේ අදහස් මොනවාද?
පිළිතුර - අපි ණය ගත්තේ සංවර්ධන වැඩවලට. මේ ගොල්ලෝ ණය ගන්නේ පරිභෝජනයට. දැන් මේ ගොල්ලෝ වරාය හැදුවද? ගුවන් තොටුපළ හැදුවද? පාසල් හැදුවද? පාරවල් හැදුවද? මේවා අපි කළේ යම් යම් ආර්ථික වාසි බලාපොරොත්තුවෙන්. ඒකෙන් ආර්ථික වාසි ලැබෙනවා. අපිට දීර්ඝ කාලීනව හා කෙටි කාලීනව. හම්බන්තොට වරාය පාඩුයි කියන්නේ බොරු. අපි ලාභ ලැබුවා හම්බන්තොට වරායෙන්. කොළඹ වරායෙන් ලාභ ලැබුවා. මේ ණය අරගෙන අපි වියදම් කළේ රටේ වටිනාකම වැඩි කරන්න. දැන් යාපනයේ එදා තිබ්ච්ච මිල ගණන්ද අද ඉඩම්වල. අද ඊට වඩා වැඩියි. අපි ණය අරගෙන යටිතල පහසුකම් සංවර්ධනය කලා. ඒකෙන් ප්‍රතිලාභ ලැබෙනවා. ඒකයි අපේ වෙනස. සුහන්දිරන් හා සම්පන්දන් බොරුවට කෑගැහුවට මිනිස්සුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ වෙන්නේ නෑ. ඒක නිසයි ජනතාව උද්ඝෝෂණය කරන්නේ.
ප්‍රශ්නය - මේ ආණ්ඩුව කියනවා මිලියන 9000 ක් ණයයි කියලා. රාජපක්ෂ පවුල තමයි මේ ආර්ථිකය වැටෙන්න හේතුව කියලා ඔබතුමා පිළිගන්නවද?
පිළිතුර - ඒක අමූලික පට්ටපල් බොරුවක්. මෙයාලට කරන්න වැඩ නැති උණාම මතක් වෙන්නේ රාජපක්ෂ පවුල. අපි ගත්ත ණයවලින් කළේ සංවර්ධන වැඩ. ඒක පැහැදිලිව පේනවනේ. දිවයින පුරාම ඒ සංවර්ධන කටයුතු දකින්නට පුළුවන්. මේ ආණ්ඩුව ණය අරන් මොනවද කළේ කියන්න?
ප්‍රශ්නය - මාධ්‍ය නිදහස පිළිබඳ ඔබතුමාගේ අදහස මොකක්ද?
පිළිතුර - දැන් මාධ්‍ය නිදහස ගැන කියනවා. හැබැයි නිදහස නෑ. ඔයාලට ඕන එකක් ලියන්න පුළුවන්ද? රූපවාහිනීවලට ඕන දෙයක් දාන්න පුළුවන්ද? අපේ කාලේ ඕන එකක් දැම්මා. මට විරුද්ධව කොච්චර දැම්මද? ඒ කාලේ පත්තර වල බලන්න. දැන් ලේසියිද බලන්න. දැන් පාර්ලිමේන්තුවේදී කියනවා මේ පිළිබඳව බලාගමු කියලා. එතකොට ලියන්න නිදහස තියෙනවාද?.
ප්‍රශ්නය - ඔබතුමන්ට පුළුවන්ද මුස්ලිම් හා දෙමළ ජනතාවගේ සහාය නැවත ලබාගන්න?
පිළිතුර - පුළුවන්. ඔවුන් සැබෑ තේරුම දැනගත්තම මොකද වුණේ කියන එක තේරුම් ගියාම, ඔවුන් අපි ගැන මීට වඩා වෙනස් විදිහකට හිතයි. අපි අවංකවම දෙමළ ජනතාවට උදව් කළා. මුස්ලිම් ජනතාවටත් උදව් කළා. එයාලගේ ප්‍රශ්න විසඳන්න. අපි ඉඳලා යනවා. මේ ඉන්න තරුණයන්ට රටක් තියෙන්න ඕනේ. අලුතෙන් ඉපදෙන දරුවන්ට. ඒ දරුවෝ යහතින් ඉන්න ඕනේ සාමයෙන් සමගියෙන්. ඒ වගේම ඒ අයට රැකියා අවස්ථා මෙන්ම රටක් තියෙන්න ඕනේ. ඉගෙන ගන්න අවස්ථාව. ඒක අපි ලබා දීලා තියෙනවා.
අපි ඉදිරියේදී කෙසේ හෝ බලය ලබා ගන්නවා. ඒත් රට දෙකඩ නොකර සාමය ඇතිකරලා රට සංවර්ධනය කිරීමෙන් ජනතාවගේ කැමැත්ත ලබාගන්න. ඒක ඉතා පහසු කාර්යයක්.